IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


​ශ්‍රීලනිපය තුළ බෙදීමක්

කැබිනට් රැස්වීම

අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව ගැන සාකච්ඡා කරන්නට අගමැතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ සඳුදා හැන්දෑවේ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී ජනපති මෛත්‍රී හමුවූහ. රාජිත සේනාරත්න, මලික් සමරවික්‍රම, චම්පික රණවක, රවුෆ් හකීම්, මනෝ ගනේෂන් ඇතුළු ඇමැතිවරු පිරිසක් ද ඊට එක්ව සිටියහ. අගමැතිවරයා ප්‍රමුඛ පිරිස කියා සිටියේ යහපාලන ආණ්ඩුව අවශ්‍ය වෙනස්කම් සිදුකර දිගටම පවත්වාගෙන යාමට තමන් සූදානම් බවය. විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, ජනාධිපතිවරයා කියා තිබුණේ ඊට තමාගේ සම්බන්ධයක් නොමැති බවය.


මේ සාකච්ඡාවෙන් අනතුරුව ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයා හමුවූයේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂය වශයෙන් තීන්දුවක් ගැනීමටය. ශ්‍රීලනිපයේ ඇතැම් ඇමැතිවරුන් ඒ වනවිටත් ප්‍රසිද්ධියේ කියා තිබුණේ විශ්වාසභංග යෝජනාවට සහය දෙන බවකි. දුමින්ද දිසානායක ඇමැතිවරයා කියා තිබුණේ සමහර ඇමැතිවරුන් හන්දි හන්දි ගානේ කරන ප්‍රකාශ පක්ෂයේ නිල මතය නොවන බවය. ඒ අනුව විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමැතිවරුන් අතර බෙදීමක් තිබෙන බව කල්තියාම පෙනුණ කාරණයක් විය. ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන්, ලක්ෂ්මන් යාපා, අනුර යාපා, දයාසිරි ඇතුළු පිරිස දීර්ඝ ලෙස කරුණු දක්වමින් කියා තිබුණේ විශ්වාසභංග යෝජනාවට ශ්‍රීලනිපය සහය දිය යුතු බවය. දුමින්ද දිසානායක, මනුෂ නානායක්කාර, විජිතමුනි සොයිසා, මහින්ද සමරසිංහ ඇතුළු පිරිස ඊට වෙනස් මතයක සිටිමින් කරුණු දැක්වූහ. ජනාධිපතිවරයා කීවේ, තමා ජනාධිපති ලෙස සිට මැදිහත් විය නොහැකි බවත්, මන්ත්‍රී කණ්ඩායම ලෙස තීන්දුවක් ගත යුතු බවත්ය. එ් අනුව තීරණය වූයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි අගමැතිවරයා හමු වී ඉල්ලීමක් කිරීමටය. පසුවදා කැබිනට් රැස්වීමෙන් අනතුරුව ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයට ගොස් අගමැතිවරයා හමුවී මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරණය වුවද කැබිනට් රැස්වීම අවසන් වනවාත් සමගම නිමල් සිරිපාල ඇමැතිවරයා මන්ත්‍රී කණ්ඩායමේ ඉල්ලීම අගමැතිවරයාට ඉදිරිපත් කර තිබිණි.


විශ්වාසභංග යෝජනාව විවාදයට පත් බදාදා උදේ ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්ඩායම ජනාධිපතිවරයාගේ නිල නිවස ආසන්නයේ පිහිටි මහින්ද අමරවීර අැමැතිවරයාගේ නිල නිවසේදී යළිත් රැස්වූයේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමටය. නිමල් සිරිපාල, සුසිල්, අනුර යාපා, ඩිලාන්, ලක්ෂ්මන් යාපා, දයාසිරි, චන්දිම, අමරවීර, දුමින්ද දිසානායක, ජෝන් සෙනෙවිරත්න ඇතුළු මැති ඇමැතිවරු 30කට ආසන්න පිරිසක් ඊට සහභාගිව සිටියහ. එහි සිටි අයගෙන් අදහස් දෙකක් ඉදිරිපත් විය. එකක් විශ්වාසභංගයට සහාය දීමටය. දෙවැන්න විශ්වාසභංගයේදී ඡන්දය දීමෙන් වැළැකී සිටීමය. එහි සිටි වැඩි දෙනකුගේ අදහස වූයේ විශ්වාසභංග යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමටය. ඒ අනුව බහුතරයකගේ අදහස අනුමත කරමින් තීරණය වූයේ විශ්වාසභංගයට සහාය දෙන්නටය.


