IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පෙරටුගාමීන්ට පහර දුන්නාට ජනපති නොසතුටින්

දිගින් දිගටම කල්යමින් තිබූ මහ මැතිවරණය සඳහා දිනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් පසු ගිය බද‌ාද‌ා ප්‍රකාශයට පත්කරනු ලැබුවේ අපේක්ෂකයන් පමණක් නොව රටම ඡන්දය ගැන උනන්දුවෙන් සිටියදීය. ඒ අනුව මැතිවරණය සඳහා ලබන අගෝස්තු මස 5 වැනිද‌ා නියම කෙරිණි. මාර්තු 2 වැනිද‌ා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමත් සමග ඡන්දයට දිනය නියම වූයේ අප්‍රේල් 25 වැනිද‌ාය. එහෙත් කොරෝනා වසංගතය හේතුවෙන් මැතිවරණය කල්ගියේ කිසිවකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. ඒ අනුව දෙවන වරටත් ඡන්ද දිනය ලෙස ජූනි මස 20 වැනිද‌ා නියම කරනු ලැබුවත් ඡන්දය තැබීමට එය ද කල් ගියේ කොරෝනා වසංගතය පාලනය වී නැති බව කියමිනි. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට ඇතැමුන්ගෙන් විවේචන ද එල්ල විය. අවසානයේ පසු ගිය බද‌ාද‌ා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව ඡන්දය ලබන අගෝස්තු 5 වැනිද‌ා පවත්වන්නට තීරණය කළේය. එය ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් දෙන ලද සෞඛ්‍ය නිර්දේශ අනුව යමිනි.


ඉන්දියාවෙන් මහින්දට කිලෝ 25 ක කේක් ගෙඩියක්


අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ වසර 50 ක් ගතවූයේ ගිය ඉරිද‌ාටය. ඒ වෙනුවෙන් විදේශ රාජ්‍ය නායකයන් ඇතුළු බොහෝ දෙනකු අගමැතිවරයාට සුබ පැතූ අතර සමහරුන් තෑගි බෝග ද එවා තිබිණි.


ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය අගමැතිවරයාට සුබපතමින් විශේෂ තෑග්ගක් එවා තිබිණි. ඒ විශේෂයෙන් සෑදූ විශාල ප්‍රමාණයේ කේක් ගෙඩි දෙකකි. එකක බර කිලෝ ග්‍රෑම් 25 කි. සිය කාර්ය මණ්ඩලයේ පිරිස ද සමග කේක් කැපූ අගමැතිවරයා ඉන් කෑල්ලක් අතිරේක ලේකම් හර්ෂ විජේවර්ධනට ද කැව්වේය. මේ කේක් කපලා මෙහෙ ඉන්න ඔක්කොටම බෙදන්න. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට කතා කරලා ස්තූති කරන්නත් ඕන’ යැයි අගමැතිවරයා හර්ෂට කීවේය.


මේ අතර ගිය සති අන්තයේ අගමැතිවරයා අනුරාධපුරය බලා පිටත්ව ගියේ රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ පුද බිමේ පැවැත්වුණු බැවිනි. රාජ්‍ය අනුග්‍රහයෙන් පොසොන් උත්සවය මෙවර පැවැත්වූවේ පළමු වරටය. සමාජ දුරස්ථභාවය තබා ගනිමින් පැවැති පොසොන් උත්සවයට ඇමැති එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු දිස්ත්‍රික්කයේ දේශපාලනඥයේ රැසක් ද එක්ව සිටියහ.

 

ඉන්දියාවෙන් ලැබුණු සුවිසාල කේක් ගෙඩිය කපන අගමැති මහින්ද


 

