IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඇමැතිවරු පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපත් ඉල්ලති

ගෙවීගිය සතියේ දේශපාලන කරළියේ ආන්දෝලනයට තුඩුදුන් මාතෘකා දෙකකි. එකක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තමිල්නාඩුවේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයකි. දෙවැන්න ජිනීවා මානව හිමිකම් කොමිසමේ යෝජනාවලියයි. විමල් වීරවංශ ඇමැතිවරයා සහ පොහොට්ටුව අතර සති දෙකක් තිස්සේ පැවැති මතවාදී ගැටුම යටපත් කරමින් මේ මාතෘකා දෙක ගිය සතියේ කරළියට ආවේය.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය සඳුදා හැන්දෑවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. කොවිඩ් නිසා සති කිහිපයක් ඔන් ලයින් තාක්ෂණය ඔස්සේ කැබිනට් රැස්වීම පැවැත්වූ නමුත් මෙවර කැබිනට් මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී රැස්විය. ඛනිජ තෙල් සංස්ථාවේ පවතින මූල්‍ය අර්බුදය ගැන උදය ගම්මන්පිල ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. ඔහු කියා තිබුණේ යහපාලන ආණ්ඩුව සමයේ සහනාධාර මත ඉන්ධන ලබාදීමෙන් විශාල අලාභයක් සංස්ථාවට සිදුවී ඇති බවය. සහනාධාර සඳහා වැයවන මුදල මහා භාණ්ඩාගාරයෙන් පියවන බව පොරොන්දුවී ඇතත් එම මුදල් පියවා නැති බව ඔහු සිය වාර්තාවෙන් පෙන්වා දී තිබිණි. සංස්ථාවේ මූල්‍ය අර්බුදය සහ ඊට පිළියම් සෙවීම සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය විය.


පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව එළියට එන තෙක් බොහෝ දෙනා බලා සිටිති. එහි පිටපත් කාදිනල් තුමාත් නීතිපතිවරයාත් ඉල්ලා ඇත. මේ අතර පසුගිය සතියේ රාවයක් ගියේ සඳුදා කැබිනට් රැස්වීමේදී එම වාර්තාව ගැන සාකච්ඡා කරන බවය. එහෙත් ඉකුත් සඳුදා පැවැති කැබිනට් රැස්වීමට පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ඉදිරිපත් නොවීය. කැබිනට් රැස්වීමේදී ඒ ගැන ප්‍රශ්න කළේ විමල් වීරවංශ ඇමැතිවරයාය. වාර්තාව ඉතා විශාල පිටු ගණනකින් යුක්ත වන නිසා එහි පිටපත් සකස් කිරීමට කල්යන බව ජනාධිපතිවරයා කීවේය. එහි පිටපත් සකස් කළ පසුව වෙනම කැබිනට් රැස්වීමක් කැඳවා පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තාව සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැන්වීය.


ජිනීවා චෝදනාවලට ආණ්ඩුවේ සූදානම


ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය හෙට (22) ආරම්භ වේ. ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන සැසිවාරයට විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා සම්බන්ධවේ. ඔහු අනිද්දා (23) සැසිවාරය ඇමැතීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේ මීට සති කිහිපයකට පෙරය. ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානින් සම්බන්ධයෙන් පමණක් නොව ජනාධිපතිවරයා විසින් කරන ලද ඇතැම් පත් කිරීම් සම්බන්ධයෙන්ද ඇය ප්‍රශ්න කර තිබුණේ චෝදනා මාලාවක්ද ඉදිරිපත් කරමිනි. ආණ්ඩුව මානව හිමිකම් කොමසාරිස්වරියගේ චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කරමින් ඇයට ලිපියක්ද යොමු කළේය. මේ අතර දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා අනිද්දා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සැසිවාරය අමතමින් ඇයගේ චෝදනාවලට පිළිතුරු දෙනු ඇත.


