හිටපු මුදල් ඇමැතිතුමාට පිං සිද්ධ වෙන්න සුළු ව්‍යාපාරිකයනුත් අපිත් එක්ක තරහ වුණා

ආර්ථික කළමනාකරණ කමිටුවෙන් කිසිම වැඩක් වෙලා නෑ

අර මහා භාරකාරයා යටතේ තිබුණ පොල්වත්ත කපල දාල වොක්ස්වැගන් කම්හලක් පටන් ගන්නවා කීවා මං ගිහින් එනකොට ජර්මනියෙන් කතා කරලා කීවා අපි එහෙම කම්හලක් පටන් ගත්තේ නෑ කියලා

 

දේශපාලන පොරපිටියේ අළුයට ගිනි තවමත් නිවී නැත. එය අද හෙට නිවෙන බවක් පෙනෙන්නටද නැත. පළාත් පාලන මැතිවරණයෙන් පසුව ඇතිවූ දේශපාලන උණුසුම දිනෙන් දින ගිනියම් වන බවක් නම් පෙනෙන්නට තිබේ. එය කොයි මොහොතේ පුපුරා යාවි දැයි කියන්නට නොහැකි තරමට ගිනියම් වෙමින් තිබෙන බව නම් පැහැදිලිය.  


සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි ගිය අඟහරුවාදා උදේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ඇමැති මණ්ඩල සංශෝධනයෙන් පසුව කැබිනට් මණ්ඩලය මුල්වරට රැස්වූයේද එදිනය.   
අලුතින් කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන් රවීන්ද්‍ර සමරවීරද කැබිනට් රැස්වීමට පැමිණ සිටියේය.   


වී මිලදී ගැනීමේ ප්‍රශ්නයද මෙවර කැබිනට් රැස්වීමේදී මතුවිය. සම්බා සහ කීරි සම්බා වැඩි මිලට පෞද්ගලික අංශයෙන් මිලදී ගන්නා නිසා නාඩු රුපියල් 38ට රජයෙන් මිලදී ගන්නැයි මංගල සමරවීර ඇමැතිවරයා කීවේය. ඒ අතරේ කබීර් හෂීම් ඇමැතිවරයා කීවේ වී අස්වනු නෙළන අවස්ථාවේ රජය පිටරටින් සහල් ගෙන්වන්නට යන බවට එක්තරා පුවත්පතක් ප්‍රවෘත්තියක් පළකර තිබීම පදනම් විරහිත බවය. වී මිල අඩුවී නැති බව ජනාධිපතිවරයාද කීවේය. වී අලෙවි මණ්ඩලයේ වී තොග සතොසට දුන් නමුත් සතොසින් රුපියල් කෝටි 180ක් මණ්ඩලයට තවම ලැබී නැතැයි කීවේ හැරිසන් ඇමැතිවරයාය. ඔහු කීවේ ඉන් භාගයක් හෝ ලැබෙන්නේ නම් දිගටම වී මිලදී ගන්නට මණ්ඩලයට හැකි බවය. රිෂාද් ඇමැතිතුමා ඒ ගැන කුමක් කියන්නේ දැයි ජනාධිපතිවරයා අහද්දී රිෂාද් කීවේ එම මුදල් කඩිනමින් ලබාදීමට තමා පොරොන්දු වන බවය. ඒ අනුව නාඩු වී කිලෝවක් රුපියල් 38කටත් සම්බා හා කීරි සම්බා රුපියල් 41කටත් මණ්ඩලයෙන් මිලදී ගැනීමට තීරණය විය.  


ජනාධිපතිවරයාද ඇමැති මංගලට කීවේ ඒ සඳහා අවශ්‍ය මුදල් දිසාපතිවරුන්ට නිදහස් කරන ලෙසය.  


අනතුරුව කතාබහට ලක්වුණේ පොහොර ප්‍රශ්නයයි. පසුගිය කන්නයේ පොහොර ප්‍රශ්නය තදින් බලපෑ බව ඇමැතිවරු කීහ. ජනාධිපතිවරයා කීවේ මාර්තු අන්තිමට පෙර පොහොර ආනයනය සඳහා ලංසු කැඳවන්න කියාය. යූරියා පොහොර ​ෙම.ටො. 30,000ක්ද එම්.ඕ.පී. සහ ජී.එස්.පී. පොහොර මෙ.ටොන් 18,000 බැගින්ද කඩිනමින් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට තීරණය විය. ඇමැති දුමින්ද දිසානායක කීවේ සමහර නිලධාරීන් පොහොර ගැන දන්නෙත් නෑ. ගොවීන් ගැන දන්නෙත් නෑ කියාය.

