IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ජනපති සමග ඡායාරූපයකට පෙනී නොසිටි ඇමැති තිදෙනා

  • අපේක්ෂා භංගවූ හිටපු ඇමැතිවරු
  • එ​ජාප නායක පුටුවට අ​ට දෙනකුගේ පොරයක්
  • රනිල් පුටුව අතනාරියි

 

මැතිවරණයේ ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවා ඇත්තේ වාර්තාවක්ද තබමිනි. පක්ෂය පිහිටුවා වසර හතරක් ගතවෙන්නටත් මත්තෙන් පළාත් පාලන ආයතනවල බලයත් විධායක ජනපති ධුරයත් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩු බලයත් හිමිකර ගැනීම මෙරට මැතිවරණ ඉතිහාසයේ අලුත්ම වාර්තාවකි. පක්ෂය හදා පක්ෂය ඒ තැනට ගෙන ඒමේ වැඩිම බර උසුලන ලැබුවේ බැසිල් රාජපක්ෂ විසිනි. මනාප ක්‍රමය යටතේ පැවැති මහ මැතිවරණයකින් පාර්ලිමේන්තුවට තනි පක්ෂයකින් පත්වූ වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාව පත්වී ඇත්තේ ද මෙවර ඡන්දයෙනි. ඒ පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධුර 225 න් 145 ක් ලබාගැනීමෙනි. හවුල්කාර පක්ෂවල ද සහාය ඇතිව ආණ්ඩු පක්ෂයට හිමිවන මන්ත්‍රීන් ගණන 151 කි. එය ආණ්‍ඩුව දිගින් දිගටම ඉල්ලූ තුනෙන් දෙකය. එසේ වුවද ආණ්ඩුව ද එතරම් විශාල බහුතර බලයක් ලැබේවි යැයි අපේක්ෂා නොකළ බවද බැහැර කළ නොහැකි සත්‍යයකි.


ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමත් සමග අලුත් ආණ්‍ඩුවේ අගමැතිවරයා දිවුරුම් දීමත් අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමත් විශේෂ තැන් දෙකකදී සිදු කරන්නට තීරණය වූයේ ආණ්ඩුවට ලැබුණු ඓතිහාසික ජයග්‍රහණය සැලකිල්ලට ගනිමිනි. අගමැතිවරයා කැලණිය රජමහා විහාරයේ දී දිවුරුම් දීමට තීරණය කළේ ඒ බව විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ට 8 වැනිදා උදේ පාන්දර දැන්වූයේ අගමැතිවරයාමය. ඊට සතුට පළ කළ සංඝරක්ඛිත නාහිමියෝ දායක සභාවේ සභාපති රුසියාවේ හිටපු තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතාට දන්වා අවශ්‍ය කටයුතු ලහි ලහියේ සූදානම් කළහ. අගමැති කාර්යාලයේ පිරිසක් ද එදින දහවල් වරුවේම කැලණිය රජමහා විහාරයට පැමිණි අතර වෛද්‍ය සමන් වීරසිංහ ද දායක සභාවේ සභාපතිවරයා ලෙස වැඩි බරක් ගෙන කටයුතු කළේ එය දායක සභාවටත් කැලණිය පන්සලටත් ලැබුණු සුවිශේෂ අවස්ථාවක් ලෙස සලකමිනි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමේ උත්සවය ඉරිදා පෙරවරුවේ අභිමානවත් ලෙස පැවැත්විණි. මහින්ද ශ්‍රී ලංකාවේ 14 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන් අතර එය ඔහු අගමැති ධුරයට පත් හතරවැනි අවස්ථාව වේ. ඊටත් වඩා විශේෂත්වය වන්නේ ජනාධිපති මල්ලී ඉදිරියේ දිවුරුම් දීමය. එයද දෙවැනි වරටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති අයියාට සිය පත්වීම් ලිපිය පිරිනමා වහා ගොස් වැඳ ආශිර්වාද කළේ තනතුරු වරප්‍රසාදවලට වඩා සහෝදර බැඳීම ප්‍රබල බව පෙන්වමිනි. එය සියලු දෙනාටම හැඟීම් බර සහ ආදර්ශමත් අවස්ථාවක් විය. 


