IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


රනිල්-සජිත් සුසංයෝගයෙන් එජාපය ජනපතිවරණයට

එජාපය තුළ අපේක්ෂකත්වය පිළිබඳව පැවැතුණේ සීතල අරගලයකි. අවසානයේ අගමැති රනිල්ගේ පූර්ණ එකඟතාවයෙන් අගමැතිවරයා විසින්ම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සජිත්ගේ නම යෝජනා කරනු ලැබූ පසු එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ගේ ස්ථිරත්වයෙන් පසුගිය 26 වැනි බ්‍රහස්පතින්දා සිරිකොත එජාප මූලස්ථානයේදී නිල ලෙස එය සම්මත වූ අතර එය සැමරීමට දහස් ගණනක් සිරිකොත වටා රැස්ව සිටියහ.
සිරිකොත ඉදිරිපිට පමණක් නොව රට පුරා ගම් නගර සිසාරා එදින තරම් රතිඤ්ඤා පිපිරූ දිනයක් ඉතිහාසයේ නොතිබූ බව බොහෝ දෙනාගේ පිළිගැනීමය.


සජිත්ගේ අපේක්ෂකත්වයට විශාල වශයෙන් ජාතික සහ ජාත්‍යන්තර සුභ පැතුම් ගලා එද්දී පක්ෂය එක්සේසත් කරන්න එකී තීන්දුවට මූලිකත්වය ගත් අගමැති රනිල්ටද සුබ පැතුම් ගලා එන්න විය.


අනතුරුව පසුදා සිටම දිනපතා රනිල් සහ සජිත් උදේ පාන්දරින්ම හමු වී මැතිවරණ ව්‍යාපාරය සැළසුම් කිරීමට අදාළ තීරණාත්මක සාකච්ඡාවලට එක්වූහ. එහිදී ගනු ලබන තීන්දු තීරණ සජිත් විසින් එජාපෙ පක්ෂ නායකයන් ඇතුළු ඡන්ද ව්‍යාපාරයට අදාළ මෙහෙයුම් මණ්ඩලවලද දැනුම් දී එය ක්‍රියාත්මක කරවන්න විය.
සෑම දිනකම සජිත්, ඇමැති මංගලගේ නිවසට ගොස් දෙස්-විදෙස් මාධ්‍යවේදීන් හමුවේ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් සිය ප්‍රතිපත්ති සහ ස්ථාවරය එළිදැක්වීම මෙන්ම එජාපය හැර ගිය පිරිස් මෙන්ම සෙසු පක්ෂවල සාමාජිකයින්ද ඔහු වටා පෙළ ගැසෙන අයුරු ලෝකයටම ප්‍රදර්ශනය කළේය.


පසුගිය දින කිහිපය පුරා නාවින්න, නියෝමාල් පෙරේරා, ඩබ්ලිව්.බී. ඒකනායක මෙන්ම මෙරට වාමාංශික දේශපාලනයේ වසර 70 ක කාලයක් නිරතව සිටි අතාවුද සෙනෙවිරත්නද සජිත් වටා රොක් වීම විශේෂත්වය විය.
“තවම කසකාරයින් පමණයි. මීටත් වඩා ලොකු සෙල්ලම් ඉදිරියේදී පෙනේවි. අපත් එක්ක එකතු වෙන්න වැඩියෙන්ම උනන්දු වෙන්නේ පොහොට්ටුවේ අයයි.”, සජිත් නිතරම කියන්නේ එවැන්නකි.


