• ඇමැති සජිත් ඡායාරූප ශිල්පියෙක් වෙයි
  • කතානායක ඡායාරූප ගැනීමේ රහස

 

සති අන්තයේ ඉන්දියාවේ පෞද්ගලික චාරිකාවක නිරත වූ අගමැති රනිල් හා බිරිඳ මහාචාර්ය මෛත්‍රී කොල්ලූර්හිදී පූජාවකට ද එක් වූහ. ඒ ස්ථානය නරේන්ද්‍ර මෝදි ඇතුළු දකුණු ආසියාවේ ප්‍රබලම දේශපාලනඥයන් ආශිර්වාද ලබන ප්‍රධාන ස්ථානය ලෙස ප්‍රචලිතය.


යළි සියරට පැමිණි අගමැතිවරයා ඉඩම් ඔප්පු දශ ලක්ෂයක් බෙදීම, සමෘද්ධිය පවුල් ලක්ෂ 6 කට බෙදීම හා නිවාස සංකීර්ණ ජනසතු කිරීම මෙන්ම උපාධිධාරීන් 16,800 න් 3,800 කට නව පත්වීම් දීමේ ආරම්භක අවස්ථාව ඇතුළු ජනතාවට ප්‍රතිලාභ දෙන අවස්ථා රැසකට එක්විය.


බ්‍රහස්පතින්දා එජාපයට තීරණාත්මක දිනයක් විය. එජාපයේ ප්‍රමුඛත්වයෙන් බිහිවන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට අදාළව ගිවිසුම් අත්සන් කිරීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ගැනීම එදිනට නියමිතව තිබුණි. රැස්වීමට යාමට පෙර අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණ සිටි මැති - ඇමැතිවරුන් සමග සුපුරුදු ලෙස කතා බහකට එක්විය.


“පොහොට්ටුව නම් පසුගියදා මැස්සෝ ඇහිරෙන සන්ධානයකට අත්සන් කළා. ඒ අත්සන් කළ සමහරුන්ට ගෙදර ඡන්දවත් නැහැ කියලයි කියන්නේ” සභානායක ලක්ෂ්මන් කතාවට මුල පිරුවේ උස් හඬින් සිනාසෙමිනි.


“සර්ගේ කතාවේ ඇත්තක් තියෙනවා. දැන් ඔය පොහොට්ටුවත් එක්ක අත්සන් කළ එක පක්ෂයක් වන හේමකුමාරගේ පුතා එජාප පළාත් සභා මන්ත්‍රීවරයෙකු වනවා. ඉතින් ඒ පවුල්වල ඡන්ද ටික පුතාට මිසක් තාත්තට යන්නේ නැහැ, කියලයි හැමෝම කියන්නේ.” ගයන්ත කරුණාතිලක කීවේ ද උස් හඬින් සිනාසෙමිනි.


“පොහොට්ටුවේ අපේක්ෂක පොරය එන්න එන්නම ඔඩු යනවා. අන්තිමට මහින්ද මහත්තය නොමඟ යවන්න ද කො​ෙහද ගෝඨාගේ කල්ලිය ඇමරිකානු පුරවැසිකම අහෝසි කළා කියා බොරු ලියවිල්ලකුත් හදලා. පස්සේ එයාලම ඒක කූට ලේඛනයක් බව පිළිගත්තා.” හේෂා විතානගේ කීවේ එවැන්නකි.


“ලසිත් මාලිංග ලෝක වාර්තා රැසක් බිහි කරමින් රටට ගෞරව ගෙනා ක්‍රීඩකයෙකු වනවා. ඔහු ක්‍රීඩාවට ගෙනා ගාල්ල මහින්දය හා ගුරු හරුකම් දීපු ගුරුවරුන්ටත් ප්‍රණාමය දීලා අන්තිමට කිරි කළයට ගොම බිංදුව දාගත්ත වගේ මහින්ද රාජපක්ෂට ලකුණු දාන්න ගිහිල්ලා අවුල ඇති කරගත්තා. රාජපක්ෂලා පන්නලා දාපු දොස්තර කෙනෙකුටත් ලකුණු දෙන්න ගියා. ඒ දොස්තර ඔච්චර හොඳ නම් ගෝඨාභය සිංගප්පූරුවෙන් බේත් ගත්තේ ඇයි කියලයි මිනිස්සු අහන්නේ” මනුෂ නානායක්කාර කීවේ එවැන්නකි.