ජිනීවා මානව හිමිකම් සැසිවාරයට මුහුණදීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ග ගැන ආණ්ඩුව පසුගිය සති කිහිපයේම විවිධ පාර්ශ්ව සමග සාකච්ඡා වට ගණනාවක් පැවැත්වීය. අගමැතිවරයා සහ ආගමික නායකයන් අතර සාකච්ඡාවක්ද ඒ සම්බන්ධයෙන් ගිය සතියේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. මේ අතර ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවක්ද මේ සම්බන්ධයෙන් ඉකුත් බ්‍රහස්පතින්දා සවස මහාචාර්ය ජී. එල්. පීරිස් ඇමැතිවරයාගේ නිවසේදී පැවැත්විණි. ජී. එල්.ගේ නිවසේ පැවැති සාකච්ඡාවට බැසිල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, ඩිව් ගුණසේකර, අතාවුල්ලා, අසංක නවරත්න ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් සහභාගි වූහ. ජිනීවා සැසිවාරයට ඇති සූදානම ගැන දිනේෂ් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය. අනතුරුව ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයෝද අදහස් දක්වන්නට වූහ. ඔවුන් එක හෙලා කියා සිටියේ එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ යුතු බවය. ඇයගේ චෝදනාවලින් කර ඇත්තේ ස්වාධීන රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් බව ඔවුහු කියා සිටියහ.
මේ අතර බ්‍රිතාන්‍ය ප්‍රමුඛ රටවල් කිහිපයක් එක්ව ගෙන ඒමට සූදානම් වන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ගැනද පක්ෂ නායකයෝ දීර්ඝ ලෙස කතාබහ කළහ. ඒ සඳහා මිත්‍ර රටවල සහාය ලබා ගැනීම සඳහා රජය ගෙන ඇති උත්සාහය ගැනද දිනේෂ් පැහැදිලි කළේය.


විමල්, උදය, ඩීව්, තිස්ස රතන හිමි කොටා පාරේ හමුවෙති.


ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයන් ගිය බදාදා, බොරැල්ල කොටා පාරේ කොමියුනිස්ට් පක්ෂ මූලස්ථානයේදී රැස් වූයේ දේශපාලන කාරණා කිහිපයක් වෙනුවෙන් සාකච්ඡා කිරීමටය. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර, ටිරාන් අලස්, අතුරලියේ රතන හිමි, අතාවුල්ලා ඇතුළු පිරිසක් ඊට සහභාගී වූහ. ලංකා සම සමාජ පක්ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ කොවිඩ් එන්නත විදගෙන සිටි නිසා රැස්වීමට සහභාගී නොවීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ද එදින හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන සමග පොළොන්නරුවේ උත්සවයකට ගොස් සිටි බැවින් ඊට සහභාගි වූයේ නැත.


එහිදී ප්‍රධාන කාරණා කිහිපයක් ගැන අවධානය යොමු විය. එකක් රටේ වර්තමාන දේශපාලන තත්ත්වයයි. දෙවැන් ජීවන වියදම් ප්‍රශ්නයයි. තෙවැන්න ජිනීවා ප්‍රශ්නයයි. සිවුවැන්න යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳවයි. ජීවන වියදම ප්‍රශ්නය ගැන අදහස් දැක්වූ පක්ෂ නායකයන් කියා සිටියේ බඩු මිල ඉහළ යාම හමුවේ ජනතාව දැඩි පීඩාවකට ලක්ව සිටින බවය. රටේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා බහ කරන අතරේ ශ්‍රී ලංකා නිදහස් ​පොදුජන සන්ධානය යළි සක්‍රීය කිරීම ගැන ද සාකච්ඡා වූ බව රැස්වීමට සහභාගී වූ පක්ෂ නායකයෙක් කීවේය. ඔහු කීවේ පසුගිය මහ මැතිවරණයට පෙර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නමින් සන්ධානයක් පක්ෂ එකතුව පිහිටුවා ගනු ලැබූවද මැතිවරණයෙන් පසුව එය එතරම් ක්‍රියාකාරී නොවූ බවය. සන්ධානයේ නායකයන්ගේ රැස්වීම නොපැවැත්වූ නිසා අභ්‍යන්තර සංවාදයකට තිබූ ඉඩකඩ සීමා වූ බව ඔවුහු කියා සිටියහ. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නැවත සක්‍රිය කර පක්ෂ නායකයන් සතියකට හෝ දෙකකට වරක් රැස් වී සාකච්ඡා පැවැත්විය යුතු බව ඔවුන්ගේ අදහස විය. මේ අතර ඉදිරිපත් වූ අදහසක් වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොදුජන සන්ධානයේ තනතුරක් බාරගෙන දේශපාලන පක්ෂ සමග එක්ව කටයුතු කළ යුතු බවය. එමගින් ජනාධිපතිවරයා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැගී අභ්‍යන්තර සංවාදයකට ඉඩ කඩ විවර වන බව ඔවුන්ගේ අදහස විය.
මේ අතර ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂ නායකයන් හා ජනාධිපතිවරයා අතර සාකච්ඡාවකට ද ජනාධිපති කාර්යාලයෙන් ආරාධනයක් ලැබී තිබිණි. ඒ මීට පෙර විමල් වීරවංශ ඇමැතිවරයාගේ නිවසේ පැවති පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී ගත් තීන්දුවකට අනුව කළ ඉල්ලීමක් හේතුවෙනි. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවලට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් දෙන්නැයි ඉල්ලා විමල්ගේ නිවසේ පැවැති සාකච්ඡාවකදී මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපතිවරයාට යැවීමට ලිපියකට අත්සන් තැබූහ. ඒ ලිපිය ජනාධිපතිවරයාට යොමුකර තිබූ අතර ගිය සතියේ ජනාධිපතිවරයා දැනුම් දී තිබුණ සාකච්ඡාව පෙරේදා (19) හවස 4.00 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන බවය. ඒ සඳහා විමල්, උදය, ඩිව්, තිස්ස, දයාසිරි, රතන හිමි ඇතුළු පක්ෂ නායකයෝ පිරිසක් සහභාගී වී සිටියහ.


