IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ස්වාධීන කොමිෂන් සභා දංගෙඩියට යයිද?

  • ප්‍රසන්න රණවීර ජනප්‍රිය වෙලා
  • අලුත් මන්ත්‍රීවරු වැඩ අරඹති
  • පළවන පුවත් ගැන හරීන් කනගාටුවෙන්
  • කරුගේ පිළිතුර

 

කොවිඩ් 19 නිසා මේ වසරේ ගත වූ මාස කීපයම රට තිබුණේ බරපතළ අර්බුදයකය. ආර්ථිකයටද එමගින් එල්ලවූ බලපෑම සුළුපටු නොවේ. මහ මැතිවරණය කල්යාම හේතුවෙන් මේ වසරට අදාළව මුදල් වෙන් කිරීමේ කටයුතු සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමද ගැටලුවක් විය. 


ඒ අතුරු සම්මත ගිණුමක් ඉකුත් සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ආණ්ඩුව අනුමත කර ගත්තේ මේ වසරේ ඉතිරි මාස කීපයද අයවැයකින් තොරව අතුරු සම්මත ගිණුමකින්ම මුදල් වෙන්කරගත යුතු බැවිනි. වෙනත් වසරවල රජයේ ආදායම් වියදම් පියවා ගැනීමට අයවැයක් සම්මත කර ගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියකි. එහෙත් මේ වසරේ අයවැයක් නොමැතිවීම විශේෂත්වයකි. ලබන වසරට අදාළ අයවැය නොවැම්බරයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දෙසැම්බර් මාසයේ සම්මත කර ගැනීමට නියමිතය. මේ වසරේ මුල් මාස අටේ වියදම් පියවා ගත්තේ ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට පවරන ලද බලය අනුව ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කරමිනි. එයද හෙට (31) තෙක් පමණි. එතැන් සිට ඉතිරි මාස හතරට මුදල් වෙන් කිරීමටද අයවැය ඉදිරිපත් කිරීම ප්‍රායෝගික නොවේ. එබැවින් ආණ්ඩුව ගිය බ්‍රහස්පතින්දා අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගත්තේය.


කැබිනට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි පසුගිය බදාදා ජනාධිපති කාර්යාලයේදී පැවත්වුණේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. වෙනදා උදේ පැවැත්වෙන කැබිනට් රැස්වීම මෙවර පැවැත්වුණේ සවස්වරුවේය. කැබිනට් පත්‍රිකා අතර ප්‍රධාන තැනක් ගත්තේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කැබිනට් පත්‍රිකාවය. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා බදු සංශෝධනවලට අදාළ ගැසට් නිවේදන ගණනාවක් කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කළේය. ඒ ගැසට් නිවේදනවලින් බහුතරය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ දෙන ලද බදු සහනවලට අදාළ ගැසට් නිවේදනය. එහෙත් පසුගිය කාලයේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක නොවුණ නිසා ගැසට් නිවේදන පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නොහැකි විය. මේ අතර ඩලස් අලහප්පෙරුම ඇමැතිවරයා ඉකුත් 17 වැනිදා රටපුරා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ වාර්තාවද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. එමගින් පෙන්වාදී තිබූ ප්‍රධාන කාරණය වූයේ එදින විදුලිය බිඳවැටීමට හේතුව කෙරවළපිටිය ග්‍රිඩ් උපපොළේ නඩත්තු කටයුත්තකදී විදුලි අධිකාරිවරයකු අතින් සිදුවූ වරදක් බවය. ඒ සමගම මෙවැන්නක් ඉදිරියේදී ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් නිර්දේශ 11ක්ද කමිටුව විසින් නිර්දේශ කර තිබිණි. 2019 දිත් 2015දි හා 2016දිත් මෙවැනි බිඳවැටීම් ඇතිවූ අවස්ථාවලදී ඉදිරියේදී මෙවැන්නක් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කර තිබුණත් ඒවා ක්‍රියාත්මක වී නැති බවද කමිටුව සිය වාර්තාවෙන් පෙන්වාදී තිබිණි.


