රනිල් සජිත් සාකච්ඡාව

 

 

එජාපයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් පසුගිය සතිය වන විට පක්ෂය තුළ විවිධ මතවාද පැතිර පැවතුණි. එජාප මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ මතය වූයේ මෙවර එජාපයෙන්ම අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවය. දැනට ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණු සන්ධානයට අයත් සමහර මන්ත්‍රීවරුන් නායකත්ව මණ්ඩලයක් මගින් එජාප අපේක්ෂකයා තෝරාගත යුතු බවට ප්‍රචාරය කළත් එජාප ඉදිරි පෙළ මෙන්ම පසුපෙළ බොහෝ මන්ත්‍රීවරුන්ගේ මතය වූයේ පළමුව එජාපය තම අපේක්ෂකයා තෝරාගත යුතු බවය.


ජනාධිපතිවරණයක් සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ ඉදිරිපත් වී අවසන් වරට අපේක්ෂකයකු ජයග්‍රහණය කළේ 1988 වසරේදීය. ඒ ජනාධිපති ප්‍රේමද‌ාස මහතාය.
පවතින මතවාදී අර්බුදය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අදහස වූයේ එජාප නායක හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාත් එජාප නියෝජ්‍ය නායක හා ඇමැති සජිත් ප්‍රේමද‌ාස මහතාත් මුහුණට මුහුණ හමු වී ප්‍රශ්නය නිරාකරණය කරගත යුතු බවය. එයට පසුබිම ඉකුත් අඟහරුවාද‌ා උද‌ා විය.


අඟහරුවාද‌ා පැවැති එජාප ඇමැතිවරුන් අගමැතිවරයා හමුවන සාකච්ඡාව අවසානයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමද‌ාස නියෝජ්‍ය නායකයා දෙසට හැරී විමසුවේ ‘සජිත්... ටිකක් මුණගැසිලා කතා කරන්න පුළුවන් ද?’ කියාය.


‘යර්ස්.... සර්. ඕකේ...’


සජිත් ප්‍රේමද‌ාස මහතා පිළිතුරු දුන්නේය. ඒ අනුව අරලියගහ මන්දිරයේදී රනිල් - සජිත් මුහුණට මුහුණ සාකච්ඡාව සිදුවිය.


මෙහිදී දෙදෙනාම ජනාධිපතිවරණයේදී තම තමන්ගේ අභිලාෂයන් කියා සිටියහ.


සජිත් ප්‍රේමද‌ාස මහතා කීවේ මම මෙවර ජනාධිපතිවරණයට ඉල්ලන්න තීන්දු කර අවසන් බවය.


‘මම ගත්ත තීන්දුව වෙනස් කරන්න හැකියාවක් නෑ.’ සජිත් කීවේය.


‘අපේක්ෂත්වය තීන්දු කරන්න කලින් සන්ධානය හදල ඉන්න ඕනෑ...’ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.


ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දෙදෙනා අතර කතා බහ වූයේ එපමණකි. එහෙත් පක්ෂය ගත යුතු ඉදිරි පියවර ගැන දෙදෙනාම තවදුරටත් සාකච්ඡා කළහ. දේශපාලනය කිරීමේදී මතුව ඇති බාධා හා දුෂ්කරතා ගැන අගමැතිවරයා දිගු විස්තරයක් කළේය.


අභ්‍යන්තර ව්‍යාකූලතා පැවැතිය ද අගමැතිවරයා පසුගිය සතිය පුරා අද‌ාළ රැස්වීම්-උත්සව හා සංවර්ධන ව්‍යාපෘති සියල්ලට එක් වූයේ ඉතා සැහැල්ලු මනසකිනි.


බ්‍රහස්පතින්ද‌ා පොලිසියේ ඉහළ නිලධාරීන් සමග කළ නිල සාකච්ඡාව නිමා කළ අගමැතිවරයා අනතුරුව පැමිණ සිටි මැති-ඇමැතිවරුන් සමග ද කතා බහ කළේය.