“මා සමාජවාදියෙකු ​ෙවනවා. රටේ දශක ගණනක දේශපාලන අත්දැකීම් මට තිබෙනවා. දැනට රට තුළ සිටින වඩාත්ම ජනතාවාදී පොළොවේ පය ගැසූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදියා සජිත් ප්‍රේමදාස නිසයි, මගේ සහාය ඔහුට දෙන්නේ.”, අතාවුද සෙනෙවිරත්න සජිත්ට දුන්නේ එවැනි දේශපාලන සහතිකයකි.
එදිනම තවත් පක්ෂ 16 ක් සජිත් හා එකතු වූ අතර සුළු ජාතික පක්ෂ ගණනාවක්ද සිටීම විශේෂත්වය විය. එසේම 2015 දී රාජපක්ෂ කඳවුරට සහාය පළකළ එජාප ප්‍රබලයකු වන තිස්ස අත්තනායකද සජිත්ට සහාය පළකිරීම ඔහු ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය සේ සැළකේ.
තිස්ස සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස දැවැන්ත වගකීමකින් පිදුම් ලැබීමද විශේෂත්වකි.
සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය කොළඹ-02, වොක්ස්ෂෝල් වීදීයේ, රක්ෂණ මන්දිරයට යාබදව විවෘත වූයේ රනිල් හා සජිත්ගේ ප්‍රධානත්වයෙනි. ඒ අවස්ථාවටද දැවැන්ත ජනතාවක් එක්වූහ. අගමැතිවරයා එහිදීද මැතිවරණ මෙහෙයුම් ගැන සජිත් හා තිස්ස ඇතුළු එජාපෙ ප්‍රබලයන්ට උපක්‍රම රැසක් පිළිබඳව දැනුවත් කළේය.
“සර්, අප රැස්වීම් 160 ක් තියනවා. ඔබතුමා පුළුවන් සෑම එකකටම එන්න ඕනෑ. රනිල් සජිත් සුසංයෝගයයි, මෙවර ජයග්‍රහණයේ තේමාව වෙන්නේ”, තිස්ස අත්තනායක කීවේය.
“රැස්වීම් 160 ක්? ඒකත් ලෝක වාර්තාව වේවියයි”, කී අගමැතිවරයා දෑත් හිස මත තබා ගත්තේය.
“පුළු-පුළුවන් හැම එකකටම මා එනවා. අඩු ගානේ එක දිස්ත්‍රික්කයක ප්‍රධාන රැස්වීමට හෝ මා එනවා. සජිත්ට දුවන්න පුළුවන්නේ? මොකද ගෝඨට වයස 70 යි, සජිත්ට 50 යි නේ. යයි”, අගමැතිවරයා කීවේ සිනහ මැදය.


“වොක්ස්ෂෝල් කාර්යාලය වීදුරු ගෙයයි රනිල්-සජිත් විශේෂ සාකච්ඡාව කරන විටත් ආ පිරිස් කටවල් දිහා බලන් හිටියා. ඒක හරියන්නේ නැහැ. ආවරණ අවශ්‍යයි.”, ලක්ෂ්මන් කිරිඇල්ල කී දේ රනිල් මෙන්ම සජිත්ද අනුමත කළ අතර ඒ සඳහා පිළියම් යොදන ලෙස තිස්සට උපදෙස් ලැබිණ.
බ්‍රහස්පතින්දා එජාපයට තවත් විශේෂ දිනය විය. ඒ එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් සම්මත කළ සජිත්ගේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය අනුමත කිරීමේ විශේෂ සමුළුව සුගතදාස ක්‍රීඩාගාරයේදී පැවැත්වූ බැවිනි.
රනිල්-සජිත් හමුව එදිනද උදේ අරලියගහ මැදුරේදී පැවැති අතර අගමැතිවරයා අනතුරුව කතානායකවරයා හමුවීමට ඒ නිල නිවසට යෑමට සැළසුම් කර තිබිණ.
“මා සම්මේලනයට එන්නේ ඊට පස්සේයි. සජිත් දැම්මට පසු විශාල පිබිදීමක් රට පුරා තිබෙනවා. මුළින්ම ඉල්ලන කොටම දැම්මා නම් මේ වෙනවිට ගෝඨාගේ හුළං බැහැලම ගියා වගේ සජිත්ගෙත් හුළං ටිකක් හරි අඩුවෙන්න තිබුණා. සමහර දේශපාලන උපක්‍රම බොහෝ දෙනකුට තේරෙන්නේ නැහැ.” අගමැති කීය.
“ඔබතුමා අන්තිමට මේක දෙන බව මා දැනන් හිටියා. මෙතන උපක්‍රමශීලී බවකුත් තිබුණා, කියන එකත් ඔබතුමාගෙන් මට ඉඟි ලැබුණ බව මතකයි.”, සජිත් කීවේ ස්තූති පූර්වකවය.


