IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කට වැරදුණු එස්.බීට පොහොට්ටුවෙනුත් විරෝධය

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල්යන ලකුණු පහළ වෙමින් තිබේ. දැනට තිබෙන තත්ත්වය අනුව පළාත් සභා ඡන්දය මේ වසර තුළ පැවැත්වීම ද සැක සහිතය. පළාත් සභා ඡන්දය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයකට පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇතත් ආසනයකට එකම පක්ෂයෙන් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ බහුතරයක ඇත්තේ විරෝධයකි. පොදු පෙරමුණ තුළ ද ඒ සම්බන්ධයෙන් එකඟතාවක් නැත. හවුල්කාර පක්ෂ ගණනාවක් ද සිටින්නේ ඊට විරුද්ධ අදහසකය. මේ නිසා පළාත් ඡන්දය කල්යාම වැළැක්විය නොහැකිය.


කැබිනට් මණ්ඩලය ගිය සඳුදා සුපුරුදු පරිදි රැස්වූයේ ජනාධිපති කාර්යාලයේය. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් පත්‍රිකා පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව වෙනත් කරුණු කතාබහට ලක්විය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධ වූයේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේය. වෙනත් කරුණු යටතේ සාකච්ඡා වූ කාරණා අතර ප්‍රධාන තැනක් ගත්තේ පළාත් සභා ඡන්දය පිළිබඳ කාරණයයි. දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන ඇතුළු ඇමැතිවරු කිහිප දෙනකුම කියා සිටියේ පළාත් සභා මැතිවරණයේ දී එකම ආසනයකට එකම පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීම ඇතුළේ මරා ගැනීමට පාර කැපීමක් බවය. ඔවුහු ඉකුත් සතියේ කැබිනට් රැස්වීමේ දී ද මේ ගැන අදහස් පළ කළහ. දිනේෂ් ගුණවර්ධන කීවේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී මේ ගැන සාකච්ඡා කිරීමට රැස් වූ බවය. ඒ සියලු දෙනාම මේ යෝජනාවට විරුද්ධ බව දිනේෂ් කීවේය. මේකෙන් වෙන්නෙ ගම ඇතුළෙ මරා ගැනීමක්. ඒ හින්දා එක් පක්ෂයකින් කොට්ඨාසයට එක්කෙනෙක් දැමීමයි සුදුසු’’ යැයි බන්දුල ගුණවර්ධන ද කීවේ දීර්ඝ විග්‍රහයක් ද කරමිනි. ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ අගමැති මහින්ද කීවේ මේ ගැන අපි පක්ෂ නායක රැස්වීමේ දී සාකච්ඡා කර එකඟතාවකට එමු කියාය. ඒ අනුව පක්ෂ නායක රැස්වීම ලබන 19 වැනිදාට යොදා ගැනුණි. එය සම්බන්ධිකරණ කටයුතු දිනේෂ්ට කරන්නැයි ජනාධිපතිවරයා කීවේය.

 


 

ආණ්ඩුවේ ගැටුම විසඳීම අගමැතිට භාරවෙයි

 



අනතුරුව කතාබහට ලක්වුණේ පාස්කු කොමිෂන් සභා වාර්තාව ගැනය. කොමිෂන් වාර්තාවත් කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට පත්කළ ඇමැති අනුකමිටුවක් පසුගිය කාලයේ දැඩි ආන්දෝලනයට ලක්විය. ඒ ගැන මාධ්‍ය හමුවක් කැඳවා රටට පැහැදිලි කරන්නැයි ජනාධිපතිවරයා චමල් රාජපක්ෂ හා සරත් වීරසේකර යන ඇමැතිවරුන්ට දැනුම් දුන්නේය.


