පවත්වන්නට නියමිතව ඇත්තේ පළාත් සභා මැතිවරණය වුවද එය දැන්ම එනපාටක් පෙනෙන්නට වත් නැත. පළාත් සභා තුනක නිල කාලය හමාරව වසරකුත් මාස 7ක්ද ඉක්ම ගොස්ය. තවත් පළාත් සභා තුනක නිල කාලය අවසන්වී වසරකට ආසන්නය. දකුණු සහ බස්නාහිර පළාත් සභා දෙකේ නිල කාලයද තව සති දෙක තුනකින් අවසන් වනු අැත. එහෙත් පළාත් සභා ඡන්දය තියන්නට ආණ්ඩුවද එතරම් උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත. ඒ නිසාම වැඩි දෙනාගේ කතාබහ ජනාධිපතිවරණය ගැනය.


ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනකු ගැන කතා බහ දැනටමත් කරළියට පැමිණ තිබේ. එක්කෙනෙක් පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන්නට යන බව කියන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. අනෙක් කෙනා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ දේශපාලන සන්ධානයකින් ඉදිරිපත් කරන්නට යන බව කියන කතානායක කරු ජයසූරිය මහතාය. ගිය සතියේ නාරාහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක පැවැති උත්සවයකදී ද මේ කතාබහ කරළියට ආවේය. එම උත්සවයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කරු ජයසූරිය, මහතාගේ බෑණන්ඩිය, වන ඇමැති නවීන් දිසනායක යන මහත්වරුද පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මියද පැමිණ සිටියහ. නවින් සිය කතාව කරද්දි අවසර ගත්තේ පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්ද අවසරයි කියමිනි. ගෝඨාභයද නවීන්ගේ කතාවට උත්තර දුන්නේ සිය කතාව ආරම්භ කරමිනි. නවින් දිසානායක ඇමැතිතුමා මාව ජනාධිපති අපේක්ෂකයා කළා. ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස එතුමාගේ මාමණ්ඩිය එනවා කියල දැන ගන්න තියෙනවා. ගෝඨාභය සිය කතාව අරඹමින් කීවේය.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි අඟහරුවාදා උදේ පැවැත්වූයේ ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. අරුවක්කාලු කසළ අංගණය සම්බන්ධයෙන් චම්පික රණවක ඇමැතිවරයා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාව හේතුවෙන් කැබිනට් රැස්වීම තරමක් උණුසුම් විය. රජයේ මුදල් රුපියල් මිලියන 14,000ක් වැයකර අරුවක්කාලු කසළ අංගණය ඉදිකර අවසන්ව ඇති බැවින් මේ මස 15 වැනිදා සිට ඒ සඳහා කසළ භාරදිය හැකි බව චම්පික කියා තිබිණි. එමෙන්ම ඔහු යෝජනා කර තිබුණේ තම අමාත්‍යාංශයෙන් අරුවක්කාලු කසළ අංගණ ව්‍යාපෘතියේ පළමු අදියර අවසන් කර ඇති නිසා එය කාට හෝ භාරගෙන එම කටයුතු ඉදිරියට කරගෙන යන ​ෙලසය. කසළ වැඩේ අපේ අමාත්‍යාංශයට පවරලා නිහඬව ඉන්නවා. දැන් අපේ වැඩ ටික ඉවරයි මේක දැන් පළාත් පාලන අමාත්‍යාංශයට හෝ වෙනත් අමාත්‍යාංශයකට භාරගෙන ඉදිරියට කරගෙන යා හැකි බව චම්පික කීවේය. චම්පිකගේ කතාවට විරුද්ධව රිෂාද් බදියුදින් ඇමැතිවරයා අදහස් දැක්වීය. ‘පුත්තලමේ ජනතාව අරුවක්කාලු කසළ අංගණයට විරුද්ධ බැවින් මෙය කරන්නට ඉඩදිය නොහැකි බව රිෂාද් කීවේය. ‘අපි ඔය කියන අයත් එක්ක පුත්තලමට ගිහින් 17 වතාවක් සංවාද කළා. මෙතන තියෙන්නෙ කසළ අංගණයට විරෝධයක් නෙවෙයි. දේශපාලන කාරණා මත දක්වන විරෝධයක් යැයි චම්පික කීවේ රිෂාද්ට පිළිතුරු දෙමිනි.