මේ රැස්වීම අවසන් වීමටත් පෙර ෆවුසි ඇමැතිවරයා මාධ්‍යවලට ප්‍රකාශයක් කරමින් කියා තිබුණේ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලනිප මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇති බවය. ෆවුසි සහ විජිතමුණි සොයිසා යන දෙදෙනාම මේ රැස්වීමට ද පැමිණ සිටියේ නැත. එසේ තිබියදී ෆවුසි මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන ශ්‍රී ලනිප ඇමැතිවරු කලබල වූහ. අමරවීරගේ නිවසේ සාකච්ඡාව අවසන් වී එළියට ආ සැනින් ලක්‍ෂ්මන් යාපාත්, ඩිලාන් පෙරේරාත් මාධ්‍යවලට කීවේ ෆවුසිගේ ප්‍රකාශය වැරදි බවය. ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් විශ්වාසභංගයට සහාය දෙන්නට තීරණය කළ බව ඔවුහු කියා සිටියහ. ඉන් පෙනුනේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ශ්‍රීලනිපයේ පැහැදිලි බෙදීමක් ඇති බවය.


විශ්වාසභංග යෝජනාව විවාදයට, යෝජනාවට සහාය දුන් මැති ඇමැතිවරුන් 16 දෙනා සහභාගි වූවද ඡන්දය දීමෙන් වැළැකී සිටි පිරිස සභාවට පවා පැමිණ සිටි​ෙය් නැන. අවසානයේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජය වූයේ වැඩි ඡන්ද 46කිනි. එමගින් ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම තුළද බෙදීමක් ඇති විය.


කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා අරලියගහ මන්දිරයේදි රැස්වූයේ ජනපති මෛත්‍රිගේ ප්‍රධානත්වයෙනි. වෙනදා ගිනියම් වන කැබිනට් රැස්වීම මෙවරද එසේ ගිනියම් වනු ඇතැයි බොහෝ දෙනා කල්පනා කළහ. එවැන්නකට මෙවර අවසර නොලැබිණි. මෙවර කැබිනට් රැස්වීමට විශ්වාසභංගය මාතෘකාවක්ද නොවීය.


අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථික කළමනාකරණ කමිටුව ජනාධිපති විසින් අහෝසි කරනු ලැබුවේ කලින් සතියේ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක ප්‍රතිඵලයක් ලෙසිනි. ඇමැති මංගල සමරවීර මෙන්ම අජිත් පී පෙරේරාද ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි නොවන බව කීවෝය. එසේ වුවද මෙවර කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර තිබූ කලින් සතියේ කැබිනට් රැස්වීමේ වාර්තාවේ ද සඳහන් වූයේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි වූ බවකි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබිනට් රැස්වීමට කලින් සතියේ තීරණයක් ගෙන තිබුණේ අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගය හමුවේ අගමැතිවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි කියන්නටය. කැබිනට් රැස්වීම නිමාවනවාත් සමඟම ඇමැති නිමල් සිරිපාල ඇමැතිවරයා අගමැතිවරයා හමුවට ගියේ ශ්‍රිලනිප ඇමැතිවරුන් කිහිප දෙනෙකුද සමගිනි. ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව හමුවේ කිරීමට ඉතිරිවී ඇත්තේ අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම පමණකැයි නිමල් සිරිපාල කීවේය. ඔහු කීවේ එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය බවය. ඇමැති නිමල්ගේ ප්‍රකාශය හමුවේ කිසිවක් කියන්නට අගමැතිවරයා ඉදිරිපත් නොවීය. අගමැතිවරයා වෙනුවට උත්තර දුන්නේ මංගල සමරවීර ඇමැතිවරයාය. ඔහු කීවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම අනුව කටයුතු කරන්නට අගමැතිවරයා සූදානම් නොමැති බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීම අනුව අගමැති ඉවත් නොවන බව මංගල කීවේය. මංගලගේ ප්‍රකාශයට පිළිතුරු දීමට ඇමැති නිමල් හදිසි නොවීය. මට මේක විවාදයක් කර ගන්න අදහසක් නෑ යැයි නිමල් කීවේය. අවසානයේ මංගල ද නිහඬ විය.

විශ්වාසභංග යෝජනා විවාදය අවසන් වී ඡන්දය ප්‍රකාශ කර නිම වන විට රාත‍්‍රී 10.00 ත් පසුවී තිබිණි. එය අවසන් වූ වහාම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු මැති ඇමැතිවරු 16 දෙනාම පන්නිපිටියේ පිහිටි ලක්ෂ්මන් යාපා ඇමැතිවරයාගේ නිවසට ගියහ. ලක්ෂ්මන් යාපාගේ බිරිඳ ඔවුන් වෙනුවෙන් රාත‍්‍රී භෝජනය ද සූදානම් කර තිබිණි. ඉදිරි ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා වූ මේ හමුවේදී ඡන්දය දීමෙන් වැළකී සිටි ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් පිරිසේ ක‍්‍රියාකලාපය ද දැඩි විවේචනයට ලක් විය. මේ හමුව පහුවදා අලුයම 2.00ට පමණ අවසන් වූයේ යළිත් අනුර යාපාගේ නිවසේ රැස්වීමට තීරණය කිරීමෙන් පසුවය.   