එස්බීට වැරදිලා


එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා දේශපාලන කරළියේ පුවත් මවන්නකු බව ප්‍රසිද්ධ කරුණකි. ඔහු ආණ්ඩුවේ සිටියත් විපක්ෂයේ සිටියත් පුවත් මැවීමට දක්ෂයෙකි. ගිය සතියේ ඔහු මහනුවර ගැටඹේ රාජමහා විහාරයට ගොස් විහාරාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදුටුවේ උන්වහන්සේ ගේ ජන්ම දිනය එදිනට යෙදී තිබූ බැවින් උන් වහන්සේට දීර්ඝායුෂ පැතීම වෙනුවෙනි. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වෙනුවෙන් උන්වහන්සේට සුබ පැතුම් පිරිනමන්නට ගිය එස්.බී. වැටුණේ අලි අමාරුවකට. බැහැදකින්ට පැමිණි එස්.බී. දුටු ගැටඹේ පන්සලේ නායක හාමුදුරුවන් ආණ්ඩුවේ වැරදි පෙළක් කියාගෙන ගියේ දැඩි විවේචන ද එල්ල කරමිනි. ඊට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිප නායකයන් උන්වහන්සේ බැහැ දකින්නට ගිය අවස්ථාවේ ද උන්වහන්සේගෙන් මෙවැනිම චෝදනා පත්‍රයක් ඉදිරිපත් වූ බව වාර්තා විය. හාමුදුරුවන්ගෙන් එල්ල වූ විවේචනවලට එස්.බී ද උත්තර දුන්නේ ආණ්ඩුව බේරා ගැනීමේ අපේක්ෂාවෙන් වුවද එස්.බී. ගේ ප්‍රකාශවලින් ද ඇමැතිවරුන් කිහිප දෙනකුගේ ක්‍රියාකලාපය විවේචනයට ලක්විය. ඒ මහාචාර්ය ජී.එල්. පිරීස් සහ එස්.එම්. චන්ද්‍රසේන යන ඇමැතිවරුන් දෙදෙනාය.


එස්.බීට ආණ්ඩුවේ පසුපෙළින් ආ විරෝධය


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගිය අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලා අංක 1 දී රැස්වූයේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි. සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව එස්.බී. සම්බන්ධ මාතෘකාව මතුවිය. එය මතු කළේ ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයාය. ඔහු කීවේ ආණ්ඩුවේ ඇතුළේ ඉඳගෙන පොදුජන පෙරමුණ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා විවේචනය කිරීමට ඉඩදිය නොහැකි බවය. එස්.බී. කර ඇත්තේ බරපතළ වරදක් බව කැටගොඩ කියද්දී පසුපෙළ මන්ත්‍රීවරුන්ගෙන්ද ඊට තල්ලුවක් ලැබිණි. එදින අණ්ඩු පක්ෂ රැස්වීමට එස්.බී. පැමිණ සිටියේ නැත. එස්.බී. පමණක් නොව විජයදාස රාජපක්ෂ, උදය ගම්මන්පිල, විමල් වීරවංශ යන මැති ඇමැතිවරුන් ද පැමිණ සිටියේ නැත. කැටගොඩ කීවේ මේ විදියට ආණ්ඩුවේ ඉඳගෙන ආණ්ඩුව විවේචනය කරන්නට ඉඩදිය නොහැකි බවය. ආණ්ඩුව හදාගන්න ඕනෑ කියලා කියන අය කතා කරන්න ඕනැ තැනට එන්නෙ නෑ. කැමරා ඉස්සරහට ගිහින් කතා කරනවා. ආණ්ඩුව හදාගන්න ඕනෑ නම් කතා කරන්න එන්න ඕනෑ මෙතැනට යැයි පසුපෙළ මන්ත්‍රීවරු කියන්නට වූහ.


