IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දහනවය යයි විස්ස එයි

ඉකුත් ආණ්ඩුව ලහි ලහියේ ගෙනා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ පාලනය අවුල් කළ බව බොහෝ දෙනා දැරෑ සහ දරන මතයකි. පාර්ලිමේන්තුවේ අති බහුතර ඡන්දයෙන් සම්මත වූ 19 වැනි සංශෝධනය මෙසේ රට අවුල් කරනු ඇතැයි එය හදන්නට මුල් වූ අය ද සිතන්නට නැත. එහෙත් අවසානයේ සිදු වූයේ ඊට මුල්වූ අයම 19ට එරෙහිව නැගී සිටීමය.


හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් ප්‍රධානය. ඔහු කීවේ ද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත් වූ වහාම කළ යුතු දේ විකෘති 19 අහෝසි කළ යුතු බවය. එමගින් රටේ නායකයන් තිදෙනකු නිර්මාණය කළ බව ද ඔහු කීවේ 19 ගෙනැවිත් කරගත් වැරැද්ද හොඳින් තේරුම්ගත් බැවිනි. ඒ නිසාම 19 අහෝසි කළ යුතුම බව ඔහු කීවේය. භේරුණ්ඩ පක්ෂියා යනු මනඃකල්පිත සතෙකි. එය කලා නිර්මාණ සඳහා යොදා ගැනෙන නිර්මාණයකි. භේරුණ්ඩ පක්ෂියාට ඔළු දෙකකි. උදය ගම්මන්පිල ඇමැතිවරයා නම් කීවේ 19 වැනි සංශෝධනය භේරුණ්ඩ පක්ෂියාටත් වඩා විකෘතියක් බවය.
පොදුජන පෙරමුණ මෙවර ආණ්ඩුව පිහිටවූයේ මහ ඡන්දයෙන් තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමිකර ගනිමිනි. ඒ නිසාම ආණ්ඩුව පත්වූ ගමන්ම කීවේ 19 අහෝසි කිරීම ප්‍රමුඛතම කාර්යයක් වන බවය. නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමටම අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා විසින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට වන කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබුවේ ඒ අනුවය. 19 අහෝසි කර 20 වැනි සංශෝධනය ගෙන ඒම සඳහා කෙටුම්පත් කිරීම නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කරනු ලැබුවේ කැබිනට් මණ්ඩලයේ තීරණයත් සමඟය. ඒ අතර 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය සාකච්ඡා පැවැත්වීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පස් දෙනකුගෙන් යුත් ඇමැති අනුකමිටුවක් ද පත් කරනු ලැබීය. මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා, උදය ගම්මන්පිල සහ අලි සබ්‍රි එම ඇමැති අනුකමිටුවට පත්වූ පස්දෙනාය.


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් බදාදා පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා විසිනි. කලින්දා කෙටුම්පත නීතිපතිවරයාට ද යොමු කර තිබූ නිසා නීතිපතිගේ අදහස ද ඒ සඳහා ලැබී තිබිණි. නීතිපතිවරයා කියා තිබුණේ 20 වැනි සංශෝධනය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් පමණක් ප්‍රමාණවත් බවය. 20 සම්මත කිරීමට ජනමත විචාරණයක් අනවශ්‍ය බව ද නීතිපතිවරයා දැන්විය.


විස්සත් එක්ක එන අලුත් ව්‍යවස්ථාව


ආණ්ඩුව 20 වැනි සංශෝධනය ගෙන ඒමේ අරමුණ 19 න් ඇතිකර තිබෙන අර්බුදය නැතිකර රට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය කෙටිකාලීන පියවරක් වශයෙනි. එය කඩිනමින් කළ යුතු සංශෝධනයක් බව ආණ්ඩුවේ මතයයි. එහෙත් ආණ්ඩුවේ අදහස අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒමය. ඒ සඳහා ද ආණ්ඩුව දැන් සිටම සූද‌ානම් වෙමින් සිටී. ගිය බද‌ාදා පැවැති කැබිනට් රැස්වීමේදී ආණ්ඩුව නව ව්‍යවස්ථාව සම්පාදනය සඳහා නව දෙනකුගෙන් යුත් විද්වත් කමිටුවක් ද පත් කළේය. එහි සභාපති ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වාය. ජනාධිපති නීතිඥවරුන් වන ගාමිණී මාරපන, මනෝහර ද සිල්වා, සංජීව ජයවර්ධන, සමන්ත රත්වත්තේ, ආචාර්ය ඒ. සර්වේස්වරන්, මහාචාර්ය වසන්ත සෙනෙවිරත්න, මහාචාර්ය පී.එච්. පීරිස් සහ මහාචාර්ය තසීම් තවුර්දින් එහි සෙසු සාමාජිකයෝය.