මෙරට ඉදි වූ ප්‍රථම ඝන අපද්‍රව්‍ය විදුලි බලාගාරය ගිය සතියේ විවෘත වූයේ මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ නව පරිවර්තනයක් ඇති කරමිනි. විවෘත කිරීමේ උත්සවය ප්‍රධාන ආරාධිත අමුත්තා වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාය. එම ව්‍යාපෘතිය විදුලි බල මණ්ඩලය, කොළඹ මහ නගර සභාව සහ එයිට්කන් ස්පෙන්ස් සමාගම එක්ව කළ ව්‍යාපෘතියකි.


එය විදුලි බල අර්බුදයට මෙන්ම, කොළඹ කුණු ප්‍රශ්නයට ද විසඳුමකි. විවෘත කිරීමේ උත්සවයට ඩලස් අලහප්පෙරුම, මහින්ද අමරවීර, සී.බී. රත්නායක, දුමින්ද දිසානායක, නාලක ගොඩහේවා, වෛද්‍ය සීතා අරඹේපොළ, නිමල් ලන්සා ඇතුළු මැති ඇමැතිවරු ද බස්නාහිර ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතා සහ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය ද සහභාගී වී සිටියහ. උත්සවයේදී විදුලි බල ඇමැති ඩලස් කීවේ මෙය කසළ අකුසලයෙන් රට මුදා ගැනීමේ යෝධ පියවරක් බවය.


සංචාරක ක්ෂේත්‍රයේ අයටත් කොරෝනා එන්නත දෙන්නැයි ප්‍රසන්න ඉල්ලයි.


සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගේ හමුවක් ගිය බදාදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග ද සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන් ඇතුළු පිරිසක් ද ඊට එක්ව සිටියහ. සංචාරකයන්ට රට විවෘත කිරීමෙන් පසුව ඇති වූ ප්‍රගතිය සහ මතු වූ ගැටලු සම්බන්ධයෙන් ද එහිදී අවධානය යොමු විය. ඒ අතරේ ප්‍රසන්න ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේ සංචාරක ක්ෂේත්‍රයෙන් ලක්ෂ 30 ක් විතර යැපෙනවා. එම ක්ෂේත්‍රයේ සෘජුවම ගැටෙන පිරිසට කොරෝනා එන්නත ඉක්මණින් දෙන්නැයි කියාය. රටේ සියලුම දෙනාට එන්නත දෙන්න තීරණය කර ඇති බව ජනාධිපතිවරයා කීවේය.


මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා ගිය සතියේ ගාල්ල ආලෝසියස් විද්‍යාලයට ගියේ එහි ඉදිකර ඇති සුහුරු පන්ති කාමර පිළිබඳව සොයා බැලීමටය. වෛද්‍ය රමේෂ් පතිරණ, චන්දිම වීරක්කොඩි, අජිත් කබ්රාල්, මොහාන් සිල්වා ඇතුළු මැති ඇමැති පිරිසක් ද ප්‍රකට ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා සහ දිලිත් ජයවීර ද ඊට එක්ව සිටියහ. උතුරේ සහ දකුණේ පාසල් අතර සම්බන්ධය වහා ඇතිවිය යුතු බව ජී.එල්. කීවේ තමා එය ගිය සතියේදි යාපනයේදී සිහිපත් කළ බව සඳහන් කරමිනි.


පොහොට්ටුව නව ව්‍යවස්ථාවට යෝජනා දෙයි


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කමිටුව දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ගැනීම ආරම්භ කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයෝ ද පෙරේදා (19) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටි එම කමිටු කාර්යාලයට ගොස් අලුත් ව්‍යවස්ථාව සම්බන්ධ සිය යෝජනා ඉදිරිපත් කළහ. මහාචාර්ය ජී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ, සාගර කාරියවසම්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇතුළු පිරිසක් ඒ සඳහා පැමිණ සිටියහ.


දේශපාලන පළිගැනීමට එරෙහිව විපක්ෂය එකතුවෙයි


‘සත්කාරය’ - විපක්ෂ නායක ජංගම සේවය මේ දිනවල රට පුරාම ක්‍රියාත්මක වන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන්ය. ජනතාවගේ දුක අසමින් ඔවුන්ගේ ගැටලු‍වලට ඒ අවස්ථාවේදීම ලබාදිය හැකි විසඳුම් ලබාදීමටත්, අනෙක් ගැටලු‍ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ආණ්ඩුවේ අවධානය යොමු කරවීමටත් විපක්ෂ නායකවරයා කටයුතු කරන්නේය.


කල්පිටියේ පැවති විපක්ෂ නායක ජංගම සේවයට අතක් අහිමි කාන්තාවක් පැමිණ සිටියාය. ඇය පැමිණ මෙතෙක් රටේ අවධානයට යොමු නොවූ කරුණක් හෙළි කළාය.


‘‘මම නොවැම්බර් 26 වැනිදා ඕමාන් ඉඳලා ලංකාවට ආවේ. අපි ආවම නිරෝධායනය කරන්න ඕනැ කියලා යාපනයට අරගෙන ගියා. අරගෙන යන අතරවාරයේදී පලාලිවලදී ඇක්සිඩන්ට් එකක් වෙලා මට සිහිය නැතිවුණා. සිහිය එනකොට මගේ එක අතක් කපලා’’ එම කාන්තාව කීවාය.


‘‘රජයේ නිලධාරින් කවුරුවත් ඇවිත් ඔබ ගැන සොයා බැලු‍වේ නැද්ද’’සජිත් ඇසුවේය.


‘‘නෑ.. සර්. අඩුම ගානේ ග‍්‍රාමසේවකවත් ආවේ නෑ. සිහිය ආවාට පස්සේ යාපනය පොලීසියෙන් ඇවිත් කට උත්තරයක් ගත්තා. ඒක විතරයි’’ඇය කීවාය.


‘‘මේ දේ ගැන සොයා බලන්න ඕනැ. අපි ඔබට වෛද්‍ය උපකාර කරන්නම්. කෘතිම අතක් දාගන්නත් උදව් කරන්නම්. දැන්ම කෘතිම අතක් දාන්න පුළුවන් කියලා වෛද්‍යවරු කිව්වාද’’ සජිත් ඇසුවේය.


‘‘තවම අත ඇතුළෙන් රිදෙනවා. මට කෘතිම අතක් දාන්න පුළුවන් කියලා තියෙනවා’’ කාන්තාව කීවේ කෘතිම අතක් ලබාගැනීමට මුදල් නොමැතිකම අඟවමිනි.