‘පොහොට්ටුවේ වගේම එජාපයෙත් අපේක්ෂක තේරීමේ මහා තරඟය පටන් ගත්තා නේද?’ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක කතාවට මුල පිරුවේ සිනහවක් ද සමගිනි.


‘නැහැ. පොහොට්ටුවේ වගේ ලොකු ප්‍රශ්න අපේ නැහැ. සමහර මාධ්‍ය මේක ලොකු කර පෙන්වන්න හදනවා. සන්ධානය පිහිටෙව්වේ නැතිනම් කාටවත් අපේක්ෂක කම් ගෙන වැඩක් වෙන්නේ නැහැ.’


‘නව සන්ධානේ ව්‍යවස්ථාවට සංශෝධන වගයක් ඇවිත් තිබෙනවා. අද හවස (08) ඒ පක්ෂ නායකයන් හමුවෙනවා. ඔවුන් ඒ ගැන කතා කර තීන්දුව දේවි. ඒ කිසි දේකට මා මැදිහත් වෙන්නේ නැහැ.’ අගමැතිවරයා කීවේය.


‘රනිල් - සජිත් හමුව ගැන හැමෝම විස්තර අහනවා.’ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ ද මද සිනහව සමගිනි.


‘ඒ කතාබහ ඉතා සුහද හා ඉතා අවබෝධයෙන් කළ එකක්. ජනතාවගෙන් ඉල්ලීම තිබෙනවා කියා සජිත් කිව්වා. පක්ෂය ඇතුළෙන් හා පක්ෂ නායකයින්ගෙන් මටත් එවැනිම ඉල්ලීම තිබෙනවා කියා මමත් කිව්වා. මෙතනදී වැදගත්ම ප්‍රතිඵලය වුණේ සන්ධානය හදන්න සජිතුයි, මමයි එකඟ වීමයි. ඊට පසු කතා කර කාගේත් එකඟත්වය මත තීන්දුවට එමුයි කියා සුහදව විසිරුණා.’ අගමැතිවරයා පැහැදිලි කළේය.


‘පොහොට්ටුවේ සන්ධානය රණ්ඩු මැද 11 වැනිද‌ා එළිදකිනවලු. ජවිපෙ එක 18 වැනිද‌ායි. ඔක්කොටම කලින් 5 වැනිද‌ා අපේ සන්ධානෙ ගහන්න තිබුණා නම් ඒක ලොකු පිම්මක් බව බොහෝ දෙනෙකු කියනවා.’ නවීන් දිසානායක කීවේය.


‘සතියක් - දෙකක් ඇතුළත එජා​ෙප සන්ධානෙත් අත්සන් කරන්න කටයුතු කරන්න ඕනෑ.’ චමින්ද විජේසිරි කළ යෝජනාවට කාගේත් එකඟත්වය පළ විය.


‘මෛත්‍රී - මහින්ද හමුව ගැන නොයෙක් කතා යනවා. මෛත්‍රීට ප්‍රධානම තනතුරක් දෙන්න මහින්ද පොරොන්දු වෙලා කියලයි ආරංචි. දයාසිරිලා තාම ජනපති අපේක්ෂකත්වය ගැන කතා කරන්නෙ ඒ පදනම තුළයි. එහෙම නොවුණොත් ඔවුන් විශාල විකල්පයකට යාවි කියලත් කියනවා. හැබැයි පොහොට්ටුවේ 90% ක් කියන්නේ ශ්‍රීලනිපයේ නායකයන් වේදිකාවට නැග්ගොත් එයාලා පරාදයි කියලයි.’ හේෂා විතානගේ කීවේය.


‘සජිත් ඇමැතිතුමා හම්බවෙන්න කලින් ඔබතුමාට මහින්ද රාජපක්ෂ හමුවුණා කියලත් ආරංචියක් යනවා.’ නවීන් දිසානායක ඇසුවේ අගමැතිගෙනි.