අනතුරුව කතා කළේ රාවුෆ් හකීම් ඇමැතිවරයාය. කසළ ප්‍රශ්නය විසඳන්න තියෙන විද්‍යාත්මකම විසඳුම මේක කියලා අපි පිළිගන්නවා. හැබැයි මේක නිසා පුත්තලමේ මිනිස්සු කුලප්පු වෙලා වෙනම ඡන්දය ඉල්ලන්න සූදානමකුත් එහේ තියෙනවා හකීම් කීවේය. මනෝ ගනේෂන් ඇමැතිවරයාත්, රාජිත සේනාරත්න ඇමැතිවරයාත් චම්පිකට සහාය පළ කරමින් අදහස් දක්වන්නට වූහ. මනෝ ගනේෂන් කීවේ ඇමැතිතුමා මේක විසඳපු එක හොඳයි. හැබැයි කසළ ප්‍රශ්නය ආවම එහේ ඉන්න සමහරුන් කතා කරන්නෙ මේකෙන් වෙනම රාජ්‍යයක් වෙනවා වගේ කියල හිතලයි කියාය. මේ ප්‍රශ්නය විසඳන්න හැදූ හැම වෙලාවෙම ඒක අවුල් කරන්න හදනවා. අපි මේ වැඩේ ඉදිරියට ගෙනින්න ඕන යැයි රාජිත කීවේය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කීවේ අපි නැවත සාකච්ඡා කරල මේක ගැන විසඳුමක් ගමු කියාය.


එ​ංගලන්තයෙන් හර්කියුලිස් වර්ගයේ ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිලදී ගැනීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරයා විසිනි. මුදල් අමාත්‍යාංශය සිය නිර්දේශ ඉදිරිපත් කරමින් ඊට විරෝධය පළකර තිබුණේ ගන්නට යන ගුවන් යානා දෙක අවුරුදු 40ක් පැරැණි බව කියමිනි. ජනාධිපතිවරයාට ඊට යකා නැග්ගේය. පසුගිය අවුරුදු හතරෙම ගුවන් හමුදාවටයි, නාවික හමුදාවටයි එක යාත්‍රාවක් මිලදී ගෙන නැහැ. දූෂණ ආදිය කියල ඒවා වැළැක්වුවා ජනාධිපතිවරයා කීවේ කරුණු පැහැදිළි කරමිනි. ආරක්ෂක හමුදාවල තත්ත්වය පරීක්ෂාකර අවශ්‍ය යාත්‍රා මිලදී ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට අනු කමිටුවක් පත් කිරීමටද තීරණය විය.


ඊළඟට ආන්දෝලනයට තුඩු දුන්නේ විදුලිබල ඇමැති ලෙස රවි කරුණානායක ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකි. විහාරයන්හි පෙරහරවලට වැයවන විදුලිය ගාස්තුව විදුලිබල අමාත්‍යාංශයෙන් ගෙවිය නොහැකි බව රවි කීවේ එය භාණ්ඩාගාරය බාරගත යුතු බව සඳහන් කරමිනි. එම බිල් ගෙවීමට භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 50ක්ද ඔහු ඉල්ලා තිබිණි. රවිගේ යෝජනාවට ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළේ ඕවා ඉතිහාසය පුරාම කරපු දේවල්. ඒක වළක්වන්න යන්න එපා. අනෙක විදුලි බල මණ්ඩලය කියන්නෙ බිලියන 250ක ව්‍යාපාරයක්. ඒ නිසා ඔය වගේ දේවල් සුබ සාධන විසඳුම් විදියට කරන්න විදුලිබල මණ්ඩලයට අපහසු නැහැ යැයි කියමිනි. ඒ සමගම ජනාධිපතිවරයා කීවේ ඔය වගේ කාරණා මේ වගේ තැන්වල කතා කරන්නවත් ගේන්න එපා. මොකද එළියට ආරංචි වුණොත් හොඳ නැහැ කියාය. මේ අතර මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන කටයුතු අවසන් කර මාස තුනකින් වාර්තාවක් ඉදිරිපත් කිරීමටද එහිදී තීරණය විය.