මේ අතර නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය පත්ව ඇති මූල්‍ය අර්බුදය සම්බන්ධයෙනි. එමගින් ඔහු පෙන්වාදී තිබුණේ කොවිඩ් 19 හේතුවෙන් කාර්යාංශය සේවක වැටුප් ගෙවාගත නොහැකි තරමටම මුදල් අර්බුදයකට ලක්ව ඇති බවය. විදේශ දූත මණ්ඩලවල සේවයට කාර්යාංශයෙන් පත්කර යවා ඇති කාර්ය මණ්ඩල යළි ගෙන්වා ගැනීමටද ඇමැතිවරයා අවසර ඉල්ලා තිබිණි.


ආණ්ඩු පක්ෂ රැස්වීම


ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ගිය බ්‍රහස්පතින්දා උදේ 8.30ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 1 හිදී රැස්විය. ඒ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.


මෙවර බ්‍රහස්පතින්දා උදේ ආණ්ඩු පක්ෂ රැස්වීම හදිසියේ කැඳවා තිබුණේ අතුරු සම්මත ගිණුමේ විවාදය තිබූ බැවිනි. අගමැති මහින්ද අදහස් දක්වමින් කීවේ අලුතින් පත්ව ආ මන්ත්‍රීවරුන්ද විවාදයේදී අදහස් දැක්විය යුතු බවය. මෙවර පාර්ලිමේන්තුවට අලුතින් පත්ව සිටින මන්ත්‍රිවරුන් ගණන 81කි. ඉන් බහුතරය පොදුජන පෙරමුණෙන් පත්වූ අයය. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ගණන 150ක් පමණ වන නිසා එය පවත්වන්නට සිදුව ඇත්තේ කණ්ඩායම් රැස්වීමකට වඩා ප්‍රධාන රැස්වීමක් ලෙසය.


මුදල් අමාත්‍යංශයේ ලේකම් ආටිගලද කණ්ඩායම් රැස්වීමට පැමිණ සිටියේ අගමැතිවරයාගේ ආරාධනයෙනි. ඔහු පැමිණ සිටියේ අතුරු සම්මත ගිණුම ගැන මන්ත්‍රීවරුන්ට පැහැදිලි කර දීමටය. මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් රාජ්‍ය ඇමැතිවරයාද අතුරු සම්මත ගිණුම ගැන කෙටි පැහැදිලි කිරීමක් කළේය.


අතුරු සම්මත ගිණුම විවාදයේදී අගමැතිවරයා කී පරිදි අලුත් මන්ත්‍රීවරු රැසක් අදහස් දැක්වූහ. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මන්ත්‍රීවරයාද එදින සිය මංගල කතාව කළේ විවාදයට එක්වෙමිනි. පළමු පෙළ සිටි ජනක තෙන්නකෝන් ඇමැතිවරයාද සිය පුත්‍රයාගේ කතාව ඇසීමට 5 වන පේළියට පැමිණ ප්‍රමිත ළඟ ඉඳ ගත්තේය. ඔහු සිය කතාව ආරම්භ කළේද ටී.බී. තෙන්නකෝන් ඇමැතිවරයා එකල කියූ කවියක් ඉදිරිපත් කරමිනි.


