IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


කුලියට අපේක්ෂකයන් ගන්න අපට අවශ්‍යතාවක් නෑ

විද්‍යා, තාක්ෂණ හා 
පර්යේෂණ කැබිනට් නොවන ඇමැති 
සුජීව සේනසිංහ

  • නැවත ඒ ස්වර්ණමය යුගය ආරම්භ කරන්න පුළුවන් වෙයි කියා අපි හිතනවා
  • දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට අවශ්‍ය කරන්නේ අගමැතිතුමාගේ ආශිර්වාදය විතරයි   
  • පසුගිය අවුරුදු 25දී හැටපස් දෙනෙක් පක්ෂයෙන් ගිහින් තියෙනවා. ඒක විශාල නායයෑමක්

 

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය ඇතුළු විවාදාත්මක තේමා කීපයක් ගැන මේ සාකච්ඡාව අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සමගය.

 

ප්‍රශ්නය - 1988න් පස්සෙ යූඇන්පීය ජනාධිපතිවරණයක් දිනලා නෑ. 2005න් පස්සේ පක්ෂයේම කියලා අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරගන්නත් බැරි වෙලා තියෙනවා. යූඇන්පීයට ඇයි මෙහෙම වෙලා තියෙන්නෙ?   


• මම හිතන්නෙ ඒක ඉතාම ඛේදජනක තත්ත්වයක්. එජාපය කියන්නෙ රටට නිදහස ලබාදීපු, ඒ වගේම රට සංවර්ධනය කරපු පක්ෂය. ඩී.එස්., ඩඩ්ලි, ජේ.ආර්., ප්‍රේමදාස, ලලිත් ඇතුළත්මුදලි, ගාමිණී දිසානායක, ගාමිණී අතුකෝරළ, රංජන් විජේරත්න වගේ රටට ආදරය කරපු, හොරකම් නොකරපු, දුප්පත් ජනතාව වෙනුවෙන් සේවය කරපු නායකයෝ හිටපු පක්ෂයක් මේක. බණ්ඩාරනායක (එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක) මහත්තයත් අපේ පක්ෂයෙන් බිහි වුණේ. ප්‍රේමදාස මහත්තයා ඝාතනය වෙලා ගාමිණී, ලලිත් ඇතුළු තවත් නායකයෝ ඝාතනය වුණා. මම හිතන්නෙ ඒ වුණු විනාශය නිසා තමයි අපේ පක්ෂය මෙච්චර පසු බෑමකට ලක් වුණේ. අපේ පක්ෂය විශාල සුනාමියකට අහු වුණා. මේ ඇවිල්ලා තියෙන්නෙ ඒකෙන් ගොඩඑන්න අවස්ථාවක්. කුලියට අපේක්ෂකයෝ ගන්න අවශ්‍යතාවක් නෑ අපට. රටම ඉල්ලන පිරිසිදු, සංවර්ධනය පිළිබඳ හොඳ දැක්මක් තියෙන, දුප්පත් ජනතාව ගැන හොඳ හැඟීමක් තියෙන කෙනෙක් ඉන්නවා අපේ පක්ෂයේ.   


ප්‍රශ්නය -    කවුද ඒ?   


• සජිත් ප්‍රේමදාස මැතිතුමා. නැවත ඒ ස්වර්ණමය යුගය මෙතනින් පස්සෙ ආරම්භ කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා.   


ප්‍රශ්නය -  සජිත්ට ඔය කියන තරමේ ජනප්‍රියත්වයක් රට ඇතුළෙ තියෙනවා නම් ඇයි පක්ෂයේ අපේක්ෂකත්වය ලැබෙන්න මෙච්චර පරක්කු?   


• පක්ෂය ඇතුළෙත් ඒ එකඟත්වය තියෙනවා. දැන් ඒකට අවශ්‍ය කරන්නෙ අපේ අගමැතිතුමාගේ ආශිර්වාදය විතරයි. අපි ඒක තමයි අගමැතිතුමාගෙන් මේ වේලාවෙ ඉල්ලා සිටින්නෙ.   


ප්‍රශ්නය -  අගෝස්තු 05 වැනිදා පිහිටුවනවා කිව්ව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය හදන වැඩෙත් කල්ගියා. අපේක්ෂකත්වය පිළිබඳ අවුල නිසාද මෙහෙම වෙන්නෙ?   