විසිවැනි සංශෝධනය සම්මත කිරීම ඔක්තෝබර් මැද


විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට්ටුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එ් පිළිබඳ සාකච්ඡාව පැය දෙකක් පමණ තිස්සේ ඇදී ගියේය. 20 ගැන නීතිපතිවරයා එවා තිබූ අදහස්ද අධිකරණ ඇමැතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබීය.


එ් අනුව මෙය පර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීම ගැටලුවක් නොවන බව ඇමැතිවරු කියා සිටියහ. අධිකරණ ඇමැතිවරයා කෙටුම්පත සමඟ ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් දන්වා තිබුණේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය පරිචින්ත කිරීම සඳහා 20 ගෙන එන බවය. එසේ වුවද 19 ඇතුළත් වගන්ති 4ක් අලුත් සංශෝධනයට ඉදිරිපත් කර තිබිණි. ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5කට සීමා කිරීම, ජනාධිපතිවරයාට ධුරය දැරිය හැකි වාර ගණන දෙකකට සීමා කිරීම, පාර්ලිමේන්තුවේ නිල කාලය වසර 5ක් වීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගැනීම යන වගන්ති නව සංශෝධනයට ඇතුළත්ව ඇත. ඒ හැරෙන්න 19 වන සංශෝධනයේ අනෙක් සියලු වගන්ති අහෝසි කෙරේ. කෙටුම්පත ගැන සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිවරයාට දැනුම් දුන්නේ, කෙටුම්පත ගැසට් කිරීම සඳහා එදිනම රජයේ මුද්‍රණාලයට යවන ලෙසය.

 


 

බන්දුල බැටරියකුත් රැගෙන කැබිනට්ටුවට එයි.


බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා මෙවර කැබිනට් රැස්වීමට පැමිණියේ කැබිනට් පත්‍රිකාවලට අමතරව බැටරියක්ද රැගෙනය. එය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන බැටරියකි. බන්දුල උසස් අධ්‍යාපන ඇමැති ලෙස සිටියදී නැනෝ තාක්‍ෂණ ආයතනයෙන් එම බැටරිය නිෂ්පාදනය කිරීම ආරම්භ විය. බන්දුල ඒ බැටරියද රැගෙන කැබිනට්ටුවට පැමිණියේ ඒ ගැන ඇමැතිවරුන් දැනුවත් කිරීමටය. මේක සියයට සියයක්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් හදපු නිර්මාණයක්. නැවත නැවත පාවිච්චි කළ හැකි එම බැටරිය ලබාදෙන්නේ ඇවුරුදු 6ක වගකීමකුත් එක්ක යැයි බන්දුල කීවේ බැටරිය ගැන දිගු වර්ණාවක්ද කරමිනි.


මේ අතර ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාද කොවිඩ් 19 හේතුවෙන් වසා දැමුණු ගුවන්තොටුපල යළි විවෘත කිරීම ගැන කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළේය. ඔහු සිය යෝජනාවෙන් විකල්ප දෙකක් ඉදිරිපත් කර තිබිණි. කොවිඩ් තිබූ අවදානම් රටවලින් එන ගුවන් යානා කටුනායකට ගෙන්වීමටත් වැඩි අවදානම් රටවලින් එන ගුවන් යානා මත්තලට ගෙන්වීමටත් පී.සී.ආර්. පරීක්‍ෂණ ගුවන් තොටුපළේ නොකර, පිටත ස්ථානයක කිරීමටත් ඔහු කීවේ එම ක්‍රියාමාර්ග ගත හැකි නම් පැය 24ක් තුළ කටුනායකත්, මත්තලත් විවෘත කළ හැකි බවය.


විස්ස ගැන කියන්න ජී.එල් රට වටේ යයි.


දහනමවන ව්‍යවස්ථාව සංශෝධනය අහෝසි කර අලුතින් එන 20 වැනි සංශෝධනය ගැන ගිය සතියේ මහනුවරදී සම්මන්ත්‍රණයක් පැවැත්විණි. මහනුවර වෘත්තිකයන්ගේ සංවිධානයක මෙහෙයවීමෙන් පැවැති එම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසිනි. 19න් රට අරාජික වුණු හැටිත්, 19 අහෝසි කර 20 ගෙන ආ යුත්තේ ඇයිද යන්න ගැනත් ජී.එල්. දීර්ඝ ලෙස පැහැදිලි කළේ පසුගිය කාලයේ ඇති වූ සිද්ධි ගැනද සිහිපත් කරමිනි. 19 අහෝසි කර 20 ගේන්නේ ඇයි කියලා අපි ජනතාවට කියන්න ඕන. එතකොට තමයි රටේ ජනතාව අතර මේ ගැන සාකච්ඡාවක් ඇතිවන්නේ.


