IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අගමැති මමයි රනිල් කියයි

ඔක්තෝබර් 26 වැනි සිකුරාදා අගමැති රනිල් ගාල්ල බලා ගියේ ඇමැති වජිරගේ ආරාධනයෙනි. දිස්ත්‍රික්කය තුළ අලුතින් ඉදිකළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඇතුළු නව ගොඩනැගිලි 04ක් එදින විවෘත විය. එදින රාත්‍රියේ ගාල්ලේ ගතකර පසුදාට තිබූ තවත් නිල උත්සව කිහිපයකට එක්වීම අගමැතිවරයාගේ අරමුණ විය. එහෙත් සැන්දෑව වනවිට තමා අගමැති ධුරයෙන් ඉවත් කළ බවත්, නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිව්රුම් දුන් බවටත් පණිවිඩ ලැබුණේ එජාප හිතවතුන්ගෙනි.


වහාම කොළඹට පැමිණීමට තීන්දු කළ ද ඒ වනවිට රෑ බෝවීම හා අධික වැසි නිසා හෙළිකොප්ටරය වෙනුවට බිමින් කොළඹ පැමිණීමට අගමැතිවරයා තීන්දු කළේය.


වාහනයේ එන අතරමඟදී ලේකම් කාර්යාලයට කතාකර අදාළ පුවත ගැන නිල දැනුම්වත් වීම ලැබූ අගමැතිවරයා එජාප මැති-ඇමැතීන්ට කතා කර අරලියගහ මැදුරට එන ලෙස දැන්වීය. අගමැතිවරයා එනවිට මැති-ඇමැතිවරුන් හා එජාප හිතවතුන් 1000 කට ආසන්න පිරිසකගෙන් අරලියගහ මැදුර පිරී තිබිණ. කිරිඇල්ල, කබීර්, රවී, හරීන්, වජිර, ගයන්ත, දයා ගමගේ ඇතුළු පිරිස සමඟ සාකච්ඡා කළ අගමැති රනිල් වහාම මාධ්‍ය හරහා රටට ප්‍රකාශය දීම තම ජනමාධ්‍ය ඒකක ප්‍රධානී සමන් අතාවුදහෙට්ටි ගැන විමසීය.


ඒ අනුව මැති-ඇමැතිවරුන් විවිධ ජන මාධ්‍යවලට කතාකර අගමැතිවරයාගේ ප්‍රකාශයට අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය.


“රටේ අගමැති මමයි. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරය සහිත පුද්ගලයා මිසක් වෙනත් කෙනෙකු අගමැතිකමට පත් කළ නොහැකියි. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවා බහුතරය ඇති පුද්ගලයා කවුදැයි සොයා ගන්න.”


“මීට මාස කිහිපයකට පෙර මට එරෙහිව පැමිණි විශ්වාසභංගයේදී මගේ ස්ථාවර බව පාර්ලිමේන්තුවේදී ඔප්පු කළ නිසා ප්‍රජාතන්ත්‍රවාදීව වහාම පාර්ලිමේන්තුව කැඳවන්න” අගමැති රනිල් රටට කීවේය.


විසිනව වැනි සඳුදා පාර්ලිමේන්තුව කැඳවා තම ශක්තිය උරගා බැලීමට අගමැති රනිල්ට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස අංශවලට දැනුම් දුන්නේය. එහෙත් එදින මධ්‍යම රාත්‍රියේදී නොවැම්බර් 16 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට ජනාධිපතිවරයා සිය බලතල ප්‍රකාර ක්‍රියා කිරීම තුළ සඳුදා සියල්ල විසඳා ගැනීමේ පසුබිම යටපත් විය.


විසිහය වැනි සිකුරාදා අගමැති ලෙස රාජපක්ෂ මහතා දිව්රුම් දී පැය 02ක් තුළ අරලියගහ මැදුරේ සියලු මෙහෙයුම් කටයුතු භාරව සිටි නාවික හමුදාව ඉවත් කෙරිණ. ඔවුන් අගමැති රනිල්ගෙන් සමුගෙන ගියේ කදුළු පිරි දෙනෙතිනි.


ඊට පසුදා අගමැතිවරයා සතුව තිබූ ආරක්ෂාව 99% කින් කප්පාදු කර ඇමති ආරක්ෂක අංශයේ දස දෙනකු පමණක් ඉතිරි කළේය.


