IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එකමුතුව ඡන්දයට මුහුණ දෙන්න එජාපය ලෑස්තියි

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නිල චාරිකාව සඳහා ඉකුත් සඳුදා මාලදිවයින බලා පිටත් වූහ. එහිදී එරට නායකයින් සමඟ ද්වීපාර්ශ්වික සාකච්ඡා සාර්ථකව නිම කළ අගැතිවරයාට අනතුරුව එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ කතාවක් කිරීමට ද ආරාධනා ලැබිණ. වජිර අබේවර්ධන, රවුෆ් හකීම්, දයා ගමගේ හා අනෝමා ගමගේ ඇතුළු මැති ඇමැතිවරුද නිල දූත පිරිසට අයත් වූහ.


ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළව ඉදිරිපත්ව තිබූ පෙත්සමේ තීන්දුව ලැබුණේද ඒ ඡන්දය ඔක්තෝම්බර් 11 වැනිදාට නියම වූ බව ද අගමැතිවරයාට අරලියගහ මැදුරෙන් දැන්වූයේ මාලදිවයිනේ සංචාරය අතරය. එහිදී ඇමැති වජිර සමඟ මෙන්ම සෙසු ඇමැතිවරුන් සමඟ ද කතා කළ අගමැතිවරයා දුරකථන මගින් බෙන්තර-ඇල්පිටිය එජාප සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක සමඟ ද ඊට අදාළව කතා කළේය.


“මේ ඡන්දය ඉතා වැදගත් එකක්. අප පක්ෂය ලෙස එකමුතුවෙලා ඊට මුහුණ දෙමු. මේක අපට ජය ගන්න පුළුවනි. මා ලංකාවට ආ විගස පක්ෂයේ සියලුදෙනා හමුවෙලා කතා කර වැඩ පිළිවෙළ හදමු. එතකම් ගයන්ත අවශ්‍ය කරන මූලික කටයුතු ටික කරන්න. කබීර්, අකිල, කිරිඇල්ල වගේ අය එක්ක කතා කරන්න.” අගමැතිවරයා ගයන්තට උපදෙස් දුන්නේය.
බදාදා සියරට පැමිණි අගමැතිවරයා කෙළින්ම පාර්ලිමේන්තුවට ගියේ අගමැතිගෙන් ඍජු ප්‍රශ්න ඇසීමේ අවස්ථාවට එක්වීමටය.


“මේ වසර අග ජනාධිපතිවරණය නිසා අය-වැය ගේන්නේ නැහැ. ඒ කාලයට පරිපූරක ඇස්තමේන්තු ගේනවා”, අගමැති කීවේ ජවිපෙ බිමල් රත්නායක විමසූ පැනයට පිළිතුරු ලෙසය.
බ්‍රහස්පතින්දා උදයේ ජපාන තානාපති අරලිය ගහ මැදුරට පැමිණි අතර ශ්‍රී ලංකාව ජපානය හා ඉන්දියාව එක්ව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දියුණු කළ හැකි අයුරු ගැන එහිදී අවධානය යොමු කෙරිණි.


“රාජපක්ෂ ආණ්ඩුව අපේ හමුදා මූලස්ථානය තිබූ කොළඹ හදවත වගේ ඉඩම හා තව අක්කර 15,000 ක් පිටරටට සින්නක්කරම දුන්නා. ඒත් අප කිසිදා ඒක කරන්නේ නැහැ. පෝර්ට් සිටි එකයි, හම්බන්තොට වරායයි වගේ ඒකාබද්ධ ව්‍යාපෘතිය ලෙස ලංකාවටත් අයිතිය ලැබෙන ලෙස බදු ක්‍රමයට විතරයි අප යන්නේ”, අගමැතිවරයා තානාපතිවරයාට පැහැදිළි කළේය.


අනතුරුව පැමිණ සිටි මැති-ඇමැතිවරුන් සමඟ ද අගමැතිවරයා කතා බහ කළේය.