“බැංකු පොලී අනුපාතය අඩු කර ජනතාවට හා ව්‍යාපාරිකයන්ට සහන දෙන්න අගමැතිතුමා ගත් තීන්දුව වැදගත්. ඒත් ඒක ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ.
“පාස්කු ප්‍රහාර වගේ සිදුවීම් ඇති වූ රටවල් ගොඩ ගියේ තරගකාරීව ව්‍යාපාරිකයන්ට ක්‍රියා කළ හැකි ලෙස බැංකු පොලී අඩු කරන්න ඒ රටවල ආණ්ඩු ක්‍රියා කළ නිසයි” අග්‍රාමාත්‍ය උපදේශක දිනේෂ් වීරක්කොඩි පළ කළ අදහසට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළවිය.


“ලිට්ට්‍රො ගෑස් එකේ අධ්‍යක්ෂ මණ්ඩලය කිසිම හේතුවක් නැතුව පන්නා මංගල ඇමැතිතුමා අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය දැම්මාම සේවකයොත් ඒකට විරුද්ධ වුණා. ඉවත් කළ අධ්‍යක්ෂ මණ්ඩලය උසාවි ගිහින් අලුත් අධ්‍යක්ෂ මණ්ඩලයට විරුද්ධව වාරණයක් ගත්තා. ඒක මාසෙකට වලංගු වුණා.


“ඊට පසු මංගලගේ කණ්ඩායම ගෑස් එකේ බලය යළිත් තහවුරු කළ ද පරණ අධ්‍යක්ෂකවරුන් ආපහු උසාවි ගිහින් තමන්ගේ තැන තහවුරු කරගත්තා. දැන් එතන බලය දරන්නේ ඒ අයයි. ඒ අතරේ මංගලගේ අලුත් අධ්‍යක්ෂ මණ්ඩලය ගෑස් එක විකුණන්න හදනවා කියා සේවකයොත් එය වළකන උසාවි නියෝගයකුත් ගත්තා.


ඒ අතරෙ මංගලගේ කණ්ඩායම දැන් යළිත් උසාවි ගිහිල්ලා. මේ ගැටුම නවත්තන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනෑ. වරදක් නොකළ අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීම වැරදියි. සේවක හඬට කන්දීමත් වැදගත් වනවා”


2001 චන්ද්‍රිකාගේ ආණ්ඩුව පෙරළපු පරාක්‍රම බන්දුල ගුණවර්ධන හා කඩුවෙල නගර සභාවේ හිටපු එජාප සභාපති මුදිත පීරිස්ලා වැනි පරණ අධ්‍යක්ෂවරුන් එක්කයි සේවකයොත් ඉන්නේ.” එජාප නීති උපදේශකයෙක් කීය.


එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය අරලියගහ මැදුරේදී බ්‍රහස්පතින්දා උදේ 9.30ට ඇරැඹුණේ අගෝස්තු 05 වැනිදා අත්සන් කිරීමට නියමිත පුළුල් සන්ධානයට අනුමැතිය ගැනීමටය.
එහිදී කතා කළ කබීර් හෂීම් මංගල සමරවීර, තලතා, රංජිත් මද්දුම බණ්ඩාර, අජිත් පී පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු පිරිස ප්‍රකාශ කළේ එජාප ජනපති අපේක්ෂක නම් කර ඉන් අනතුරුව සන්ධානය අත්සන් කළ යුතු බවය. එහෙත් අගමැතිවරයාගේ ස්ථාවරය ඊට මඳක් වෙනස් විය.


එජාපෙ පක්ෂ නායකයන් මාස තුනක් තිස්සේ සමහර දවස්වල රෑ පුරා සන්ධානයට අදාළ කටයුතු නිම කළා. සන්ධානයට අදාළ ව්‍යවස්ථාවත් හැදුවා. එජාපය සන්ධානයේ ප්‍රධානතම පක්ෂයයි. සන්ධානයේ නායකත්වයත් අපට ලැබෙනවා. ඕනෑම තීන්දුවක දී නිෂේධ බලය පාවිච්චි කිරීමේ බලයත් අපට තිබෙනවා. එජාපය පැත්තෙන් මලික්ලට ව්‍යවස්ථාට අදාළ සංශෝධන තිබෙනවා නම් ඉදිරිපත් කළොත් ඒවත් ඇතුළු කළ හැකියි” අගමැතිවරයා පැහැදිලි කළේය.