ත්‍රෛනිකායික හාමුදුරුවන්ගේ උත්සවයේදී හමුවෙලා දෙන්න නිකම් කතා කළා. එතන ජනාධිපති මෛත්‍රීත් හිටියනේ?’ අගමැතිවරයා කීවේ මහ හයියෙන් සිනා සෙමිනි.
‘කතෝලික මිනිසුන් උසිගන්වලා නැති ප්‍රශ්න ඇති කරන්න පටු දේශපාලන අවස්ථාවාදීන් උත්සාහ කරනවා. පාස්කු බෝම්බේ නිසා වේදනාවෙන් ඉන්න ඒ මිනිස්සු පහත් විදියට ආවේගවලට තල්ලු කරන එක මහ පාපයක්.


කටුවපිටිය ප්‍රතිමාවට ගල් ගහලා ප්‍රතිමාවට කිසිම හානියක් නොවෙන්න වීදුරුව විතරක් කඩා ගල ඒක උඩින් තියා යාම නිසාම පේනවා මේක සැලසුම් කළ වැඩක් කියලා.’
ගුවන් හමුද‌ාව ඒ ප්‍රදේශය රකිනවා. ඒත් පොලිසිය, ආමි එක ද‌ාලා මේවා තවත් ශක්තිමත් කරන්න ඕනෑ. පියතුමන්ලාගේ හා මිනිසුන්ගේ ඉල්ලීම ඒකයි.’ වෛද්‍ය කාවින්ද ජයවර්ධන කතා කළේ ඉතා හැඟුම්බරවය.


‘කළ හැකි සියලුම දේ කරනවා.’ අගමැතිවරයාගේ ප්‍රතිචාරය විය.


‘හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලෙට පිටරට සල්ලි ආපු හැටියි, එයා නියෝජ්‍ය ඇමැතිකම් කරමින් ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරපු හැටියි, මහන්සිවෙලා අපේ පාර්ලිමේන්තු කාරක සභාව හොයා ගත්ත විස්තර බොරුයි කියා මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීමෙන් හිස්බුල්ලා ඉතා නරක පූර්වාදර්ශයක් රටට දෙනවා. ආණ්ඩුව හැටියට අප මෙතනදී පරිස්සමින් කටයුතු කරන්න ඕනෑ.’ මහාචාර්ය ආශු මාරසිංහ කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.


‘සාගල - කබීර් ඇමැතිල රහසේ ගිහින් ගෝඨාභය එක්ක ඩීල් ද‌ාලා කියා රාජ්‍ය ඇමැති නිරෝෂණ පෙරේරා කරන චෝදනාව ගැන අගමැතිතුමාගේ අවධානය යොමුවීම වැදගත්.’ එජාප නීති නිලධාරියෙක් කීවේය.


‘සාගල ගෝඨාභයගේ සුවදුක් විමසන්න කතා කළාම එන්න කියා තිබෙනවා. එයා මට කියලයි ගියේ.’ අගමැතිවරයා කීය.


‘ඊළඟ ජනාධිපතිවරණෙට කලින් කාගේත් එකඟත්වයෙන් මහ මැතිවරණය එන්නත් පුළුවන් කියා කතාවක් යනවා. මොන ඡන්දය ආවත් මේ පාර මාර යුද්ධයක් තියේවි. ඒ නිසා පහසුවෙන් දිනන්න පුළුවන් අපේක්ෂකයෙකු ද‌ාන්න ඕනෑ කියලයි පාක්ෂිකයෝ කියන්නේ.’ ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම එහි සිටි මැති-ඇමැතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන් ද කීවේ එකම අදහසකි.


‘මා සමීක්ෂණයක් කර තිබෙනවා. කොච්චර සිංහල බෞද්ධයෙකු වුණත් ජනපතිවරණෙකදි එයාලා ඡන්දය දෙන්නේ රටේ දෙවැනි වැඩිම ඡන්ද සංඛ්‍යාව තිබෙන දෙමළ අය ඡන්දය දෙන විදිය ගැන අධ්‍යයනය කරලයි. ඒ වගේම මුස්ලිම් පක්ෂත් බොහෝ විට තීන්දුවකට එන්නේ දෙමළ ඡන්ද ක්‍රියා කරන දිහා බලලයි.