“ඔබතුමා මුල් වෙලා මහින්ද හා ගෝඨාභය මහත්වරුන්ට සිය ගණන් ආරක්ෂකයන් දුන්නත් අද ඔබතුමාගේ ආරක්ෂාව ඉවත් කිරීම පුදුමයි.” අගමැති ලේකම්වරයකු කී විට අගමැති රනිල් මඳ සිනහවක්පා ඉවත බලා ගත්තේය.


ඉන් පසුව අගමැති ලේකම් මෙන්ම අරලියගහ මන්දිර කාර්ය මණ්ඩලය ද ඉවත් කිරීම හා වෙනත් ආයතන සඳහා මාරුකර යැවීම සිදුවිණි. ඒ අතරේ අරලියගහ මැදුරට ඇතුළු වෙන ප්‍රධාන ගේට්ටුව ඉදිරියේ පැය 24 පුරා පිරිත් සජ්ඣායනය ඇරඹුණේ එජාප හිතවත් සංඝරත්නයේ ඉල්ලීමට අනුවය.


“යාග-හෝමත් කරනවා කියන්නේ ඇත්තද? කොතැනද ඒක කරන්නේ”? එහි පැමිණි ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අරලියගහ මන්දිර සේවකයන්ගෙනි.


“ ඒක අලි මඩක්, එහෙම එකක් නැහැ! සර්” ඔවුහු පැවසූහ.


අර්බුදය හටගත් මොහොතේ පටන් එජාප මැති-ඇමැතිවරුත් හා හිතවතුන් දහස් ගණනින් අරලිය ගහ මැදුරට පැමිණි අතර ඔවුහු පැය 24 පුරාම එහි රැඳී සිටියහ. රාත්‍රියේ ඔවුන් ප්‍රධාන ශාලාවේ කාපට් උඩ නිදාගත්හ.
අරලියගහ මැදුරේ තේ එකක් හෝ හැදුවේ නැතත් අහාර හා තේ සියල්ල පිටින් පක්ෂ හිතවතුන් විසින් ගෙනෙන පසුබිම පෙනෙන්න තිබිණ. අගමැති රනිල් මධ්‍යම රාත්‍රිය තෙක් ගත කළේද විවිධ මෙහෙයුම්, සාකච්ඡා හා වෙනත් කටයුතුවලට යොමු වෙමිනි. අගමැති රනිල් හා බිරිඳ මෛත්‍රී නිදා ගත්තේ අරලියගහ පැරණි මන්දිරයේය.


“මහින්ද 113 හදා නොවෙයි දිවුරුම් දී තිබෙන්නේ. රුපියල් දස ලක්ෂ 500ක් බැගින් එජාප මන්ත්‍රීලට දී බිලි බාන්න හදනවලු”, රන්ජන් රාමනායක කීය.


“ එයාලා පොරොන්දු වුණාට සල්ලි නොදී මග අරින බවට අතීත උදාහරණ තිබෙනවා. මිලියන 500 ගානේ දීලා අපේ මන්ත්‍රීවරුන් බිලී බානවා නම් 10 දෙනකු බිලීබාන්න දස ලක්ෂ 5000ක් එනම් රුපියල් ලක්ෂ 50,000ක් යනවා. ඡන්දයකටවත් කිසිම පක්ෂයකට එහෙම වියදම් කරන්න අමාරුයි. ගිය මිනිස්සුත් හැරිලා එන තත්ත්වය දැන් තිබෙන්නේ ” අගමැති රනිල් කීය.


“අගමැතිකමට යළිත් රනිල් එනවා නම් ජනාධිපතිතුමා අස් වෙනවාලු. ඒක සූසයිඩ් ගේමයි. රටේ බහුතර මිනිස්සුයි, පක්ෂවල අයයි ඒකට කැමති ඇති මා හිතන්නේ”, චමින්ද විජේසිරි කීවේ සිනාසෙමිනි.
“තොණ්ඩලට-දේවානන්දලට ඇමැතිකම් දීම නිසා අනිත් සියලුම දෙමළ කණ්ඩායම් කලකිරිලා ඉන්නේ. මුස්ලිම් හා දෙමළ පක්ෂවල අප ගැන අවුලක් නෑහැ” දයා ගමගේ කීය.