අයවැයට පෙර එන 20 වැනි සංශෝධනය


රටේ අවුල් රැසක් නිර්මාණය කළ 19 වන සංශෝධනය අහෝසි කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛම කාර්යය බවට පත්ව ඇත. 19 අහෝසි කෙරෙන්නේ 20 වන සංශෝධනයෙනි. එහෙත් 19 සියල්ල අහෝසි නොවනු ඇත. 19 වන සංශෝධනයෙන් හඳුන්වාදුන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් වීම, දෙවතාවකට වඩා එම ධුරය දැරිය නොහැකි බව සහ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5 කට සීමා කිරීම තව දුරටත් එලෙසම පවතිනු ඇත. එහෙත් ව්‍යවස්ථාදායක සභාවත් විගණන කොමිසමත් අහෝසි කළ යුතු බවටද යෝජනා ඉදිරිපත්ව ඇත. මේ අතර ස්වාධීන කොමිෂන් සභාවලද ව්‍යුහය හා බලතල සම්බන්ධයෙන් නැවත සලකාබැලිය යුතු බවද නීති විශාරදයන් ආණ්ඩුවට උපදෙස් දී ඇත. කෙසේ හෝ 20 වැනි සංශෝධනය ඔක්තෝබර් මාසයේ ගෙනැවිත් අයවැයට පෙර සම්මත කර ගැනීම රජයේ අදහස වේ. නොවැම්බර් අයවැය ඉදිරිපත් කළ විට එහි විවාදය දෙසැම්බර් වනතෙක් ඇදී යයි. එවිට පාර්ලිමේන්තුවේ වෙනත් කටයුත්තක් කළ නොහැකිය. ඒ නිසා 20 වන සශෝධනය ඔක්තෝබරයේ ගෙනැවිත් විවාද කර සම්මත කර ගැනීමට රජය තීරණය කර ඇත.


දේශපාලන පක්ෂ ආණ්ඩු බලය ගත්විට පක්ෂයෙ කටයුතු ගැන සොයා බැලීම සාමාන්‍ය පරිදි සිදු නොවීම පසුගිය ආණ්ඩු දෙස බැලීමේදී පැහැදිලිය. ඊට ප්‍රධාන හේතුව ඇමැතිවරුන් සිය අමාත්‍යාංශවල කටයුතු හා වෙනත් කටයුතුවලට වැඩි බරක් දැමීමය. එහෙත් බැසිල් රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ මැති ඇමැතිවරුන්ට කියා ඇත්තේ පක්ෂයේ කටයුතු ද අමතක නොකළ යුතු බවය. පසුගිය කාලයෙ දේශපාලන පක්ෂ බොහොමයක් දුර්වල වීමට එක් හේතුවක් වූයේ ආණ්ඩු බලය ගත් පසු පක්ෂයේ කටයුතු ගැන සොයා නොබැලීම බව ඔහු පෙන්වා දී ඇත. ඒ අතර පළාත් සභා මැතිවරණය ද ලබන වසර මුල දී පැවැත්වීම රජයේ අපේක්ෂාවය. ඒ සඳහා ද පොදුජන පෙරමුණ දැන් සිටම සූදානම් වන බවත් පෙනේ.


ප්‍රසන්න, මාලගමුව කැටුව අගමැති හමුවෙන්න යයි


ඩිලන්ත මාලගමුව ලෝක ප්‍රකට මෝටර් රථ ධාවන ශූරයෙකි. ඔහු ලැම්බෝගිනි සුපර් ටෝෆියෝ ශූරතාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය. ඔහුට මෙවර සංචාරක සංවර්ධන අධිකාරියෙ අනුග්‍රහය ලැබී තිබේ. වසර ගණනාවක් ඩිලන්ත මෝටර් රථ ධාවන තරගවලට ලෝකයේ රටවල් රැසකට ගිය ද ඔහුට මෙරට රාජ්‍ය අනුග්‍රහය නොලැබිණි. ඔහුට රාජ්‍ය අනුග්‍රහය මෙවර හිමි වූයේ පළමුවැනි වරටය. ඒ සඳහා මැදිහත් වූයේ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාය. ප්‍රසන්න මේ බව අගමැති මහින්දට කීවිට මහින්ද ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දුන්නේය. ඩිලන්ත තරගයට සහභාගිවීම සඳහා පිටරට යාමට පෙර ගිය බදාදා ප්‍රසන්න රණතුංග ද සමග ගොස් අගමැති හමුවූයේ කළ උපකාරයට ස්තුතිය පළකිරීමටය. එතැනින් නොනැවතුණු ඔහු ගිය බ්‍රහස්පතින්දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට ද සහභාගි වී තමාට ලැබුණු අනුග්‍රහය වෙනුවෙන් ස්තුතිය පළ කළේය. ඔහු එතැනට කැඳවාගෙන ආවේ ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලය.