ෆොටෝ එකටත් නොඉඳ ගිය රාජ්‍ය ඇමැතිලා තිදෙනා


නව රජයේ කැබිනට් මණ්ඩලයත් රාජ්‍ය ඇමැතිවරුනුත් ගිය බදාදා මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ සුපුරුදු සම්ප්‍රදායෙන් බැහැරව යමිනි. රජ දවසින් පසුව ඇමැති මණ්ඩලය මහනුවර මඟුල් මඩුවේ දී දිවුරුම් දුන් පළමු අවස්ථාව ද මෙය වේ. දිවුරුම් දීමේ උත්සවයට ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කර තිබුණේ එය​ ඓතිහාසික අවස්ථාවක් වූ බැවිනි. මේ නිසා ජ්‍යෙෂ්‍ඨ මන්ත්‍රිවරු ද අලුත් මන්ත්‍රීවරු ද ඉතා උනන්දුවෙන් සහභාගි වූහ. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සහභාගි වූයේ ඔවුන්ට ද තනතුරක් ඇතැයි යන උපකල්පනයෙනි. එදින දිවුරුම් දීමට නියමිතව සිටි මන්ත්‍රීවරුන්ට වෙනම අසුන් පනවා තිබු අතර එතැනට ඇතුළු වෙද්දී ඔවුන් අතට දිවුරුම් ප්‍රකාශය ඇතුළත් ලිපි ගොනුවක් ද පිරිනැමිණි. එහෙත් සමහර ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට එවැනි ලිපිගොනුවක් නොලැබුණු නිසා ඔවුන් මහත්සේ කලබලයට පත්ව සිටිනු දක්නට ලැබිණි. සමහර ජ්‍යෙෂ්‍ඨ මන්ත්‍රීවරුන් ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් ළඟටම ගොස් විමසා බැලුවේ තමන්ට ලිපිගොනුවක් නැද්දැයි විමසමිනි. එතැනින් යහපත් පිළිතුරක් නොලැබුණු තැන එහි සිටි ආරක්ෂක නිලධාරින්ගෙන් ද ලිපිගොනුවක් නැද්දැයි ඔවුන් විමසන්නට වූයේ ඔවුන් ඇමැතිධුරයක් හෝ රාජ්‍ය ඇමැතිධුරයක් ඇතැයි යන උපකල්පනයෙන් පැමිණ සිටි බැවිනි. එහෙත් ආරක්ෂක අංශ ද එවැන්නක් නැති බව තහවුරු කිරීමෙන් අනතුරුව සමහර ජ්‍යෙෂ්‍ඨ මන්ත්‍රීවරුන් මඟුල් මඩුවට ඇතුළු වූයේ අපේක්ෂා භංගත්වයෙනි. එක්තරා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු උත්සව සභාවේ ඉදිරියට ගොස් ඇමැතිවරුන්ට වෙන්කර ඇති ආසනයක ඉඳ ගැනීමට සූදානම් වෙද්දී ආරක්ෂක අංශ මැදිහත්ව ඔහු පසුපස අසුනකට හරවා යැවුණේ ඔහුගේ නම එහි නැති බව සඳහන් කරමිනි. මේ නිසා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසකට පිටුපස පේළියෙහි අසුන් ගන්නට සිදු වූයේ භංග වූ අපේක්ෂාවෙනි.


උත්සවයට ආ එස්.බී. දිසානායක මන්ත්‍රීවරයා අතට ලිපිගොනුවක් ලැබුණි. ඔහු එයත් රැගෙන ගොස් නම ගසා තිබු අසුනේ ඉඳගත්තේ අඩුම තරමින් රාජ්‍ය ඇමැතිකමක් හෝ ඇතැයි යන බලාපොරොත්තුවෙනි. එසේ වුවද ඔහුට ද සිදුවූයේ නවක මන්ත්‍රීවරුන්ට දුන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිකමකින් සෑහීමකට පත්වන්නටය. ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, ඩිලාන් පෙරේරා, අනුර ප්‍රියදර්ශන යාපා, රංජිත් සියඹලාපිටිය, චන්දිම වීරක්කොඩි ඇතුළු ජ්‍යෙෂ්‍ඨ මන්ත්‍රීවරුන් පිරිසක්ද අසුන් ගෙන සිටියේ පිටුපස අසුන්වලය. ඒ සියලු දෙනාම කලින් ආණ්ඩුවල සිටි කැබිනට් ඇමැතිවරුය. එහෙත් ඔවුන් කිසිවකුටත් මෙවර ඇමැතිධුර නොලැබිණි.


