IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපති අතේ ඇති ​​​තුරුම්පු මොනවාද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව සහ විධායක සභාව ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී රැස්වූවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි. සවස 4.30 ට පමණ රැස්වීම ආරම්භ වන බව දැනුම් දී තිබුණ ද ආරම්භ වූයේ 5.45 ට පමණය. වෙනත් හදිසි කටයුතු කීපයක් නිසා ජනාධිපතිවරයා තරමක් ප්‍රමාද වී පැමිණියේය. සමස්ත ලංකා කාරක සභාවට 15 දෙනාගේ කණ්ඩායමේ ද සියලු දෙනාම පාහේ පැමිණ සිටියහ. පිළිගැනීම හා අරමුණ පැහැදිලි කළේ පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ය. පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ හා සංවත්සරය ලබන ජනවාරියේ පැවැත්වීම ගැන ඔහු පැහැදිලි කළේය.   
නිමල් සිරිපාල ඇමැතිවරයා වත්මන් දේශපාලන තත්ත්වය හා ඉදිරි වැඩපිළිවෙළ ගැන උද්‍යෝගිවත් කතාවක් කළේය. පක්ෂ ව්‍යවස්ථාවේ කළ යුතු සංශෝධන ගැන යෝජනාවක් ඉදිරිපත් කළේ ෆයිසර් මුස්තාපාය. පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ඉහළින් 15 දෙනෙකුගෙන් යුත් දේශපාලන මණ්ඩලයක් පත්කිරීම, පක්ෂයේ  තරුණ සංවිධානය හා වෘත්තීයවේදීන්ගේ සංවිධානය සහ ශ්‍රීලනිප අනු සංවිධානවලට ඇතුළත් කිරීම, විනය කමිටුවේ බලතල වැඩි කිරීම හා පක්ෂයේ සභාපතිවරයාට ව්‍යවස්ථාවෙන් තිබෙන බලය වැඩි කිරීම යන සංශෝධන ෆයිසර් විසින් ඉදිරිපත් කරන ලද අතර සමස්ත ලංකා කාරක සභාව ඊට අනුමැතිය පළ කළේය.   


අනතුරුව කථා කළේ ජනපති මෛත්‍රීය. ‘දැන් තමුන්නාන්සේලා ඔය සංශෝධන, යෝජනා ස්ථිර කළාට ඒව මොනවද කියල දන්නවාද දන්නැහැ’ යැයි කියමින් ජනාධිපතිවරයා පක්ෂ ව්‍යවස්ථාවේ සංශෝධන ගැන පැහැදිලි කළේය. ඉන්පසුව දේශපාලන තත්ත්වය ගැන සුපුරුදු විග්‍රහාත්මක කතාවක් ද ජනාධිපතිවරයා කළේය. ‘මම රනිල් වික්‍රමසිංහ ඉවත් කරල මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති කමට පත්කළේ අලුත් ගමනක් යන්න. ගත්තු තීන්දු තීරණ මොනම හේතුවක් මතවත්, අතරමග නතර කරන්නෙත් නැහැ. පස්සට ගන්නෙත් නැහැ. ඉස්සරහටම යනවා. මම මේ තීන්දු තීරණ තනිව ගත්ත ඒවා නොවෙයි. නීති විශාරදයන්ගේ ව්‍යවස්ථා විශාරදයන්ගේ උපදෙස් අනුවයි මේ සියලු තීන්දු තීරණ ගත්තේ’ යැයි මෛත්‍රී කීවේය.   