“අප දැන් වාද-භේද පැත්තක තියා ඇල්පිටිය ඡන්දය දිනන්න කැප වෙන්න ඕනෑ. ඒක ගහලා ගියොත් ජනාධිපතිවරණයටත් ඒක නරක විදියට බල පානවා”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ සියලු දෙනා අනුමත කළහ.


“ඇල්පිටිය ප්‍රතිඵලය ආණ්ඩුවට ඉතා වැදගත්. ඒත් එජාපයට පොහොට්ටුවට ශ්‍රීලනිපයට හෝ ජවිපෙට හෝ විශේෂයෙන් වාසි තැනක මේ වගේ ප්‍රාදේශීය ඡන්දයක් තිබුණම වාසි පැත්තට වාසි වේවි. ඒක ජනාධිපතිවරණයට සෘජු බලපෑම වෙනවා කියා හිතන්න නරකයි. ඒත් ඇල්පිටිය එකමුතුවෙලා ජය ගැනීම එජාපයේ සියලුදෙනාගේ වගකීමයි.
“ආණ්ඩුව තියාගෙන ප්‍රාදේශීය සභාවක් දිනා ගන්න බැරිනම් මේක ආණ්ඩුවක්ද?” උතුරු මැද හිටපු එජාප මහ ඇමැති ජී.ඩී. මහින්දසෝම මහතාගේ පුත්‍රයා වන අනුරාධපුර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී චන්දිම ගමගේ කීවිට අගමැති ඇතුළු සියලුදෙනා එය අනුමත කළේ සිනාසෙමිනි.


“ශ්‍රීලනිප සංවත්සරයේදී ජනාධිපතිතුමා දෙපැත්තටම වනල අමුතු කතාවක් කළේ.” චමින්ද විජේසිරි කීවේය.


“ඊළඟ ජනපතිට බලය නැහැ කියා එතුමා කිව්වේ ගෝඨාභය ඉලක්ක කර වෙන්න පුළුවනි. මෛත්‍රීට ඒ තනතුරට යළිත් පත් වෙන්න බැරිකමට හිතේ දුකට කියපු කිවියක්ය කියලත් සමහරුන් අර්ථ දක්වනවා.” එදා සමුළුවේ පරස්පර කතා ඒ කථිකයෝ කළේ. සමහරුන් ජනාධිපතිතුමාගේ කතාවට පස්සෙ දොස් කියලත් තිබෙනවා. ශ්‍රීලනිපය දෙකඩවෙලා පොහොට්ටුව හැදුනා. දැන් ඉතිරි ශ්‍රීලනිපයත් යළි දෙකඩ වෙන එක ස්ථිරයි.” චන්දිම ගමගේ කීවිට සියලුදෙනා එය අනුමත කළහ.


“එජාප පිරිසක් අපේක්ෂක ප්‍රශ්නය පාරට ගෙනිච්චා. සාකච්ඡාව සම්මුතිය හොඳම විසඳුමයි. නැතිනම් කෘත්‍යාධිකාරිය හා පාර්ලිමේන්තු කණ්ඩායමේ රැස්වීම තියා ඡන්දයකට යාම හොඳම ක්‍රමයයි. එතකොට දිනන කෙනාට චාන්ස් එක යනවා.


“ඇල්පිටියේ අභියෝගය මුළින්ම බාරගන්න කෙනාට ජනතාවගෙන් ලොකු ප්‍රසාදයක් ලැබේවි.”, ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“ ඇල්පිටිය හා ජනපතිවරණ මැද සමහරුන් එජාප මන්ත්‍රීලට හා ඒ ගෙවල්වලට කතා කර බලපෑම් කරන බවට නායකතුමාට පැමිණිලි ලැබී තිබෙනවා.”, එජාප නීති උපදේශකයෙක් කීවේ එවැන්නකි.


“සජිත් ඇතුළු පිරිස රටපුරා කරන රැස්වීම් මාලාව පක්ෂයට වාසියි. නිදාගෙන හිටපු එජාප අය නැගිටට්ටවලා ගන්න ඒ රැස්වීම් සමත් වුණා.”, හේෂා විතානගේ කීය.
“කැලණි විහාරේ කියන්නෙ අගමැතිතුමාගේ පරම්පරාවට සම්බන්ධ විහාරයයි. එකේ දායක සභාවෙන් ඔබතුමා ඉවත් කළා කියන කතාව මොකද්ද?” මහාචාර්ය ආශු මාරසිංහ විමසුවේ අගමැතිගෙනි.