පොහොර නිසි වෙලාවට නොලැබීමෙන් තමාටද බැණුම් අසන්නට වූ බව දුමින්ද කීවේය. ගොවීන්ට අවශ්‍ය පොහොර කල්තියා ගෙන්වන්නටත් ඒ සඳහා වෙළෙඳපොළේ මිල ගණන්වලට අනුව මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන්නටත් තීරණය විය.  
විදුලිය මෙ.වො. 100ක් පෞද්ගලික අංශයෙන් හදිසි මිලදී ගැනීම් යටතේ මිලට ගන්නට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි.

එහෙත් ඇමැති රංජිත් සියඹලාපිටිය එදින කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ නැත. ඇමැතිවරුන් කිහිප දෙනකුම කීවේ යෝජනාවී ඇති විදුලි බලාගාර ඉදිකිරීම ප්‍රමාදවීම මීට තදින් බලපා ඇති බවය. ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ ඇමැති චම්පික රණවකය. ඔහු කීවේ මීට අවුරුදු දෙක හමාරකට පෙර ඉදිකිරීමට සැලසුම් කළ මෙ.වො. 360ක එල්.එන්.ජී. බලාගාරය ඉදිකිරීම දිනෙන් දින ප්‍රමාද කිරීම මීට හේතුව බවය. මේවා ටෙන්ඩර් කමිටුවලට භාරදීලා හරියන්නේ නෑ. හැමදාම යෝජනාව එහාට දානවා මෙහාට දානවා විතරයි. ලයිට් නැති වුණාම මිනිස්සු බණින්නේ ආණ්ඩුවට. මීට කලිනුත් මෙ.වො. 100ක් මිලදී ගත්තා. ඒකට රුපියල් බිලියන 25ක් පමණ වැය වුණා. මේ තව මෙ.වො. 100ක් ගන්න කියන්නෙ. ඒකට තව බිලියන 25ක් විතර යනවා. මෙච්චර මුදලක් වැය කරන්න ආණ්ඩුවට පුළුවන්ද? චම්පික කීවේය. මනෝ ගනේෂන් ඇමැතිවරයාද චම්පිකගේ අදහස අනුමත කරමින් කතා කළේය. ඔහු කීවේ ඒ චම්පික ඇමැතිතුමා කැබිනට් එකේදී මේ ගැන විසිතිස් පාරක්ම කියල තියෙනවා. හැබැයි ඒවා කවුරුවත් ඇහුවේ නෑ. ඒකයි මෙහෙම ගන්න වෙලා ති​ෙයන්නේ කියාය.  


කැබිනට් පත්‍රිකා ගැන සාකච්ඡාවෙන් අනතුරුව කතාබහට ලක් වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව ගැනය. ජනාධිපතිවරයා කීවේ ආර්ථික කළමනාකරණ කමිටුවෙන් කිසිම වැඩක් සිදුවී නැති බවය. මින් ඉදිරියට ආර්ථික කළමනාකරණ කමිටුවේ රැස්වීම් අනවශ්‍ය බවත් එහි කතා කරන දේවල් ද කැබිනට් එකේම සාකච්ඡා කර තීන්දු කළ හැකි බවත් ජනාධිපතිවරයා කීවේ කමිටුවේ කටයුතු ගැන දැඩි වි​ෙව්චනයක්ද එල්ල කරමිනි. අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතා කළේය. අගමැතිවරයා කීවේ ආර්ථික කළමනාකරණ කමිටු පත් කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයෙන් බවත් කැබිනට් එකේ දීර්ඝ ලෙස සාකච්ඡා කළ නොහැකි බොහෝ දේවල් ආර්ථික කළමනාකරණ කමිටුවේ දීර්ඝ ලෙස සාකච්ඡා කර තීන්දු ගන්නා බවත්ය.