“දිනන අපේක්ෂකට මේක දෙනවා කියා අප රට පුරා කිව්වා. සජිත්ට දීමෙන් ගෝඨයි පොහොට්ටුවයි වගේම ශ්‍රීලනිපයත් ලොකු අවුලට ගියා”, ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.
‘‘‘ගෝඨාභය උසාවියට පුදුම බයක් තිබෙන්නේ. හැම නඩුවකටම කෝටි ගණන් විසි කරල එක්කො කල් ගන්නවා, නැතිනම් නොගිහින් ඉන්නවා. ගෝඨාභයට තරම් උසාවිය අනුකම්පා කළ කෙනෙකු මේ රටේ තවත් නැහැ කියලයි, මිනිස්සු කියන්නේ”, උපාලි පියසෝම කීදේට අගමැති ඇතුළු කාගේත් එකඟත්වය පළ වූයේ නිහඬ ප්‍රතිචාර මගිනි.
“මෙච්චර චෝදනා හා නඩු තිබෙන ජනාධිපති අපේක්ෂකයකු ලෝකෙම නැතුව ඇති. ද්විත්ව පුරවැසිකමට අදාළවයි, හැඳුනුම්පත හා පාස්පෝට් එකත් ව්‍යාජ බවටයි ඔහුට විරුද්ධව ඇති අලුත්ම චෝදනාව ​ෙවන්නේ. ඒකට එදා ඇමති හැටියට කවුරුහරි අත්සන් කළාට එහෙම ඇමැතිකමක් එදා තිබී නැහැ කියලයි නීති තර්කය වෙන්නේ.”
“කාටත් හොරා ජනාධිපති කෙනෙකු මෙවැනි ප්‍රාථමික ලේඛණයකට අත්සන් කළා නම් ඒකත් සදාචාරත්මකද කියලයි, නීතිඥයොත් අහන්නේ?” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.
“නඩුව බොහෝවිට ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න බැරි නැහැ. ඒත් ගෝඨට අවාසි අවසන් තීන්දුව මේ අධිකරණයෙන් ආවොත් විතරයි, නාම යෝජනා දෙන්න බැරි වෙන්නෙ කියලයි, නීති විශේෂඥයෝ කියන්නේ” චමින්ද විජේසිරි කීවේය.


ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයත් අවදානම් බවයි, පේන්නේ. කැම්පේන් එක අතෑරල බෙහෙත් ගන්න රට යන්නත් උසාවියෙන් අවසර ඉල්ලා තිබෙනවා. මේ නිසා පොහොට්ටු කැම්පේන් එක හොඳටම අවුල් වෙලා කියා ඒ පැත්තේ අයම පිළිගන්නවා.”, දිනේෂ් වීරක්කොඩිගේ විග්‍රහය එය විය.
“හිටපු හමුදාපති මහේෂ් සේනානායක අලුත් මූණයි. ඔහුත් ෆොන්සේකා වගේ චෝදනා නැති යුද්දයේ සටන් බිමේ හිටපු රණවිරුවෙක් ​ෙවනවා. ඔහු ජනාධිපතිවරණයට එන එකෙන් ගොඨාගේ ඡන්ද පදනම සම්පූර්ණයෙන්ම දෙදරලා.”
“දැන් එජාප - ශ්‍රීලනිප සාකච්ඡාවල ප්‍රතිඵලය මොකක්ද? ඊයේ නීතිපති අංශය ගෝඨගේ නඩුව ගැන උසාවියට දීපු ස්ථාවරයෙන් ඒ සාකච්ඡාවල ප්‍රතිඵළය කියවුණාද කියලයි, මට හිතෙන්නේ” මහාචාර්ය ආශු මාරසිංහ කීවේ එවැන්නකි.
“දේශපාලනික උසි ගැන්වීම්වලට වර්ජන කර ජනතාව පීඩනයට පත් කරන්න දෙන්න නරකයි. දුම්රිය ඇතුළු බොහෝ ක්ෂේත්‍ර අත්‍යාවශ්‍ය සේවා කරන ගැසට් එක ආවාම වැඩට නොඑන අය ඉබේම සේවය අත හැර ගිය අය ලෙස සැළකේවි. ඡන්දයක් මැද මෙහෙම පහත් වර්ජන කරන ලෝකයේ එකම රට ලංකාව කියා මිනිස්සුන්ටත් දැන් හොඳ අවබෝධයක් තිබෙනවා”, නවීන් දිසානායක කීවේ එවැන්නකි.