මොකද, සුළු ජාතික පක්ෂ නැතුව කිසි කෙනෙකුට ජනපතිවරණය දැන් දිනන්න බැහැ. පරදින පැත්තකට ඡන්දය දී ඡන්දය නාස්ති කර ගන්න බුද්ධිමත් සිංහල මිනිසුන් කැමති නැහැ. යථාර්ථය ඒකයි.’ අග්‍රාමාත්‍ය කාර්යාල සංවර්ධන සංනිවේදන අංශ ප්‍රධානී නීතිඥ සුදර්ශන ගුණවර්ධන කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ විය.


‘ඒ කතාව හරි. 2015 දී එජාප නොවන මෛත්‍රීට සියලු සුළු ජාතික ඡන්ද ගෙන දෙන්න මූලික වුණේ අගමැතිතුමායි. ඒ නිසා එජාපෙ අපේක්ෂක රනිල් ද, සජිත් ද, කරු ද කවුරු වුණත් අගමැතිතුමාගේ සහයෝගය නැතුව ජයග්‍රාහී මාවතට පාර හද‌ා ගන්න අමාරු වේවි.’


‘උපාය මාර්ගය අනුගමනය නොකළොත් සුළු ජාතික පක්ෂ හා ඒ ඡන්ද විසිරිලා යාමේ අනතුර තිබෙනවා.’ අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි කළ විග්‍රහයට ද එහි සිටි සියලු දෙනාගේ ඉහළ ප්‍රතිචාර ලැබිණ.


‘දේශපාලන පළිගැනීම් නිසා අවුරුදු 20 කට වඩා බැටකාපු මිනිස්සුන්ට වන්දි දීම ආරම්භ කිරීම ලොකු දෙයක්. රුපියල් දශ ලක්ෂ 1000 කට වඩා ඒකට වෙන් කර තිබෙනවා.’ චමින්ද විජේසිරි කීය.


‘ජාතිවාදය - ආගම්වාදය හා දේශපාලන පළිගැනීම් නැති රටක් බිහි කළ යුතුයි කියා අගමැතිතුමා කී කතාව මිනිස්සු අගය කරනවා.’ හේෂා විතානගේ කීවේ එවැන්නකි.
’ආණ්ඩු විරෝධී ලෙස බන්දුල ගුණවර්ධන ලියපු පොත් 5 මහින්දගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වීමේ උත්සවයට ජාතික රූපවාහිනිය විශාල ප්‍රචාරයක් දුන්නා. අද තිබෙන මාධ්‍ය නිදහස එයයි. එද‌ා මෙහෙම කළා නම් රූපවාහිනියෙ ඔක්කොටම ගෙදර නොව සුදු වෑන් එකකින් කොහේ හරි තමයි යන්න වෙන්නේ.


හැබැයි අප මෙවැනි මාධ්‍ය නිදහස දීපු එක අපේ හොඳකමට වඩා ගොංකම බවයි මිනිස්සු නම් කියන්නේ.’ මහාචාර්ය ආශු මාරසිංහ කී විට අගමැති ඇතුළු සියලු දෙනා සිනාසුනහ.
හම්බන්තොට බැල්ලගස්වැව ‘සෙන්පති නන්දිමිත්‍රගම’ 229 වන උද‌ා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගි වීම සඳහා ගිය සජිත් ප්‍රේමද‌ාස අමාත්‍යවරයාගෙන් එහි සිටි ද‌ානපති මිත්‍රයෙකු ඇසුවේ ‘නන්දිමිත්‍ර යෝධයාගේ නමින් විතර ද උද‌ාගමක් හදන්නේ’ කියාය. ‘නන්දිමිත්‍ර, සුරනිමල, මහාසෝණ, ගෝඨයිම්බර, ථෙරපුත්තාභය, මහාභරණ, වෙළුසුමණ, කඤ්චදේව, ඵුස්සදේව, ලභියවසභ කියන දස මහ යෝධයන් හැම දෙනාගෙම නම් වලින් උද‌ා ගම්මාන හදනවා.’ සජිත් කියද්දී මිත්‍රයා ඇසුවේ ‘නම් ටික නම් කට පාඩම් නේද? කියාය. ‘සැබෑ දේශප්‍රේමය කියන්නේ ඒකට තමයි. මේ වගේ දෙයකින් වත්මන් පරපුරට අපේ අතීතය ගැන ආඩම්බරයක් ඇති වෙනවා.’ සජිත් කීවේය.