“බදාදා එක්කෙනෙකුවත් බිලී බාන්න බැරි වුණා. ඒකෙන් එයාලා වැටුණා. අපේ මන්ත්‍රීතුමියකට සංස්කෘතික ඇමැතිකම දෙන්න පොහොට්ටුවේ කෙනෙකු කතා කළාම එයා මහවැලි ඇමැතිකම ඉල්ලල තිබෙන්නේ එජාප නායකයන්ටත් ඇහෙන්න. ටෙලිෆෝන් එක සෙට් කරල කතාව වටේම යනවා” චමින්ද විජේසිරි කීවේය.


“ජාත්‍යන්තරය තදින්ම කියන්නේ රටේ නීතිය, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා පාර්ලිමේන්තුව කැඳවලා අගමැති තෝරන්න කියලයි. නැතිනම් ජී.එස්.පී. නැතිවෙලා, මාළු තහනම යළිත් ඇවිත් ලංකාවට ආර්ථික සම්බාධක ඇති වේවි”, තිලක් මාරපන කීය.


“ඩොලර් එක වෙනදටත් වඩා වේගයෙන් නගිනවා. අනික බැඳුම්කරවලට මාසිකව ගෙවිය යුතු මුදලුත් මේ ර්බුදය එක්ක වැඩිවෙලා නිසා මිනිස්සු බැඳුම්කර විකුණා දානවා. පාන් කෑල්ලටත් මරා ගන්න සාගත රටක් බිහි වේද කියලයි, මට බය”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවිට අගමැති රනිල් ඇතුළු සියල්ල එය සනාථ කළහ.


“ලංකාවට සාම සාධක හමුදා ගේන්න කියා අගමැති රනිල් ලිපි යැවූ බවද බොරුවට හදපු ලිපිය මෙන්ම අගමැති මාරුව ව්‍යවස්ථාවට එකඟයි කියා වැඩ බලන නීතිපති යවපු ඊමේල් පණිවිඩයත් බොරු එකක් බව දැන් හෙළිවෙලා”, හරීන් ප්‍රනාන්දු කීය.


“ජාත්‍යන්තර සහාය නැතිව ආර්ථික අර්බුද මැද රටක් දුවන්න බැහැ. ජනතාවටයි, අන්තිමට පරිප්පුව කන්න වෙන්නේ”, චමින්ද විජේසිරි කීය.


“එජනිස යහ පාලන රජයෙන් ඉවත් වුණත් රනිල් අගමැතිතුමාට ඇමැතිවරුන් 30ක් එක්ක ආණ්ඩුව ගෙන යන්න පුළුවන්ලු”, එජාප නීති නිලධාරියෙක් කීය.


“බිලීබාන අයට දැන් ඇමැතිකම් දුන්නට පසු එයාලට ගේම දී පොහොට්ටුකාරයෝ ඇමැතිකම් කොල්ලකන වැඩපිළිවෙළකුත් එතන තිබෙනවාලු”, චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ කීවේ තමන්ට ලැබුණු තොරතුරට අනුවය.


“පාර්ලිමේන්තුව 05 වැනිදාට කැඳවන්න දැන් තීන්දු වෙලාලු. ඉන් පසු එජාපෙ පක්ෂ එකමුතුව තවත් ශක්තිමත් වෙනවා. එජාපෙ, ටී.එන්.ඒ හා ජවිපෙ, අත්සන් 129 ක් හරහායි, පාර්ලිමේන්තුව කැඳවන්න අප බළ කළේ. කුමන්ත්‍රණකරුවන්ට අවශ්‍ය මන්ත්‍රී සංඛ්‍යාව නැහැ.


තානාපතිවරුන්ට අප රටේ තත්ත්වය පැහැදිළි කළාම ලෝකයම නව අගමැති පත් කිරීමේ ක්‍රමය හෙළා දැක්කා. කොළඹට විශාල සෙනඟ ගෙනත් අප ජන බලයත් පෙන්නුවා. දැන් පාර්ලිමේන්තුව කැඳවූ විට සියලු බලතල හිමි වන්නේ කථානායකටයි. ඒ අනුව අප මේ සටනේ පළමු පියවර ජය ගත්තා. ඊළඟ පියවර පාර්ලිමේන්තුවේදී බලමු. ඒක කෑ ගහමින් කරන්න බැහැ.” අගමැති රනිල් බ්‍රහස්පතින්දා තමාට සමීප මැති-ඇමැතිවරුන් කිහිප දෙනෙකුට පැහැදිළි කළේය.



අදහස් (0)

අගමැති මමයි රනිල් කියයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 154 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site