‘‘මම කෘතිම අතක් අරගෙන දෙන්නම්’’ සජිත් පොරොන්දු වූවේය. එතැනින් නොනැවතුණු විපක්ෂ නායකවරයා තම පෞද්ගලික මුදලින් රුපියල් විසි පන්දහසක් එම කාන්තාවට ලබා දුන්නේය. එවිට ඔහු අසල සිටි හෙක්ටර් අප්පුහාමි මන්ත‍්‍රීවරයාද විදේශ රැකියා ඒජන්සිකරුවන් සම්බන්ධ කරගනිමින් තවත් රුපියල් විසිපන්දහසක් ඒ අවස්ථාවේදීම ලබාදීමට කටයුතු කළේය.


මේවනවිට සත්කාරය නමින් විපක්ෂ නායක ජංගම සේවා 39ක් ක්‍රියාත්මක කරන්නටද සජිත් සමත්ව සිටියි.
සත්කාරය විපක්ෂ නායක ජංගම සේවයට සජිත් තවත් නවමු වැඩසටහන් එක් කිරීම සූරියවැව දී ආරම්භ කළේය.


ඒ සෑම ජංගම සේවයකදීම පැලයක් රෝපණය කිරීම ය.


“ඒක ඉතාම වටින වැඩක් විපක්ෂ නායකතුමා”‍


හිමිනමක් සජිත්ට කීවේය.


“අපි හැම වැඩසටහනකදීම අගයක් එකතු කරනවා. ජංගම සේවා 500ක් කළොත් පැල 500ක් රට පුරා නිකම්ම හැදිලා.”‍ ”‍අපි ප්‍රතිලාභ දෙන දරුවන්ටත් කියනවා, පැලයක් හදන්න කියලා. දන්නවද මොනතරම් දුප්පත් වුණත් භූතානය කියන්නේ කාබන් Negative (Carbon Neutral) රට. ඒ කියන්නේ ලෝකයේ පිරිසිදුම වාතය තියෙන රට භූතානය. වන ගහණය 70% වැඩියි. එයාලගේ ව්‍යවස්ථාවේ තියෙනවා වන ගහණය 65% වඩා තියෙන්ඩ ඕන කියලා”‍සජිත් කීවේය.


දේශපාලන පලිගැනීම් පිළිබඳ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටියත් ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම් වන බවක් පෙනෙන්නට නැත. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම වාර්තාව ලබාදෙන ලෙස මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉල්ලා සිටි අතර දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා එයට වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත. මේ නිසා ඔවුන් දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුව තිබුණි.


සමගි ජන බලවේගයේ නායකයින් හමුවූ විටද මේ ගැන අවධානය යොමුවිය.


‘‘පාර්ලිමේන්තුවට මේ වාර්තාව දාන්න කිව්වම ආණ්ඩුව ඒක කල් දානවා. සභාව කල් තැබීමේ විවාදයක් ඉල්ලු‍වම ඒක කල් දානවා. මේ විදියට ආණ්ඩුව ජනතාවගෙන් හංගන්න හදන්නේ මොනවාද? මේක එළියට දාන්න ආණ්ඩුව බයවෙලා ඉන්නේ ඇයි? මේ ප‍්‍රශ්න අපි මතු කළ යුතු වෙනවා’’ සජිත් කීවේය.
‘‘මේ කොමිසම පැමිණිලිකරුවන්ට දඬුවම් ලබාදෙන කොමිසමක් බවට පත් වෙලා තියෙනවා. ආණ්ඩුවට චෝදනා එල්ලවන විට විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් පලිගන්න තමයි ආණ්ඩුව හදන්නේ. විපක්ෂය මර්දනය කරන්න තමයි මේක යොදාගන්න හදන්නේ’’ රංජිත් මද්දුමබණ්ඩාර කීය.


‘‘තොරතුරු දැනගැනීමේ පනත යටතේ මේ වාර්තාව ඉල්ලු‍වම කියලා තියෙන්නේ කොමිසන් වාර්තාව නිල වශයෙන් ඉදිරිපත් කරලා නෑ කියලයි’’ පාඨලී කීවේය.