ඒ සමගම ලබන 14 වැනිදායින් පස්සේ සිදුවන්නේ කුමක්දැයි ජනාධිපතිවරයා පැහැදිලි කළේ දැඩි ස්ථාවරයක ද සිටිමිනි. ‘යූඑන්පිය පැත්තේ අද සල්ලි මලු පාවෙනවා. මන්ත්‍රීවරුන් තියාගන්නත් සල්ලි දෙනවා. ඒක තමයි අද තියෙන ලොකුම අර්බුදය. යූඑන්පියෙත් අද ලොකු අර්බුදයක් තියෙනවා. යූඑන්පී මන්ත්‍රීවරුන්ට මම කියන්නෙ අපේ වැඩපිළිවෙළට සහාය දෙන්න කියලයි. අාණ්ඩුව විසුරුවන්න මට ඕනකමක් නැහැ. මගේ එහෙම බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මම ගාව තව තුරුම්පු තියෙනවා. ඒ සියල්ල මම පාවිච්චි කරන්නේ ව්‍යවස්ථාවටත් නීතියට එකඟවයි’ යැයි ජනාධිපතිවරයා කීවේ තම වැඩපිළිවෙළට බාධා කළහොත් සිදුවිය හැකි දේවල් ගැන ද ඉඟියක් දෙමිනි.   


‘යූඑන්පියෙ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් මාව හම්බවෙන්න අවස්ථාවක් ඉල්ලා තිබෙනවා. 14 වැනිදා අපේ වැඩපිළිවෙළට සහාය නොලැබුණහොත් ඊළඟට ගන්න ක්‍රියාමාර්ගත් මා ළඟ තියෙනවා. යූඑන්පී මන්ත්‍රීවරුන්ට මම කියන්නේ අපේ වැඩපිළිවෙළට සහාය දෙන්න. එහෙම වුණොත් පැන්ෂන් එකත් බේරාගෙන ඉදිරියට කටයුතු කරන්න පුළුවන්’ යැයි ජනපති මෛත්‍රී කීවේය.   


මේ අතර ජනාධිපතිවරයා කතානායක කරු ජයසූරියගේ ක්‍රියාකලාපය ද දැඩි විවේචනයට ලක්කළේය. ‘කතානායකවරයා ව්‍යවස්ථා විරෝධීව හැසිරෙනවා. අපට ගන්න තව ක්‍රියාමාර්ග ව්‍යවස්ථාවේ තියෙනවා. ඔයාලා රෑට හොඳට නිදියගන්න. කලබල වෙන්න එපා. මම ඉස්සරහට තියපු කකුල ආපස්සට ගන්නේ නැහැ’ යැයි ජනාධිපතිවරයා කතාව හමාර කළේ පිරිසට සුබවාදී බලාපොරොත්තුවක් දෙමිනි.   


ගාලගෝට්ටියක් වූ පක්ෂ නායක රැස්වීම   


කතානායක කරුජයසූරිය මහතා ගිය බදාදා පස්වරුවේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණේ ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේ කටයුතු ගැන සාකච්ඡා කිරීමේ බලාපොරොත්තුවෙනි. වෙනදා නිල වශයෙන් එන මැති ඇමැතිවරුන්ට අමතරව තවත් මැති ඇමතිවරු පිරිසක් ද පක්ෂනායක රැස්වීමට මෙවර පැමිණ සිටියහ. ආණ්ඩුවෙන් දිනේෂ්, මහින්ද සමරසිංහ, කෙහෙලිය, නිමල් සිරිපාල, ෆයිසර් මුස්තාපා, වාසු, තිලංග, අනුරයාපා, චන්දිම, උදය ගම්මන්පිල ද, එජාපයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, චම්පික රණවක, රාජිත, රවි, අජිත් පෙරේරා, ආනන්ද කුමාරසිරි, මුජිබර් රහුමාන්, ජවිපෙන් අනුර කුමාර දිසානායක, දෙමළ සන්ධානයෙන් සුමන්තිරන් යන මැති ඇමැතිවරුන් පැමිණ සිටියේ පක්ෂ නායක රැස්වීමට වෙනදා නැති උනන්දුවකිනි.   