මුලින්ම ජනාධිපතිවරයා අතින් පිරිනැමුණේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ පත්වීම් ලිපිය. ඊළඟට රාජ්‍ය ඇමැතිවරු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ. විමලවීර දිසානායක මන්ත්‍රීවරයාට ලැබුණේ අලිවැට ඉදිකිරීම් ඇතුළු විෂයයන් කිහිපයකට අදාළ රාජ්‍ය ඇමැතිධුරයකි. ඔහු පත්වීම් ලිපිය ගත් සැණින් කෙළින්ම පිටව ගිය බව ද වාර්තා විය. ලොහාන් රත්වත්තේ සමග ප්‍රියංකර ජයරත්න ද එදින දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනෙකි. උත්සවය නිමාවේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් එක්ව පෙනී සිටින සමූහ ඡායාරූපයට ද නොසිට ලොහානුත් විමලවීරත් ප්‍රියංකරත් පිටව ගිය බව ද වාර්තා විය. ප්‍රසන්න රණවීරට ලැබුණේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන රාජ්‍ය ඇමැතිකමය. ඔහු දිවුරුම් දී පැමිණි පසුව ඔහුට මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකුම සුබ පැතුවේ ජනාධිපතිතුමා හොඳට කල්පනා කරලා සුදුසුම ඇමැතිකම ඔබතුමාට දීලා තියෙනවා කියමිනි. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාට ද රාජ්‍ය ඇමැතිධුරයක් පිරිනැමීමට නියමිතව තිබී ඇත. එය අධ්‍යාපන විෂයට අදාළ රාජ්‍ය ඇමැතිධුරයකි. විජයදාස මන්ත්‍රීවරයා එදින මහනුවරට ගොස් දිවුරුම් නොදී ආපසු කොළඹ බලා පිටත්ව ආ බව පැවසේ. රාජ්‍ය ඇමැතිධුරය බාර ගැනීමට අකමැති නිසා ඔහු ආපසු කොළඹ බලා ආ බව ද වාර්තා වේ.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැබිනට් ඇමැතිධුර දෙකක් සහ රාජ්‍ය ඇමැතිධුර තුනක් ලැබිණි. නිමල් සිරිපාලටත්, මහින්ද අමරවීරටත් ලැබුණේ කැබිනට් ඇමැතිකම්ය. එහෙත් දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන මන්ත්‍රීවරුන්ට ලැබුණේ රාජ්‍ය ඇමැතිකම්ය. දයාසිරි ද රාජ්‍ය ඇමැතිකම ලැබීම ගැන එතරම් සතුටු නැත. කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට දින දෙක තුනකට කලින් දයාසිරි ශ්‍රීලනිප මහලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලිපියක් යවා තිබිණි. එමගින් දැනුම් දී තිබුණේ ශ්‍රීලනිපයට කැබිනට් ඇමැතිධුර 4 ක් සහ රාජ්‍ය ඇමැතිධුර 4 ක් අවශ්‍ය බවය. ඔහු කැබිනට් ඇමැතිධුර හතර සඳහා නම් හතරක් ද යවා තිබිණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල, දයාසිරි ජයසේකර සහ මහින්ද අමරවීර ඒ නම් හතරය. ඉන් තුන්වැනි තැනට සඳහන්ව තිබුණේ දයාසිරිගේ නමය. එසේ වුවද ශ්‍රීලනිපයට ලැබුණේ කැබිනට් ඇමැතිධුර දෙකක් සහ රාජ්‍ය ඇමැතිධුර තුනකි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා අැමතිධුරයක් බාර නොගන්නා බව කියා තිබිණි.