”සජිත් රණවිරුවන්ගේ ප්‍රශ්නය විසඳන්න ඉදිරිපත් වෙලා කැබිනට් පත්‍රිකාවත් දැම්මා. ඒත් සමහර පත්තර හා ජනමාධ්‍ය සජිත්ගේ නම හැංඟුවා. සජිත් රණවිරුවන් බලන්නත් ගියා.”
“මේක කණ වැටුණු මහින්ද රාජපක්ෂ පැය කීපයකින් තනියම ගිහින් රණවිරුවන්ට කතා කර උපවාසේ ඉවර කරන්න කිව්වා. ගෝඨාභය එතෙන්ට එන්න බැහැ කියලලු. ඒ තමන් අතින් එදා රණවිරුවන්ට මේ වැරැද්ද කරපු බව පිළිගන්න වෙන නිසාලු. මහින්ද ආවහම උපවාසය අතාරින්න රහස් තීන්දුව ගෙන තිබෙනවා කියා ඒ රණවිරුවන් අතරින් විශාල පිරිස සජිත්ට පණිවිඩය දීලා. අප පොහොට්ටු දේශපාලකයන්ගේ අතකොළුව හැටියට මෙච්චර කල් වැඩ කර තිබෙනවා කියන කනගාටුවත් එක්කයි”, නවීන් දිසානායක තමාට ලැබුණු තොරතුරු තවදුරටත් එළිදැක්වූයේ ඉතා සංවේදීවය.
ජනාධිපතිවරණ ව්‍යාපාරයට අද‌ාළ සිය මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරමින් මේ දිනවල ඉතා කාර්යබහුලව සිටින සජිත් ප්‍රේමද‌ාස අමාත්‍යවරයා හමු වී සිය සහයෝගය පළ කිරීමට ඉකුත් දින දෙක තුනේදී විශේෂ පුද්ගලයන් රැසක් පැමිණියහ. ඒ අතර එස්.බී. නාවින්න, අතාවුද සෙනෙවිරත්න, ඩබ්ලියු.බී. ඒකනායක, නියෝමාල් පෙරේරා ඇතුළු මෙතෙක් විවිධ දේශපාලන මතිමතාන්තර දැරූ අය වූහ.
‘විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් ඔබතුමා කරන සේවය ගැන බොහොම සතුටුයි. ඒ නිසා අපේ සහයෝගය මෙවර ඔබතුමාට ලබා දෙන්න තීරණය කළා.’ එස්.බී. නාවින්න හිටපු ඇමැතිවරයා කීය. සජිත් කීවේ ‘පැය විසිහතරම අපි වැඩ’ කියාය. නියොමාල් කීවේ ‘සජිත් මම පසුගිය කාලයේ ඔයාගේ හැකියාව දැක්කා. කඩිසර, කාර්යශූර දේශපාලන නායකයෙකුගේ කුසලතාව ඔයා පෙන්වලා තිබෙනවා.’ කියාය. ‘බොහොම ස්තූතියි. මට එකතු වුණු එක ගැන සතුටුයි. අපට එකට එකතුවෙලා ජනතාව වෙනුවෙන් යමක් කරන්න පුළුවන්.’ සජිත් කීවේය.