අපි 20 ගෙනත් පසුව ජනතාව දැනුවත් කළාට වැඩක් නැහැ. අපි ඒක ගෙනත් සම්මත කරන්න කලින් ජනතාව අතර ඒ ගැන සංවාදයක් ගොඩනැගිය යුතුයි.’ ජී.එල්. කීවේය.


පළාත් සභාවල හිටපු ප්‍රධානීහු සරත් වීරසේකරට එරෙහි වෙති.


පළාත් සභා සුදු අලියකු බවත් එය මේ රටට අනවශ්‍ය බව තමන්ගේ මතය බවත් ආචාර්ය සරත් වීරසේකර ඉකුත්ද‌ා කීවේය. පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැතිවරයා ද වන සරත් වීරසේකරගේ මේ ප්‍රකාශයට ආණ්ඩුවට සම්බන්ධ හිටපු පළාත් සභා ප්‍රධානින්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. පළාත් සභා මන්ත්‍රී සංසදයේ සභාපති මෙන්ම සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, උතුරු මැද හිටපු මහ ඇමැති එස්.එම්. රංජිත් ඇතුළු පළාත් සභාවල හිටපු ප්‍රධානීන් රැසක් ගිය බ්‍රහස්පතින්ද‌ා බත්තරමුල්ලේදී මාධ්‍ය හමුවක් ද කැඳවා සරත් වීරසේකරගේ ප්‍රකාශයට එරෙහිව මත පළකළේ සිය විරෝධය ද පළකරමිනි.
මහාචාර්ය චරිත හේරත් පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. ගිය සති අන්තයේ ඔහුගේ නව නිවසට ගෙවදීම වෙනුවෙන් සෙනසුරාද‌‌ා රාත්‍රියේ සාදයක් සූදානම් කර තිබිණි. ඊට අගමැති මහින්ද රාජපක්ෂ, පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ, ඇමැති අලි සබ්‍රි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මධුර විතානගේ, ගෙවිඳු කුමාරතුංග, ආචාර්ය සුරේන් රාඝවන්, නලින් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් ද ඊට සහභාගි වූහ. අගමැති මහින්ද රාත්‍රී 7.15 ට පමණ පැමිණ පැය භාගයක් පමණ සිට පිටව ගියේය. අනතුරුව බැසිල් ආවේය. බැසිල් ඇතුළු පිරිස පැය තුන හතරක්ම එහි ගත කළේ ආගිය තොරතුරු මෙන්ම ව්‍යවස්ථා සංශෝධන ආදිය ගැන ද දීර්ඝ සාකච්ඡාවකට යොමු වෙමිනි.


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් සති අන්තයේ ගාල්ලේ ලංකාගමට ගියේ සිංහරාජය වනය මැදින් පාරක් කපන බවට පසුගියද‌ා පැතිර ගිය ආන්දෝලනාත්මක ආරංචියත් සමගය. එම පාර කැපීම නිසා සිංහරාජය විනාශ වන බවට ද මත පළවිය. ජනාධිපතිවරයා ගිය සෙනසුරාද‌ා උදේ ලංකාගමට ගියේ පැතිර යන ආරංචිය ගැන සියැසින්ම දැක බලා ගැනීමේ අපේක්ෂාවෙනි. ජනපති ගෝඨා සමග වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක ද කොළඹ සිට ගියේය. මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, වැවිලි ඇමැති රමේෂ් පතිරණ. මොහාන් පී. ද සිල්වා, වීරසුමන වීරසිංහ, නිපුණ රණවක ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ජනාධිපතිවරයා යන විට එහි පැමිණ සිටියහ. ජනාධිපතිවරයා ගොස් ප්‍රදේශවාසීන්ද පාසල් දරු දැරියන් ද හමු වී ඔවුන්ගේ අදහස් විමසීය. එහිදී දැනගන්නට ලැබුණේ ලංකාගමට යන එම මාර්ගය ඉදිකළ යුතුම බවය. එමගින් පරිසර හානියක් නොවන බව ජනාධිපතිවරයා කීවේය. ඒ සමගම ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ මාර්ගය මාස තුනක් ඇතුළත ඉදිකර අවසන් කරන ලෙසය. ඒ සමගම පරිසරයට හානියක් නොවන අන්දමින් කටයුතු කරන්නැයි ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.


පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීම


පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ඉකුත් බ්‍රහස්පතින්දා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස්විය. අනිද්දා (8) සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි. 8 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මුදල් අමාත්‍යංශයේ කාර්ය සාධක බලකාය සහ වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තා විවාදයට ගැනීමට මෙහි දී තීරණය විය.


දිවංගත ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතා පිළිබඳ ශෝක යෝජනාව සැප්තැම්බර් 11 වැනිදා ඉදිරිපත් කිරීමට ද තීරණය විය.


රුවන් විජයවර්ධන එජාප නායක සටනට බසියි


රුවන් විජයවර්ධන හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා ඉකුත් සතියේ දී මහනුවරට ගොස් අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී මැදගම ධම්මානන්ද අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වෙඬරුවේ උපාලි, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේකම් නාරම්පනාවේ ආනන්ද යන හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.
එක්සත් ජාතික පක්ෂයේ නව නායකත්වයට සුදුසුම පුද්ලගයා වූ රුවන් විජයවර්ධන මහතාට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බව උන්වහන්සේලා ප්‍රකාශ කර සිටියහ.


මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කර සිටියේ බෞද්ධ පදනමක් ඇති දූෂණ වංචා ආදියට කිසි චෝදනාවක් නැති රුවන් විජයවර්ධන වැනි අයෙක් නායකත්වයට ඉතාම සුදුසු බවයි.


අස්ගිරි පාර්ශ්වයේ අනුනායක වේඬරුවේ උපාලි හිමියන් රුවන් විජයවර්ධන මහතා විහාරස්ථානයේ වසර 220ක් පමණ පැරැණි ගෙඩිගේ විහාරය නැරැඹීමටද කැඳවා ගෙන ගියේය.


එම විහාර මන්දිරයේ චිත්‍ර උනන්දුවෙන් නැරැඹූ විජයවර්ධන මහතාගෙන් උන්වහන්සේ විමසා සිටියේ චිත්‍රවලට උනන්දුවක් තිබේ දැයි කියාය.


උන්වහන්සේගේ පැවිදි ජීවිතයට වසර 50ක් පිරීම නිමිත්තෙන් ලියැවී තිබූ ‘‘ගල් පිළිමය’’ ග්‍රන්ථය උන්වහන්සේ රුවන් විජයවර්ධන මහතාට ප්‍රදානය කළේ බුදුන් වහන්සේගේ සිරස චිත්‍රයට නගමිනි.


මහනුවර සංචාරය කර ආපසු එන අතරතුරදී රුවන් විජයවර්ධන මහතා මහනුවර අරුප්පල පිහිටි මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා මහතාගේ නිවසට ගොස් ඔහු හමු වී කතා බහ කළේය.


ආණ්ඩුවට බලපෑම් කරන්න විපක්ෂය සූදානම්


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පසුගිය සතියේදීත් මැතිවරණයේ ස්තුති කිරීමේ රැස්වීම්වලට සහභාගිවුණේය. පාර්ලි​මේන්තුව පැවති දිනවල පාර්ලිමේන්තු කටයුතුවලට සම්බන්ධ වී කටයුතු කළ ඔහු දිගින් දිගටම ස්තුති කිරීමේ රැස්වීම්වලට සහභාගී විය.


‘‘ආණ්ඩුව බලයට ආවේ පොරොන්දු මල්ලක් දීලානේ. මේ පොරොන්දු ඉටුකරන්න අපි ආණ්ඩුවට කල් දෙනවා. ඒ වගේම දෙන පොරොන්දු ඉටු කරනවාද කියලා අපි හොඳට බලාගෙන ඉන්නවා’’ සජිත් රැස්වීම්වලට ගොස් ජනතාව අමතමින් කීවේය.


සජිත් කොලොන්නාවේ පැවැති ස්තුති කිරීමේ රැස්වීමකට සහභාගි වූයේ මරික්කාර් මන්ත්‍රීවරයා සමගය.
‘‘මේ ආණ්ඩුව කියපු දේවල් නම් කරන පාටක් නෑ’’ මරික්කාර් සජිත්ට කීවේ ආණ්ඩුවේ වැඩපිළිවෙල ගැන අදහස් දක්වමින්ය.


‘‘ආණ්ඩුව ජනතාවට සහන ලබාදෙනවා කියලා පොරොන්දු වුණානේ. ඒවා දෙන්න අපි බලපෑම් කරනවා. දැන් එම්.සී.සී. ගිවිසුම අහෝසි කරනවා කියලා පොරොන්දු වුණා. ඒවා අහෝසි කළාද?’’ සජිත් මරික්කාර්ට කීවේ මේ ගැන සමාජ කතිකාවක් ඇති කළ යුතු බව කියමිනි.