ඇමැති මණ්ඩලය දිවුරුම් දෙන දිනයේත් ඊට කලින් දිනයෙත් ආරංචි පැතිර ගියේ මෛත්‍රීගේ නම කැබිනට් මණ්ඩලයෙන් හැලී ඇති බවය. ඔහු අැමතිවරුන් දිවුරුම් දීමේ උත්සවයට තරමක් ප්‍රමාද වී පැමිණ සිටියේය. එහෙත් පසුව දැන ගන්නට ලැබුණේ ඔහු කැබිනට් ඇමැතිධුරයක් බාර නොගන්නා බවය. ඔහුට ආණ්‍ඩුවේ වෙනත් විශේෂ තනතුරක් ලබාදීමට නියමිත බව පසුව වාර්තා විය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් පසුව මෛත්‍රීට වෙනත් තනතුරක් දීමට සැලසුම් කරමින් සිටින බව ද රජයේ ආරංචි මාර්ගවලින් පැවැසේ.


ජනපති අගමැති කැබිනට්ටුව සමග දළදා වඳිති


අමැතිවරුන් දිවුරුම් දීමෙන් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ඇමැති මණ්‍ඩලය සමග දළදා මාලිගාවට ගොස් වැඳ ආශිර්වාද ලබාගත්තේ අලුත් ආදර්ශයක් දෙමිනි. අනතුරුව ජනාධිපතිවරයා අගමැතිවරයා සහ ඇමැති මණ්‍ඩලය ද මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් ද බැහැදැක ආශිර්වාද ලබාගත්හ. එදින දිවුරුම් දුන් අැමැතිවරුන්ට පමණක් නොව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම එදින දහවල් ආහාරය සූදානම් කර තිබුණේ මහනුවර ජනපති මැදුරේය. ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මැති ඇමැතිවරුන් සමග එක්ව දවල් කෑම ගන්නා අතරේම සියලුම ඇමැතිවරුන්ට දැනුම් දුන්නේ සඳුදාට (17) පෙර ඇමැතිධුරවල රාජකාරි අරඹන ලෙසය. ඒ අනුව මැති ඇමැතිවරුන් වැඩි දෙනෙකු පසුදාම සිය අමාත්‍යාංශවලට ගොස් රාජකාරි ආරම්භ කළේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. සමහර ඇමැතිවරුන් උත්සවාකාරයෙන් සිය රාජකාරි ආරම්භ කළ අතර සමහරුන් උත්සව ආදිය කිසිත් නැතිව සිය රාජකාරී ආරම්භ කරනු දක්නට ලැබිණි. ප්‍රසන්න රණතුංග බ්‍රහස්පතින්දා උදේ සිය අමාත්‍යාංශයට වැඩ බාරගන්නට ආවේ කුකුළත් අරගෙනය. ඔහු උදේ 6.30 ට වැඩබාරගත් අතර ඔහුගේ රාජ්‍ය ඇමැති ඩී.වී. චානකට ද ඒ නිසාම උදේ 6.30 ට පැමිණ වැඩබාර ගන්නට සිදුවිය. මහාචාර්ය ජී.එල්. පීරිස් අධ්‍යාපන ඇමැතිවරයා ලෙස ඉසුරු පායේ දී වැඩ බාරගනිද්දී හිටපු අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම ඉසුරු පායට පැමිණ ජී.එල්. ට සුබ පැතුම් කතාවක් ද කරමිනි. අනතුරුව ඔහු එන ගමන්ම විදුලිබල අමාත්‍යාංශයට ගොස් වැඩ බාරගත්තේ පිටස්තර කිසිවකුත් නැතිවය. උත්සවයකින් හෝ පවුලේ ඥාතීන්ගේ සහභාගිත්වයකින් හෝ තොරව ඩලස් සිය අමාත්‍යාංශයේ වැඩ බාරගත්තේ ඔහු වෙනදා අනුගමනය කළ ප්‍රතිපත්ති අනුව යමිනි. මේ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහ පාරේ දී වැඩ බාර ගත්තේය. ඒ ඔහු මහාමාර්ග ඇමැති නිසාය. ඔහු කුරුණෑගල පාරකට කාපට් දැමීම ආරම්භ කරමින් වැඩ බාරගත්තේ අලුත් ආරම්භයක් දෙමිනි.