• සජිත් ආවොත්, එජාපය පරාද කරලා තමන්ගේ පටු ආත්මාර්ථකාමී අරමුණු ඉටු කරගන්න බලන් ඉන්න දේශපාලනඥයන් කීප දෙනෙක්ගෙ ඒ අරමුණු විනාශ වෙනවා. රාජපක්ෂ මහත්තුරුත් දන්නවා සජිත් ආවොත් එයාලගේ දේශපාලනයත් ඉවරයි කියලා. ඒ නිසා මේ හැමෝම උත්සාහ කරන්නෙ සජිත් ජනාධිපතිවරණ අපේක්ෂකයා බවට පත්වීම වළක්වන්න.   


ප්‍රශ්නය - ගාමිණී, ලලිත් වගේ නායකයො පක්ෂයට අහිමි වුණාට පස්සෙ පක්ෂය මෙහෙයවීමේ වගකීම අරන් 2001දී වගේම 2015දීත් යූඇන්පීයට ආණ්ඩු බලය අරන් දෙන්න නායක රනිල්ට පුළුවන් වුණා. රනිල් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට ඇත්තටම සුදුසු නැද්ද?   


• ඔබතුමාමනෙ කිව්වෙ 1988න් පස්සෙ යූඇන්පීය ජනාධිපතිවරණයක් දිනලා නෑ, 2005න් පස්සෙ පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා නෑ කියලා. ඉතින් ඔබතුමාටම මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න පුළුවන්නෙ.   


ප්‍රශ්නය - නෑ..... මම කියන්නෙ ලලිත්ලා, ගාමිණීලා නැති වුණාට පස්සෙ පක්ෂය ගොඩගැනීම සම්බන්ධයෙන් එතුමා යම් කාර්ය කොටසක් ඉටු කරපු විත්තිය ගැන.... 

 
• පක්ෂය ගොඩගන්න දෙයක් නෑනෙ. එජාපය කියන්නෙ කොහොමත් ශක්තිමත් පක්ෂයක්. මේකෙ තියෙන්නෙ ජයග්‍රහණය තහවුරු කරන එක විතරයි. පහුගිය අවුරුදු 25දී 65 දෙනෙක් පක්ෂයෙන් ගිහින් තියෙනවා. ඒක විශාල නායයෑමක්.   


ප්‍රශ්නය - ඔය ගැන පක්ෂෙට ස්වයං විවේචනයක් තියෙනවා කියලා ඔබ හිතනවද?   


• එහෙම දෙයක් තිබුණෙ නෑ. පක්ෂයෙන් 17 දෙනෙක් එළියට යනකොට ඒ නඩුව වෙනුවෙන් පෙනී හිටියෙ මම. ඒ නඩුව ජයග්‍රහණය කළෙත් මම. නඩුව ජයග්‍රහණය කළාට පස්සෙ මම රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන් පැය භාගයක් ඉල්ලුවා කතා කරන්න. මම එවෙලෙ කිව්වෙ ඒ ගිය 17 දෙනාගෙන් 10 දෙනෙක්වත් ආපහු පක්ෂයට ගන්න කියලා. නමුත් එතුමා ඒකට එකඟ වුණේ නෑ. මොකද ඒ ගිය 17 දෙනා හොඳ යූඇන්පී කාරයො. ඒ අය පක්ෂය ඇතුළෙ සටන් කරලා ඉන්න බැරිම තැන ගියා. මමත් පක්ෂය ඇතුළෙ ඉන්නෙ ඉන්න පුළුවන් නිසා නෙවෙයි. ඒ වුණත් කොහොම හරි ඉන්නවා. ඉන්න බැරි වුණොත් අයින් වෙනවා මිසක මම වෙන පක්ෂෙකට යන්නෙ නෑ.   


ප්‍රශ්නය - ඔබ හිතන විදියට සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා වන සටන ගෙන ගිය යුත්තෙ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළෙද? එහෙම නැත්නම් මහ පාරෙද?   


• ඒක හැම තැනම කරන්න ඕනෑ. ඒ සටන දැනටම සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරලා තියෙන්නෙ. පක්ෂයෙ තීන්දු තීරණ ගන්න අයට ඕන රාජපක්ෂලා දිනවන්න නම් සජිත් ප්‍රේමදාස මහත්තයගෙ කකුලෙන් අදින එක හොඳයි. අපි ගිය වතාවෙ මෛත්‍රීපාල මහත්තයා ගෙන්නලා දිනෙව්වා නම් සජිත් ප්‍රේමදාස මහත්තයට අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන්නෙ.   


