IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කැබිනට් ඇමැතිධුර ගන්න ආ මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සුන්වූ හැටි

සති අන්තයේ වෙසක් පොහොය යෙදී තිබූ නිසා ගිය සතියේද දේශපාලන කරළියේ පැවැතුනේ තරමක නිහැඬියාවකි. අලුත් අවුරුද්ද සමරන්නට පිටරටවලටත් සිය ගම්බිම්වලටත් ගොස් සිටි මැති ඇමැතිවරුන් ද පැමිණියේ ගිය සතියේය. බාලගිරි දෝෂය මෙන් දිනෙන් දින කල් යමින් තිබූ කැබිනට් සංශෝධනයද ඉකුත් සඳුදා සිදුවූයේ දේශපාලන වේදිකාවලටද කතා කරන්නට අලුත් මාතෘකා නිර්මාණය කරමිනි. මැයි 1 වැනිදා කැබිනට් සංශෝධනය සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් සති අන්තයෙ දඹුල්ලේ පැවැති උත්සවයකදී ද ප්‍රකාශ කර තිබිණි. 


දඹුල්ලේ පැවැති උත්සවයට ජනාධිපතිවරයා පැමිණියේ මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටලයේ පැවැති පාක්ෂිකයන්ගේ හමුවකටද සහභාගිවීමෙන් අනතුරුවය. 


කලින් දිනයේ අනුරාධපුරයේ පැවැති උත්සවයකට සහභාගි වූ ජනාධිපතිවරයා එදින රාත්‍රිය ගත කළේද මාතලේ හෝටලයේය. එය සූදානම් කර තිබුණේ ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාය. ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානයෙන් තරග කළ අපේක්ෂකයන්ගේ හමුව පැවැත්වුණේද මේ හෝටලයේය. ආණ්ඩුවෙන් ඉවත් වූ එස්.බී. දිසානායකත්, ලක්ෂ්මන් වසන්ත පෙරේරාත්, මධ්‍යම මහ ඇමැති සරත් ඒකනායකත් ඊට සහභාගිවී සිටියහ. එම පිරිස දඹුල්ලේ පන්සලක පැවැති අක්ත පත්‍ර ප්‍රධානෝත්සවයකට ද ජනාධිපතිවරයා සමඟ සහභාගි වූවෝය. මේ උත්සවයට ජනක බණ්ඩාර තෙන්නකෝන් හිටපු ඇමැතිවරයා ද පැමිණ සිටියේ විහාරාධිපති හිමියන්ගේ ආරාධනයකට අනුවය. ජනක, එස්.බී. දෙදෙනා සිනාමුසු මුහුණින් කතාබහ කරමින් සිටි නමුත් ජනක හා ජනාධිපතිවරයා එකට හමුවී කතා කරන අවස්ථාවක් නම් දැක ගැනීමට නොලැබිණි. 


රටේම අවධානය යොමුවී තිබූ කැබිනට් සංශෝධනය සඳුදා උදේ සිදුවූයේ ජනාධිපති කාර්යාලයේය. ඇමැතිකම් තිබෙන සමහරු ලොකු ලොකු ඇමැතිකම් බලාපොරොත්තුවෙන් ජනාධිපති කාර්යාලයට පැමිණි අතර සමහර රාජ්‍ය ඇමැතිවරු නියෝජ්‍ය ඇමැතිවරු කැබිනට් ඇමැතිකම් අපේක්ෂාවෙන් පැමිණියෝය. පසුපෙළ සමහර මන්ත්‍රීවරුන් දිවුරුම් දීමට පැමිණියේ තමන්ට ද කුමක් හෝ තනතුරක් ලැබෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. රවි කරුණානායක හිටපු ඇමැතිවරයාටද ඇමැති ධුරයක් හිමිවනු ඇති බවට ආරංචි පැතිර ගියද එය එසේ නොවීය. බොහෝ දෙනා අපේක්ෂා නොකළ චරිතයක්ද දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණියේය. ඒ මීට මාස කිහිපයකට පෙර ආණ්ඩුවෙන් ඉවත් වූ ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාය. රටේ ආන්දෝලනයට ලක්ව ඇති උසස් අධ්‍යාපන අමාත්‍යංශය ලැබුණේ ඔහුටය. සංස්කෘතික අමාත්‍යංශයද ඔහුට ලැබිණි. විජයදාස ආණ්ඩුවේ ඇමැති ධුරයක් බාර ගැනීමට කැමැත්ත පළ කළේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව බවට ද ආරංචි පැතිර ගියේය. 