“එහෙම දෙයක් මා දන්නෙත් නැහැ. මට දන්වලත් නැහැ. මම නොවැම්බර්වල කොහොමත් ඉවත් වෙන්නයි හිටියේ. මේ වැඩ නිසා දායක සභාවත් බෙදිලා. පෙරහැරත් අනතුරට ලක්වෙනවා. මට කනගාටුව ඒකයි.”, අගමැති කීවේය.


“ඔය සමහරුන්ට විරුද්ධව විශාල චෝදනා තිබෙනවලු. ඒවා විභාග කර නිදොස්වීම හොඳ බවයි, අගමැතිතුමාගේ මතය වෙන්නේ, චමින්ද විජේසිරි කීය.


“එජාපෙ අපේක්ෂකත්ව ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගැනීම අත්‍යවශ්‍යයි. අගමැතිතුමා හා සජිත් ඇමැතිතුමා අතර විශ්වාසනීයත්වය තහවුරු කරන අතර මැදි සාකච්ඡාව අවශ්‍යයි. ඒකට දේශපාලන පිල්වල නැති මධ්‍යස්ථ අය සම්බන්ධ කර ගැනීම වටිනවා.”


“දෙදෙනා අතර එහෙම ඇතිවෙන විශ්වාසනීයත්වය කරු-රවී-ෆොන්සේකා-නවීන්-මංගල-කබීර්-මද්දුම බණ්ඩාර වගේ ප්‍රබලයන් අතරත් විසුරුවා හරින වැඩපිළිවෙළකට ඉක්මණින් යන්න ඕනෑ.”, අගමැති උපදේශක දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහයට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළ විය.


“වීරවංශ දිගට-හරහට ඇමෙරිකාවට ගහනවා. ඇමෙරිකන් අයට මේ රටේ ඕනෑ පිස්සුවක් නටන්න පුළුවන් බවට ටී.වී එකෙන් බෙරිහන් දුන්නා. වීරවංශ කියන කතාව ඇත්තයි. ඇ​ෙමරිකානු පුරවැසියන්ට මේ රටේ ජනාධිපතිවරණයට ඉල්ලන්නත් පුළුවනි. ගෝඨාභයට වෙන්න ඕනෑ වීරවංශ මේ බැට දෙන්නේ.”, චමින්ද විජේසිරි කීවේ කාගේත් සිනා මැදය.
“ගෝඨාභය ආරක්ෂක ලේකම් විදියට ඒ කාලේ කරපු වැඩවල හැටියට ජනාධිපති වුණාම කරන වැඩ ගැන හිතා ගන්නත් බැහැ කියා මහින්ද මහත්තයම ළඟදි හොඳ කතාවක් කිව්වා.”


“ආරක්ෂක ලේකම්වෙලා ගිනි තියපුව මරපුව අතුරුදහන් කරපුවා, ජනතා මුදල් අවභාවිතා කරපු හැටි මතක්වෙලා. මෙයා ජනාධිපති වුණොත් ඒවා කොහොම කරාවිද කියා හිතල මහින්ද මහත්තයා එහෙම කිව්වා වෙන්න ඕනෑ” චන්දිම ගමගේ කීවේ කාගේත් සිනා මැදය.


“බෝරා සමුළුව ලංකාවේ පැවැත්වීම රටේ ආර්ථිකයට ඩොලර් දස ලක්ෂ 50ක ප්‍රතිලාභ ලැබෙන හා අපේ රටේ ආරක්ෂාව හා සංචාරක ව්‍යාපාරය ගැන ලෝකයටම සහතිකය දීපු වැදගත් අවස්ථාවයි. සමහරුන් මේකට විරුද්ධවත් උද්ඝෝෂණ කරන පහත් තත්ත්වයට යන්න හැදුවා. උසාවියට පිං සිද්ද වෙන්න ඒවා වැළකුණා”, දිනේෂ් වීරක්කොඩි කීවිට සියලු දෙනාම එය අනුමත කළහ.