ප්‍රශ්නය -  එක්සත් ජාතික පෙරමුණේ ඉන්න හවුල්කාර පක්ෂ නායකයො කියන්නෙ සන්ධානය හදන්න කලින් අපේක්ෂකයා නම් කරන්න කියලා. මේ ගැන පක්ෂෙ ස්ථාවරය මොකක්ද?   


• සජිත් ප්‍රේමදාස මහත්තයව ඉදිරිපත් කරන්න කියලා තමයි ඒ හැමෝම කියන්නෙ.   


ප්‍රශ්නය - නමුත් ඔවුන් සෘජුව කියලා නෑ සජිත්ව දාන්න කියලා......   


• කෙළින්ම කියනවා. අහන්න මනෝලගෙන්. හකීම්ලගෙන්. රාජිත ඇමැතිතුමත්, චම්පික ඇමැතිතුමත් කෙළින්ම නොකිව්වත් ජනතාව කැමති අපේක්ෂකයා ඉදිරිපත් කරන්න කියලා කියනවා.   


ප්‍රශ්නය -  පොහොට්ටුවෙන් ගෝඨාභය ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කරල තියෙන්නෙ. ගෝඨාභයට සටනක් දෙන්න පුළුවන් යූඇන්පී අපේක්ෂකයා සජිත් ද?   


• ගෝඨාභයට සටනක් දෙන්න නම් මටත් පුළුවන්. ඒ වුණත් ඊට වැඩිය හොඳ පුද්ගලයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. හමුදා නිලධාරියෙක් බලයට පත් කරලා රටක් හදන්න පුළුවන් නම් අද පාකිස්තානය පිරිසිදු රටක් බවට පත් වෙලා තියෙන්න එපැයි. දේශපාලනයේදී හොඳ අත්දැකීම් තියෙන්න ඕන. දේශපාලනය කියන්නෙ විශාල වපසරියක් තියෙන ක්ෂේත්‍රයක්. ඒක තේරුම් ගන්න අවුරුදු දහයක් පහළොවක් යනවා. එහෙම අත්දැකීමක් ගෝඨාභය මහත්තයට නෑ. දැන් එතුමා තරහ පාලනය කරගෙන අමාරුවෙන් හිනාවෙවී ඉන්නවා. ඒකාධිපති නායකයො හැසිරෙන්නෙ ඔය විදියට තමයි.   


ප්‍රශ්නය - සජිත්ගේ සුදුසුකම් යූඇන්පීයේම සමහරු ප්‍රශ්න කරනවා. එතුමා හිටපු ජනාධිපති කෙනෙක්ගෙ පුතෙක් වුණු පලියට එතුමව පක්ෂයේම පිරිසක් කරේ තියන් යනවා කියලාත් කියනවා.   


• ඒ කතාව තනිකර බොරු නෙ. සජිත් මිනිස්සු ඉල්ලන්නෙ ප්‍රේමදාස මහත්තයගෙ පුතා නිසා නෙවෙයි. එහෙම නම් නවීන් දිසානායක, රුක්මන් සේනානායක වගේ අයවත් ඉල්ලන්න එපැයි. ඒ නිසා ඒ කතාව බොරු. සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රේමදාස මහත්තයා කරපු දේවල් ගැන කිව්වත් ඒ නිසා එතුමාට චන්දෙ දෙන්න කියලා කියන්නෙ නෑනෙ. එතුමා අවුරුදු 25ක් තිස්සෙ රාජපක්ෂලගෙ බළකොටුව වන හම්බන්තොට ඉඳන් දේශපාලනය කරනවා. ඒක ලේසිපහසු කටයුත්තක් නෙවෙයිනෙ. සජිත් ජනාධිපති වුණාට පස්සෙ රාජපක්ෂලගෙ හම්බන්තොට බලය හේදිලා යනව.   

 

  • රාජපක්ෂ මහත්තුරුන් දන්නවා සජිත් ආවොත් එයාලගේ දේශපාලනයත් ඉවරයි කියලා


ප්‍රශ්නය - ඔබේම පක්ෂයෙ කබීර් හෂීම්, සාගල රත්නායක, ගෝඨාභය රාජපක්ෂ හමුවෙන්න ගිය බව සඳහන් මාධ්‍ය වාර්තා පළ වෙලා තියෙනවා. ගෝඨාභය මේ වෙනකොට යූඇන්පී විරෝධී කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා. කෙහොමද මේ විදියට ජනාධිපතිවරණ සටන කරන්නේ?   