අගමැතිට තැපෑලෙන් එවූ රුපියල් 5000


කොරෝනා වසංගතය හමුවේ ඇදවැටුණු සංචාරක ක්ෂේත්‍රය යළි නගාසිටුවීම පිළිබඳ සාකච්ඡාවක් ගිය සතියේ අරලියගහ මන්දිරයේදී පැවැත්වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. ඇමැති ප්‍රසන්න රණතුංග සහ සංචාරක ක්ෂේත්‍රයේ නියුතු පිරිසක්ද එම සාකච්ඡාවට පැමිණ සිටියහ. සාකච්ඡාව යන අතරේ ආරක්ෂක අංශ නිලධාරියෙක් පැමිණ අගමැතිවරයා අතට ලිපියක් බාර දුන්නේය. ලිපි කවරය විවෘත කළ විට එහි තිබුණේ රුපියල් 5000 නෝට්ටුවක් ඇමිණූ ලිපියකි. ලිපිය සහ මුදල් නෝට්ටුව එවා තිබුණේ මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචි අසූහය හැවිරිදි පුද්ගලයෙකි. ඔහු හිටපු ගම් සභා නියෝජිතයෙකි. ‘අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතටම’ යැයි ලිපියේ සඳහන් කර තිබූ නිසාම ආරක්ෂක නිලධාරියා එය අගමැතිවරයා අතටම ගෙනැවිත් දුන්නේය. ඇවිදින්නටත් නොහැකි වූ රෝගී ඇඳේ සිටින මෙම පුද්ගලයා රුපියල් 5000 එවා තිබුණේ කොවිඩ් අරමුදලට බැර කරන්නැයි ඉල්ලමිනි. එය ඔහුට රජයෙන් ලැබුණ රුපියල් 5000 කි. ඔහු මෙය කොවිඩ් අරමුදලට බැරකර තමා ද එම පින්කමට සහභාගි කරගන්නැයි ඉල්ලා තිබිණි.


අගමැති ලේකම් ගාමිණී සෙනරත් මහතා කැඳවා අගමැතිවරයා ගාමිණී මේක දෙන්න ඕන ජනාධිපතිතුමාටයි කියමින් 5000 නෝට්ටුව හා ලිපිය ඔහු අතටම දුන්නේය. ‘ලෙඩ ඇඳේ ඉඳගෙන වුණත් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන මිනිස්සු ඉන්නවා කියන එකට මේක හොඳම උද‌ාහරණයක්’ කී අගමැතිවරයා ජනාධිපතිතුමාගේ උපන් දිනය දවසට මේ මහත්තයා ගෙන්වමු යැයි ගාමිණී සෙනරත්ට දැන්වීය.


කැබිනට් රැස්වීම


කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය බදාදා දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පිරිසක් කලින්දා ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත් වූ විරෝධතාව විසුරුවාහරින්නට පොලිසිය කටයුතු කළ ආකාරය ගැන ජනාධිපතිවරයා සිටියේ එතරම් පැහැදීමකින් නොවේ. එතනට ගිය පොලිස් නිලධාරීන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය නොකළ බවද ජනාධිපතිවරයා කීවේය. ‘මේ ගැන ඔබතුමාලගේ අදහස මොකද්ද? යැයි ජනාධිපතිවරයා ඇසුවේ ඇමැතිවරුන් ඒ සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්දැයි දැනගැනීමේ අපේක්ෂාවෙනි. ‘ඔබතුමා පත්වුණාට පස්සේ උද්ඝෝෂණවලට පහරදිලා නැහැ. කඳුළු ගෑස් ගහල නැහැ. මේකත් ඒ විදියට පාලනය කළා නම් හොඳයි. ‘ඇමැතිවරයෙක් කීවේය. තවත් ඇමැතිවරයකු කීවේ. විරෝධතාකරුවන් මුලින්ම පොලිසියට පහරදී ඇති නිසා, පසුව පොලිසිය ද ඔවුන්ට පහරදී ඇති බවය. විරෝධතාවට එරෙහිව අධිකරණයෙන් තහනම් නියෝගයක් ගෙන තිබිය දී මේ විදියට උද්ඝෝෂණය කිරීම වැරදි බව තවත් ඇමැතිවරයෙක් කීවේය. ජනාධිපතිවරයා කීවේ විරෝධතාව නැවැත්වීමට පොලිසිය මැදිහත් වූ ආකාරය ද අනුමත කළ නොහැකි බවය. එමෙන්ම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද වලින් බැහැරව, පොලිසිය එතනට රැස්වූ නිසා ඊට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් ද නිරෝධායනය සඳහා යොමුකළ යුතු බව ජනාධිපතිවරයා කීවේය. කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඇතුළු 30 දෙනකු අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරනු ලැබුවේ ඒ අනුවය.