මුලින්ම කතාබහට ලක්වූයේ 14 වැනිදා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය ගැනය. දිනේෂ් ගුණවර්ධන කීවේ ‘14 වැනිදා සිදුවන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට හා ව්‍යවස්ථාවට අනුව සැසිවාරය අවසන් කර නව සැසිවාරයක් ආරම්භ කිරීම පමණක් බවය. මුලින්ම මහලේකම්වරයා ප්‍රකාශයක් කරනවා. ඊට පස්සෙ ජනාධිපතිතුමාට අවශ්‍ය නම් එන්නත් පුළුවන්. නෑවිත් ඉන්නත් පුළුවන්. එතුමාට ඇවිත් ප්‍රකාශයක් කරන්නත් පුළුවන්. ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒක එතුමාට තියෙන බලයක්’ යැයි දිනේෂ් කීවේය. මහින්ද සමරසිංහ කීවේ ‘නව අගමැතිට එරෙහිව එජාපයෙන් විශ්වාස භංග ගේන්නේ නම් වෙන දවසක ආණ්ඩුව ඊට සූදානම්’ බවය.


මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල කාතානායකවරයා වෙත පැමිණිල්ලක් කළේ මුලින්ම දැන ගන්න අවශ්‍ය දිනේෂ් ගුණවර්ධන කොහොමද සභානායක වුණේ කියාය. ‘‘මේ ගැන ඔබතුමා මුලින්ම සභාව දැනුවත් කරන්න. දිනේෂ් මගේ කාර්යාලය නීති විරෝධිව අත්පත් කරගෙන ඉන්නවා’’ යැයි කිරිඇල්ල කියද්දී දිනේෂ් ද වැඩේට පැමිණියේය. ඒක අගමැතිතුමයි පත් කළේ. ඒ අනුවයි මම ගිහින් වැඩ බාරගත්තේ. දිනේෂ් කීවේය. සභානායක වාදය ගැන දිනේෂ් - කිරිඇල්ල පැටලෙද්දී තිලංග කීවේ ලබන 14 වැනිදාට කතානායකතුමාට කරන්න දෙයක් නැති බවය. ජනාධිපතිතුමා ප්‍රකාශය කළාම පාර්ලිමේන්තුව කල් දානවා. ඉන්පිට දේකට අපි කැමැති නැහැ යැයි තිලංග සුමතිපාල කීවේය. ෆයිසර් මුස්තාපා ඒ පිළිබඳ ව්‍යවස්ථාමය කාරණා සහ ස්ථාවර නියෝග ගැන පැහැදිලි කළේය. ෆයිසර්ගේ හා තිලංගගේ කතාවට අජිත් පෙරේරා විරුද්ධ විය. ඔහු කීවේ කාතානායකවරයාට න්‍යාය පත්‍රයක් හදා කටයුතු කිරීමට බලය තිබෙන බවය. නීති විරෝධි ආණ්ඩුවට එරෙහිව එදාට මන්ත්‍රීවරුන්ගේ ඡන්දයක් අවශ්‍යයි. අජිත් පෙරේරා කියද්දී ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඊට දැඩි විරෝධය පළ කළහ. මේක නීති විරෝධි නම් එදා 2015 රනිල් වික්‍රමසිංහ අගමැති කරපු එකත් වැරදියි. එදා රනිල්ට තිබුණේ මන්ත්‍රී ආසන 44යි. දිනේෂ් කියද්දී ගම්මන්පිල ද ඒ අදහසම ඉදිරිපත් කළේය. ඔහු කීවේ අඩුම තරමින් දි.මු. අගමැතිතුමා ඉවත් කළ බව දැන්වුවේවත් නැති බවය.   


රවි කරුණානායක කීවේ දි.මු. ඉවත් කළ ලිපිය තමා දි.මු. ජයරත්න හිටපු අගමැතිවරයාට ගෙනහින් දුන් බවය. දි.මු. පිළිගත් බව ද රවි කීවේය. අනතුරුව කතා කළේ කිරිඇල්ලය. ‘‘ඇයි ඔයාල එදා 150ක් ඉඳලා 44ක් ඉන්න අගමැතිට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් නොගෙනාවේ. එහෙම නම් මහින්ද මෛත්‍රී සන්ධානය ඔයාලට හදන්න තිබුණේ එදානෙ’’ කිරිඇල්ල කීවේය.   