රාජ්‍ය ඇමැතිවරුන් අතර මේ දිනවල ජනප්‍රිය ඇමැතිවරයා කවුරුදැයි විමසුවහොත් වැඩි දෙනා කියන්නේ ප්‍රසන්න රණවීර කියාය. විපක්ෂයේ සිටියදී ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නොයෙකුත් විවේචන එල්ල වුවද ඔහු රාජ්‍ය ඇමැතිවරයෙකු ලෙස කරන කාර්යභාරය මේ වනවිට බොහෝ දෙනාගේ ඇගයීමට ලක්ව තිබේ. ඔහු සිය ධුරයේ වැඩ බාරගත්තේ මාසෙකට ලක්ෂ 80ක කුලියක් ගෙවන අමාත්‍යාංශ කාර්යාලය එපා කියමිනි. ගමේ මිනිහාට ගොඩවිය හැකි තැනකට අමාත්‍යාංශය ගෙනයා යුතු බව ඔහු නිලධාරීන්ට කීවේය. ඊළඟට ඔහු තවත් වැඩකට අතගැසුවේය. රාජ්‍ය බැංකුවක් ඉතිරි කිරීම් සඳහා පෙළඹවන ව්‍යාපෘතියකට ප්ලාස්ටික් කැට ඉල්ලා තිබිණි. එය දුටු ඔහු අදාළ බැංකුවට කියා තිබුණේ ප්ලාස්ටික් කැට ගන්න එපා. අපි මැටිවලින් හදන කැට දෙන්නම් කියාය.


‘දුරකතනයෙන්’ කරුට ආරාධනාවක්


හිටපු කතානායක කරු ජයසූරිය එක්සත් ජාතික පක්ෂ නායකත්වයට ඉදිරිපත්වීමට සූදානම් බවට නිවේදනය කිරීමත් සමඟ ඔහුට එල්ලවූ ප්‍රහාරය ගැන සමගි ජන බලවේගයේ නායකයින්ගේ අවධානය යොමුව තිබුණේය. කරු ජයසූරියට පක්ෂ සාමාජිකත්වය නොමැති බවට වූ ප්‍රකාශය ගැන සමගි ජන බලවේගයේ නායකයින් කතා කරන්නට වූයේ තරමක කනගාටුවෙන් යුතුවය.


‘එක්සත් ජාතික පක්ෂයේ නායකයින් කොතරම් කළ ගුණ නොදත් අයද කියලා පෙන්නන්න වෙන උදාහරණ ඕන නෑ. කරු ජයසූරියට අද වෙලා තියෙන දේ දැක්කම ඒ බව හොඳින්ම පේනවා’ සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සජිත් ප්‍රේමදාස සමඟ කීවේ තරමක කනගාටුවෙන් යුතුවය.


‘කරු ජයසූරිය කියලා කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන දේවල් විශ්වාස කරන්න ගිහින් අමාරුවේ වැටුණ කෙනෙක්. රනිල් වික්‍රමසිංහ කියන කියන දේ කළා. නායකත්වය පිළිබඳ අරගල ඇති වුණ වෙලාවේදී ඒකට බෙල්ල තිව්වෙත් කරු ජයසූරියම තමයි’ කරු කළ කී දේ ගැන තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා සිහිපත් කළේය.


‘මහ මැතිවරණය වෙලාවේදී කරු ජයසූරියට නාම යෝජනා ලැබුණේ නෑ. ඒ වෙලාවේ සමගි ජන බලවේගය එක්ක එකතු වෙන්න කියලා අපි ආරාධනාවකුත් කළා’ සජිත් දේශපාලන රහසක් හෙළි කළේය.