ලංකා සමසමාජ පක්ෂයේ අතාවුද සෙනෙවිරත්න හිටපු ඇමැතිවරයා කීවේ. ‘නිර්ධන පන්තිය වෙනුවෙන් ඔබතුමා ඉටුකරන සේවය ගැන මම බොහෝම සතුටු වෙනවා.’ කියාය. කොළඹ 02 වොක්ෂෝල් වීදියේ අංක 137 දරණ ස්ථානයේ සජිත්ගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා සමග පක්ෂයේ ඉහළ නිල තනතුරු හොබවන සියල්ලෝම සහභාගි වූහ. කලකින් නොදුටු ජනප්‍රිය පුද්ගලයන් ද, විවිධ හේතුන මත වෙනත් දේශපාලන ප්‍රවාහයන්ට එකතු වී සිටි පක්ෂයේ ප්‍රබල ක්‍රියාකාරීන් ද විශාල පිරිසක් එම උත්සවයට පැමිණ සිටීම විශේෂ සිද්ධියක් විය.
පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක, නියෝමාල් පෙරේරා එම අවස්ථාවට සම්බන්ධ වූ කැපී පෙණුනු පුද්ගලයන් දෙදෙනෙකුය. මෙම කාර්යාලය විවෘත කිරීමෙන් පසුව එහි පැමිණ සිටි ​පෙර පාසල් ගුරුවරියන් පිරිසක් සජිත් හමුවූයේ පෙර පාසල් පිළිබඳව ක්‍රියාත්මක කිරීමට අදහස් කරන වැඩපිළිවෙළ පිළිබඳ කෘතඥතාව පළ කිරීමටය. තමන් ජනපති ධුරයට පත්වුවහොත් පෙර පාසල් ගුරුවරියන් රජයේ ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර නිසි වැටුප් ලබා දෙන බවත්, පෙර පාසල් අධ්‍යාපනය​ නොමිලයේ ලබා දී දරු දැරියන්ට නොමිලයේ දිවා ආහාර වේලක් පවා ලබා දෙන බවත් සජිත් ප්‍රකාශයට පත්කර තිබිණි.


‘මමත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මගේ දේශපාලන ගමන පටන් ගත්තේ පෙර පාසල්වලට ගොඩනැගිලි හද‌ා දීලා දරු පැටවුන්ට උදව් කරලා තමයි.’ සජිත් සිය අතීතය සිහිපත් කර දුන්නේය. දිවයින පුරා එජාප සංවිධායකවරුන්ට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා හඳුන්වා දීමේ නිල වැඩසටහන පසුව ද‌ා ‘සිරිකොත’ පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි. එහිදී සංවිධායකවරුන් සජිත් වටකරගෙන කීවේ තම තමන්ගේ කොට්ඨාසවලට පැමිණ මැතිවරණ ව්‍යාපාරය ශක්තිමත් කරන ලෙසයි. සජිත් කීවේ ඒ ඇරියුම තමන් පිළිගන්නා බවත්, සෑම මැතිවරණ කොට්ඨාසයකටම පැමිණිය හැකි වන සේ ජනහමු සැලැස්ම සකස් කරන බවත්ය. මෙහිදී නවීන් දිසානායක සජිත්ගේ කනට ළංවී කීවේ ‘සජිත් අයියා පොඩ්ඩකට ‘සිරිකොත’ පිටුපස්සට ගිහින් එමු. පොඩි බඩුවක් තියෙනවා. පෙන්නන්න’ කියාය. දෙදෙනා එහි ගිය පසු දකින්නට ලැබුණේ රැස්වීම්වලදී මහජනයා ඇමැතිය හැකි ආකාරයට සැකසූ විවෘත ට්‍රක් රථයකි. ‘මල්ලී මේක නම් මට දීපු ලොකුම ලොකු තෑග්ගක්.’ සජිත් කීවේ ඉහවහා ගිය සතුටිනි. 