19 වෙනුවට එන 20


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් ආණ්ඩුව සමයේ ජනාධිපතිවරයාගේ බලතල සීමා කළා පමණක් නොව ආණ්ඩුවත් රටත් අවුල් කළ බවට බෙහෝ දෙනා චෝදනා කරති. වත්මන් ආණ්ඩුවේ ප්‍රමුඛතාවක් වන්නේ 19 අහෝසි කිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාද ඉකුත් දා ප්‍රකාශ කළේය. ඒ වෙනුවට එන්නේ 20 වන සංශෝධනයයි. 18 වැනි සංශෝධනයේ තිබෙන සාධනීය කාරණා ද 19 තිබෙන සාධනීය කාරණා ද ඇතුළත් කර ගෙන 20 වන සංශෝධනය කෙටුම්පත් කිරීම මේ වන විටත් සිදුවෙමින් පවතින බව වාර්තා වේ. 19 අහෝසි කිරීමේ යෝජනාව දෙවැනි කැබිනට් රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව ආණ්ඩුවේ පළමු පනත ලෙස එන්නේ 19 අහෝසි කර ගෙනෙන 20 වැනි සංශෝධනය වේ.


සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු ප්‍රශ්නය විසඳ‌ාගත් හැටි


මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව සජිත්ට දිවයිනේ නන්දෙසින් දුරකථන ඇමතුම් පැමිණි අතර බොහෝ දෙනෙක් මේ තරම් කෙටි කලකදී සමගි ජන බලවේගය ලබාගත් ජයග්‍රහණය පිළිබඳව සුබපැතුම් එක්කරන්නට වූහ.


මැතිවරණ කටයුතු වලින් පසුව වුවද සජිත් මොහොතකට හෝ විවේකයක් ගත්තේ නැත. ඔහු වෙනදාටත් වඩා සක්‍රීය ලෙස එදිනෙදා දේශපාලන කටයුතුවලත් සමාජ කටයුතුවල යෙදෙන්නට පටන් ගත්තේය. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සහ ආධාරකරුවන් හමුවීමට සජිත් අමතක නොකළේය. ඒ බොහෝ තැන්වලදී සජිත්ට හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි.


”‍කොහොමටවත් මේක පරාජයක් නෙමේ. මේක ජයග්‍රහණයක්. අපට අහිමිවෙලා ගිය එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය යළිත් ගොඩනඟන්න පුළුවන් ඔබතුමාට පමණයි.‘


බොහෝ විහාරස්ථාන වලින් සජිත්ට හිමිවූයේ එවන් ප්‍රතිචාරයකි.


මේ අතර මැතිවරණයට මුහුණ දී ජයග්‍රහණය කළ අපේක්ෂකයින් මෙන්ම පසුබෑමට ලක්ව පරාජයට පත්වූ අපේක්ෂකයින්ට කතා කරන්නටද සජිත් අමතක නොකළේය. ඇතැම් අපේක්ෂකයින්ට දෙතුන් වර කතාකරමින් සජිත් ශක්තිය ලබාදුන්නේය. පරාජය කටුක වේදනාවක් බවත් නැවත නැගීසිටීම දේශපාලනයේ ස්වරූපය බවත් සජිත් ඔවුන්ට කීය.


මැතිවරණයට පෙර සිටම තමන් සමග සිටි සටන් සගයින් කිහිප දෙනෙක් මැතිවරණ ප්‍රතිඵල සමග පසුබා සිටි අතර සජිත් ඔවුන්ට නිතර කතාකළා පමණක් නොව සෙසු සාමාජිකයින්ට ද ඔවුන් හා කතාකොට ඔවුන් තනි නොකරන ලෙස උපදෙස් දුන්නේය.


මේ අතර සමගි ජනබලවේගය දීප ව්‍යාප්තව ශක්තිමත් කිරීම සහ සාමාජිකයින් ප්‍රවර්ධනය කිරීමේ මෙහෙයුමක් කෙරෙහිද සජිත්ගේ අවධානය යොමුවී තිබේ.


‘‘විපක්ෂය හැටියට ලොකුම බලවේගය අපි. නමුත් අපි සමස්ත බලවේග එකතුකරගෙන ශක්තිමත් ප්‍රබල බලවේගයක් ගොඩනගන්න ඕන.” මහ ලේකම් රංජිත් කීවේය.