‘කරු කියන්නේ දින පනස් දෙකේ හොර ආණ්ඩුව පිහිටවපු වෙලාවේදී කොන්ද කෙලින් තියාගෙන කටයුතු කරපු කතානායකවරයෙක්. එක්සත් ජාතික පක්ෂය ඒ කැපකිරීම් අමතක කරපු හැටි නම් හරිම පුදුමයි. ඉතිං මේ වගේ අය එක්ක ජනතාව එකතුවේවිද’ රංජිත් මද්දුම බණ්ඩාර කීවේ කනගාටුදායක මුහුණකින් යුතුවය.
‘සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අරගෙන සමගි ජන බලවේගයත් එක්ක එකතු කරගෙන දේශපාලන වැඩවලට දායක කර ගමු’ සජිත් කොළ එළියක් දැල්වූවේය.


‘මම කරු ජයසූරිය මැතිතුමා එක්ක මේ ගැන කතා කරන්නම්. අපිත් එක්ක එකතුවෙන්න කියලා කරුට මම ආරාධනා කරන්නම්’ තිස්ස අත්තනායක කරුට ආරාධනා කිරීමේ වගකීම භාර ගත්තේය.


ඉන්දීය මහ කොමසාරිස්ට ‍ආචාර කළ හැටි


විපක්ෂ නායක ධුරයට පත්වීමෙන් පසුව සජිත් ප්‍රේමදාස හමුවූ පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා වූයේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේය. විපක්ෂ නායක කාර්යාලයේදී එම හමුව පැවැත්වූයේ විපක්ෂ නායක ලෙස සජිත්ගේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ජාලය ශක්තිමත් කිරීමේ ගමන ආරම්භ කරමින්ය.
ඉන්දීය මහ කොමසාරිස්වරයා සජිත් හමුවට එන විට දෑත් එකට එකතු කළ සජිත් ‘නමස්තේ’ යැයි කියමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා පිළිගත්තේ ඉන්දීය ආචාර සමාචාර විධි සිහිපත් කරමින්ය. ඉන්දීය මහ කොමසාරිස්වරයා එයට ප්‍රතිචාර දැක්වූයේ අපූරු ආකාරයකටය. ඒ ඔහුද පෙරළා දෑත් එකතු කරමින් ‘ආයුබෝවන්’ යැයි කියමිනි.


විනාඩි හතළිහක් පමණ කාලයක් තිස්සේ දෙදෙනා අතර සාකච්ඡා පැවැත්විණි. ඔවුන් දෙදෙනා පමණක් තනිවම සිටිමින් බොහෝ වේලාවක් කතා කර තිබුණේ ද්වි පාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කරගන්නා ආකාරය ගැනය. සමගි ජන බලවේගයේ අනාගත ආණ්ඩුවකදී රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කිරීමේදී ඉන්දියාව සමග ඇති සම්බන්ධය ලංකාවේ සංවර්ධනයට දායක කරගත හැකි ආකාරය ගැන සජිත්ගේ විශේෂ අවධානය යොමුව තිබුණේය.


මේ අතර එම්.සී.සී. ගිවිසුම ගැනත් සජිත්ගේ අවධානය යොමුව තිබුණේය.


‘ජනාධිපතිවරණය කාලයේදී එම්.සී.සී. ගිවිසුමක් අරගෙන ආපු ආණ්ඩුව අපිට දේශපාලන වශයෙන් පහර දුන්නා. ඔවුන් දේශපාලන වාසි ගන්න එම්.සී.සී. ගිවිසුම අහෝසි කරනවා කියලා කිව්වා. ඒ ගිවිසුම තවම අහෝසි කරලා නෑ. ඒක අහෝසි කරන්නේ කවදාද?’ සජිත් ඇසුවේ විදේශ සම්බන්ධතා ගැන අවධානය යොමු කරන සාකච්ඡාවකදීය.