• ඒක වැරැදියි. කබීර් හෂීම් මැතිතුමා කිව්වා එතුමා ලෙඩ වෙලා ඉද්දී ගෝඨාභය මහත්තයා බලන්න ආපු නිසා එතුමත් ගෝඨාභය මහත්තයව බලන්න ගියා කියලා. සමහරවිට එතුමා වටේ හිටපු අය කියන්න ඇති එතුමා එහෙම ගියොත් හොඳයි කියලා. නමුත් මේ වගේ අවස්ථාවක එහෙම යන එක හොඳද කියලා දේශපාලනිකව තීරණය කරන්න ඕනෑ. සාගල රත්නායක මහත්තයා ගියෙ ඇයි කියලා මම දන්නෙ නෑ. ගාමිණී සෙනරත්ව එතුමගෙ ගෙදර තියා ගත්තා කියලත් පහුගිය කාලෙ ලොකු කතාවක් ඇති වුණා නෙ. ඒ නිසා එතුමා සම්බන්ධයෙන් නම් මම අදහස් ප්‍රකාශ කරන්නෙ නෑ. ඒක වැරදියි.   


ප්‍රශ්නය -  සජිත් ඉස්සරහට එනකොට රවි වගේ පක්ෂයෙ ප්‍රබලයො පරල වෙනවා. කොහොමද පක්ෂය එකමුතුව ඉස්සරහට ගෙනියන්නෙ?   


• ප්‍රබලකම තියෙන්නෙ ජනතාවට කරන සේවය ඇතුළෙ. පක්ෂයට රටට තියෙන ආදරය තුළ කවුරුවත් දුර්වල වෙන්නෙ නෑ. එන නායකයෙක් එක්ක එකතුවෙලා පක්ෂයයි රටයි ජයග්‍රහණය කරවීමයි වැදගත්.   


ප්‍රශ්නය - පාස්කු ප්‍රහාරයෙන් පස්සෙ රටේ ජාතික ආරක්ෂාව ආපහු සැරයක් ප්‍රධාන මාතෘකාවක් වුණා. රටේ ආරක්ෂාව සහතික කිරීමට ආණ්‍ඩුව අසමත් බවත් ප්‍රකාශ වුණා. ආණ්‍ඩුවේ ඇමැතිවරයෙක් විදියට ඔබ මේ තත්ත්වය හඳුනාගන්නෙ කොහොමද?   


• ඒ කතාව බොරුනෙ. තවුහිද් ජමාත් සංවිධානයත් එක්ක වැඩිම සම්බන්ධකම් පවත්වලා තියෙන්නෙ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා. නමුත් එතුමා දැක්කෙත් නෑනෙ මේ අවදානම. කවුරුවත් දැක්කෙ නෑ මේ අවදානම. නමුත් ඒ ප්‍රහාරය සිදු වුණා. මේ කාරණය ගැන මීට වඩා තියුණු ඇසකින් බලන්න තිබුණා. ඒක ආරක්ෂක අංශවලට කරන්න තිබුණු දෙයක්. අපි දැන් පාඩම් ඉගෙනගෙන තියෙනවා. කිසිම අන්තවාදයකට හිස ඔසවන්න ඉඩ තියන්නෙ නෑ. මේ වගේ ප්‍රහාරයකින් පස්සෙ වේගයෙන්ම නැගිටපු රටක් ලංකාව. සංචාරක කර්මාන්තයත් හිස ඔසවලා තියෙනවා. අපි දැන් රටේ ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නෙ. ප්‍රහාරය නිසා හැම වැඩසටහනක්ම නතර කරලා තියෙද්දී ‘ශිල්පසේනා’ වැඩසටහන පවත්වන්න මම තීරණය කළේ‍ රට නැවත සාමාන්‍ය තත්ත්වයට පත්වෙලා තියෙනවා කියන පණිවුඩය රටටත් ජාත්‍යන්තරයටත් ලබා දෙන්නයි. සජිත් ප්‍රේමදාස මහත්තයා දිනුවාට පස්සෙ මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් තියුණු ඇසකින් බලාවි. එතුමා රණවිරුවන්ට ආදරය කරන හොඳ සිංහල බෞද්ධ නායකයෙක්.

 

 

 

සාකච්ඡා කළේ :
උපුල් වික්‍රමසිංහ

 



අදහස් (0)

කුලියට අපේක්ෂකයන් ගන්න අපට අවශ්‍යතාවක් නෑ

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 125 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 238 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site