‘‘එතකොට නිල වශයෙන් ඉදිරිපත් නොකරපු වාර්තාවක් මත පදනම් වෙලා ක්‍රියාමාර්ග ගන්න ඕනැ කියලා කැබිනට් තීරණයක් අරගෙන තියෙනවා. නිල නොවන ලේඛන මත පදනම් වෙලා තීරණ ගන්න කැබිනට් එකත් කැකිල්ලේ කැබිනට් එකක් තමයි’’ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා පැවසුවේය.


‘‘ප‍්‍රජා අයිතිය අහෝසි කිරීම ගැන අපිට අතීත අත්දැකීම් තියෙනවා. අපි අතීතයේදී මේවාට මුහුණ දුන්නා. 2015 දී ජනතාව අපිට ඡන්දය දුන්නේ දූෂණය නැති කරන්නයි. බලයට ඇවිත් අපිට උඩ බලාගෙන ඉන්න බෑ. අපි ජනවරම අනුව තමයි කටයුතු කළේ. ආණ්ඩුව මොනවා හරි වාර්තාවක් දාලා විපක්ෂය මර්දනය කරන්න හදනවා නම් ඒ ගැන ජනතාව සැලකිලිමත් විය යුතුයි. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කීවේ තමන්ට මුහුණදීමට සිදුවූ අත්දැකීම් ද සමගය.


‘‘මේ ආණ්ඩුවට විපක්ෂයේ දේශපාලන නායකයින්ගේ ප‍්‍රජා අයිතිය අහෝසි කිරීමේ ලොකු වුවමනාවක් තිබෙන බව පේන්න තියෙනවා. මීට එරෙහිව අපි හැමෝම එකතුවෙලා ක්‍රියාමාර්ග ගත යුතුයි’’ විපක්ෂයේ මර්දනයට එරෙහිව මුස්ලිම් කොංග‍්‍රසයේ පූර්ණ සහාය ලබාදෙමින් රවුෆ් හකීම් මන්ත‍්‍රීවරයා පැවසුවේය.
මේ අතර විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. එහිදී විශේෂ අවධානයට ගත්තේද ආණ්ඩුවේ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැනය.


එහෙත් ඊට පෙර සජිත් කතාව ආරම්භ කළේ විශේෂ මතක් කිරීමක් එක්කය.


“මේ වන විට විපක්ෂයේ දේශපාලකයන් මර්දනය කරන ක්‍රියාවලියකට මුල පුරා තිබෙනවා.


විශේෂයෙන්ම මම කියන්න කැමතියි අපේ ගරු මන්ත්‍රීතුමන්ලාට නීතිමය, අධිකරණමය කටයුත්තකට මුහුණ දෙන්න වුණොත් කරුණාකරලා ඒ ගැන මාව දැනුම්වත් කරන්න. මොකද ඒ සියලු‍දෙනා වෙනුවෙන් මම පක්ෂයේ වගේම විපක්ෂ නායකයා ලෙස මැදිහත් වෙනවා. මගේ මන්ත්‍රී කණ්ඩායම ආරක්ෂා කරන්න මම ඕනෑම මොහොතක ඉන්නවා” ඔහු කීවේය.


සජිත් කීවේ මනෝ ගනේෂන්ට වූ සිදුවීමක්ද මතක් කරමිනි. ය. මනෝට ගැටලු‍වක් ආ බව සැලවූ වහාම සජිත් ඔහුට කතා කළේය.


“ඔබතුමාට මේ ගැන කියන්න බැරිවුනා. සොයා බැලු‍වට බොහෝම ස්තුතියි”‍ මනෝ කීවේය.
ඉන් අනතුරුව සාකච්ඡාවට ගත්තේ ජනාධිපති කොමිසමේ වාර්තාව පිළිබඳව ය.


“මහජන නියෝජිතයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව නිවට, බියගුලු‍, ක්‍රියාවලියකට පිඹුරුපත් සකසමින් සිටිනවා. එම තත්ත්වයට එරෙහිව පොදු ශක්තිමත් බලවේගයක් ලෙස එක්වීමේ වැදගත්කම මුල්කොටගෙන තමන් දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් හමුවූ බවත් ඒ මහතා කීය. රනිල් වික්‍රමසිංහ මහතා අතර වූ හමුවද ඒ සද් අරමුණ ඇතිව සිදු වූවක් මිස ඇතැම් පාර්ශව නිකුත් කළ ආකාරයේ කිසිදු දේශපාලන ගනුදෙනුවක් එහි නොවූ බවද හෙතෙම අවධාරණය කළේය.