”‍මැතිවරණය ඉවරයි. හැබැයි අපි අද ඉඳලම වැඩ පටන්ගන්න ඕනැ. ආණ්ඩුවට වැඩකරන්න දෙන්න ඕනැ. හැබැයි ජනතාවට එරෙහිව යන ඕනම වෙලාවක අපි ජනතාවගේ පැත්තේ හිටගන්නවා”‍ සජිත් කීවේය.


සඳුදා උදෑසන සමගි ජන බලවේගයේ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබුණේය. ඒ මැතිවරණයෙන් පසුව ඉදිරියේදී ගන්නා පියවර ගැන අවධානය යොමුකිරීමටය. රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, දිගම්බරන්, රවුෆ් හකීම් ඇතුළු පක්ෂ නායකයෝ මේ සඳහා එක්ව සිටියහ. සමගි ජන බලවේගයට හිමිව තිබූ ජාතික ලයිස්තු අපේක්ෂකත්වයන් ලබාදීම පිළිබද මෙහිදී අවධානය යොමුවුණේය.


‘‘නිසි කලට සියල්ල වෙයි. ඒත් පරාජය වූ කිසිකෙනෙක් ලයිස්තුවෙන් ගන්නෙ නෑ. අපි එකට එකතුවෙච්ච බලවේගයක්. අපි සමගිව තීන්දු ගන්න ඕනැ. ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ලබාදීම සංවේදී කරුණක්. සමගි ජන බලවේගයේ පක්ෂ යාන්ත්‍රණය ක්‍රියාත්මක කරවීමට රට පුරා යන්න අපේ නායකයින් කීප දෙනෙක්ට ඡන්දය ඉල්ලන්න එපා කියලා මම කිව්වා. ඒ අයට අවස්ථාවක් දෙන්න ඕනැ. ඒ වගේම අනෙක් පක්ෂවල ඉල්ලීම් ගැනත් අවධානය යොමුකරලා අපි හරි තීන්දුවක් සමගිව අරගනිමු”‍ සජිත් යෝජනා කළේය.


”‍අපිත් සමගි ජන බලවේගය සමග සහයෝගයෙන් වැඩකළා. මේ ගැනත් සලකා බලන්න”‍ සුළු පක්ෂවලින් ඉල්ලීමක් ආවේය.


කෙසේ වෙතත් සඳුදා දිනයේදී පක්ෂ නායක රැස්වීම අවසන්වූයේ ජාතික ලයිස්තුවට ඇතුළත් කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් අවසන් එකඟතාවයක් නොමැතිවය.


මෙවර පාර්ලිමේන්තුවට සමගි ජන බලවේගයෙන් තේරීපත්වූ මන්ත්‍රීවරු වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් සූදානම් කර තිබුණේ සඳුදා රාත්‍රියේදීය. ගෝල්ෆේස් හෝටලයේදී එය සංවිධානය කර තිබුණේ තේරීපත්වූ මන්ත්‍රීවරුන්ට සුබපැතීමටය.


‘‘අපිට අලු‍ත් වගකීමක් පැවරිලා තියෙනවා. සමගි ජන බලවේගය විදියට මාස එකහමාරක වගේ කාලයක් ඇතුළත අපි මේ ලැබූ ජයග්‍රහණය හොඳ ජයග්‍රහණයක්. එක්සත් ජාතික පක්ෂයයි, ආණ්ඩුවයි දෙපැත්තෙන් වට කරලා අපිට ගැහුවා. මේ අභියෝග මැද තමයි අපි ඉදිරියට ආවේ. දැන් අපිට විපක්ෂයක් ලෙස ඉදිරියට යන්න තියෙනවා. ඩීල් දාන විපක්ෂයක් විදියට නෙමෙයි, ජනතාව වෙනුවෙන් පෙනීසිටින විපක්ෂයක් ලෙස අපි කටයුතු කළ යුතු වෙනවා”‍ සජිත් කීවේය.