මේ අතර, ඇමැතිවරුන් කිහිප දෙනකුම කියා සිටියේ කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර, ආයතන යළි ගොඩනැගීම සඳහා ගෙනයන වැඩපිළිවෙළට වාණිජ බැංකුවලින් ලැබෙන සහයෝගය අඩු බවය. ඇතැම් රාජ්‍ය හා පෞද්ගලික බැංකු මහ බැංකුවෙන් දෙන උපදෙස් පවා නොපිළිගන්නා බව ඔවුහු කියා සිටියහ. ජනාධිපතිවරයා ද එය තහවුරු කළේය. සියයට 4 පොළියට ණයක් දෙන්නට කළ යෝජනාව ද ඇතැම් බැංකුවලින් ක්‍රියාත්මක නොවන බව ඇමැතිවරයකු කීවේ බැංකු හිතුවක්කාරී ලෙස වැඩකරන බව කියමිනි. රජයෙන් දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන රාජ්‍ය බැංකු ප්‍රධානීන් ඉවත් කර හෝ මෙම සහන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ද කීවේය.


අපනයන ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන් සමග ගිය බ්‍රහස්පතින්දා පැවැති සාකච්ඡාවේදී ද ජනාධිපතිවරයා මහ බංකුවේ හා රාජ්‍ය බංකුවල ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දෝෂ දර්ශනයට ලක් කළේය. මහ බැංකුවේ හෝ රාජ්‍ය බැංකුවල නිලධාරීන් රජයෙන් දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන්නේ නම් ඔවුන් ඉවත් කර, වැඩ කරන පිරිසක් පත්කර කටයුතු කිරීමට තමා පසුබට නොවන බව ජනාධිපතිවරයා දැඩිව කීවේ ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත්ව සිටි බැවිනි.


බැසිල් වැඩ අරඹයි


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ සටනේ ප්‍රධාන නියමුවා වන්නේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාය. මැතිවරණ ව්‍යාපාරය සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය විමසා බැලීම ආදි සියල්ල සිදුවන්නේ ඔහුගේ මූලිකත්වයෙනි. ඔහු පහුගිය මාස කීපයේම යෙදී සිටියේ, ආර්ථික පුනර්ජීවනය සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ කටයුතු වෙනුවෙනි. මැතිවරණය සඳහා දින නියම කිරීමත් සමග ඔහු ගිය සතියේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු ද ආරම්භ කළේය. ගිය සතියේ පොදුජන පෙරමුණේ ආසන මට්ටමේ ක්‍රියාකාරීන් නොළුම් මාවත කාර්යාලයට කැඳවූ බැසිල් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මැතිවරණ සටන ගමට ගෙනයන හැටි කියාදුන්නේය. ඔහු ආසන සංවිධායකවරුන් ද ගිය සතියේ වරින් වර කැඳවා ඒ ගැන උපදෙස් දුන්නේ, සෞඛ්‍ය අංශවලින් දී ඇති උපදෙස් පිළිපදිමින්ම මැතිවරණ ව්‍යාපාරය ගෙනයන ලෙසය. රජයේ තනතුරු දරන අයට මැතිවරණ කටයුතුවලට සහභාගි විය නොහැකි බව ජනාධිපති කාර්යාලය ගිය සතියේ දැනුම් දුන්නේ නිවේදනයක් ද නිකුත් කරමිනි. ඒ ගැන ආසන සංවිධායකවරුන්ට ද ගැටලුවක් තිබිණි. ඔවුන් ඒ ගැන විමසුවේ බැසිල්ගෙනි.


‘පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය තමයි දේශපාලන කටයුතුවලට රජයේ සම්පත් භාවිතා නොකිරීම. ජනාධිපතිතුමා කිව්වෙත් ඒ කතාවම තමයි. තමන් දරන තනතුරුවලින් නිවාඩු අරගෙන, රජයේ වාහන බාරදිලා, ස්වාධීනව කටයුතු කරන්න කැමති අයට අපිත් එක්ක මැතිවරණ වැඩ කරන්න බාධාවක් නැහැ’ බැසිල් කීවේය.


