IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේ ‘ගිනිකෙළි’

  • ‘‘ඔයා කියන දේ මට තේරෙනව​ා’’අගමැති විමල්ට කියයි
  • පොදුජන පෙරමුණ කියන්නෙ මහින්ද රාජපක්ෂ මිස වෙනත් කිසිවකු නොවේ - ප්‍රසන්න රණතුංග

ගෙවී ගිය සතියේ දේශපාලන පොරපිටිය ගිනියම් විය. ඒ ආණ්ඩුව හා විපක්ෂය අතර ගැටුමක් හේතුවෙන් නොව ආණ්ඩුවේම පාර්ශ්ව අතර ඇති වූ ආන්දෝලනාත්මක මත ගැටුමක් හේතුවෙනි. ඊට මුල් වූයේ ආණ්ඩුවේ ඇමැතිවරයකු වන විමල් වීරවංශ මහතා ඉකුත් සති අන්තයේ ඉරිද‌ා ලංකාදීපයට දුන් සම්මුඛ සාකච්ඡාවකි.


පොදුජන පෙරමුණ වෙනම පක්ෂයක් ලෙස එක්වෙමින් විමල්ට එරෙහිව අවි අමෝරා ගන්නට තරම් එය දුර දිග ගියේය.


විමල් වීරවංශ ඇමැතිවරයා ගෙනා දේශපාලන බෝම්බය ගිය අඟහරුවාද‌ා පැවැති ආණ්ඩු පක්ෂ රැස්වීම ද ගිනියම් කළේය. අඟහරුවාද‌ා පාර්ලිමේන්තු රැස්වීමට පෙර ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තුවේ කමිටු ශාලා එකේදී රැස්වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. සතියේ පාර්ලිමේන්තුවේ කටයුතු ගැන සාකච්ඡා කර අවසන් වනවාත් සමග නූලට ගිනි ඇවිළුවේ රාජ්‍ය ඇමැති නිමල් ලන්සාය. ඒ විමල් වීරවංහ ඇමැතිවරයා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙනි. විමල්ගේ ප්‍රකාශයට උත්තර දෙන්නට පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී සූද‌ානමින් සිටින බවට කල්තියා ආරංචිය පැතිර ගියේය. ඔවුන් කියා තිබුණේ විමල්ගෙ කතාවට අපි හොඳට උත්තර දෙන්නම් යනුවෙනි. ඒ අනුව නිමල් ලන්සා මුලින්ම නැගී සිටියේය. පසුගිය කැබිනට් රැස්වීමේ දී විමල් වීරවංශ ඇමැතිවරයා මට විරුද්ධව ප්‍රකාශයක් කරලා තිබුණා. එතුමා ඒක පුවත්පත්වලටත් කියලා තිබුණා. ඒක මට කරපු ලොකුම අසාධාරණයක්. මම හැමද‌ාම හිටියේ ආණ්ඩුව පැත්තෙ. ආණ්ඩුව ආරක්ෂා කරන පැත්තෙ තමයි මම හැමද‌ාම හිටියේ යැයි නිමල් ලන්සා කතාව පටන් ගනිද්දී වාසුදේව නානායක්කාර ඇමැතිවරයා නැගිට්ටේය.