එමෙන්ම නවීන් දිසානායක, ජෝන් අමරතුංග වෛද්‍ය කාවින්ද ජයවර්ධන, ඇතුළු පිරිස කීවේ සන්ධානය බිහිවීම තුළ ජනපතිවරණය ජයග්‍රහණය වඩා පහසුවන බවය.
විවිධ තර්ක විතර්ක මැද ව්‍යවස්ථාවේ ඇතැම් වගන්ති ගැන මෙන්ම අපේක්ෂකත්වය නම් කිරීමට පෙර සංධානය ගැසීමේ තත්ත්වයට කණ්ඩායමක් යම් විරෝධතාවයක් දීගටම පළකරන්න වූහ.


“මේ කෘත්‍යාධිකාරිය රැස්වුණේ සන්ධානය ගහනවාද?, නැද්ද? කියා තීන්දු කරන්නයි. කාගේත් එකඟත්වයෙන් අපි මේක කරමු. නැතිනම් ඡන්දය විමසා බලමු. එතකොට එන තීන්දුව මට පක්ෂ නායකයන්ට දන්වන්න පුළුවන්” අගමැතිවරයා කීවේය.


“පුළුල් සන්ධානය බිහිවීම මමත් අනුමත කරනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ඇතුළු සියලු ජාතීන් සන්ධාන හා විවිධ කණ්ඩායම් එකතු කර ගැනීමෙන් එජාප ජයග්‍රහණය පහසු වෙනවා. ඒ නිසා සන්ධානයේ ලේකම්ධුරය අපේ කණ්ඩායමට දෙන්න මා වුණත් ඒක බාර ගන්න අකමැත්ත නැහැ. අප සමගියෙන් කටයුතු කරමු. වාද - විවාද හා කල්ලි - කණ්ඩායම් බිහි නොවන්න සියලු දෙනා කටයුතු කර ඊළඟ ජනපතිවරණ ජයග්‍රහණය අපි සතු කර ගනිමු. වසර 70 දුක් විඳින ජනතාව හා සංවර්ධනය ඉල්ලා වැලපෙන රට කව්රුත් එකතුවෙලා ගොඩදාමු” සජිත් ප්‍රේමදාස අවසානයේ ඉතා සංවේදීව පළකළ අදහස් කාගේත් අවධානයට ලක්විය.


අනතුරුව පැවති ඡන්ද විමසීමේදී සන්ධානය හැදීමට පක්ෂව ඡන්ද 35ක් හා ඊට එරෙහිව ඡන්ද 10කට ආසන්න සංඛ්‍යාව ලැබිණ. මෙහිදී සමහරුන් ඍජුවමද, තවත් සමහරුන් බාගෙට අත් ඔසවමින් ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනෙන ලක්ෂණයක් විය.


එහෙත් රාජ්‍ය පරිපාලන ආපදා කළමනාකරණ හා පශූ සම්පත් සංවර්ධන ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ එජාප පෙරමුණක් සඳහා වූ යෝජනාව කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී සම්මත නොවූ බවය. අගමැතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළද එයට එකඟතාව පළ කළේ දස දෙනකු පමණ පිරිසක් බවද මද්දුමබණ්ඩාර මහතා කියයි. දැනගන්නට ඇති අන්දමට මෙම රැස්වීමට සභිකයෝ 50 - 60 අතර පිරිසක් සහභාගි වී සිටියහ.


‘“එජාපෙ අපේක්ෂක කවුද කියන එක නායකතුමා, සජිත් හා කරු තුන්දෙනා කතා කර බේර ගන්න. එහෙම නොවුණොත් අපේ සමහරුන් විපක්ෂයට ප්‍රහාර එල්ල කරනවා වෙනුවට පක්ෂය ඇතුළේ අයටම දිගටම පහර දෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක විශාල අවාසියක් හා උඩ බලාගෙන කෙළ ගැසීම වේවි” කෘත්‍යාධිකාරිය නිමවා පැමිණි අගමැතිවරයාට දිනේෂ් වීරක්කොඩි කීවේ එවැන්නකි.