ඉකුත් බ්‍රහස්පතින්දා සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය වැඩ සටහන් ඇරැඹුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල මැද්දේගම පුරාණ රජමහා විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තබමිනි. අනතුරුව ‘සහිරුගම’-264 වන උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරුන් ඇසුවේ ‘ඔබතුමා මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා පුදුම වැඩ කොටසක්නේ ඉටු කරන්නේ’ කියාය. සජිත් කීවේ ‘මේ මුදල් තියෙන්නේ ගිණුම්වල තියාගෙන, රුපියලේ අගය පහළ වැටුණම දියවෙලා යන්න නොවෙයි. සම්බුද්ධ ශාසනය දියුණු කිරීමටත්, අනෙකුත් ආගමික සිද්ධස්ථාන නගා සිටුවීමටයි. ඊට ජනාධිපතිතුමාගෙත්, අගමැතිතුමාගේත් පූර්ණ ආශීර්වාදය නිරතුරුවම මට ලැබෙනවා’ කියාය. වැලිගෙපොළ, රංවල, දෙල්වලකන්ද ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ, බලංගොඩ ශ්‍රී වීරසේකර මුදලින්දාරාමයේ සිසු දහම් පාසල් ශාලා සඳහා මුල්ගල් තබා එදින වැඩසටහන් අවසන් කළේ ඇඹිලිපිටිය පල්ලේබැද්ද සංඛපාල විහාරස්ථානයේ දෙවැනි අදියර යටතේ අභිනවයෙන් ඉදිකළ දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කරමිනි. ‘වාසනා උදාගම’ සහ ‘සෙත්සිසිලගම’ 265 සහ 266 වන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීම සඳහා කළුතර බුලත්සිංහලට සජිත් සමඟ එක්ව ගියේ අමාත්‍ය අජිත් පී පෙරේරා සහ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමය. පාලිත එහිදී දුක් ගැනවිල්ලක් මතු කරමින් කීවේ ‘ඔබතුමා ගස්යට ඉගෙනුම ලබන දරුවන්ට දහම් පාසල් ගොඩනැගිලි හදලා දෙනවා. මටත් දහම් පාසල් ගොඩනැගිල්ලක් හදලා දෙන්න බැරිද’ කියාය. ‘පාලිත ඔයා ජනතාව වෙනුවෙන් දුක් විඳින මනුස්සයෙක්නේ. මම ඔයාගේ ඉල්ලීම අනිවාර්යයෙන්ම ඉටු කරනවා’ සජිත්ගේ පිළිතුර විය.