‘විමල් වීරවංශ ඇමැතිවරයා දැන් මෙතන නැහැ. මෙතන නැති කෙනෙක් ගැන චෝදනා කරන එක වැරදියි.’ වාසුදේව කීවේ විමල් වෙනුවෙන් පෙනී සිටිමිනි. ‘‘එහෙම නම් ඉතින් මම නැති තැනක මම ගැන විවේචනය කරන එකත් වැරදියිනෙ. විමල් වීරවංශ කොහොමද මම ගැන එහෙම නම් කැබිනට් එකේ විවේචනය කළේ’ යැයි ලන්සා කීවේ වාසුගේ ප්‍රකාශයට විරෝධය පළකරමිනි. උදය ගම්මන්පිල ඇමැතිවරයා ද විමල් වෙනුවෙන් පෙනී සිටියේය. විමල් ඇමැතිතුමා මීගමුව උසාවියේ නඩුවකට ගිහින් යැයි ගම්මන්පිල කීවේය. වාසුද එය තහවුරු කළේ ඔව්, ඔව්, ඔය නඩු යූඑන්පිය පටලවපු ඒවනේ.’ යැයි කියමිනි. පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කීවේ ‘එයාට විතරක් නෙවෙයි යහපාලන ආණ්ඩුව අපිටත් නඩු දැම්මා.’ යනුවෙන් සමහරුන් කීවේ විමල් හිතාමතාම ආණ්ඩු පක්ෂ රැස්වීම මගහැර ඇති බවය. එහෙත් වාසු එය ප්‍රතික්ෂේප කළේ විමල් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිමිනි. ‘මෙතන නැති කෙනෙක් ගැන විවේචනය කරන එක වැරදියි.’ යැයි වාසු යළිත් කීවේ තරමක කේන්තියෙනි. වාසුට විරුද්ධව පසුපෙළ මන්ත්‍රීවරු දිගින් දිගටම කෑ ගසන්නට වූහ. අපි ඔබතුමාට ගරු කරන්නේ ජ්‍යෙෂ්ඨත්වයටයි, වයසටයි. ඒ නිසා මේ එක එක්කෙනා වෙනුවෙන් පෙනී ඉඳලා ඒක නැතිකරගන්න එපා’ යැයි පසුපෙළ මන්ත්‍රීවරු කියන්නට වූහ.


මේ රැස්වීමට ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා පැමිණ සිටියේ ඉරිද‌ා ලංකාදීප පුවත්පතක් ද රැගෙනය. විමල් වීරවංහ ඇමැතිවරයා පොහොට්ටුව සම්බන්ධයෙන් කළා යැයි කියන ආන්දෝලනාත්මක ප්‍රකාශයෙන් සඳහන් වූයේ විමල් විසින් ඉකුත් සති අන්තයේ ඉරිද‌ා ලංකාදීපයට දෙන ලද සම්මුඛ සාකච්ඡාවකය. ප්‍රසන්න ඉරිද‌ා ලංකාදීපය රැගෙන ආවේ එය මන්ත්‍රී කණ්ඩායමට පෙන්වීමටය. ඔහු පුවත්පත පෙන්වමින් කීවේ ‘අපි පහුගිය ඡන්දවල දී විකුණුවේ ඔබතුමා’ යනුවෙනි. ප්‍රසන්න එසේ කීවේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාටය. පොදුජන පෙරමුණ යනු මහින්ද රාජපක්ෂ මිස වෙනත් කිසිවකු නොවන බව ප්‍රසන්න කීවේය. ‘දැන් සමහර අය හිතන් ඉන්නවා එයාලා නිසා අපි දින්නා කියලා. අපේ පරමාදර්ශී නායකයා ඔබතුමා. ඔබතුමාට සියලු දෙනා ගරුකරනවා. මේකේ නායකයා වෙන්නෙ කවුද කියලා තීරණය කරන්නේ ඔබතුමා. ඒ ගැන කතා කරන්න වෙනත් පක්ෂවල අයට බැහැ. විමල් වීරවංශ ඇමැතිවරයාට ඒකට තියෙන අයිතිය මොකක් ද? යැයි ප්‍රසන්න කීවේය. වාසු යළිත් නැගිට්ටේය. ‘විමල් නැති තැන ඔහු ගැන කතා කරන එක සද‌ාචාරාත්මක නැහැ.’ වාසු කීවේ ආවේගාත්මක ස්වරයෙනි. ඒ අතරේ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඔහුට වාඩි වෙන්නැයි දිගින් දිගටම කියා සිටියේ ඔහුට දැඩි විරෝධය පළකරමිනි. ඒ අතර ප්‍රසන්න රණතුංග ද වාසුට විරෝධය පළ කළේය. මේ අය මාධ්‍ය සාකච්ඡා තියල ආණ්ඩුවත් විවේචනය කරනවා. අපට කණ්ඩායම් රැස්වීමේදීත් ඒවා ගැන කතා කරන්න දෙන්නෙ නැහැ.’ යැයි පසුපෙළ මන්ත්‍රීවරු කියා සිටියහ. ඒ අතරේ ප්‍රසන්න රණතුංග ඉල්ලීමක් කළේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙසය. පසුපෙළ මන්ත්‍රීවරුන් කීවේ විමල් වීරවංශ ගෙනැවිත් රැස්වීමක් කැඳවන ලෙසය.