ජී.එල්. මෛත්‍රීට කී රහස


පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ගිය සතියෙත් දින දෙකක් විවාදය පැවැත්විණි. ගිය අඟහරුවාදා විවාදයට එක්වෙමින් මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා කොමිෂන් සභා වාර්තාව ගැන විමර්ශනාත්මක විග්‍රහයක යෙදුනේ එහි අඩංගු කරුණු කාරණාද ඉදිරිපත් කරමිනි. ඔහු කීවේ ප්‍රහාරයට වගකිව යුතු කුමන තරාතිරමක අයකු වෙනුවෙන් හෝ ආණ්ඩුව පෙනී නොසිටින බවය. ඔහු කීවේ නඩු පැවරීමේ කටයුත්ත ආණ්ඩුවේ කටයුත්තක් නොව නීතිපතිවරයාගේ කාර්ය භාරයක් බවය. ජී.එල්. විවාදයට සහභාගි වී පිටව යන්නට පාර්ලිමේන්තුවේ පහත මාලයට එද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජ්‍ය ඇමැති රොෂාන් රණසිංහ යන මහත්වරු ඔවුන්ගේ වාහන එන තෙක් කතාබහ කරමින් එහි රැඳී සිටියහ. ඡන්ද කාලයේ වේදිකාවල හැප්පුණු මෛත්‍රී රොෂාන් දෙදෙනා එකට කතාබහ කරමින් සිටිනු දුටු ජී.එල්. එතනට ගොස් දෙදෙනා සමගම හිනාවෙමින් පොඩි පහේ විහිළුවක්ද කළේය. ‘‘දැන් හරි කුළුපග මිත්‍රයෝ නේද? ජී.එල්. කියද්දී. මෛත්‍රීත් රොෂානුත් හිනාවුණා මිස කිසිවක් කියන්නට ගියේ නැත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් බද‌ාද‌ා මහනුවරට ගොස් දළද‌ා වහන්සේ වැඳ ආශිර්වාද ගෙන මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටුවේය. දළද‌ා වහන්සේ වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා මුලින්ම බැහැදුටුවේ වරකාගොඩ ඤාණරතන අස්ගිරි මහනාහිමියන්ය. ඒ දළද‌ා මාලිගා පරිශ්‍රයේ පිහිටි නිල ආරාමයේ දීය. අනතුරුව මල්වතු මහා විහාරයට ගිය ජනාධිපතිවරයා තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහානාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.


මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ද බැහැදුටු ජනාධිපතිවරයා අනතුරුව ගියේ ගැටඹේ පන්සලටය. ඒ ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දකින්නටය. ගැටඹේ නාහිමියන්ගේ 90 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ ද ඉකුත් සතියේය. ජනාධිපතිවරයා එහි ගියේ උන්වහන්සේගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේට සුබපැතීමේ අපේක්ෂාවෙනි. 90 වැනි ජන්ම දිනය වෙනුවෙන් සම්පාදනය කළ ‘යතිවර හදවත විනිවිද දුටිමි’ කෘතිය ද නාහිමියන් විසින් ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබීය. ආණ්ඩුවේ ඇතැම් කටයුතු ගැන ගැටඹේ නාහිමියන් සිටින්නේ පැහැදීමකින් නොවේ. උන්වහන්සේ පසුගියද‌ා කළ ප්‍රකාශවලින් ද ඒ බව පැහැදිලිය. ජනාධිපතිවරයාට පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළ නාහිමියෝ ජනාධිපතිවරයා සමඟ බොහෝ වෙලාවක් කතාබහක ද නිරත වූහ. පැයක් පමණ ඇදී ගිය මේ හමුවට ජනාධිපතිවරයාත්, ගැටඹේ නාහිමියනුත් හැරෙන්නට වෙනත් කිසිවෙක් සහභාගි නොවූහ. මාධ්‍යයට ද විවෘත නොවූ මේ හමුවේ දී සාකච්ඡා වූයේ කිනම් කාරණා ගැන ද යන්න ද හෙළිදරව් නොවීය.


මේ අතර ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්ද‌ා පාර්ලිමේන්තුවට පැමිණියේ ආරක්ෂක අමාත්‍යාංශයෙ උපදේශක කාරක සභාවට සහභාගි වීම වෙනුවෙනි. ජනාධිපතිවරයා කලකින් පැමිණි නිසා උපදේශක කාරක සභාවේ නැති මැති ඇමැතිවරු ද එම රැස්වීමට සහභාගි වී සිටියහ.


සහන මල්ලත් අරන් බන්දුල රූපවාහිනියට යයි.


බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ සහන මල්ල මේ දවස්වල දේශපාලන කරළියේ දැඩි කතාබහට ලක්වූවකි. විපක්ෂය එය විවේචනය කරන්නේ බන්දුලගේ ඇතැම් ප්‍රකාශ ද උපුටා දක්වමිනි. ඒවට පිළිතුරු දෙන්නට බන්දුල ගිය සතියේ ජාතික රූපවාහිනියේ දේශපාලන සංවාද වැඩසටහනකට ද ගියේය. ඒ සහන මල්ල ද රැගෙනය. ඔහු එම මල්ලෙන් බඩු මලු එකින් එක එළියට ගෙන එහි ඇති වාසි ගැන පැහැදිලි කරන්නට විය.