අගමැතිවරයා වෙනුවෙන් මංගල සමරවීර හා මලික් සමරවික්‍රම යන ඇමැතිවරුද කතා කළහ. සංවර්ධන කටයුතුවලදී ගැටලුකාරී තැන්, හිරවෙන තැන් සාකච්ඡා කර තීන්දු ගන්න ආර්ථික කළමනාකරණ කමිටුවට හැකිවුණා යැයි මංගල කීවේය. මලික් සමරවික්‍රම කීවේ ආර්ථික කළමනාකරණ කමිටුවේ කටයුතු නිසා රටේ ආයෝජනත් අපනයනත් වැඩිවුණා කියාය. අනතුරුව ජනාධිපතිවරයා උත්තර දුන්නේ මට තියෙන අත්දැකීම්වලින්ම මම මේක වැදගත්ද නැද්ද කියල කියන්නම්කෝ කියමිනි. අර කුලියාපිටියේ මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ තිබුණු පොල්වත්තක් කපලා දාලා ​ෙෆාක්ස්වැගන් කම්හලක් පටන් ගන්නවා කිව්වා. මම ඒකට මුල්ගල තියලා එද්දී ජර්මනියේ ​ෙෆාක්ස්වැගන් කම්පැනියෙන් කතා කරලා කිව්වා ඒ කම්හලට අපේ කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒක වාහන එකලස් කිරීමේ කම්හලකට දීලා රටම නොමඟ යවන වංචාසහගත වැඩක් කළේ. ඊළඟට හොරණ ටයර් කම්හල. ඒකත් බොරුවක්. රටම නොමග යැව්වා. ඒකට බී.ඕ.අයි. එකට අමතරව පිටිනුත් ඉඩම් දෙන්න කියල තිබුණා. මේ විදියට තමයි ඔය කමිටුව වැඩ කළේ. ඔය වගේ දේවල් ඕන තරම් මට පෙන්වන්න පුළුවන්. මේකෙ කිසිම විනිවිදභාවයක් නෑ. මම ජර්මනියට ගිය වෙලාවෙ ජර්මනියේ ආයෝජකයෝ පිරිසක් ඉදිරිපත් වුණා. ඉන්දියාවේ කටාර්වල, කොරියාවේ නියෝජිත පිරිස ආවා. ඒ එකකින්වත් වැඩක් ගත්තේ නෑ. තමන්ට සම්බන්ධ නැත්නම් ඒ එකකින්වත් වැඩක් ගන්​ෙන නෑ යැයි ජනාධිපතිවරයා කීවේය.  


රාජිත සේනාරත්න ඇමැතිවරයාද කතා කළේ ජනාධිපතිවරයාගේ අදහස් අනුමත කරමිනි. මගේ සංවර්ධන ව්‍යාපෘති 80ක් විතර ආර්ථික කළමනාකරණ කමිටුවේ අවුරුදු එකහමාරක් තිස්සේ ගල්වෙලා. මේවා 2015 ඉඳලා ඉදිරිපත් කරපු ඒවා. රාජිත කීවේය. මංගල කීවේ මෙවැනි කමිටුවක් පැවැතීම හොඳ බවය.  


මේ අතර ජනාධිපතිවරයා තවත් චෝදනාවක් කළේය. රටේ හැමතැනම චීන කඩ ඉදිවන බවට චෝදනාවක් තිබෙනවා යැයි ජනාධිපතිවරයා කීවේය. වෙළෙඳ ව්‍යාපාරිකයින් මාර්තු 6 වැනිදා සුගතදාස ක්‍රීඩාංගණයේදී රැස්වීමකුත් තියන්න යනවා යැයි ජනාධිපතිවරයා කියද්දී අගමැතිවරයා කීවේ චීන කඩ ඉදිකිරීම ආරම්භ වූයේ 2001 සිට බවය. අගමැතිවරයා කීවේ එය පනතකට අනුව සිදුවූ බවය. දයාසිරි ජයසේකර ඇමැතිවරයා කීවේ බැටරි කේච් ක්‍රමයට කුකුළු ගොවිපළවල් පවත්වාගෙන යාම නිසා කුකුළු ව්‍යාපාරිකයින්ද ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන් බවය. ඒ අදහස අනුර යාපා ද අනුමත කළේය. ජනාධිපතිවරයා කීවේ හිටපු මුදල් ඇමැතිතුමාට පින්සිද්ධ වෙන්න සුළු වෙළෙඳ ව්‍යාපාරිකයනුත් අපිත් එක්ක තරහා වුණා කියාය.  


අනතුරුව කතා කළේ චම්පික රණවක ඇමැතිවරයාය. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව තියනවා.

අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආර්ථික කළමනාකරණ කමිටුව තියනවා. මගේ ප්‍රායෝගික අත්දැකීම් අනුව නම් කමිටුවලින් වෙලා තියෙන්නේ සංවර්ධනය ප්‍රමාද වීමයි. ඒක නිසා අපි දැන් කළ යුත්තේ තියරි ගැන කතා කරන එක නතර කරලා වැඩ කරන එකයි. තව මාස 18 යි තියෙන්නේ. මේ මාස 18 දී ප්‍රායෝගික වැඩ පිළිවෙළක් හදල ක්‍රියාත්මක කරන එකයි දැන් තියෙන්නේ යැයි චම්පික කියද්දී කබීර් හෂිම්ද කීවේ ප්‍රතිපත්ති ගැන කතා කර කර නොඉඳ ප්‍රායෝගික වැඩ පිළිවෙළකට යා යුතු බවය.