වාසුද දිගින් දිගටම විරෝධය පළකරද්දී අගමැතිවරයා ඔහුට ඉඳගන්නැයි කීවේය. ‘වාසු ඉඳගන්න අපි මේක පස්සෙ හෙමිහිට කතා කරමු.’ අගමැතිවරයා කීවේය. ඒ සමඟම අගමැතිවරයා පිරිස සන්සුන් කරමින් කීවේ ‘මගේ දේශපාලනයට අවුරුදු පනහක් වෙනවා. අපි මීට වඩා වගකීමෙන් වැඩ කරලා ප්‍රශ්න විසඳගමු.’ යනුවෙන්. මේ රැස්වීමට විමල්ගෙ පක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද පැමිණ සිටි නමුත් ඔවුන් මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරනු දක්නට නොලැබුණ බව ආණ්ඩුවේ ඇමැතිවරයෙක් කීවේය.


ආණ්ඩුවේ පක්ෂ නායකයෝත් හදිසියේ රැස්වෙති.


මේ අතර ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් අඟහරුවාද‌ා හැන්දෑවේ පාර්ලිමේන්තුවේ අගමැති කාර්යාලයේදී පැවැත්වූවේ අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහාචාර්ය ජී.එල්. පීරිස්, උදය ගම්මන්පිල, වාසුදේව, මහාචාර්ය තිස්ස විතාරණ, අතාවුල්ලා, එම්. රාමේෂ්වරන්, අසංක නවරත්න, වීරසුමන වීරසිංහ ඇතුළු පක්ෂ නායකයේ ඊට සහභාගි වූහ. එදින උදේ ආණ්ඩු පක්ෂ රැස්වීමේ නොසිටි විමල් වීරවංශ ඇමැතිවරයා ද පක්ෂ නායක රැස්වීමට එක්ව සිටියේය. රැස්වීම කැඳවා තිබුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කර ඇති චෝදනාත්මක යෝජනාවලිය සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැන සාකච්ඡා කිරීමටය. දිනේෂ් ගුණවර්ධන ඒ ගැන දිගු පැහැදිලි කිරීමක් කළේ මේ චෝදනා සියල්ල පදනම් විරහිත බව සඳහන් කරමිනි. මේ අතර විමල් වීරවංශ ඇමැතිවරයා වෙනත් කරුණක් මතු කළේය. ඔහු කීවේ තමා නොසිටි ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී තමාට එරෙහිව ලොකු ඝෝෂාවක් නගා තිබූ බවය. ‘මම පත්තරේකට දීපු සම්මුඛ සාකච්ඡාවක කෑල්ලක් අල්ලගෙන මට පහරදීලා තිබුණා. මම කිව්වේ ජනාධිපතිතුමා පරිපාලනයට සීමා නොවී දේශපාලනයට ඇවිත් නායකත්වය දෙන්න ඕන කියලයි. ඔබතුමා අපේ හැමද‌ාමත් නායකයා. ඒකෙ වෙනසක් නැහැ. ජනාධිපතිතුමා දේශපාලන කටයුතුවලටත් සම්බන්ධ වෙලා නායකත්වය දෙන්න ඕන කියලයි මම කිව්වේ. එතුමා එහෙම සම්බන්ධ නොවන නිසා මන්ත්‍රීවරුයි එතුමයි අතර දුරස්ථභාවයක් ඇතිවෙලා’ යැයි විමල් කීවේ දීර්ඝ පැහැදිළි කිරීමක් කරමිනි. ‘ඔයා කියන දේ මට තේරෙනවා. මගේ දේශපාලනයට අවුරුදු පනහක්. ඒත් මේ නවක මන්ත්‍රීවරුන්ට ඒක තේරෙන්නේ නැහැ.’ යැයි අගමැතිවරයා කීවේය.