පාස්කු ප්‍රහාරයෙන් මියගිය ළමුන්


පාස්කු ඉරිද‌ා ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනුණු ගිය සතියේ නවක මන්ත්‍රීවරයකු ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද විවාදයට එක්විය. ප්‍රහාරයෙන් මියගිය අය අතර ළමයි 68 දෙනෙක් වූහ. ප්‍රමිත ඒ ළමයින්ගේ නම් 68 ත් ඔවුන්ගේ වයසත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ‘මේ ප්‍රහාරය එල්ල කරපු සහරාන් ගැන හැමෝම කතා කළා. හැබැයි මේ ප්‍රහාරයෙන් මැරුණු ළමයින් ගැන කවුරුවත් කතා කළේ නැහැ’ යැයි කියමිනි.

 


 

විපක්ෂයේ උද්ඝෝෂණයට පාර කැපුණු හැටි



 

ආණ්ඩුවේ හවුල් පක්ෂ ඩාර්ලි පාරේ රැස්වෙයි.


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක් පසුගිය කාලයේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූයේ පවතින දේශපාලන කාරණා සහ ඔවුන්ට ඇති ගැටලු ගැන සාකච්ඡා කිරීම වෙනුවෙනි. ඒ අනුව මෙම පක්ෂ ගිය බ්‍රහස්පතින්ද‌ා රාත්‍රියේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී රැස්විය. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක යන අය ශ්‍රීලනිපය වෙනුවෙන් ඊට සහභාගි වූ අතර සෙසු පක්ෂ නියෝජනය කරමින් අතුරලියේ රතන හිමි ද, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, විමල් වීරවංශ, ටිරාන් අලස්, අතාවුල්ලා, ගෙවිඳු කුමාරතුංග ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. එහිදී සාකච්ඡාවට ගැනුණු මාතෘකා දෙකකි. එකක් පළාත් සභා ඡන්දයයි. දෙවැන්න මැයි දිනයයි. පළාත් සභා ඡන්දය කොට්ඨාස හා අනුපාත මිශ්‍ර ක්‍රමයට පැවැත්වීමේ දී මතුව ඇති ගැටලු ගැන එහිදී දීර්ඝ වශයෙන් කතාබහට ලක්විය. සියයට 70ක් කොට්ඨාස ක්‍රමයට ද සියයට 30 ක් අනුපාත ක්‍රමයට ද තෝරා ගන්නේ නම් බෝනස් ආසන දිස්ත්‍රික්කයට දෙක බැගින් ලබා දීමට කර ඇති යෝජනාව අනවශ්‍ය බව ඔවුන්ගේ අදහස විය. සියයට 60ක් කොට්ඨාස අනුව ද සියයට 40 ක් අනුපාත ක්‍රමයට ද තෝරා ගන්නේ නම් බෝනස් ආසන වැඩි කිරීම ප්‍රශ්නයක් නොවන බව ඔවුහු කියා සිටියහ.


මේ අතර කතාබහට ලක්වූවේ එක් ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් කිරීමට කර ඇති යෝජනාව ගැනය. එය ද අනවශ්‍ය ප්‍රශ්නයක් බැවින් එම යෝජනාවට විරුද්ධ වීමට සාකච්ඡාවට සහභාගි වූ පක්ෂ නායකයෝ සියලු දෙනා තීරණය කළහ. මේ තත්ත්වය තුළ පැහැදිළිව පෙනෙන්නට ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම අවම වශයෙන් ලබන වසර මුල පමණ දක්වා කල්යනු ඇති බවය.


පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවට ලක්වූ ඊළඟ කාරණය වූයේ මැයි දිනයයි. මැයි දිනය පොදුජන සන්ධානය විදියට පවත්වනවා ද එසේ නැති නම් වෙන වෙනම පවත්වනවා ද යන්න ගැන පක්ෂ නායකයෝ දීර්ඝ වශයෙන් කරුණු දැක්වූහ. ඩිව් ගුණසේකරත්, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහත් මහාචාර්ය තිස්ස විතාරණත් කීවේ කොමියුනිස්ට් පක්ෂයත් ලංකා සම සමාජ පක්ෂයත් කොහොමත් මැයි දිනය වෙනම පවත්වන බවය. වෙනද‌ා ද එසේ වෙනම පවත්වන බව කී ඔවුහු ජනතාවට දැනෙන ප්‍රශ්න රැසක් තිබෙන නිසා ඔවුන් මෙවර ද වෙනම මැයි දිනය පවත්වන බව කියා සිටියහ. කෙසේ හෝ මැයි දිනය සම්බන්ධයෙන් හා පළාත් සභා මැතිවරණය පවත්වන ආකාරය සම්බන්ධයෙන් ලබන සඳුද‌ා (19) උදේ 10.30 ට අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායකයන්ගේ රැස්වීමේ දී අවසන් තීරණයක් ගැනීමට පක්ෂ නායකයෝ තීරණය කළහ.


විපක්ෂයේ පාර්ලිමේන්තු උද්ඝෝෂණය


රංජන්ගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් පසුගිය සතියේදී දැඩි ආන්දෝලනයක් ඇතිවුණේය. ඒ පිළිබඳව සුපුරුදු පරිදි විපක්ෂ නායක සජිත් පාර්ලිමේන්තුවේදී හඩ අවදි කළේය. මේ අතර මහින්දානන්ද අලු‍ත්ගමගේ ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී චෝදනා කර තිබුණේ රංජන් ජිනීවා රැගෙන යාමට සමගි ජනබලවේගයේ සූදානමක් ඇති බවය.


‘‘ඔබතුමා රංජන් වෙනුවෙන් අසීමිතව පෙනී සිටිනවා. කොන්දේසි විරහිතව පෙනී ඉන්න කියලා ඔබතුමා තමයි නිතරම කීවේ. එහෙම තිබියදී මහින්දානන්ද ඇමැතිවරයා මේ වගේ බොරු කියන්නේ කොහොමද’’ මන්ත්‍රීවරු සජිත්ගෙන් විමසූහ.


‘‘මේ අයට අවශ්‍ය වෙලා තියෙන්නේ රට හදන්න නෙමෙයි. බොරු කියලා ජනතාව රවටන්නයි’’සජිත් කීය.
‘‘රංජන්ට නාම යෝජනාව දෙනවට එක්සත් ජාතික පක්ෂය විරුද්ධ වුණ වෙලාවේ රංජන් වෙනුවෙන් පෙනී සිටියේ ඔබතුමා බව ඒ අය දන්නේ නැතිව ඇති’ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කීය.


‘‘රංජන් වෙනුවෙන් කතා කළේ කවුද කියලා හැන්සාඩ් අරගෙන බලන්න රංජන් අඟුණකොලපැලැස්සට ගිහින් දැම්මාම ඔහුගේ ජීවිතය අනතුරේ බව එළියට ඇවිත් කිව්වේ ඔබතුමා බව අපි කියන්න ඕනෑ’’ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා කීය.


‘‘ගෲප් එක තිබුණ හැම දවසකම ඔබතුමා රංජන් ගැන කතා කළානේ. මටත් ගිහින් පුළුවන් හැම වෙලාවකම බලන්න කියලා ඔබතුමා උපදෙස් දුන්නානේ’’ දිලිප් වෙදආරච්චි අනෙක් මන්ත්‍රීවරුන්ගේ ද අවධානය යොමු කළේ රංජන්ගේ මන්ත්‍රී ධුරය ආහෝසි කිරීමේ ක්‍රමවේදය වැරදි බව කතානායකවරයාට පෙන්වා දුන්නේ සජිත් බව සිහිපත් කරමිනි.
‘‘බොරුව වෙනුවෙන් උපන් ආණ්ඩුවකින් ඇත්තක් බලාපොරොත්තු වෙන්න බෑ.”‍ අශෝක් අබේසිංහ කීය.
පසුගිය දිනවල මන්ත්‍රීවරුන්ට විවිධ පාර්ශවලින් හිරිහැර එල්ලවන විට ඒ වෙනුවෙන් සජිත් පෙනී සිටියේ ය. අශෝක අබේසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවන විට සජිත් ඔහු රැගෙන ගියේ තමන්ගේ වාහනයේය. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාත් සඳුදා දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවීමක් කරන විට ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක කාර්යාලයට කැදවාගෙන සාකච්ඡා කර තමන්ගේ මෝටර් රථයෙන්ම කැඳවාගෙන ගියේද සජිත්මය.


මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න ඇතුළු මන්ත්‍රීවරු එහි වූහ.


‘‘මාව හිරේ දැම්මම දිනපතා කතා කරලා, මාව බලන්න ආපු නායකයෙක් තමයි සජිත් ප්‍රේමදාස කියන්නේ. මං කලින් හිරේ ගිහින් තියෙනවා. හැබැයි මම ගැන මේ විදියට බලපු වෙන නායකයෙක් නෑ’’ රාජිත පැවසුවේය. ‘‘පුදුම විදියට තමන්ගේ සහෝදර මන්ත්‍රීවරුන් වෙනුවෙන් මෙතුමා පෙනී ඉන්නවා’’ රංජිත් මද්දුමබණ්ඩාර කීවේය.


ජංගම සේවය


විපක්ෂ නායක ජංගම සේවය පසුගිය සතියේදී පැවැත්වුණේ වැලිගම ආසනය කේන්ද්‍ර කරගෙනය. එය සංවිධානය කර තිබුණේ දින හතරක් ඇතුළතය.


‘‘නායකතුමා, හදිසියේම තමයි මේක සංවිධානය කළේ. මේ ජනතාව අපිත් එක්කම ඉන්න අය’’ රොහාන් කීය.
‘‘රොහාන් ප්‍රශ්න තිබෙන ජනතාව එකතු කරලා තියෙනවා. අපි මේ අයගේ ගැටලු‍වලට විසඳුම් ලබාදෙන්න කියලා රජයට බල කරනවා. ඔබත්, ඔබේ ආසනයේ ජනතාවත් මට අමතක වෙන්නේ නෑ’’ සජිත් කීවේ තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබාදිය යුතු බවට වන පළමු ලිපිය යොමු කළේ රොහාන් බව සිහිපත් කරමින්ය.


පාර්ලිමේන්තුවේ ගෝරි


රංජන් රාමනායක මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිවත්, කතානායකවරයාගේ පක්ෂග්‍රාහී ක්‍රියාකාරීත්වයට එරෙහිවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විරෝධතා පැවැත්වීමට තීරණය කළේ පසුගිය සතියේදී පැවති පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීය. ඒ අනුව මේ සතියේදී පාර්ලිමේන්තුව තුළ විරෝධතාවයක් පැවැත්වීමට තීරණය විය.


ඒ අනුව බදාදා සවස හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණියේය. ඒ සූක්ෂම ආකාරයට බැනර් විසි පහක් සහ කළු පටි තොගයක්ද රැගෙනය. ඔහු ඒවා තමන්ට විශ්වාසදායක අයෙකුට දුන්නේ මේ සියල්ල ප්‍රවේශම් සහගතව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළ සඟවා තබන ලෙස දැනුම් දෙමිනි.


බ්‍රහස්පතින්දා උදෑසනම පාර්ලිමේන්තුවට පැමිණි ඔහු ඒවා තමන්ගේ අතට ගත්තේය. වෙනදාට මෙවැනි මෙහෙයුම් සඳහා මනුෂ නානායක්කාර, නලින් බණ්ඩාර සහභාගී වන නමුත් ඔවුන් දෙදෙනා පාර්ලිමේන්තුවට පැමිණියේ නැති නිසා මෙහෙයුමට සම්බන්ධවීමට නොහැකිවී තිබුණි.


බ්‍රහස්පතින්දා උදෑසන මේ විරෝධතා පුවරු පාර්ලිමේන්තුවට ගෙන ගියේ හරින් සහ වඩුවෙල් සුරේෂ්ය.
සජිත් රංජන් ගැන පාර්ලිමේන්තුවේ දී හඬ නගන විට විනාඩියක් යන්නට මත්තෙන් බැනර් හා කළු පටි සියලු‍ම මන්ත්‍රීවරුන්ගේ අතට පත් කර තිබුණි.