ඉකුත් සතියේ දිනක උදෑසන සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මල්වතු සහ අස්ගිරි මහා නායක හිමිවරුන් බැහැදැක අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා එහි වැඩකටයුතු පිළිබඳ දිගු කලක් තිස්සේ අස්ගිරි නාහිමියන් තුළ පැවති යම් විරසකයක් විසඳුවේය. එහි වැඩකටයුතු ද නැවත යථා තත්ත්වයට පත් කළ හැකි විය. අටමස්ථානයත්, සොළොස්මස්ථානයත් දෙකම සතිපතා නිරීක්ෂණයට ලක්කර අඩු ලුහුඬුකම් නිවැරැදි කිරීමට ද සජිත් උපදෙස් දුන්නේය. අස්ගිරි පාර්ශ්වයේ නාහිමියන් සහ ලේඛකාධිකාරි හිමියන් සජිත් හමුවේ පැවසුවේ ‘‘ඔබතුමාට බොහෝම පිං. මේවා අද ඊයේ ප්‍රශ්න නොවෙයි. ඒවා ක්ෂණිකව විසඳීමට ඔබතුමාට හැකි වුණා’’ කියාය. 223 වන හා 224 වන උදා ගම්මාන ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ ‘‘උදයම් නගර්’’ හා ‘‘ආදවන් නගර්’’ උදා ගම්මාන ජනතා අයිතියටපත් කිරීමට පෙර ‘‘සිසු දහම් සෙවණ’’ වැඩසටහන යටතේ නන්දිකඩාල් කළපුව අසල ඉදිකළ සප්ත කන්නිමාරි කෝවිලේ ‘‘අරනරි දහම් පාසල’’ විවෘත කිරීමට ගිය සජිත් දුටුවේ ඔහු එනතුරු බලා සිටින විශාල පිරිසයි. එහිදී සජිත් පිළිගනිමින් වෛද්‍ය ශිවමෝහන් කීවේ ‘‘බොහෝම ස්තුතියි, ඇමැතිතුමා. හොඳ සිංහල බෞද්ධ සංස්කෘතික ඇමැති කෙනෙක් ජාති භේද නොතකා ජාතික සංහිඳියාව වෙනුවන් කරන මෙහෙවර අගයනවා’’ කියාය. 225 හා 226 උදා ගම්මාන වන ‘‘පාවනාසපුරම්’’ සහ ‘‘තොල්කාප්පියනගර්’’ විවෘත කිරීමට පෙර ත්‍රිකුණාමලයට සජිත් ගියේ තඹලගමුව, ගල්මැටියාව පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී ඉන්ද්‍රසාර දහම් පාසලේ ඉදිකළ නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයටයි. ඊට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දීප් සමරසිංහට කීවේ ‘‘ඔබතුමා පුදුම වැඩකොටසක්නේ කරන්නේ. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අප වෙනුවෙන් කරන මේ දේවල් අපට විශාල ශක්තියක්’’ කියාය. ‘‘මේ විතරක් නෙවෙයි, ඉදිරියේදී තව හුඟක් දේවල් කරන්න තියෙනවා. අපි සියලු දෙනාම අත්වැල් බැඳගෙන වැඩ කරමු’’.


19 වැනි ජනාධිපති සිනමා සම්මාන උළෙල මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ නෙළුම්පොකුණ රඟහලේදීය. ‘‘ස්වර්ණසිංහ’’, ‘‘විශ්වකීර්ති’’ සහ ‘‘පුරෝගාමී’’ යන ඉහළ පෙළේ සම්මාන සඳහා සම්මාන ලාභීන් තෝරා ගැනීම පිළිබඳ මවිතයට පත්වූ ජනාධිපතිවරයා ඇසුවේ ‘‘සජිත් කොහොමද මේ කට්ටිය තේරුවේ?’’ කියාය. ‘‘බොහොම විනිවිදභාවයෙන් නිර්පාක්ෂික විද්වත් මණ්ඩලයක් විසිනුයි මේ අය තෝරා ගත්තේ’’ සජිත් පැහැදිලි කළේය. මෙහිදී සුගතපාල සෙනරත් යාපා, රවීන්ද්‍ර රන්දෙණිය සහ නීටා ප්‍රනාන්දු ‘‘ස්වර්ණසිංහ’’ සම්මානයෙන් පිදුම් ලැබූහ. ‘‘පු​ෙරා්ගාමී’’ සම්මානයෙන් හය දෙනෙකු ද, ‘‘විශ්වකීර්ති’’ සම්මානයෙන් දෙදෙනෙකු ද පිදුම් ලැබූහ. ජනමාධ්‍යවේදී ඡායාරූප කලා සංගමයේ ඇරයුම පරිදි කොළඹ ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේ පැවැති ප්‍රදර්ශනය නැරඹීමට ගිය සජිත් ප්‍රදර්ශනයෙන් පසුව ඡායාරූප ශිල්පියකුගේ කැමරාවක් ඉල්ලාගෙන එහි ඡායාරූප ගැනීම සියල්ලන්ටම විනෝදාස්වාදයක් ගෙන දුන්නේය. ඒ මොහොතේ සජිත් වටකරගත් ඡායාරූප ශිල්පීහු විවිධ නවීන කැමරා පිළිබඳවත්, සජිත්ගේ වනජීවී ඡායාරූපකරණය පිළිබඳවත් පිළිසඳරක යෙදුණෝය.