අනුර දිසානායක මන්ත්‍රීවරයා වෙනත් කරුණක් මතු කළේය. ‘‘ඡන්දය දවසෙ රෑ මහින්ද රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත් කතා කරගෙනයි රනිල් අගමැති කළේ. එහෙම කරල ගෝඨාභය හිරේ යවන්නේ නෑ කියලා එකඟතාවෙන්. තනිකරම දේශපාලන ඩීල් එකක් එතන තිබ්බේ’’ අනුර දිසානායක කීවේය. වාසුදේව කීවේ ‘‘අපි තමයි ආණ්ඩුව. දැන් ඒ ආණ්ඩුව රටේ ක්‍රියාත්මක වෙනවා. අපි සුළුතරයෙන් හරි ආණ්ඩුව ගෙනියනවා’’ කියාය. ඒකට රාජිතට යකා නැග්ගේය. ‘‘ඒකද ඔයාගේ වාමාංශික දේශපාලනය’’ යැයි රාජිත අහද්දී වාසුද ඇහුවේ ‘‘ඔයාගේ දේශපාලනය වාචාලකමනෙ’’. අනතුරුව කතා කළේ චම්පික රණවකය. ‘‘මේක අහඹු සිදුවීමක්. මීට කලින් දේශපාලන පිල් මාරු වෙනවා අපි දැකලා තියෙනවා. 2001දී එස්.බී., ජී.එල්., බන්දුල පිල්මාරු කරද්දී චන්ද්‍රිකාට තිබුණු බහුතර බලය අහෝසි වුණා. එදා ජවිපෙ පරිවාස ආණ්ඩුවට ගියා. ඒවා පාර්ලිමේන්තුව ඇතුළෙ විවෘතව සිදුවුණා. 2007 දී මංගල, විජයදාස, ශ්‍රීපති අනික් පැත්තට ගියා. කරු ජයසූරිය ඇතුළු පිරිසක් ආණ්ඩුව පැත්තට ආවා. ජවිපෙ විමල් වීරවංශ ඇතුළු 11ක් ආණ්ඩුවට ගියා. ඒ බලතුලනය පේන්න තිබුණා. නමුත් පසුගිය 26 වැනිදා එහෙම දෙයක් පෙනුනේ නැහැ. විවෘතව කිසි දෙයක් වුණේ නැහැ’’. චම්පික පැහැදිලි කළේය.  


කිරිඇල්ල කීවේ ඔවුන් මහින්ද රාජපක්ෂට විරුද්ධව අත්සන් 116ක ලිපියක් කතානායකට බාර දී ඇති බවය. ඔයාල එහෙම එකක් දීලා නැහැ. කිරිඇල්ල කීවේය. දැන් මෙතන තීන්දු ගන්න බැහැ. අපි 14දා රැස්වෙලා ඡන්දයකට යන්න තීන්දු කරමු යැයි කිරිඇල්ල කියද්දී ආණ්ඩුවේ මැති ඇමැතිවරු විරෝධය පළ කළහ. අනුර දිසානායක කීවේ අපි එදාට රැස්වී න්‍යාය පත්‍රය හදමු කියාය. මේ අගමැති පත් කිරීම නීත්‍යානුකූල ද කියලා පාර්ලිමේන්තුවේ මත විමසුමක් අවශ්‍ය බව අනුර දිසානායක කීවේය. කතානායකවරයා ද මත විමසීමක් කරන බව කියා සිටි අතර ආණ්ඩුවේ මැති ඇමැතිවරු ඊට දැඩි විරෝධය පළ කරන්න වූහ.   