සජිත් විපක්ෂ නායකත්වයට පත්වූ දිනයේ සිට සෑම පුන් පොහෝ දිනකම විපක්ෂ නායක කාර්යාලයේ ධර්මදේශනාවක් පැවැත්වෙයි. මේ සෑම ධර්මදේශනාවකටම සජිත් සහභාගී වන්නේ දැඩි උනන්දුවකින් යුතුවය. මෙවර පෝදා ධර්මදේශනාව පැවැත්වීමට වැඩම කළේ අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේය.
‘‘වැඩ කල්දැමීම, අතපසු කිරීම එක්සත් ජාතික පක්ෂය ප්‍රතිපත්තියක් කරගෙන, සජිත් ප්‍රේමදාස මහතාට ධෛර්ය සම්පන්න මිනිසුන් එක්ක වෙනම ගමනක් යන්න වුණේ ඒකයි. සජිත් ප්‍රේමදාස මහතාට බාධා කරපු කකුලෙන් ඇදපු සියලු දෙනාම ජනතාව ගෙදර තිබ්බා’’ සිරිසුමන හිමියන් කීවේ දේශපාලනයට බුදු දහමින් ගත හැකි ආදර්ශ ගැනත් සිහිපත් කරමින්ය.


ධර්මදේශනාව අවසන්වීමෙන් පසුව සජිත් විපක්ෂනායක කාර්යාලයේ ටික වේලාවක් රැඳී සිටියේ පැමිණ සිටි මන්ත්‍රීවරුන් සමග සුහද කතාබහක යෙදෙමිනි. රටේ දේශපාලන තත්ත්වය ගැන මෙන්ම පක්ෂයේ දේශපාලන කටයුතු ගැනත් ඔවුන්ගේ අවධානය යොමුව තිබුණේය.


‘‘හැමතැනම පරිසරය විනාශ කරනවා. එක පැත්තකින් සිංහරාජය කපනවා. අනික් පැත්තෙන් වගුරු බිම් ගොඩ කරනවා’’ ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා එහිදී කීවේය.


‘‘රටක් සංවර්ධනය කරන්න ඕනෑ පරිසරය ආරක්ෂා කරන ගමන්. එහෙම නැතිව පරිසරය විනාශ කරලා රටක් සංවර්ධනය කරන්න බෑ’’ සජිත් කීවේය.


​‘‘මේ ආණ්ඩුවට නම් පරිසරය ගැන කිසිම තැකීමක් නෑ වගේ තමයි. ඉස්සෝ වගාවට ආනවිල්ලුන්දාව තෙත් බිම් ගොඩ කරනවා. ඒක සාධාරණීකරණය කරන්න ඇමැතිවරුත් එළියට බැහැලා ඉන්නවානේ’’ හේෂා විතානගේ මන්ත්‍රීවරයා කීවේය.


‘‘අන්තිමේදී මේක ඩෝසර් කරපු ​ඩෝසරේ ඩ්‍රයිවර් තමයි වැරැදිකාරයා වෙලා තියෙන්නේ. අශෝක අබේසිංහ කීවේ සිනහවක් මුවට නංවා ගනිමිනි.


හරීන්ට ලොකු වැඩක්


පසුගිය සතියේදී සජිත් සමගි ජනබලවේගය පක්ෂ කාර්යාලයට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා කැඳවා තිබුණේ පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන ඔහු සමග සාකච්ඡා කිරීමටය. ඒ අතරම හරීන්ට පක්ෂයේ වගකීම් කොටසක්ද සජිත් භාරදුන්නේය.


‘‘දැන් ඉතිං ගමට බහින්න වෙලාව හරි. රට වටේම ඇවිදලා ප්‍රාදේශීය මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීමේ යාන්ත්‍රණය සකස් කරන්න පටන් ගන්න’’ සජිත් හරින්ට කීවේය.


‘‘මම ඒක භාරගන්නම්. බිම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කිරීම ගැන අදහසක් මට තිබෙනවා’’ හරින් කීවේ තමන්ගේ හිතේ තිබුණ සැලසුම ගැනය.


‘‘මට අවශ්‍ය දේ ප්‍රා​යෝගිකව ඉදිරිපත් කළා. මේක ගම් මට්ටමින් ක්‍රියාත්මක කරන්න’’ සජිත්, හරින්ට උපදෙස් දුන්නේය.

 

 

-ගජබා-



අදහස් (0)

දහනවය යයි විස්ස එයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1451 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site