 


ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 39 ක් මාධ්‍ය හමුවක


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරු 39 දෙනෙක් ගිය බ්‍රහස්පතින්ද‌ා හවස බත්තරමුල්ල අපේගම දී මාධ්‍ය හමුවක් පැවැත් වූහ. පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුවට තේරීපත් වූ නවක මන්ත්‍රීවරුන් ගණන 44 කි. ඉන් පස්දෙනකු හැර අනෙක් 39 දෙනා ඊට සහභාගි වූහ. සහභාගි නොවුණු පස්දෙනාගෙන් එක්කෙනෙකු නොපැමිණියේ ඔහුගේ මවට අසනීප වීම හේතුවෙනි. තවත් සිවුදෙනකු සහභාගි නොවුවේ පාර්ලිමේන්තුවේ විවාදයට සහභාගි වී සිටි බැවිනි. මාධ්‍ය හමුව මෙහෙය වූයේ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාය. ඔහු ඇතුළු මන්ත්‍රීවරු හත් දෙනෙක්ම අදහස් දැක්වූහ. ඔවුන් පොදුවේ කියා සිටියේ ආණ්ඩුවේ සිටිමින් විපක්ෂයේ වැඩකරන්නට ඉඩදිය නොහැකි බවය. කැබිනට් මණ්ඩලයේ සාමුහික වගකීව ගැන ද ඔවුන් සිහිපත් කළේ සමහරුන්ට එය අමතක වී කටයුතු කරන බව කියමිනි.


පසුපෙළ ‘අපේ ගමේ’ රැස්වෙද්දී ආණ්ඩුවේ පක්ෂ අටක නායකයෝ එදිනම හවස ටොරින්ටන්හි පිහිටි විමල් වීරවංශ ඇමැතිවරයාගේ නිල නිවසේ රැස්වූහ. උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, මහාචාර්ය තිස්ස විතාරණ, දයාසිරි ජයසේකර, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග සහ උද්දික ප්‍රේමරත්න යන මැති ඇමැතිවරු ද අතුරලියේ රතන හිමියෝ ද ඊට සහභාගි වූහ. සාකච්ඡාව පැය තුනකට ආසන්න කාලයක් පැවැති නමුත් සාකච්ඡා වූයේ කුමක්දැයි පැහැදිලිව අනාවරණය නොවීය. නව ව්‍යවස්ථාව හා රටේ වර්තමාන දේශපාලන අර්බුදය ගැන සාකච්ඡා කළ බව සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ උදය ගම්මන්පිල කීවේය. විමල් වීරවංශ ඇමැතිවරයා හා පොහොට්ටුව අතර ඇතිව තිබූ මතබේදය ගැන විමසූ විට ඔහු කීවේ මහා සංඝරත්නයත් අගමැතිවරයාත් මැදිහත්ව එම ගැටලුව විසඳ‌ා ඇති බවය. මාධ්‍යයට අදහස් දැක්වූ වාසුද කීවේ ‘රටේ වර්තමාන තත්ත්වය ගැන සාකච්ඡා කළ බවය. එහෙත් අනෙක් පක්ෂ නායකයෝ කිසිවෙක් සාකච්ඡාව ගැන මාධ්‍යයට නොකියන්නට වග බලා ගත්හ.


මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්ද‌ා පාර්ලිමේන්තුවට පැමිණියේය. අගමැති මහින්ද සමග සභාවට ද පැමිණ මන්ත්‍රීවරුන්ගේ කතාවලට ද සවන් දුන් ජනාධිපතිවරයා වැඩි වේලාවක් නොසිට පිටව ගියේය. ඒ යන ගමන් නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂ කටයුත්තකට ද ජනාධිපතිවරයා සහභාගි වූයේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයාගේ ආරාධනයෙනි. ඒ රාජ්‍ය වාණිජ සංස්ථාවෙන් ආරම්භ කර ඇති රජවාස වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීම වෙනුවෙනි.


සමගි ජන බලවේගයේ ආසන සංවිධායකයන්ට පත්වීම්


සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් පත් කිරීමේ පළමු අදියර පසුගිය සතියේ දී පැවැත්වුණේ විපක්ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්ය. අදියර දෙකක් යටතේ ආසන සංවිධායකවරුන් පත් කරන අතර පළමු අදියරේ දී පත් කළේ සංවිධායකයින් එකසිය හත් දෙනෙකි. ඇතැම් ආසනවලට මුලින් සිටි ආසන සංවිධායකටම පත්වීම් ලැබුණ අතර සමහර ආසනවලට පත්වී තිබුණේ අලු‍ත් මුහුණුය.


‘‘හැම අයෙක්ම අවංකව වැඩ කරන්න. සංවිධායකකමක් දීලා ඔබතුමන්ලාට පක්ෂයෙන් ගරු කිරීමක් කරලා තියෙනවා. ඒ වගේම ඔබතුමන්ලා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. අකාර්යක්ෂම, දුර්වල අය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට දෙවරක් මම හිතන්නේ නෑ’’සජිත් කීය.


පත්වීම් ලබාදීමෙන් පසුව සවස සියලු‍ දෙනාට වැඩමුළුවක් සංවිධානය කර තිබුණි. ඊට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග කඩිනම් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් ද පැවැත්විණි.


‘‘පාර්ලිමේන්තුවේ දී විපක්ෂයට ලැබෙන කාලය අසාධාරණ ලෙස අඩු කරනවා. මේ ගැන කටයුතු කළ යුතු වෙනවා’’ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.


‘‘රංජන් රාමනායක පාර්ලිමේන්තුවට කැඳවාගන්න අපි පාර්ලිමේන්තුව තුළ මැදිහත්වීමක් කරන්න ඕනෑ’’ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යෝජනා කළේය.


‘‘රංජන් වෙනුවෙන් නීතිමය මැදිහත්වීම් රැසක් කරන්න මම කටයුතු කරගෙන යනවා’’ සජිත් ඔහු වෙනුවෙන් ගෙන තිබෙන නීතිමය පියවර ගැන පැහැදිළි කළේය.


ඉන්පසුව සජිත් නව ආසන සංවිධායකවරුන් සමග දිවා ආහාරයට එක්වූයේය. ඔහු සිටි මේසයේ රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, තිස්ස අත්තනායක සහ මහලේකම් රංජිත් සිටියේය. ආසන සංවිධායකවරුන්ට වැඩමුළුව පැවැත්වුණේ සවස් වරුවේය.


හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පක්ෂය ජයග්‍රහණය කරා ගෙන යාම සඳහා වන මනස සකස් කිරීමේ දේශනයක් පැවැත්වූයේ වීඩියෝ, සංඛ්‍යාලේඛන හා දත්ත ඉදිරිපත් කරමිනි.


‘‘මීළඟ ජනාධිපතිවරණයට තවත් දින හයසීයක් විතර තමයි තියෙන්නේ. අපි මේ ගත කරන වෙලාවත් වැදගත්. අපිට ජයග්‍රහණය කරා යාමට මේ මොහොතේ සිට අපි වැඩ කළ යුතුයි’’හරින් කීය.


‘‘නියම කතාවක් හරින් කළේ’’ හරින් කතාව අවසන් කළ විට සජිත් කීය.