ශ්‍රීලනිපයත් පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවන්නට යෝජිත හවුල් දේශපාලන සන්ධානය පිළිබඳව දෙවන සාකච්ඡා වටය ද ගිය බ්‍රහස්පතින්දා පැවැත්වුණේ දෙපාර්ශ්වයේම නියෝජිතයින්ගේ සහභාගීත්වයෙනි. විපක්ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවට ශ්‍රීලනිපයෙන් දයාසිරි ජයසේකර, තිලංග සුමතිපල හා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස ද පොහොට්ටුවෙන් මහාචාර්ය ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම හා ජගත් වැල්ලවත්ත ද සහභාගී වූහ. පොහොට්ටුවේ නියෝජිත පිරිස කල්වේලා ඇතිව පැමිණ සිටි අතර අනතුරුව තිලංග හා රෝහණ ලක්ෂ්මන් එකම වාහනයකින් පැමිණියහ. මද වේලාවකින් දයාසිරි ද පැමිණියේය. සාකච්ඡාව උදේ 11.10ට පමණ ආරම්භ විය. කලින් සතියේ දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වූ ​යෝජනා එකතු කර සකසා කළ පොදු න්‍යායපත්‍රයක් මෙවර සාකච්ඡාවට ගැනිණි. එහි කරුණු 20 ක් පමණ පෙළගස්වා තිබිණි. ආර්ථික ප්‍රතිසංස්කරණ, අධ්‍යාපනය, සමාජ සුබසාධනය ආදී කාරණ පිළිබඳව සාකච්ඡා කළ දෙපාර්ශ්වයේ නියෝජිතයෝ දෙපාර්ශ්වයෙන්ම විශ්වාසය තහවුරු වන පොදු ප්‍රතිපත්ති ප්‍රකාශයක් සකස් කිරීමට එකඟ වූහ. ඒ අතරම අවධානය යොමු වූයේ ශ්‍රීලනිපය හා ​පොහොට්ටුවේ පහළ තලය තුළ විශ්වාසය ගොඩනැගීමය. එහි එක් පියවරක් ලෙස පළාත් පාලන ආයතනවල ශ්‍රීලනිප හා පොහොට්ටු මන්ත්‍රීවරුන් එක්ව කටයුතු කළ බවට ද එකඟත්වයක් ඇතිකර ගනු ලැබීය. දෙපාර්ශ්වය සාකච්ඡා කළ කරුණු පක්ෂ දෙකේ මධ්‍යම කාරක සභා දෙකටම ඉදිරිපත් කර නායකයින් ද දැනුවත් කිරීමෙන් අනතුරුව ලබන මස 10 වැනිදා නැවත හමුවීමටත් එහිදී එ්කාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත් තීරණය කළේ පැවැති පැය දෙකක් තිසසේ සාකච්ඡා අවසන් කරමිනි.   


ජිනීවාහි පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනා ගැනත් ඊට අනුග්‍රහය දැක්වීමට රජය කටයුතු කරමින් සිටින ආකාරය ගැනත් ජනාධිපතිවරයා දැනුවත් කරන්න ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් පිරිසක් ගිය සතියේ මෛත්‍රීගේ නිල නිවසට ගියේ කලින් කළ දැනුම් දීමකට අනුවය. දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස්, ගම්මන්පිල, රාජා කොල්ලුරේ ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ජනාධිපතිවරයා ඔවුන්ට ද රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණේ කෑම ගන්නා ගමන්ම කතාබහ කිරීමේ අපේක්ෂාවෙනි. ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් අත්සන් කරල එව්ව ලිපිය ඔබතුමාට ලැබුණාදැයි දිනේෂ් ඇහුවේ සාකච්ඡාවට වාඩිවෙන ගමන්මය. තවම ලැබුණේ නැහැ. ඒක ලැබේවි. යැයි මෛත්‍රී උත්තර දුන්නේය. දිනේෂ් එම ලිපියේ පිටපතක් ජනාධිපතිවරයාට බාර දුන්නේ මේ ඒ ලිපියේ පිටපතක් කියමිනි. ලිපියේ කරුණු ගැන පැහැදිලි කළේ ජී.එල්. පීරිස්ය. 2015 දී ශ්‍රී ලංකාව ද සම අනුග්‍රහය දක්වමින් මානව හිමිකම් කවුන්සලයට යෝජනාවක් ඉදිරිපත් කළ ඇමෙරිකාව දැන් මානව හිමිකම් කවුන්සලයෙන් ඉවත්ව තිබෙන බැවින් ශ්‍රීලංකාව ද මෙම සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වෙන්න තියෙන හොඳම වෙලාව මෙය යැයි ජී.එල්. පැහැදිලි කළේය.   


ජී.එල්. ගේ අදහස ගැන මෛත්‍රී ද කරුණු පැහැදිලි කළේ දීර්ඝ විස්තරයක් ද කරමිනි. මමත් හිතන විදියට අපි මේකට සම අනුග්‍රාහකත්වය නොදක්වන්න තිබුණා. මම මේ ගැන දැනගත්තෙත් සම අනුග්‍රහකත්වය දක්වන්න කැමැත්ත පළකළාට පසසේ. නැත්නම් මමත් ඕකට ඉඩ තියන්නේ නැහැ. අනුග්‍රාහකත්වය දැක්වූවාට පස්සේ ඉවත් වෙන එක ටිකක් කරදරයි. ඒ නිසා තමයි මම මේ පාර තිලක් මාරපනත් එක්ක මගේ නියෝජිත පිරිසකුත් යැව්වේ. යැයි ජනාධිපතිවරයා කීවේය.   


සාකච්ඡාව අවසන් වුණේ ඒකාබද්ධයෙන් එවා ඇති ලිපියට පිළිතුරක් එවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.