අම්පාර දිස්ත්‍රික්කයේ ‘සද‌ාතිසගම’ සහ ’සරුකෙතගම’ 230 වැනි සහ 231 වැනි උද‌ා ගම්මාන ජනතා අයිතියට පත්කිරීමේ උත්සවවලින් පසුව සජිත් ගියේ මඩකළපුව තාලංකුඩා හි ශ්‍රී වීරමා කාලි අම්මාන් කෝවිලේ ශ්‍රී විනයාගර් අරිනරි දහම් පාසල් ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහාය. මෙය රුපියල් ලක්ෂ 40 ක වියදමින් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ඉදිකරන ලද්දකි. අනතුරුව ඉන්දීය රජයේ මූල්‍ය පරිත්‍යාග යටතේ ඉදිවුණු ‘ගාන්ධිනගර්’ සහ ‘මොහිදින් අබ්දුල් කාදර් ග්‍රාමම්’ ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ගිය සජිත් සමඟ එක්වූ විශේෂ අමුත්තා වූයේ මෙරට ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධුය. අමීර් අලි සහ අලි සහීර් මව්ලානා දෙදෙනා ද ඊට එක් වී සිටියහ. ඔවුන් ඇසුවේ ‘ඔබතුමා අද මඩකළපුවේ, ඊයේ අම්පාරේ, හෙට මොණරාගල, ඊළඟට යාපනේ, මහන්සි නැද්ද මෙහෙම දුවන්න.’ කියාය. සජිත් කීවේ ‘මහන්සි නම් තමයි. ඒත් පොදු ජනතාව එක්ක ඉන්නකොට ඒ මහන්සිය නැති වෙනවා.’ කියාය. ඊළඟට ඔවුන් දෙදෙනා කීවේ ‘ඇමැතිතුමා, සමහර අය කියනවා රටට සල්ලි ගේන්න නම් හොඳ ජාත්‍යන්තර සම්බන්ධකම් තිබෙන්ට ඕනෑ කියලා. ඔබතුමා ඉන්දියානු රජයෙන් මෙච්චර විශාල මුදලක් අරන් මඩකළපුවටත් ආවා.’ කියාය. සජිත් කීවේ ‘මම ජාත්‍යන්තර සබඳතා නිර්මාණය කර ගන්නේ මට සහනයක්, වාසියක් ලබන්න නෙවෙයි. ජනතාවට උපරිම සහන අරන් දෙන්නයි. සමහරු ජාත්‍යන්තරයෙන් ලබා ගන්නේ ආධාර නෙවෙයි. ගිනි පොලී ණයයි. ගිවිසුම් අත්සන් කරන​කොට ණය ඉල්ලන පාර්ශ්වයේ බලවතුන්ට කොමිස් එකක් ලැබෙනවා. ගාණ ලොකුවෙන්න වෙන්න කොමිස් එකත් ලොකුයි. අන්තිමේ රටේ දුප්පත් ජනතාව ඒ ගිනි පොලී ණය ගෙවනවා.’