විශ්වාසභංග යෝජනාව ගැන කියන්නට ශ්‍රීලනිප මූලස්ථානයේදී මාධ්‍ය හමු දෙකක් බ‍්‍රහස්පතින්දා උදේත් හවසත් පැවැත්විණි. උදේ මාධ්‍ය හමුවට පැමිණියේ විශ්වාසභංගයට ඡන්දය දීමෙන් වැළකී සිටි මහින්ද සමරසිංහ, විජිතමුණි සොයිසා ඇතුළු පිරිසය. හවස පැවැති මාධ්‍ය හමුවට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, ඩිලාන් පෙරේරා යන ඇමැතිවරු සහභාගී වූහ. විශ්වාසභංගයට සහාය දුන් ශ්‍රීලනිප ඇමැතිවරු පිරිස කලින් තීරණය කර ගත් පරිදි බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ කොළඹ 05 ස්කෙලිටන් පාරේ පිහිටි අනුරයාපාගේ නිවසට රැස් වූහ. එහිදී සාකචඡා වූයේ ඔවුන් ආණ්ඩුවේ දරන තනතුරු වලින් ඉවත්ව, පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස සිටින්නටය. පක්ෂයේ වැඩ වලටත් ජනාධිපතිවරයාටත් සහාය දෙන නමුත් ආණ්ඩුවේ කටුයුතු වලින් ඉවත් වන්නට තීරණය කළ ඔවුහු ඇමැතිධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපියක් පසුවදා උදේම ජනාධිපතිවරයාට බාර දෙන්නට තීරණය කළහ. ලිපිය සකස් කළේ සුසිල්, අනුර යාපා, ඩිලාන්, දයාසිරි, ලක්ෂ්මන් යාපා ඇතුළු පිරිසය.   


ලිපිය ටයිප් කළේ තිලංග සුමතිපාලය. එම සාකච්ඡාවද අවසන් වන විට පහුවදා අලුයම තුන පමණ විය.   


අනුර යාපාත් තිලංගත් සිකුරාදා උදේ පාන්දර ජනාධිපතිවරයාගේ නිල නිවසට ගොස් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට බාර දුන්හ.   


එහෙත් ජනාධිපතිවරයා කියා තිබුණේ කලබල නොවන ලෙසය. ලිපිය බාර ගත් ජනාධිපතිවරයා ඒ ගැන සිය ප‍්‍රතිචාරය කුමක් දැයි කීවේ නැත.   


අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ද බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේ ජනාධිපති නිල නිවසට ගොස් ජනාධිපතිවරයා හමු වී සාකචඡා කර තිබුණේ සම්මුති ආණ්ඩුව ඉදිරියට ගෙන යාම ගැනය. අකිල විරාජ් කාරියවසම් ඇමැතිවරයා ද ඊට එක්ව සිටියේය. එහිදී අකිල ඇමැතිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් ඇමැතිධුර වලින් ඉවත් කරන ලෙසය. එහෙත් ජනාධිපතිවරයා කියා තිබුණේ විශ්වාසභංගයට සහාය දුන් පලියට ඔවුන් ඉවත් කළ නොහැකි බවකි. ජනාධිපතිවරයා කියා තිබුණේ එහෙම නම් විවාදයට නොආ මැති ඇමැතිවරුන් මුලින් ඉවත් කළ යුතු බවකි. තමා සියලුදෙනා එකතු කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් ගෙන යන බව ජනාධිපතිවරයා කියා තිබිණි. අමාත්‍ය මණ්ඩල සංශෝධනය හා විෂය පථය විද්‍යාත්මක පදනමක් මත බෙදීම ආදිය ගැන ද එහිදී සාකච්ඡා වී තිබිණි.   


මේ අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගිය සිකුරාදා උදේ කොටුව ජනාධිපති මැදුරේදී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හා පුවත්පත් කතුවරුන් හමුවූයේ වත්මන් දේශපාලන තත්ත්වය ගැන පැහැදිලි කරන්නටය. එහිදීද ජනාධිපතිවරයා කීවේ හවුල් ආණ්ඩුව ඉදිරියට යන බවය. ඇමැති මණ්ඩල සංශෝධනය සිදු කරන ආකාරය ගැන ද පැහැදිලි කළ ජනාධිපතිවරයා ඇගමැතිවරයාගේ ආර්ථික කළමනාකරණ කමිටුව අහෝසි කළ බව කීවේය.



අදහස් (0)

​ශ්‍රීලනිපය තුළ බෙදීමක්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 128 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site