“අපේ හමුවීම් දේශපාලන ගනුදෙනු නෙවේ. නමුත් අපි සද්භාවයෙන් කළ හමුවීම සමහර බංකොලොත් කණ්ඩායම් බොරු බේගල් බවට පත් කරලා අවස්ථාවාදී දේශපාලනයක යෙදෙන බව පෙනුනා. ආණ්ඩුව මහජන නියෝජිතයින්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට ආණ්ඩුව නිවට, බියගුලු‍ ක්‍රියාවලියකට පිඹුරුපත් සකසමින් සිටිනවා. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාවලිය තුළ මහජන මතය විශේෂ යි. මහජන මතය තුළ මැතිවරණයට ඉදිපත් වුණාම තමයි අපිට සහ රටට දැනගන්න පුළුවන් ඔවුන්ගේ තැන කුමක්ද කියලා. අපිට බංකොළොත් කණ්ඩායම් සමඟ එක්වෙන්න කිසිම වුවමනාවක් නෑ. සජිත් කීවේය. 


ඡන්දපොළට නොගිය පිරිස් දිනාගන්න එජාපයෙන් වැඩපිළිවෙලක්


මහ මැතිවරණයේදී ඡන්ද පොළට නොගිය පිරිස දිනාගැනීමේ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේදී සාකච්ඡා කළේය.


එක්සත් ජාතික පක්ෂ නිලධාරි මණ්ඩලය පසුගිය බ්‍රහස්පතින්දා නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසේදී රැස්වූ අවස්ථාවේ මේ ගැන සාකච්ඡා කෙරිණි.


මෙම සාකච්ඡාවේදී රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර පැවැති සාකච්ඡාවක් පිළිබඳව මන්ත්‍රීවරුන් ප්‍රශ්න කර ඇත. එහිදී දේශපාලන පලිගැනීම් කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡා කර තිබේ. එහිදී රුවන් විජයවර්ධන මහතා රජය මුහුණ පා සිටින අසීරුතා හා ණය ගැනීම් පිළිබඳවද පෙන්වා දුන්නේය.


ඉන්දියානු භාරතීය ජනතා පක්ෂයේ ශාඛාවක් මෙරට පිහිටුවීමට යාම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කළ අතර එහිදී රුවන් විජයවර්ධන මහතා මෙසේ කීය.


පක්ෂයක් හදනවට වඩා මේක බරපතළ අනතුරු ඇඟවීමක්. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර කාලයක් තදබල ලෙස හිතවත්කම පැවතුණා. දැන් තමයි මේ ගැටුම් ඇති වෙන්නෙ. රජයට නිසි ක්‍රියාමාර්ගයක් වැඩපිළිවෙළක් නැති නිසා මේ සියලු ප්‍රශ්න ඇතිවී තිබෙනවා. විජයවර්ධන මහතා කීවේය.


ගාල්ල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් රුවන් විජයවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරයක යෙදුණේය. ප්‍රථමයෙන් ගාල්ල පුණ්‍යසාර පිරිවෙන් විහාරයට ගොස් අකුරැටියේ නන්ද හිමියන් බැහැදුටුවේය. අනතුරුව බල මණ්ඩල සාමාජිකයන් හමුවූ රුවන් විජයවර්ධන මහතා හවස් වරුවේ රත්ගම බල මණ්ඩල සාමාජිකයන් හමුවූයේය.


සිරිකොත පක්ෂ මූලස්ථානයේදී දෙමළ පක්ෂ කීපයක් හමුවී උතුරේ දේශපාලන තත්ත්වය පිළිබඳවද සාකච්ඡා කළේය. මීට අමතරව ශාන්තිනී කෝන්ගහගේ මහත්මියගේ ආරාධනයෙන් මහනුවර නගර ශාලාවේ පැවැති රැස්වීමටද ඔහු සහභාගි වූයේය.

 

- ගජබා -



අදහස් (0)

ඇමැතිවරු පාස්කු කොමිෂන් වාර්තාවේ පිටපත් ඉල්ලති

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 128 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site