අඟහරුවාදා උදෑසන නැවත වරක් සමගි ජන බලවේගයේ නායකයින් හමුවූයේ ඉදිරි වැඩපිළිවෙල ගැන කතාකිරීමටත්, ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර ලබාදීම ගැන කතාකිරීමටත්ය. සජිත් සමග රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිටියාස් බාකීර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, තලතා අතුකෝරළ, කබීර් හෂීම් ඇතුළු ජ්‍යෙෂ්ඨයෝ මේ සඳහා එක්වූහ. පක්ෂයක් ලෙස ආණ්ඩු බලය ලබාගැනීම සඳහා ඉදිරියේදී කටයුතු කළ යුතු ආකාරය ගැන මෙන්ම පාර්ලිමේන්තුවේදී විපක්ෂයක් ලෙස කටයුතු කළ යුතු ආකාරය ගැන එහිදී දීර්ඝ ලෙස අදහස් හුවමාරු කරගත්තේය.


පළාත් සභා ඡන්දය පසුවනතුරු එජාප නායක රනිල්


එජාපය ලැබූ පසුබෑමෙන් අනතුරුව කළයුත්තේ කුමක් ද යන්න සාකච්ඡා කිරීමේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පසුගිය සඳුද‌ා සිරිකොතේ පැවැති අතර එහිදී මූලික වශයෙන් සාකච්ඡා වූයේ පක්ෂය යළි නගාසිටුවීමේ අවශ්‍යතාව පිළිබඳවය.


අවසානයේ පක්ෂ නායකත්වය පිළිබඳව ද අදහස් මතුවූ අතර එහිදී තිලක් මාරපන විමසුවේ එජාප නායකයා ඉවත්වෙන්නේ නම් නායකත්වය සඳහා ඉදිරිපත් ​ෙවන අය සිටී නම් අත් ඔසවන ලෙසය.


එහිදී රවී, දයා ගමගේ හා වජිර ක්ෂණිකවම අත් එසවූ අතර අවසාන වශයෙන් අකිල ද ඊට එක්විය. අනතුරුව පිටතට පැමිණි අකිල ප්‍රමුඛ පිරිස් මාධ්‍යයට කියා සිටියේ එජාප නායකයා ඉවත්වීමේ තීන්දුව ගෙන ඇති බවය. නව නායක පත්කිරීමේ සාකච්ඡාව බ්‍රහස්පතින්ද‌ාට යෙදී ඇති බවත් ඒ සඳහා නම් 4 ක් ද ඔහු එහිදී රට හමුවේ තැබීය.


එජාපය තුළ බෝම්බයක් පුපුරා ගියේ ඉන් අනතුරුවය. මේ ගැන විමසුමින් එජාප නායකයා වෙත ඇමතුම් රැසක් ලැබුණු අතර එහිදී ඔහු කියා සිටියේ අමුතුම කතාවකි.


‘‘මා වහාම නායකත්වයෙන් ඉවත් වෙනවායි කිව්වේ නැහැ. නමුත් පක්ෂය තරුණ නායකයෙකු අතට පත්කිරීමේ අවශ්‍යතාවය මා මතු කළා. ඒක මා හැමද‌ාම කියාගෙන ආපු දෙයයි. ජනමාධ්‍යවලට ගිය ප්‍රකාශයේ යම් විකෘතතාවක් තිබෙන බවයි පේන්නේ.’’ එජාප නායකගේ විග්‍රහය එය විය.
ඉන් අනතුරුව ද එජාපය තුළ විවිධ සාකච්ඡා රැසක් පැවැත්විණි. එහිදී නායකත්වය පිළිබඳව මෙන්ම සමගි ජන බලවේගය සමග එකතු වෙනවාද, නැද්ද යන්න මෙන්ම පක්ෂය විසුරවා හරිනවා ද යන්න ගැන පවා සමහරු අදහස් දක්වන්නට වූහ.


පක්ෂය පසුබෑමට ලක්වෙලා නිසා යළි ඔසවා තබලයි වෙන කෙනෙකුට බාර දෙන්න ඕනෑ. ජනතා ප්‍රසාදය දිනාගත් කෙනෙකු සොයා ගැනීම අසීරු බවයි හුඟ දෙනෙකු මට කියන්නේ. කරු ජයසූරියගේ නමත් නායකත්ව තරගයට රවි හා දයා ගමගේලා ගෙනාවා. ඔවුන් නායකයා වීමට අවශ්‍යයි කියන පසුබිමක ඔවුන්ම කරුගේ නම ඉදිරියට ගෙන ඒම ගැනත් සමහරුන් විවිධ මතවාද දරනවා.’ එාජප නායක ඒ සාකච්ඡාවලදී කී හරය එසේය.