අගමැති මහින්දට දුමින්දගෙන් භෝජන සංග්‍රහයක්


ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ දුමින්ද දිසානායක ඇමැතිවරයාගේ නිල නිවසෙ විශේෂ භෝජන සංග්‍රහයක් ද සමග සාදයක් සූදානම් කර තිබිණි. ඊට ආරාධනා ලැබ සිටියේ අගමැති මහින්දත්, හිටපු ඇමැති බැසිල්, ශ්‍රීලනිප 23 දෙනාගේ කණ්ඩායම සහ දයාසිරි ජයසේකර අැමැතිවරයා යන පිරිසය. 23 දෙනාගේ කණ්ඩායමේ පිරිස කලින්ම පැමිණ සිටි අතර මහින්දත් බැසිලුත් ආවේ රාත්‍රී 8.30ට පමණය. ආ ගිය තොරතුරු ආදිය කතාබහ කරමින් පිරිස සාදයට එක්ව සිටි අතර වත්මන් දේශපාලන කාරණා ද එහි මාතෘකා බවට පත්විය. ‘‘අපි මේ වැඩේ බාර ගත්තේ මේ රට පත්වෙමින් තිබුණු විනාශයෙන් වළක්වා ගන්නයි. ජනාධිපතිතුමාත් මට ආරාධනා කළේ ඒ නිසයි. අපට තව අවුරද්දක් එකහමාරක් බලන් ඉඳලා ආණ්ඩුව පහසුවෙන්ම ගන්න තිබුණා. නමුත් අපට ඊට වඩා රට වැදගත්. අපි හැමෝම එකතුවෙලා මේ වැඩේ කරගෙන යමු. හැමෝගෙම සහාය අපට ලබාදෙන්න’’ මහින්ද අගමැතිවරයා මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටියේය. බැසිල් ද කීවේ අපට නම්බර්ස් පිළිබඳව ගැටලුවක් නැහැ කියාය.   


අගමැතිවරයා මන්ත්‍රීවරුන් සමග සුහද පිළිසඳරක යෙදෙමින් පැය දෙකකටත් අධික කාලයක් දමින්දගේ නිවසෙ ගත කළේ බොහොම සැහැල්ලුවෙනි. ඊට කලින් දිනයෙද මෙවැනිම සුහද හමුවක් මහින්ද අමරවීරගේ නිවසේ පැවැත්විණි. එයට මහින්ද අගමැතිවරයා සහභාගි නොවූ අතර 23 දෙනාගේ කණ්ඩායම එක්ව සිටියේය.


ආණ්‍ඩු පක්ෂ රැස්වීමට රතන හිමිත්


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිය බදාදා රාත්‍රියේ ජනාධිපති කාර්යාලයේදී රැස්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අගමැති මහින්ද රාජපක්ෂ මහතාද සහභාගි වූ එම රැස්වීමට එජාපයේ පත්කළ මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝද සහභාගි වූහ. එජාපයෙන් එක්වූ මන්ත්‍රීවරුන්ද ඇතුළුව ආණ්‍ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 104 දෙනාගෙන් සිවු දෙනෙකු හැර අනෙක් සියලු දෙනා එම රැස්වීමට පැමිණ සිටියහ. ලසන්ත අලගියවන්න හා ​රොෂාන් රණසිංහ යන මන්ත්‍රීවරුන් විදේශගතව සිටි බැවින් ආණ්‍ඩු පක්ෂ රැස්වීමට සහභාගි නොවූ අතර මළගෙදරක ගොස් සිටි නිසා ඩලස් හා වෙල්ගම සහභාගි නොවූහ. එහෙත් ඔවුන් සහභාගි නොවන බව දන්වා තිබිණි.


ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ රැස්වීම ආමන්ත්‍රණය කළේ පුළුල් දේශපාලන විග්‍රහයක්ද කරමිනි. තමා තැබූ අඩිය පස්සට නොගන්නා බවත් ගනු ලැබූ සියලු තීන්දු තීරණ ගත්තේ ව්‍යවස්ථානුකූල සහ නීතියට අනුව බවත් ජනාධිපතිවරයා කීවේය. එබැවින් ආත්ම විශ්වාසයක් තබා ගන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය. ඒ අතර කතානායක කරු ජයසූරිය මහතාගේ ක්‍රියා කලාපයද ජනාධිපතිවරයාගේ දැඩි විවේචනයට ලක්විය. මේ අතර අගමැති මහින්ද කීවේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ අවශ්‍යතාවයක් නැති බවය.


අතුරලියේ රතන හිමියන් කීවේ මහින්දට සහාය දෙන්නට තීරණය කළේ පසුගිය ආණ්‍ඩුව කළ වැරදි නිසා බවය. රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලයේ කටයුතු කළේ පොදු ජනතාව ගැන නොසිතා බවටද රතන හිමියෝ චෝදනා කළහ.


ආණ්‍ඩු පක්ෂ රැස්වීමෙන් අනතුරුව අැමතිවරුන් කිහිප දෙනකු දිවුරුම් දීමට කටයුතු යොදා තිබිණි. හදිසියෙන්ම එස්.බීත් චමලුත් පවිත්‍රාත් නව ආණ්‍ඩුවේ ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන්නේ ඒ අනුවය. ආචාර්ය බන්දුල ගුණවර්ධනටද එදින කැබිනට් ඇමැති ධුරයක දිවුරුම් දෙන ලෙස ජනාධිපතිවරයා කියා තිබිණි. එහෙත් තමා අත්කොට කමිසයක් ඇඳගෙන පැමිණ සිටි නිසා දිවුරුම් දිය නොහැකි බව බන්දුල ජනාධිපතිවරයාට කනට කර කීවේය. ‘එහෙම නම් අපි හෙට උදේම දිවුරුම් දෙමු. පාන්දර ගෙදරට එන්නකෝ’ යැයි ජනාධිපතිවරයා කීවේ බන්දුලගේ පිටට තට්ටුවක් ද දමමිනි.


ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් ද ගිය බදාදා හැන්දෑවේ විජේරාම නිල නිවසේදී පැවැත්වූයේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. දිනේෂ්, කෙහෙලිය, ප්‍රසන්න, ලොකුගේ, ​රෝහිත ඇතුළු මැති ඇමැතිලා පිරිසක් මේ හමුවට පැමිණ සිටියහ. ‘බහුතරය ගැන ගැටලුවක් අපට නැහැ. ඕන තරම් අය අපේ පැත්තට එන්න ලෑස්ති’ යැයි රෝහිත අබේගුණවර්ධන කියද්දී ප්‍රසන්න රණතුංග කීවේ ‘ගිලෙන නැවේ මියොත් ඉන්නෙ නැහැ කියල කතාවක් තියෙනවනේ. අද එක්සත් ජාතික පක්ෂයට වෙලා තියෙන්නෙත් ඒකමයි’ කියාය. එහෙත් දිනේෂ් ගුණවර්ධන වෙනත් අදහසක් ඉදිරිපත් කළේය. ඔහු කීවේ ‘ඒ වුණාට අර මනුෂ නානායක්කාරත් ඒ පැත්තට ගියානෙ’ යනුවෙනි.   
‘මනුෂගේ දේශපාලන අනාගතය ඉවර’ බව ප්‍රසන්න කීවේය. ‘මනුෂගේ විතරක් නොවෙයි රනිල්ට පන්දම් අල්ලන සියලු දෙනාගේ දේශපාලනය ඉවරයි. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ මේ රටේ අවලංගු වෙච්ච සාධකයක්’ යැයි ප්‍රසන්න කීවේ මනුෂ ගියාට ආණ්ඩුවට තවත් එන්න අය සිටින බව කියමිනි.



අදහස් (0)

ජනපති අතේ ඇති ​​​තුරුම්පු මොනවාද ?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 176 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site