ලක්ෂ්මන් සෙනෙවිරත්න කලින් සිටියේ විද්‍යා තාක්ෂණ හා පර් යේෂණ රාජ්‍ය ඇමැතිවරයා ලෙසය. ඔහු දිවුරුම් දුන්නේ රාජ්‍ය පරිපාලන කළමනාකරණ නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙසය. ඔහුගේ කැබිනට් ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ඔහුගේ යාබද දිස්ත්‍රික්කයේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයාය. තමාට එහි රාජ්‍ය ඇමැති ධුරය භාරගත නොහැකි බව ලක්ෂ්මන් සෙනෙවිරත්න කියා තිබිණි. ඒ වෙනුවට ඔහු ඉල්ලා තිබුණේ කලින් සිටි අමාත්‍යාංශයෙම රාජ්‍ය ඇමැති ධුරයයි. එහි කැබිනට් ඇමැති ධුරය මෙවර හිමිව ඇත්තේ ආචාර්ය සරත් අමුණුගමටය. ඒ අමාත්‍යංශ තුනක් එකට එකතු කරය. ගතවූයේ පැයකටත් අඩු කාලයකි. රාජ්‍ය පරිපාලන කළමනාකරණ හා නීතිය සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් ලක්ෂ්මන් සෙනෙවිරත්න ජනාධිපති කාර්යාලයෙන් එළියට ආවේ විද්‍යා තාක්ෂණ රාජ්‍ය ඇමැතිවරයා ලෙස නැවත දිවුරුම් දීමෙන් පසුවය. 
එදින දිවුරුම් දුන්නේ කැබිනට් ඇමැතිවරුන් 18 දෙනකු පමණි. රාජ්‍ය ඇමැති, නියෝජ්‍ය ඇමැති දිවුරුම් දීම පසුවදා සිදුවන බව දැනුම් දීමෙන් අනතුරුව උත්සවයේ කටයුතු නිමා කළේ ජනාධිපතිවරයා නව කැබිනට් ඇමැතිවරුන් ද සමඟ ඡායාරූපයකට ද පෙනී සිටීමෙන් අනතුරුවය. වෙනදාට වඩා අමාත්‍ය ධුර බෙදීමේ යම් විද්‍යාත්මක බවක් පෙනෙන්නට තිබූ අතර ඇමැතිවරුන් ගණනද 47 සිට 42 දක්වා අඩුවී තිබිණි. 


රාජ්‍ය ඇමැතිවරුන් 8 දෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරුන් 10 දෙනකු දිවුරුම් දුන්නේ අඟහරුවාදා උදේය. ආණ්ඩු පක්ෂයේ සියලු දෙනාට ඊට එන්නැයි ආරාධනා කර තිබිණි. රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දී ආපසු යද්දී සමහරුන් ගියේ එතරම් සතුටින් නොවන බව ඔවුන් මාධ්‍ය හමුවේ කළ කී දෑවලින් පෙනෙන්නට තිබිණි. පියසේන ගමගේ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය ඇමැති වරයාය. ඔහුට ද දිවුරුම් දීමේ උත්සවයට එන්නැයි ආරාධනා කර තිබුණි. ඔහු පැමිණියේ නැත. ඔහු මාධ්‍යයට පසුව කියා තිබුණේ තමා නොපැමිණියේ නැවත වරක් පැමිණ රාජ්‍ය ඇමැතිවරයකු ලෙස දිවුරුම් දීමෙන් පළක් නැති නිසා බවය.   


මේ අතර එජාපය පසුපෙළ මන්ත්‍රීවරුන් තවත් කිහිප දෙනකුට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති බවද පැවැසේ. ඒ සඳහා නම් 6ක් ගිය බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා වෙත යවා තිබූ බවටද ආරංචි පැතිර ගියේය.   


තිරසර සංවර්ධන හා වනජීවී ඇමැති ලෙස පත්වූ සරත් ​ෆොන්සේකා ගිය සතියේ සිය ධුරයේ වැඩ බාරගත්තේය. මේ උත්සවයට ඔහුගේ නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස අලුතින් පත්වූ පාලිත තෙවරප්පෙරුම ද පැමිණ සිටියේය. ෆොන්සේකා වැඩ බාරගෙන තෙවරප්පෙරුම ද සමග තේ බොන්නට ගියේ එහි සිටි පිරිසට ද තේ බොන්නට ආරාධනය කරමිනි. කළුතර ප්‍රදේශ​ෙය් පාසලකට සිසුවකු ඇතුළත් කර නොගැනීමට විරෝධය පළකරමින් තෙවරප්පෙරුම මීට පෙර අවස්ථාවක රජයේ කාර්යාලයක සීලින් ෆෑන් එකක එල්ලෙන්නට ගියේය. ඒ බව දන්නා සරත් ෆොන්සේකා තෙවරප්පෙරුමට කීවේ මේ කන්තෝරුවේ තියෙන සීලින් ෆෑන් ටික නම් ගලවන්න වෙයි කියාය.   


හෝමාගම නගරයේ වෙසක් තොරණ විවෘත කරන්නට වෙසක් පොහෝදින චම්පික රණවකත් බන්දුල ගුණවර්ධන හා හෝමාගම එජාප සංවිධායක සහ බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක මංජු ශ්‍රී අරංගලත් සහභාගි වූහ. තොරණ විවෘත කර බන්දුල මංජු ශ්‍රීට කීවේ මම දැන් මීගොඩ බත් දන්සල විවෘත කරන්න යනවා කියාය. මමත් ඒකට යනවා. මංජු ශ්‍රී කීවේය. එහෙම නම් ඉතින් වාහන දෙකක් යන එකේ තේරුමක් නැහැ. ඔයාත් මගේ වාහනෙන්ම යන්න එන්නැයි කියාය. මංජු ශ්‍රී ද වාහනයට නංවා ගත් බන්දුල වෙසක් දන්සල විවෘත කරන්නට ගියේය.



අදහස් (0)

කැබිනට් ඇමැතිධුර ගන්න ආ මන්ත්‍රීන්ගේ බලාපොරොත්තු සුන්වූ හැටි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 125 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 193 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1395 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site