අඟහරුවාද‌ා සිරිකොතේ දී තවත් තීරණාත්මක හමුවක් සූද‌ානම් කර තිබුණ ද පසුව එය අවලංගු විය.


‘‘ඔයාලා කතා කර තීන්දුව ගෙන මට කියන්න.’’ එජාප නායක කියා තිබුණේ එවැන්නකි.


එහෙත් රවි, වජිර, නවීන්, අකිල, රුවන්, අර්ජුන, සාගල, රංගෙ බණ්ඩාර ඇතුළු පිරිස නායකයාගේ පස්වැනි පටුමග නිවසට පැමිණියේ නායකයා නැතිව කරනු ලබන සාකච්ඡාව අර්ථවත් නොවන බව පවසමිනි.


එහිදී විශේෂත්වය වූයේ රවීගේ යෝජනාව මත නායකත්ව සටනට අර්ජුන මෙන්ම රුවන් විජයවර්ධන ද ඇතුළත්වීමය. අනතුරුව ඒ ලැයිස්තුවට රංගෙ බණ්ඩාර හා සාගලගේ නම් ද එක් වූ අතර ඒ වන විට එජාප නායකත්වය සඳහා අට දෙනෙකුගෙන් යුත් දේශපාලන පොරය නිර්මාණය වී තිබිණ.
සියල්ල දෙස උපේක්ෂාවෙන් බලා සිටි කරු ජයසූරිය සිටියේ වෙනමම තැනක වුවද ඔහුගේ නම යෝජනා කළේ රවි සහ දයා ගමගේ විසිනි.


එවැනි පසුබිමක අලුත්ම අදහස ​ෙවන්නේ වඩාත් ආකර්ෂණීය හා ජනතාව පිළිගන්නා විකල්ප නායකයෙකු දැනට එජාපය තුළ ගොඩනැගී නැති පසුබිමක රනිල් තවදුරටත් නායකත්වයේ රැඳී සිටිය යුතු බවය. ළඟ එන පළාත් සභා ඡන්දය මෙහෙයවන තෙක් නායකත්වයේ සිටීම පිළිබඳව එජාප නායකයාගේ ද යම් අදහසක් පවතින බව එජාප අභ්‍යන්තර මාර්ග සඳහන් කරයි.


පක්ෂයේ පළමු පෙළ එක්ක විතරක් කතා කර නායකත්වය ගැන තීන්දු ගන්න නරකයි. අපේක්ෂකයන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති ඇතුළු බහු ජන සංවිධාන ආදී එජාපයට සමීප පිරිස් එක්ක සාකච්ඡා කර නිසි තීන්දුව ගන්න හදන විට මහ ලේකම්ගේ විකෘති ජනමාධය ප්‍රකාශය නිසා සියල්ල ව්‍යාකූල වුණේ.’’ එජාප නායක අවසාන වශයෙන් කළ විග්‍රහය එය විය.


ජාතික ලැයිස්තුවට යවන්නේ කව්ද, වෙන කෙනෙකු ද නැතහොත් නායකයාම ඒ සඳහා ඉදිරිපත් වෙනවා ද යන්න බ්‍රහස්පතින්ද‌ා ජනමාධ්‍යවේදියෙකු එජාප නායකයාගෙන් විමසුවේ ඔහුගේ නිවසේදීය.


‘‘ප්‍රශ්න ඉවර කර ජාතික ලැයිස්තුව ගැන කතා කරමු. ඒ ගැන නොයෙක් අදහස් තිබෙනවා. ඡන්ද‌ද‌ායකයන් මිලියන 2.5 ක් එහා මෙහා කළයුතු විශාල දේශපාලන වගකීම අපට තිබෙනවා. ඒවා ගැනයි අප අවධානය යොමු කරන්න ඕනෑ. ජාතික ලැයිස්තුවට යන්න මගේ අදහසක් නැහැ. එළැඹෙන පසුබිම තුළ සුදුසුම තීන්දුව ගන්නවා.’’ නායකයා කීවේ එවැන්නකි.

 

 

-ගජබා-



අදහස් (0)

ජනපති සමග ඡායාරූපයකට පෙනී නොසිටි ඇමැති තිදෙනා

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 156 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 413 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 241 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 245 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site