රුපියල් ලක්ෂ 2,000ක වියදමින් ලුණුගම්වෙහෙර සහ තිස්සමහාරාම ප්‍රදේශවල ඉදිවූ යොවුන් සේනාංක මධ්‍යස්ථාන 2ක විවෘත කිරීමේ උත්සවයට ගිය සජිත් එහි නේවාසිකව වෘත්තීය පුහුණුව ලබන තරුණ තරුණියන් හමුවූ අවස්ථාවේදී තරුණ පිරිස කීවේ ‘‘සර් ගෙදරට වෙලා හිටිය අපි දැන් මෙහෙට ඇවිත් විධිමත් පුහුණුවක් ලබාගෙන හොඳ අනාගතයක් නිර්මාණය කර ගන්නවා. ජීවිතයට මෙහෙම මධ්‍යස්ථානයක් අපිට ලැබෙයි කියලා හීනෙන්වත් හිතුණේ නෑ. සර්ට කොහොම ස්තුති කරන්නද කියලා අපට තේරෙන්නේ නැහැ’’ කියාය. ‘‘ඔයාලට මාස 6ක පුහුණු කාලය තුළදී මසකට රුපියල් 2,500ක දීමනාවක්, පෞරුෂත්ව සංවර්ධනය, දෙමළ, ඉංග්‍රීසි, පරිගණක, වෘත්තීය මාර්ගෝපදේශනය හා පාඨමාලා අවසානයේදී වැඩිදුර වෘත්තීය පුහුණුව වෙනුවෙන් රුපියල් 10,000ක පාඨමාලා ගාස්තුවක් ලබා දෙනවා. ඉදිරියේදී ජපාන, කොරියා සහ චීන භාෂා පුහුණුවක් ලබා දෙනවා. කරුණාකර ඔබලාගේ ගමේ ඉන්න සහෝදර සහෝදරියන්ට මෙහි වැදගත්කම තේරුම් කර දෙන්න. මේ දැවැන්ත මධ්‍යස්ථාන දෙකෙන් උපරිම ප්‍රයෝජනය ලබා කාටත් බරක් නොවී ජීවත් වීමේ පරිසරය උදා කරගන්න’’ සජිත් එහි වටිනාකම තරුණ පිරිසට වටහා දුන්නේය.


විශේෂ ගුණානුස්මරණ උත්සවයක් නොතිබුණද කතානායකවරයා පසුගිය සතියේ ඩී.එස්. සේනානායක පිළිරුව සහ බණ්ඩාරනායක පිළිරුව අභියසට ගියේය.


මෙම විශේෂ ගමන කුමක්දැයි, සමහර මාධ්‍යයන්හි ද අවධානය යොමු වූයේ මේ දිනවල ජනපති අපේක්ෂක නාමාවලියේ කතානායකවරයාගේ නම ද ඉදිරියෙන්ම ඇති නිසාය. කරු ජයසූරිය මහතා​ගේ මෙම ගමනට ඡායාරූප ශිල්පියෙක් ද එක්ව තිබීම කුතුහලය තවත් වැඩි කළේය.


කතානායකවරයා ජනපතිවරණය ඉලක්කකරගෙන පෝස්ටර් සඳහා විශේෂ ඡායාරූප ගැනීමක නිරත වූ බවට ප්‍රචාරය වූයේ මෙම කුතුහලය පදනම් කරගෙනය.


නමුත් එහි පසුබිම් කථාව ඊට වෙනස්ය. එළඹෙන අගෝස්තු 07 දින බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘‘“යතීන්ද්‍ර පූජා” පූජෝත්සවය සඳහා ඡායාරූප කිහිපයක් ලබා ගැනීමට අවශ්‍ය වූයේ ඒ වෙනුවෙන් සැකසෙන විනාඩි කිහිපයක වාර්තා වැඩ සටහනක් සඳහාය.


පසුගිය කාලයේ කතානායකවරයාට ත්‍රෛනිකායෙන්ම ගෞරව සම්මාන ලැබීම නිමිති කොට ගෙන මහා සංඝරත්නයට උපහාර දැක්වීමේ අරමුණින් “යතීන්ද්‍ර පූජා” උත්සවය සංවිධානය කරන්නේ මාදුළුවාවේ සෝභිත නා හිමි සමග එක්ව කටයුතු කළ බලවේගයන්හි ප්‍රධාන කොටස්කරුවන් විසින්ය.