විපක්ෂ නායක ජංගම සේවය


විපක්ෂනායක ජංගම සේවය මේ වන විට අදියර තිස් පහක් පසුකර අවසන්ය. සමගි ජන බලවේගය කාර්යාලයට රැස්වූ මන්ත්‍රීවරුන් මේ ගැන කතා කළේ රාජ්‍ය සම්පත්, දේශපාලන බලය භාවිතා නොකර ජනතාවට වැදගත් ජංගම සේවාවන් පැවැත්වීමට ඇති හැකියාව ගැන අගය කරමිනි.


පසුගිය සතියේ දී පැවැති ජංගම සේවාවලට පැමිණි පාසල් ළමුන්ගේ දෙමාපියන් කීවේ නිල ඇදුම් හා පෙළ පොත් නොලැබීමේ ගැටලු‍වයි. මේ සතියේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී ඒ ගැන කරුණු ඉදිරිපත් කළේය.


“එක පැත්තකින් ශිෂ්‍යත්වයේ ප්‍රශ්න. අනෙක් පැත්තෙන් දරුවන්ට නිල ඇඳුම දුන්නා කියලා බොරු කියනවා. ආණ්ඩුව කාටද මේ ප්‍රෝඩාව කරන්නේ”‍ පාර්ලිමේන්තු ලොබියේ දී අශෝක් අබේසිංහ සජිත්ට කීවේය.


මර්දනයට එරෙහිව එක්වෙති


දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුවෙන් තවත් කොමිසමක් පත් කිරීම ගැන විපක්ෂයේ අවධානය යොමුවී තිබුණි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායක රැස්වීමක් පසුගිය සතියේ දී පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්ය. මේ සඳහා දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂවල

නායකයෝද එක්ව සිටියහ.


‘‘ආණ්ඩුව යන්නේ කොහේද කියලා අපිට පැහැදිලියි. මේ ගොල්ලෝ මේ මර්දනයට රට අරගෙන යනවා. දේශපාලන පලිගැනීම් පිළිබඳ කොමිසමක් කියලා තවත් පලිගන්න තමයි හදන්නේ’’ රාජිත කීවේය.
‘‘මේකට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී වගේම එළියේදිත් අපි ක්‍රියාමාර්ග ගත යුතුයි’’ සජිත් යෝජනා කළේය.
මේ අතර සාධාරණ සමාජයක් ජාතික ව්‍යාපාරය ද ජානකී හෝටලයේ දී මේ ගැන සාකච්ඡා කිරීමට සමාජ ක්‍රියාකාරීන් කැඳවා තිබුණි. පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනුෂ නානායක්කාර, රවි කරුණානායක, නවීන් දිසානායක ඇතුළු මන්ත්‍රීවරු ද නීතීඥයෝ ද මේ සඳහා එක්වූහ.


‘‘මේකට විරුද්ධව තැන් තැන්වල හුදකලා සටන් කිරීමෙන් වැඩක් නැහැ. අපි හැමෝම එකට එකතුවෙලා පොදු වේදිකාවක දී මේ සඳහා සටන් කළ යුතුයි. සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරයට මේ සඳහා කණ්ඩායම් එක් කළ හැකියි. මේක දේශපාලන පක්ෂයක් නොවන නිසා සියලු‍ම දේශපාලන පක්ෂවල නායකයින් මෙතැනට එකතු කරන්න පුළුවන්’’ මනුෂ යෝජනා කළේය.


‘‘හැමෝටම මේකට එන්න කියන්න. මම අායිමත් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ. රටට දෙයක් කරන්නයි මට අවශ්‍ය. ඒ නිසා හැමෝම මෙතැනට එකතු කරන්න පුළුවන්’’ කරු ජයසූරිය කීවේය.