‘‘කතානායකතුමනි, රංජන් සම්බන්ධයෙන් ඔබේ තීන්දුව වැරදියි. මේක කුමන්ත්‍රණයක්. ජනතා පරමාධිපත්‍ය එක්ක සෙල්ලම් කරන්න එපා. සජිත් පාර්ලිමේන්තුවේදී කීවේය.


මැයි රැළියට සූදානම්


සමගි ජන බලවේගය පවත්වන පළමු මැයි දින රැළිය මෙවර පැවැත්වීමට නියමිතය. සජිත් එහි සංවිධාන කටයුතු සඳහා කමිටුවක්ද පත් කළේය. ඒ රංජිත්, තිස්ස, හරින්, මරික්කාර් ඇතුළු පිරිසක් ය. මැයි දිනය හා ප්‍රේමදාස ගුණ සමරුව ද එදින පැවැත්වීමට නියමිතය.


මැයි දිනයේ සංවිධාන කටයුතු ගැන අවධානය යොමු කළ සජිත් ජනතාවගේ ජීවන වියදම ඉහළ යාම ගැනත් අවධානය යොමු කළේය.

එජාප නියෝජ්‍ය නායක නුවරඑළියේදී පාක්ෂිකයන් හමුවෙයි


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාක්ෂිකයන් හමුවිය. නුවරඑළිය පුස්තකාල ශාලාවේ පැවැති මෙම අවස්ථාවට බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි පිරිසක් සහභාගි වී සිටියහ.


ගිය සෙනසුරාදා උදේ පාන්දරින්ම නුවරඑළියට ගිය රුවන් විජයවර්ධන මහතා පළමුවෙන්ම ගියේ හිටපු ඇමැති නවීන් දිසානායක මහතාගේ නිවසටය. ‘‘රුවන් මල්ලි’’ යනුවෙන් අමතමින් දැඩි සෙනෙහසින් රුවන් විජයවර්ධන මහතා පිළිගත් නවීන් දිසානායක මහතා ආගිය තොරතුරු කතාබහ කළේය.


නවීන් දිසානායක මහතාගේ නිවසින් උදෑසන ආහාරය ගත් රුවන් විජයවර්ධන මහතා නුවරඑළිය පුස්තකාල ශාලාවේ පැවැති දිස්ත්‍රික් නි​යෝජිත හමුවට සහභාගි විය. නවීන් දිසානායක හා නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න මහත්වරුන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි. මෙහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ පවතින රජය පෙරළා දමා. ඩී.එස්.,ඩඩ්ලි, ජේ.ආර්., ගාමිණී දිසානායක යුග මෙහෙවර යළි ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා නවීන් දිසානායක මහතා සමග එක්වී කටයුතු කරන බවත්ය.


නවීන් දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කර සිටියේ රුවන් විජයවර්ධන මහතාගේ පියා හා තම පියා දැඩි මිත්‍රත්වයෙන් කටයුතු කළ අතර ඒ ආකාරයට තමන් හා රුවන් විජයවර්ධන මහතා අතර සුසංයෝගය පක්ෂයේ ඉදිරි ගමන සාර්ථක වීමට හේතු වන බවයි.


එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය පසුගිය සඳුදා සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්විය. එහිදී හරිත ප්‍රඥප්තියක් සැකසීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා ශාඛාව ඉදිරිපිට පැවැති විරෝධතාවට රුවන් විජයවර්ධන මහතා ද පෝස්ටරයක් රැගෙන සහභාගි විය. ලෝක උරුමයක් ලෙසට හඳුන්වන සිංහරාජ වනාන්තරයේ වැව් දෙකක් පිහිටුවීමට රජය ගන්නා ලද තීරණය වළක්වන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතා ව්‍යාපාරය රුවන් විජයවර්ධන මහතාද සහභාගි විය.


මෙම ඉල්ලීම ඇතුළත් කර රුවන් විජයවර්ධන මහතාගේ අත්සනින් යුතු ලිපියක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාට බාරදීම සඳහා එම කාර්යාලයට බාරදීම ද සිදුවිය.

 

-ගජබා-

 
 



අදහස් (0)

කට වැරදුණු එස්.බීට පොහොට්ටුවෙනුත් විරෝධය

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 177 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site