බේරුවල සපුගොඩ පුරාණ ශ්‍රී මහා විහාරයේ ශ්‍රී ධීරානන්ද දහම් පාසල විවෘත කිරීමෙන් අනතුරුව සජිත් අතින් මුල්ගල් තැබුණේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙන් විහාරස්ථානයේ දහම් පාසල් ශාලාව හා දෙමහල් ධර්ම මන්දිරයේ ඉදිකිරීම් සඳහාය. අම්පාර දිස්ත්‍රික්කයේ ‘අල්මිනා ග්‍රාමම්’ සහ ‘ ශ්‍රී බුද්ධ රක්ඛිත නාහිමිගම’ 267 වන සහ 268 වන උදාගම්මාන ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය යෙදී තිබුණේ පසුදාටය. නිවාස 25කින් සමන්විත ‘අල්මිනාග්‍රාමම්’ උදා ගම්මානය විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහාම වෙන් වූවකි. “බලය බෙදීම සම්බන්ධව ඔබතුමාගේ ප්‍රතිපත්තිය මොකක්ද?’ යැයි ප්‍රශ්නයක් මතු කළේ ෆයිසාල් කාසිම් රාජ්‍ය අමාත්‍යවරයාය. “මගේ ප්‍රතිපත්තිය ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලය බෙදීමයි. ‘සුළු ජන කොටස්’ යන නාමය මම පාවිච්චි කරන්නේ නැහැ. ඒ අය හැඳින්විය යුත්තේ ‘සෙසු ජනතාව’ හැටියටයි. ‘ඉතා හොඳ ප්‍රතිපත්තියක්’ රාජ්‍ය ඇමැතිවරයාගේ අදහස විය. දීඝවාපී චෛත්‍ය ප්‍රතිසංස්කරණය සඳහා ඉතිහාසයේ වැඩිම මුදල වන රුපියල් ලක්ෂ 8,525 වෙන් කිරීම පිළිබඳව පුදුමයට පත් ශාස්ත්‍රපති මහඔය සෝභිත හිමියන් සජිත්ගේ කණට ළංව සඳහන් කළේ ‘උදාර පියෙකුගේ උදාර පුතෙක්. පියාගේ අඩිපාරේ යමින් ශාසනය ගොඩනැඟීමට ඉටු කරන සේවය අති මහත්. අපි ඒවා බලාගෙන ඉන්නේ. කවුරුත් මේ වැඩේට අත ගැහුවේ නැහැ. ඔබතුමා නම් අති විශිෂ්ටයෙක්’ කියාය. සජිත් කීවේ ‘ප්‍රේමදාසලාට තියෙන්නේ ප්‍රායෝගික බෞද්ධකමනේ’ කියාය. මඩකළපු දිස්ත්‍රික්කයේ ‘කුමරන් කුඩිඉරිප්පු’ සහ ‘කාලිකා පුරම්’ යන 269 වන සහ 270 වන උදා ගම්මාන ජනතා අයිතියට පත් කිරීමෙන් සජිත් යොමුවුණේ මාතර දිස්ත්‍රික්කයටය. මාතර දිස්ත්‍රික්කයේ සිසු දහම් සෙවන වැඩ සටහන යටතේ දහම් පාසල් ශාලා 6ක් විවෘත කිරීමේ සහ මුල්ගල් තැබීමේ එක් උත්සවයක්ද 271 වැනි උදා ගම්මානය වන ‘හස්තිරාජගම’ ජනතා අයිතියට පත් කිරීමද සිදුවුණේ සඳුදා දිනයේදීය. ‘ඔබතුමා පුදුම වැඩ කොටසක් කරන්නේ’ බුද්ධික කියද්දී සජිත් කීවේ’ ඔව් මල්ලි. මම සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය භාරගෙන මාස 8-9ක කෙටි කාලයේදී අවුරුදු 6-7ක වැඩ කරලා තියෙනවා’ කියාය. ‘ඊර්ෂ්‍යාකාරයන්ගේ විවේචන වැඩිවෙලා නේද?’ බුද්ධික අසද්දී සජිත් කීවේ ‘ඕනෑ තරම් විවේචන කරපු දෙන්. ඊර්ෂ්‍යාව පැටව් ගහපුදෙන්. මේවා මගේ ගමනට ආශිර්වාදයක්. මම බුද්ධ ශාසනය නඟා සිටුවමින්, අනිකුත් ආගම් රැක බලා ගනිමින් මගේ ගමන ශීඝ්‍රයෙන් ඉදිරියට ගෙනියනවා. ඊර්ෂ්‍යාකාරයෝ ඊර්ෂ්‍යා කර කර කාලය ගත කරපුදෙන්. මගේ ගමන මම යනවා’ කියාය.