මෙම වාර්තා වැඩ සටහන සඳහා කතානායකවරයා වඩාත්ම ගරු කරන චරිත කිහිපයකට උපහාර දක්වන අවස්ථාවන්හි ඡායාරූප ලබා ගැනීමට අවශ්‍ය බව එහි සංස්කරණ ශිල්පියා ඉල්ලීමක් කළේය.


මෙහිදී කරු ජයසූරිය මහතා ස්ථාන තුන තෝරා ගත්තේය” ගොඩක් ෆොටෝ ගන්නනම් බෑ, මම කැමතියි සෝභිත නාහිමියන්ගේ ප්‍රතිමාව ළඟත්, ඩී.එස්. සේනානායක ප්‍රතිමාව ළඟත්, බණ්ඩාරනායක සමාධිය ළඟත් ඡායාරූප තුනක් ගන්න. සෝභිත හිමියන්ගේ ප්‍රතිමාව තියෙන්නේ පාර්ලිමේන්තුව එහා පැත්තේ.


මම 31 වැනිදා මීරිගම යනවා අම්මාගේ දානේ පිංකමට. එහෙනම් ඒ යන ගමන් බණ්ඩාරනායක ප්‍රතිමාව ළඟත් එකක් ගනිමු. එතකොට අපිට අමතරව යන්න තියෙන්නේ ඩී.එස්. ප්‍රතිමාව ළඟට විතරයි” කතානායකවරයා ප්‍රායෝගික සැලසුමක් ද ලබා දුන්නේය. ඡායාරූප ගත්තේ ඒ අනුවය.


මෙවර අ.පො.ස. (උ.පෙ.) විභාගයට පෙනී සිටින උතුරු කොළඹ පාසල් කිහිපයකම සිසු දරු දැරියන් හා ගුරුවරු ගුරුවරියන් පිරිසක් එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ පක්ෂයේ කාර්යාලයේ දී විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා හමුවිණ. උතුරු කොළඹ ආසනයේ පාසල්වල පැවති අඩුපාඩු සපුරාලමින් පියවර ගැනීමත් ගුරු හිඟයට පිළියම් යෙදීම සම්බන්ධව කෘතවේදීත්වය පළ කරමින් එක් සිසු දැරියක් හැඟුම්බර කථාවක් කළාය. ඊට සංවේදී වූ ඇමැති රවි සිසු දරු දැරියන්ට අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය හැකි තවත් උපකාර ඇත්නම් එය ලබා දෙන බවට පොරොන්දු විය.


“අද රජයේ කම්කරු රැකියාවක් ගන්න වුණත් අ.පො.ස. (සාපෙළ) විභාගයවත් සමත් වෙලා තියෙන්න ඕනැ. ඊට වඩා ඉහළ තනතුරු ගන්න නම් උසස් පෙළ හෝ උපාධිය තියෙන්න ඕනැ. නමුත් රටේ තීන්දු තීරණ ගන්න පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට කිසිම අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය නැහැ. ඉතින් කොහොමද රටක් දියුණු කරන්නෙ. මේවා වෙනස් වෙනකම් රට දියුණු කරන්න බැහැ. දැන් සිංගප්පූරුව ගත්තම මුළු ඇමති මණ්ඩලයම උපාධි දෙක තුන ලබා ගත්ත අයයි. ඒ අයට දර්ශනයක් දැක්මක් තියෙනවා. අපේ රටේ සමහර ඇමතිවරුන්ට වඩා සුදුසුකම් තියෙනවා ඒ අමාත්‍යාංශයේම වැඩ කරන ලිපිකරුවන්ට. කාර්යාල කාර්ය සහායකයන්ට දැන් ඒ අයට සිදුවෙලා තියෙන්නෙ අඩු සුදුසුකමක් තියෙන මැති ඇමැතිවරුන්ට “සර්” කියලා කථා කරන්න. මේවා ලජ්ජයි. දැනුමක් අවබෝධයක් නැති අය ඡන්දයෙන් තේරී පත්වුණාම ලේකම්ලා ඒ අය තමන්ට ඕනෑ විදියට නටවනවා. ඔය දරුවෝ රටට වැඩදායක වෙන්න හොඳින් ඉගෙන ගන්න. රවි කරුණානායක ඇමැතිවරයා කීවේය.