මහජන දිනයක් ඇරඹේ


සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පසුගිය සතියේ සිට සෑම බදාදා දිනකම පක්ෂ කාර්යාලයට පැමිණෙයි. ඒ මහජන දිනයක් පැවැත්වීම සඳහාය.


‘‘පාක්ෂිකයින්ගේ ගැටලු‍ ගැන සොයා බලන්න මේ වගේ දෙයක් පටන් ගත්ත එක හොදයි’’ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා කීවේය.


ඉමිටියාස් බාකීර් මාකර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු ලොබියට පසුගිය අඟහරුවාදා යන විට විපක්ෂ නායකවරයා වටකරගෙන සිටියේ මන්ත්‍රීවරුන් පිරිසකි. නාලක ගොඩහේවා, ප්‍රේමනාත් දොළවත්ත ඇතුළු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ද  එහි සිටියහ.


‘‘පොඩ්ඩක් එන්නකෝ ඇමැතිතුමා’’ එතැනින් යන ඉමිටියාස් දුටු සජිත් කතා කළේය.


‘‘මම මේ අයට කිව්වේ කොවිඩ් මරණ ආදාහනය කිරීම ගැනයි. කොවිඩ් මරණ භූමදානය කිරීමෙන් ගැටලු‍වක් වෙන්නේ නැති බව විද්‍යාත්මකව පෙන්නලා දීලා තියෙනවා. එහෙම තිබිය දී මේවා ආදාහනයට නියෝග කිරීම මගින් ජාත්‍යන්තරවත් ලංකාව විහිළුවකට පත් වෙනවා’’ සජිත් කීය.


‘‘මේ මෘතදේහ භූමදානය කිරීමේ වරදක් මම දකින්නේ නෑ. මේවා ගැන වෙනස් තීරණ ගන්නේ කවුරුන්ද කියලා දන්නේ නෑ’’ නාලක ගොඩහේවා කීය.


‘‘ලංකාවේ අගමැතිවරයා මෘත දේහ භූමදානය කිරීම ගැන සහතිකයක් දෙනවා. සමහරු ඒක වෙනස් කරනවා. ලෝකය ඉස්සරහ ලංකාව මේ විදියට ලැජ්ජා කරන්නේ ඇයිද කියලා දන්නේ නෑ’’ ඉමිටියාස් කීවේය.


එජාප නියෝජ්‍ය නායක සිරිකොතේදී පාක්ෂිකයන් හමුවෙයි


එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පසුගිය සතියේ දින කීපයක්ම සිරිකොතේ රැඳී සිටිමින් මහජනතාව හමුවූයේය. සතියේ දින දෙකක් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පාක්ෂිකයන් හමුවන ලෙසට නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබාදුන් උපදෙස්වලට අනුව රුවන් විජයවර්ධන මහතා සිරිකොතේ රැඳී සිටිමින් ජනතාව හමුවිය. එම දින දෙකේම උදේ සිට හවස්වන තුරුම සිරිකොතට පැමිණෙන ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරු දීම, අවශ්‍ය උපකාර ලබාදීම ආදී කටයුතුවල යෙදීමට ඔහුට සිදුවිය.


මීට අමතරව කොළඹ නාගරික බල ප්‍රදේශයේ හා කොළඹ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකයෝ වෙන වෙනම රැස්වී ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළහ.


මීට අමතරව ලක්වනිතා හා යොවුන් පෙරමුණ නියෝජිතයන් හමුවී එම සංවිධාන දෙකේ වැඩ කටයුතු පුළුල් කිරීම පිළිබඳවද රුවන් විජයවර්ධන මහතා සාකච්ඡා කළේය.


ඒ සියලු වැඩ අතරතුරදී අභාවප්‍රාප්ත මාධ්‍යවේදී වදාකඩ නවරත්න මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහාද රුවන් විජයවර්ධන මහතා ඒ මහතාගේ මීරිගම නිවසට ගියේය.

 

 

- ගජබා - 



අදහස් (0)

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී රැස්වීමේ ‘ගිනිකෙළි’

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site