බන්දුලගේ සංවේදිවීම


‘ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික විද්‍යාපීඨය ගිය සඳුදා විවෘත වූයේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතිනි. විෂය භාර ඇමැතිවරයා ලෙස ආචාර්ය බන්දුල ගුණවර්ධන තාක්ෂණ පීඨය එදිනම විවෘත කරන්නට යොදාගත්තේ ද විශේෂ හේතුවක් ඇතිවය. මහින්දගේ පාර්ලිමේන්තු දිවියට වසර 50ක් පිරුණේ උත්සවයට කලින් දාය. ඒ නිසා පාර්ලිමේන්තු දිවියේ වසර 50 සැමරූ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා හෝමාගමට ගෙන්වා ගැනීමට බන්දුලට දැඩි ඕනැකමක් තිබිණි.


තාක්ෂණ විෂය උසස් පෙළ විෂය ධාරාවට අලුතින් හඳුන්වා දෙනු ලැබූවේ බන්දුල අධ්‍යාපන ඇමැතිව සිටියදීය. එවකට ජනාධිපතිවරයා වූයේ මහින්දය. බන්දුලගේ වැඩේට එවකට නිපුණතා සංවර්ධන ඇමැති ලෙස ඩලස් අලහප්පෙරුමගෙන් ද ලොකු සහායක් ලැබිණි. බන්දුලගේ වැඩි උනන්දුව ඕනෑම දෙයක් හෝමාගමට ගෙන ඒමය. තාක්ෂණ පීඨය ද හෝමාගම පිටිපනට ගෙනඑන්නට ලැබීම ගැන ඔහු වඩාත් සතුටු වන්නේ එබැවිනි.


එදින උත්සවයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ, මහාචාර්ය සුනිල් ආරියරත්න ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.කේ.එම්. වෑගපිටිය ඇතුළු ජපුර ආදි විද්‍යාර්ථිහු රැසක් සහභාගි වී සිටියහ. අගමැතිවරයා උත්සවයේ කතාවක් නොකළ අතර, බන්දුල කතා කළාම තව මොනව කතා කරන්නදැයි මහින්ද කීවේය. බන්දුල සිය කතාවේදී ඇමැතිවරයකු ලෙස මෙන්ම, හෝමාගමට කළ වැඩ ගැන ලැයිස්තුවක් ඉදිරිපත් කළේය. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ද ඔහු අධ්‍යාපන ඇමැතිව සිටියදී ආරම්භ වූවකි. මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පතිවරයා තමාට උපහාරයක් පිරිනැමීමට කළ ආරාධනයක් ගැන සිහිපත් කළ බන්දුල හැඟුම්බරව කීවේ. තමාට කරන ලොකුම උපහාරය තමා මියගිය පසු දේහය මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ ක්‍රීඩාපිටියට ගෙන ඒම බවය.


සිරිකොතේ බාල්දි පෙරලූ අය ආවේ ඉගැන්නුම් බහකට


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ වැඩි වශයෙන් කාලය ගත කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේය. එහිදී ඔහු දිස්ත්‍රික්ක මට්ටමින් පක්ෂයේ අපේක්ෂකයන් හමුවිය.


පසුගිය දිනවල මහනුවර මාතලේ හා ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයන් හමුවූ ඔහු දේශපාපලන කටයුතු, ප්‍රචාරක කටයුතු, ජනතාවට ආධාර බෙදීම, කුසගින්න, ආර්ථික වශයෙන් රටේ පිරිහීම යනාදී මාතෘකා ඔස්සේ අපේක්ෂකයන් දැනුවත් කළේය.


මූල්‍ය කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් නොකර රජය ගෙනයන ක්‍රියාපටිපාටිය ගැන දැඩිව කරුණු දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවට සාගින්න ඉවසා ගැනීමට නොහැකි වනු ඇතැයිද කීවේය.


ඉකුත් සතියේ විශේෂිතම සිද්ධිය වූයේ වෘත්තීය සමිති නියෝජිතයන් හමුවීමයි. වෘත්තීය සමිති නියෝජිතයන් හමුවීම උදේ 9.30ටද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උදේ 10.00ටද යොදාගෙන තිබුණි.