සහශ්‍රයේ තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ දකුණු ආසියානු පාර්ලිමේන්තු සහයෝගීතාව වෙනුවෙන් වූ සාක් කථානායක සම්මේලනය පසුගිය 31 දා මාල දිවයිනේදී ආරම්භ විය.
සාක් කථානායක සම්මේලනයේ සභාපතිවරයා ලෙස එයට එක්වීමට 31 දින සන්ධ්‍යාවෙහි මාල දිවයින බලා පිටත්ව ගිය කථානායක කරු ජයසූරිය මහතා සභාපතිවරයා ලෙස සිය ප්‍රකාශය ඉදිරිපත් කළ වහාම පසුදින යළි දිවයිනට පැමිණියේය. කථානායකවරයා ආපසු ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී අගමැතිවරයාද මාලදිවයින බලා පිටත්ව ගොස් තිබුණි. කෙසේ වෙතත්, මෙම ගමන් දෙක අතර කිසිදු සම්බන්ධයක් නොවීය. නමුත් අඟහරුවාදා පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම ආරම්භයේදී මහින්ද අමරවීර මන්ත්‍රීවරයා කථානායකවරයාට කීවේ ‘අපට මාලදිවයිනෙන් ආරංචිය ලැබුණා. ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා විදියට ඉදිරිපත්වීම ස්ථිරයි කියලා. අපි මුලින්ම ඒ ගැන සුබ පතන්න කැමැතියි’ කියාය.


කෙසේ වෙතත්, එයට සිනාවකින් සංග්‍රහකළ කථානායකවරයා කීවේ ‘පුදුමෙයකට වගේ මට නම් එහෙම ආරංචියක් ලැබිලා නැහැ’ කියාය.


උතුරු කොළඹ කොටහේන දීප දුත්තාමාරාම පුරාණ තායි රජමහා විහාරයට පැමිණි විලිබල බලශක්ති ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා මෙතෙක් විහාරස්ථානයට අඩුපාඩුවක් ලෙස පැවැති උපකරණ මෙන්ම පාසල් දරුවන්ට උපකරණ ලබාදීමෙන් පසු මාධ්‍යවේදියෙක් ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව විමසීය. එහිදී ඇමැති රවි මෙසේ කීවේය. ‘ගඟ හත් ගව්වක් තියෙද්දි අමුඩ ගහන සිරිතක් අපේ පක්ෂයේ නැහැ. කථාවකුත් තියෙනවා කලින් අල්ලන මාලු ඉක්මනට කුණු වෙනවයි කියලා. අපි දිනන අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරනවා. ඒ ගැන කලබල වෙලා තියෙන්නෙ අනිත් දේශපාලන පක්ෂයි. පිස්සෝ කලබල වුණාට දොස්තර කලබල නැහැ. ඒ වගේ එක්සත් ජාතික පක්ෂය පවතින ව්‍යවස්ථාවලට අනුව අපේක්ෂකයාව තෝරා ගන්නවා. 1988දී ජනාධිපතිවරණයට ප්‍රේමදාස මහත්තයාව නම් කළේ මාස දෙකක් ඇතුළතයි. 2010 දී සරත් ෆොන්සේකා මහත්තයාත් 2016දී මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් තෝරා ගත්තෙ එහෙමයි. උදේ සෞඛ්‍ය පත්වීම් දීලයි නගර සභාවේ පැවැති රැස්වීමට ආවේ. එතකන් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අනික කල් ඇතිව දුන්නම ඒකේ අගයක් නැහැ. එතකොට අපේ තුරුම්පු ඒ අය දැන ගන්නවා. අපේ පක්ෂය විනය ගරුක පක්ෂයක්. විනය පිරිහුණොත් කොයිදේත් කඩා වැටීමට හේතුවෙනවා. මම අහලා තියෙන විදියට බුදු දහමෙත් විනයට ඉහළ තැනක් දීලා තියෙන්නෙ. ඒකයි විනය ශාසනයේ ආයුෂ කියලා තියෙන්නෙ. අපිට නායකයෙක් ඉන්නවා නම් නායකත්වයට ගරු කරලයි වැඩ කරන්න ඕනැ. එහෙම නැතුව මේච්චර කල් හිටියා අච්චරකල් හිටියා කියලා නායකයාව ඉවත් කරන්න බැහැ. නිවසක වුණත් දරු මුණුබුරෝ හිටියා කියලා තාත්තා තාත්තමයි. රවි කරුණානායක ඇමැතිවරයා කීවේය.

 

 

 

 



අදහස් (0)

එකමුතුව ඡන්දයට මුහුණ දෙන්න එජාපය ලෑස්තියි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 172 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 248 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 334 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site