ඌව-වෙල්ලස්ස කැරැල්ලට වසර 200 පිරීම නිමිත්තෙන් මුල්ගල් තබා ආරම්භ කළ මොණරාගල මැදගම ‘පඟුරේ ගමරාලගම’, ‘බකිණිගහවෙල රටේරාලගම’ සහ ‘පුබ්බාරේ රංබණ්ඩාගම’ යන 234, 235 සහ 236 වන උද‌ා ගම්මාන ජනතා අයිතියට පත්කිරීම සඳහා උත්සවය පැවැත්විණි. මෙම උත්සවයට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ බිබිල ආසන සංවිධායක හරීන්ද්‍ර ධර්මද‌ාස ද එක්වූහ. එහිදී රංජිත් මද්දුම බණ්ඩාර ඇසුවේ දැන් කොච්චර උද‌ා ගම්මාන ගාණක් හැදෙනව ද’ කියාය. ‘මේ වන විට උද‌ා ගම්මාන 2548 ක්’ සජිත් පිළිතුරු දෙද්දී රංජිත් ඇසුවේ ‘කොහොමද මෙච්චර ගාණක් හදන්නේ’ කියාය. සජිත් කීවේ ‘මටම ගැළපෙන අතිදක්ෂ නිලධාරීන් පිරිසක් ඉන්නවා. ඒ අය කෑම බීම පෞද්ගලික ඕනෑ එපාකම් නොබලා වැඩ කරනවා. මම ඉහළ ඉඳන් ආදර්ශය ලබා දෙනවා. ඒකයි ඒ සාර්ථකත්වයට හේතුව.’ කියාය. ‘මේක තමයි රටේම වෙන්න ඕනෑ’ රංජිත් කීවේය.


ජනපතිවරණය වෙනුවෙන් විවිධ පාර්ශ්වයන් කඳවුරු බඳිමින් සිටියදී පසුගිය බද‌ාද‌ා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට වැඩම කළ එක්දහස් දෙසීයකට අධික ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේ ලබා දුන්නේ එයටම අද‌ාළ ඉඟියක් දැයි බ්‍රහස්පතින්ද‌ා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර විශාල කසුකුසුවක් නිර්මාණය කළේය.
කථානායක කරු ජයසූරිය මහතාට ත්‍රෛනිකායෙන්ම ගෞරව සම්මාන ප්‍රද‌ානය කිරීම වෙනුවෙන් වැඩම කළ මේ භික්ෂූන් වහන්සේ අතරට මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ගේ විශේෂ පණිවිඩය රැගෙන මල්වතු පාර්ශ්ව අනුනායක දිඹුල් කුඹුරේ විමලධම්ම නායක හිමියන්, අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නායක හිමියන් මෙන්ම ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහානාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත නාපානේ ​ෙප්මසිරි මහා නාහිමි ඇතුළු දිවයිනේ ප්‍රධාන පෙළේ සම්භාවනීය නායක හිමිවරු සියලු දෙනාම පාහේ වැඩම කර සිටීම විශේෂත්වයක් විය.


අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙන්ම රජයේ මැති ඇමැතිවරු සහ විරුද්ධ පක්ෂයේ ප්‍රධාන චරිත රැසක්ම මෙම උත්සව සභාව සඳහා එක්ව සිටියහ.


මෙහිදී කතානායකවරයා වෙනුවෙන් විශේෂිත ඇගයීමක් සියලු මහා නා හිමිවරුන් නියෝජනය කරමින් සිදු කළේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි නායක හිමියන් විසිනි. ‘සුදු ඇඳුම අඳින පුද්ගලයන් සියලු දෙනා පිරිසිදු චරිත ඇති අය බවට විශ්වාසයක් නැති බවත්, සිය චරිතය කිලිටි කරගත් බොහෝ දෙනකු සැඟවෙන්නේ සුදු ඇඳුම තුළ බවත්, එවන් සමාජයක වත්මන් කතානායක කරු ජයසූරිය මහතා දුර්ලභ ගණයේ උතුම් චරිත ලක්ෂණ වලින් හෙබි සැබෑ ලෙසම මනුෂ්‍යත්වය අර්ථවත් කළ නායකයෙකු’ බවත් උන්වහන්සේ පැවැසූහ.