හිටපු රාජ්‍ය ඇමැති පාලිත රංගෙ බණ්ඩාර මහතාද මෙම වෘත්තීය සමිති සාකච්ඡාවට සහභාගි විය. රනිල් වික්‍රමසිංහ මහතා වෘත්තීය සමිති නියෝජිතයන් අමතා කතා කරන අතර තුර මහ මැතිවරණය ජයග්‍රහණය කර ගැනීමට සූදානම් දැයි විමසා සිටි අවස්ථාවේ සියලු දෙනාම ඒකමතිකවම එයට එකඟතාව දැක්වූහ. එක් වෘත්තීය සමිති නියෝජිතයෙක් රනිල් වික්‍රමසිංහ මහතා කතාව කරගෙන යන අතරතුරදී නැගිට මෙහෙම බෙදිල ඉඳගෙන දිනන්නෙ කොහොමද? යැයි විමසා සිටියේය.


එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා එයට පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේය. ඉතිහාසය පුරාවට එක්සත් ජාතික පක්ෂය බෙදී ගිය අවස්ථා, කඩාවැටීම්, ජයග්‍රහණය ලැබීම, පරාජය වීම යන මාතෘකා යටතේ පිළිතුරු ලබාදුන් රනිල් වික්‍රමසිංහ මහතා ජාති භේද, වර්ණ භේද, ආගම් භේදවලින් තොරව මැතිවරණය පැවැත්වීම ගැන කරුණු දක්වා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යාමට සූදානම් විය.


එහිදී වෘත්තීය සමිති නියෝජිත පිරිසක් රනිල් වික්‍රමසිංහ මහතා අසලට පැමිණ ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවක පිරිසකට සිදුවී ඇති අසාධාරණකම් පිළිබඳව විමසද්දී එහි උණුසුම් තත්ත්වයක් ඇතිවිය. ඒ අවස්ථාවේදී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම තිබෙන නිසා එයට සහභාගිවී පැමිණ පිළිතුරු දෙන බව පවසා එජාප නායකයා පිටත්ව ගියේය.
තව දුරටත් කෑ කෝ ගැසූ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිස පිටත්ව යද්දී එජාප ප්‍රබලයෙක් එහි සිටි පාක්ෂිකයන්ට කීවේ ‘පොඩ්ඩක් බලන්න. මෙයාල අර පැත්තෙ කොන්ත්‍රාත්තුවක් කරන්නෙ’ කියාය. එජාපයේ පිරිසක් වාහනයක නැගී එම කණ්ඩායමට නොදැනෙන්නට පිටුපසින් ගියහ. කලබල කළ පිරි​ෙසන් කොටසක් කෙළින්ම ගියේ සමගි ජන බලවේගය කාර්යාලයටය. 


කෘත්‍යාධිකාරී මණ්ඩලයේදීත් වෘත්තීය සමිති නියෝජිත පිරිසගේ හැසිරීම ගැන කතාබහ ඇතිවිය. ඊට අමතරව ඉදිරි මැතිවරණ කටයුතු සංවිධානය කිරීම හා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් කතා බහ කරනු ලැබිණි.


එදින නවත්වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හැසිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විවිධ අදහස් පළකර සිටියහ. රවි කරුණානායක, පාලිත රංගෙ බණ්ඩාර, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ සහ හිටපු මැති ඇමැතිවරු පැවැති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ. එහිදී බහුතරයකගේ අදහස වූයේ කිසිවකුගේ උසි ගැන්වීමක් මත සිදුවන්නට ඇති බවයි. රනිල් වික්‍රමසිංහ මහතාද ඒ අදහස අනුමත කළ බවක් පෙන්නුම් කළේය.


මංගලගෙන් පසු තවත් දෙදෙනෙක් ඉවත්වෙති.


අද සිට තමා මන්ත්‍රී දේශපාලනයට සමුදීමට තීරණය කර ඇතැයිද මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ මාතර අපේක්ෂකයකු ලෙස තමාගේ නම සටහන්ව ඇතත් තමා ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටින බවද දන්වමින් මංගල සමරවීර හිටපු ඇමැතිවරයා මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනය ලැබුණු මාධ්‍යවේදීහු ඉකුත් 9 වැනිදා විමතියට පත්වූහ. ඔහු මේ බව කියා සිටියේ තම නිවසේ පැවැති සාකච්ඡාවකදීය.


මාතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන නියෝජිතයින් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට කැඳවා තිබිණ.


එහිදී විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදූරදර්ශී පාලනයක් බවත්, මාස 6 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කරමින් ඇති බවත්, ජාතිවාදය, ආගම්වාදය පතුරා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින බවත්, ඒ හමුවේ රට දැවැන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්යය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහාගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.


මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටි හිටපු අමාත්‍යවරයා, පක්ෂය බෙදී වෙන්වීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර සිටියේය.


තිස් වසරකට අධික කාලයක් මේ රටේ පාර්ලිමේන්තු දේශපාලනය තුළ නොබිඳුණු ප්‍රතිපත්තියක් වෙනුවෙන් තමා කටයුතු කළ බවත්, මේ රටේ ජීවත්වන සියලු මිනිසුන්ගේ ජීවනාලිය, සහජීවනය සහ මිනිස්කම දශමයකින් හෝ ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියා කළ බවද සඳහන් කළ හිටපු අමාත්‍යවරයා, ඒ කාලය තුළ මාතරට මෙන්ම රටට යම් වැඩකොටසක් හෝ සාර්ථකව ඉටුකිරීමට හැකියාව ලැබුණු නමුත් තවත් බොහෝමයක් දෑ රට වෙනුවෙන් කළ යුතුව ඇති බවද එහිදී සඳහන් කර සිටියේය.


කෙසේ නමුත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන, සමාජ අනන්‍යතා සංස්කෘතීන් ඉවසන, එකිනෙකා කෙරේ වෛරයෙන් නොබැඳුණු මිනිස් කැළක් හා එක්ව නිවැරදි සංවර්ධන දිශානතියක් ගොඩනැංවීම වෙනුවෙන් නව දේශපාලන ප්‍රවේශයක අැරඹුමක් අවශ්‍ය බවත් ඒ සඳහා මේ රටේ මිනිසුන් උප්පත්තියෙන් හිමිකර ගත් ජාතිය, කුලය, ආගම, ජන වර්ගය හෝ ලිංගික අනන්‍යතා සාධක තම හිස මත පුරවා නොගත්, දේශපාලන, සංස්කෘතික හා සමාජ කුහකත්වයෙන් තොර සියලු මිනිසුන්ට ආරාධනා කරන බවත් වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.


මංගලගේ ඉවත්වීමෙන් පසු සමගි ජන බලවේගයේ ඡන්ද අපේක්ෂකයෝ තවත් දෙදෙනෙක් සිය අපේක්ෂකත්වය ඉල්ලා අස්කර ගත්හ. ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයකු වූ ඩෙනට් පනියන්දුවගේ මහතා තමාගේ සහාය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව ප්‍රකාශ කරමින් ඉල්ලා අස්වූ අතර මෛත්‍රීපාල සිරිසේන ජනපති සමයේ පළාත් ආණ්ඩුකාරවරියකවූ නිලූකා ඒකනායක සමගි ජනබලවේගය රත්නපුර අපේක්ෂකත්වයෙන්ද ඉල්ලා අස්වූවාය.


සජිත් පිලේ අපේක්ෂක වැඩමුළුවට ඉහළින් බාල්දියක්


ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසම වෙත රිට් ආඥාවක් නිකුත්කරන්නයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීමකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පුවත සජිත්ට මුලින්ම කීවේ සුජීව සේනසිංහය.


සජිත් එය උපේක්ෂාවෙන් භාරගත්තේය.


‘‘අධිකරණය සත්‍ය තීන්දුව දුන්නා. මහජන අධිකරණය ඉතිරි තීන්දුව දෙයි.’’ සජිත් කීවේය.


පෙරටුගාමීන්ට එල්ල කළ ප්‍රහාරයට සජිත්ගේ විරෝධය


 පෙරටුගාමීන් විසින් සංවිධානය කළ විරෝධතාවයට එල්ල කළ අමානුෂික ප්‍රහාරය ගැන සජිත් ඇතුළු පක්ෂ නායකයෝ බලවත් අප්‍රසාදයෙන් කතාකළහ.


මේ ආණ්ඩුව මර්දනය පටන් අරගෙන තිස්ස අත්තනායක කීවේය.