එක්සත් ජාතික පක්ෂයේ 73 වැනි සම්මේලනය පසුගිය බ්‍රහස්පතින්දා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහිදී දින 52 ව්‍යවස්ථා කුමන්ත්‍රණයේදී ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට නිර්භීතව පෙනී සිටීම පිළිබඳව කථානායක කරු ජයසුරිය මහතාට ප්‍රසාදය පළ කරමින් විශේෂ යෝජනාවක් ද සම්මත කෙරිනි.
සම්මේලනයේ 4 වැනි යෝජනාව ලෙස පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් එය කියවන විට රැස්වීමේ සිටි පක්ෂ සාමාජිකයෝ නැගී සිටිමින් දෑත් ඔසවා එය අනුමත කළහ.
එමෙන්ම, සම්මේලනය ආරම්භවීමට පෙර හා පසුව කථානායකවරයා ඇමතූ එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබල චරිත ගණනාවක්ම විශාල දෙදරායාමේ අවදානමකට මුහුණ දී තිබූ පක්ෂය සමඟියේ මාවතට ගෙන ඒමට කළ කැපවීම පිළිබඳව ස්තූතිය පළ කළ අතර, ප්‍රධාන චරිත කිහිපයක්ම කථානායක නිල නිවසට පැමිණ කිසිඳු ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර තීරණාත්මක මොහොතේ පක්ෂය බේරා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව අගය කළහ.
ගෙවීගිය සතියේ 20 වැනිදාට සිය උපන්දිනය වෙනුවෙන් කථානායකවරයා අනුරාධපුර මහවිලච්චිය කුඩාතම්මැන්නාවේ මාඳුළුවාවේ ශ්‍රී සෝභිත හිමි ගම්මානය වෙත ගියේ එහි දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද තෑගි බෝග රැසක් රැගෙනය.


එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට සියලුම ආසන සංවිධායකයින් සිරිකොත පක්ෂ මූලස්ථානයට කැඳවා තිබුණි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට එක්ව සිටි විදුලිබල බලශක්ති ව්‍යාපාර සංවර්ධන ඇමැති රවි කරුණානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කළ කථාව කාගේත් ඇගයීමට ලක්විණ. ඉන්පසු වොක්ෂොල් වීදියේ අංක 137 දරණ ස්ථානයේ ආරම්භ කළ සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ කාර්යාලයේ උත්සවයට එක්විණ. එහිදී තේ පැන් සංග්‍රහයට අගමැති රනිල් වික්‍රමසිංහ, රවි කරුණානායක, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, චන්ද්‍රාණි බණ්ඩාර යන ඇමැතිවරුන් මෙන් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක එස්. බී. නාවින්න, ඒ.එච්.එම්. ෆවුසි යන මන්ත්‍රීවරු ද එක්ව සිටියහ. ඉන් පිටව යත්දී එක් මාධ්‍යවේදියෙක් ඇමැති රවි ගෙන් ඉදිරි ජනාධිපතිවරණය ගැන විමසීය. මම අනාවැකියක් කියන්නම් ඉදිරි පැය 1200 න් පසු මේ රටේ ජනාධිපතිකමට සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම පත්වෙනවා. ඒක කිසිම ජගතෙකුට නවත්වන්න බැහැ. මම ඒකයි කලින් කිව්වේ අපි වෙලාවට එක්සත් ජාතික පක්ෂයෙන් දිනන අපේක්ෂකයා ඉදිරිපත් කරනවා කියලා. ඉදිරියේදී බලාගන්න පුළුවන් අනික් දේශපාලන පක්ෂවලින් පතාක යෝධයින් කියන අය එක්සත් ජාතික පක්ෂයට එක්වෙන හැටි. දැනටම ඒ අය එක්සත් ජාතික පක්ෂයට එන්න කතා කරනවා. නාම යෝජනා භාරගත්තයින් පස්සෙ ඒ අය අපේ පැත්තට එනවා. මේ එන්නෙ කිසිම කොන්දේසියක් නැතිවයි. අපිට දිස්ත්‍රික්ක 5 ක තමයි යම්කිසි සටනක් දෙන්න වෙලා තියෙන්නේ ඒ හැරෙන්න අනික් දිස්ත්‍රික්ක සියල්ලම අපිට පහසුවෙන් ම දිනන්න පුලුවන්. ඇමැති රවි කරුණානායක කීවේය. 



අදහස් (0)

රනිල්-සජිත් සුසංයෝගයෙන් එජාපය ජනපතිවරණයට

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 150 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 412 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site