කෝප්-කෝපා කමිටු සභාපතිකම් ඉල්ලයි


සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පසුගිය බදාදා සවස පැවැත්වුණේ පාර්ලිමේන්තු කමිටු ශාලාවකදීය. ආණ්ඩුව විසින් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීම ගැන අවධානය යොමු කරමින් පැවැති කණ්ඩායම් රැස්වීම ආරම්භ වූයේ අපූරු ආකාරයකටය. ආගම සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසුව කටයුතු ආරම්භ විය. සජිත් මූලාසනය දරන රැස්වීම් මේ ආකාරයට ආරම්භ කිරීම දැන් සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාම පාහේ පැමිණ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේදී මන්ත්‍රීවරුන්ට නිදහසේ තමන්ගේ අදහස් දැක්වීමට අවස්ථාව හිමිවිය. ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන මෙන්ම සමගි ජන බලවේගයේ දේශපාලන වැඩ ගැනත් එහිදී අවධානය යොමු වුණේය.


පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අතරවාරයේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා තරමක ආවේගයෙන් යුතුව කතා කළේය. ඒ විකෘති කරන ලද ඇතැම් තොරතුරු මාධ්‍යයේ පළවන බව කියමිනි.


‘පාර්ලිමේන්තු කණ්ඩායමේදී කතා කරන සමහර දේවල් විකෘති කරලා මාධ්‍යවල පළ කරනවා. ඒ වගේ විකෘති කරපු තොරතුරු නිසා අනවබෝධයක් ඇති වෙනවා. ඒ වගේ දේවල් කවුරුවත් කරන්න එපා’ හරින් තරමක් සංවේදීව කතා කළේය.


‘අපි කණ්ඩායම් රැස්වීම්වල කතා කරන දේවල් කවුරුවත් විකෘති කරලා මාධ්‍යයට දෙන්න එපා’ සජිත් කීවේ අභ්‍යන්තර සාකච්ඡාවල තොරතුරු මාධ්‍යයට ලබාදීම සම්බන්ධයෙන් පාලනයක් ඇති කර ගැනීමේ වැදගත්කම ගැනද සිහිපත් කරමින්ය.


‘කෝප් කමිටුවේ හා කෝපා කමිටුවේ සභාපතිත්වය සාමාන්‍යයෙන් විපක්ෂයට හිමිවන තනතුරු. මේවා අපි විපක්ෂයට ගන්න ඕනැ’ අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා යෝජනාවක් කළේය. සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා නැගී සිටිමින් එම යෝජනාව ස්ථිර කළේය.


‘පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මේ තනතුරු විපක්ෂයට ලැබිය යුතු තනතුරු. ඒවා විපක්ෂයට ලබා ගැනීමට අපි කටයුතු කළ යුතුයි’ ඒ වෙනුවෙන් විපක්ෂ නායකවරයා ලෙස මැදිහත්වීමට සජිත් කටයුතු කළේය.
‘සමගි ජන බලවේගය කුඩා කාලයක් ඇතුළතදී විශාල ජයග්‍රහණයක් ලබාගෙන තියෙනවා. අපි තවත් ශක්තිමත් වෙලා ඉදිරියට යා යුතුයි. අලුත් පක්ෂයක් විදියට ඉදිරියට යද්දී මනුෂ නානායක්කාරලා වගේ අයගේ අත්දැකීම් අරගෙන පක්ෂය ශක්තිමත් කරන්න ඕනෑ’ කුමාර වෙල්ගම යෝජනා කළේය.


‘එක්සත් ජාතික පක්ෂයට දැන් කිසිම වලංගු භාවයක් නෑ. ඒ නිසා අපි සමගි ජන බලවේගය ඉදිරියටම අරගෙන යමු’ රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා යෝජනාවක් කළේය.


‘අපේ මන්ත්‍රීවරු පාක්ෂිකයින් සමග කටයුතු කරද්දී මහ ලේකම්තුමා එක්ක සාකච්ඡා කරලා ඒවා විසඳා ගන්න. එහෙම නැතිව තැන තැන ඒවා කතා කරන්න යන්න එපා’ පක්ෂයක් ලෙස ඉදිරියට යාමේදී විනය ගැන අවධානය යොමු කිරීමේ වැදගත්කම සජිත් සිහිපත් කළේය.

 

-ගජබා-

 



අදහස් (0)

ස්වාධීන කොමිෂන් සභා දංගෙඩියට යයිද?

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 127 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 332 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 199 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1490 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1400 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site