‘‘කිසිම වගවිභාගයක් නැතිව ඒ අයට පහර දුන්නේ ගෑනු - පිරිමි කියලවත් බැලුවේ නෑ. හරක් පටවනවා වගේ මිනිස්සු ලොරියට දැම්මේ.’’ හර්ෂ කීවේය.


‘‘ඇමෙරිකාවේ ජනාධිපති මන්දිරය ඉස්සරහා උද්ඝෝෂණය කරන අයටවත් එහෙ පොලිසිය ඔහොම ගහන්නේ නෑ. ඒත් මෙහේ ඇමෙරිකා තානාපති කාර්යාලය ගාව උද්ඝෝෂණය කරන කොට ගහනවා.’’ සජිත් කීවේය.


‘‘ඇමෙරිකාවට හෙම්බිරිස්සා හැදෙන කොට මේ ආණ්ඩුව උණ සන්නිපාතය හැදෙනවා.’’ එහෙම කීවේ අජිත් පෙරේරාය.


සජිත් මේ ප්‍රහාරය පිළිබඳව සිය විරෝධය පළ කළ අතර එය හෙළා දකිමින් ප්‍රකාශයක් ද කළේය.


සමගි ජනබලවේගයේ සියලු අපේක්ෂකයින් සහභාගීවූ මැඩමුළුවක් වෝටර්ස්ඒජ් හිදී පැවැත්විණි. කෙසේ වෙතත් ඊට පෙර දින සිදුවූයේ අනපේක්ෂිත දෙයකි.


වෝටර්ස් ඒජ් කළමනාකාරීත්වයෙන් හරින්ට පැමිණි දුරකථන ඇමතුමකින් කියවුණේ අදාළ වැඩමුළුවට අවසර දිය නොහැකි බවය.


එහෙම කරන්නේ කොහොමද? අපි සල්ලිත් ගෙවලා ඉවරයි. හරින් කීවේය.
සර්, මේක ඉහළින් ආ නියෝගයක්. කොරෝනා නීති නිසා මේ තීරණය අරන් තියෙන්නේ. වෝටර්ස් ඒජ් කළමනාකාරිත්වයෙන් කීය.


එහෙම කරන්න බෑ. අපි සේරම ලෑස්ති කළා. අනික එන්නේ දෙසිය පනහයි. දෙසිය පනහ ගේන්න බැරි නම් ආණ්ඩුව ඡන්ද කරන්නේ කොහොමද? අපි කාර් පාක් එකේ හරි තියෙනවා. හරින් කීවේය.


මැදියම් රාත්‍රී නැවත පණිවිඩය ආවේ වැඩමුළුව පවත්වන ලෙසය.


පෙරවරු 09.30 වන විට එය ආරම්භ කරන්නට කටයුතු කළ අතර විශේෂත්වය වූයේ සෞඛ්‍යමය උපදෙස්වලට අනුගතව එම වැඩමුළුව පැවැත්වීමය.


සජිත් එතැනට පැමිණෙන විට වෙලාව 9.30 ට පමණ ඇත.


ඔහුට යාබදව මහ ලේකම් රංජිත්, ජාතික සංවිධායක තිස්ස, චම්පික සහ විශේෂ අමුත්තෙක් වූ දයාන් ජයතිලක වාඩිවී සිටියහ. දයාන් මෙතෙක් කටයුතු කළේ රාජපක්ෂ පිලට හා හිටපු ජනපති මෛත්‍රීට හිතවත්ය.


මැතිවරණයේ තේමාව ජනගත කළේ හරීන්ය. නවතාවයකින් ඔහු සිය කතාව කළේය. දිනමු. ඒ තේමාවයි.


ඒ අතර අත්අඩංගුවේ සිටි රාජිත ඇප ලබා කෙළින්ම ආවේ වැඩමුළුවටය.


රාජිත ශාලාව තුළට එන විට සියලු දෙනාම අත්පොළසන් දෙමින් පිළිගත්හ.


රාජිත එන පෙර මඟට ආ සජිත් ඔහු උණුසුම් ලෙස පිළිගත්තේය.

 

 

-ගජබා-



අදහස් (0)

පෙරටුගාමීන්ට පහර දුන්නාට ජනපති නොසතුටින්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site