IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


කටවුට් ප්‍රදර්ශනයට අවසර නැතිව ඡන්ද අපේක්ෂකයන් කනගාටුවෙන්

  • මහ බැංකු ලොක්කන්ට ජනපතිගෙන් දෝස්මුරයක්
  • “ග්‍රීන් බ්ලඩ්” සමග එජාපය සටනට බසියි
  • බියගම එජාප මන්ත්‍රීන් රුවන්ගේ  සහායට

 

​කොරෝනා වසංගතය හේතුවෙන් ඇල්මැරුණු දේශපාලන කරළිය යළි ප්‍රාණාවත් වෙමින් තිබේ. ආණ්ඩුව නියෝජනය කරන පොදුජන පෙරමුණත්, විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණත් මැතිවරණ සටනට අවතීර්ණ වී සිටින්නේ වෙනදා මෙන්ම එකිනෙකාට චෝදනා එල්ල කරගනිමිනි. වෙනදා මෙන් දහස් ගණන් සෙනඟ අද්දවා මහා ජනරැලි පවත්වන්නට මෙවර ඉඩකඩ නැත. ඒ වෙනුවට සියලු දෙනාටම සිදුව ඇත්තේ පොකට් මීටින් හෝ මාධ්‍ය හමු පවත්වමින් සිය මතය ජනතාව අතරට ගෙනයන්නටය. මැතිවරණ ව්‍යාපෘතිය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව ගෙන යන්නැයි සෞඛ්‍ය අංශ දැඩිව උපදෙස් දී ඇති අතර, මැතිවරණ කොමිසම ද අපේක්ෂකයන්ට හා දේශපාලන පක්ෂවලට දැඩි තහංචි දමන බවක් පෙනෙන්නට තිබේ.


මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණයට තරග කරන දේශපාලන පක්ෂවල ලේකම්වරුන් හා පක්ෂ නියෝජිතයන් ඉකුත් බදාදා හමුවිය. මේ හමුව පැවැත්වුණේ රාජගිරිය මැතිවරණ මහලේකම් කාර්යාලයේය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ද කැඳවා සිටි මේ හමුවේදී සාකච්ඡාවට ලක්වුණේ මැතිවරණ නීති රීති සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය කරන හැටිය. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් කීවේ කොවිඩ් 19 වසංගතය පාලනය වී තිබුණ ද මහා පරිමාණයේ රැස්වීම්වලට ඉඩදිය නොහැකි බවය. පෝස්ටර් හා කටවුට් ගැසීම් සාමාන්‍ය ඡන්ද නීතිය අනුව තහනම්ය. එහෙත් මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ කටවුට් ගැසීමට මීට පෙර අවසර තිබිණි. එහෙත් මෙවර එයට ද ඉඩ නැත. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පක්ෂ ලේකම්වරුන්ට කීවේ පක්ෂ කාර්යාලවලත් අපේක්ෂකයන්ගේ කටවුට් ගැසීම තහනම් බවය. පක්ෂ ලේකම්වරුන් බහුතරයකගෙන් ඊට විරෝධය එල්ල විය. ඔවුන් කියා සිටියේ රැස්වීම් තියන්නත් බැරි නම් පෝස්ටර් ගහන්නත් බැරි නම් අඩුම තරමින් පක්ෂ කාර්යාලයේ තමන්ගේ කටවුට් එක ගහගන්නත් බැරි නම් ඡන්දය කරන්නේ කෙසේද කියාය. එහෙත් මැතිවරණ කොමිෂන් සභාව දිගටම කියා සිටියේ කටවුට් ප්‍රදර්ශනයට ඉඩදිය නොහැකි බවය.


මැකො ජනපති හමුවෙයි


මැතිවරණ කොමිසම ගිය බද‌ාද‌ා දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය. ජනාධිපති කාර්යාලයේ පැවැති මේ හමුවට මහින්ද දේශප්‍රිය සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෝද ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීහුද පොලිසියේ ඉහළ නිලධාරීහුද සහභාගි වූහ.


මැතිවරණය පැවැත්වීමේ ක්‍රමවේදය ගැන මහින්ද දේශප්‍රිය පැහැදිලි කළ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඡන්දය පැවැත්විය යුතු ආකාරය ගැන දැනුවත් කළේය.


ජනාධිපතිවරයා කීවේ නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වීමට අවශ්‍ය වටපිටාව සකස් කර දෙන බවට තමා සහතික වන බවය. කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කරන්නට හැකි වූ බව කී ජනාධිපතිවරයා එය කළේ ඡන්දය බලාගෙන නොවන බව කීවේය.


මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේ මෙවර ඡන්දය පැවැත්වෙන ආකාරය අනුව මැතිවරණ කටයුතු සඳහා යන වියදම වැඩිවන බවය. මහ මැතිවරණයට රුපියල් කෝටි 600 ක පමණ මුදලක් වැය වෙතැයි අපේක්ෂා කළද එය කෝටි 1000 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව මහින්ද දේශප්‍රිය කීවේය. ජනාධිපතිවරයා කීවේ ඡන්දය පවත්වන්න අවශ්‍ය මුදල් ලබාදෙන බවය.


ජනපති මහ බැංකුව පතුරු ගහයි


කොරෝනා වසංගතයෙන් කඩාවැටුණු මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා රජය පසුගිය කාල සීමාව තුළ සහන වැඩපිළිවෙළක් බැංකු පද්ධතිය හරහා ක්‍රියාත්මක කළේය. එහෙත් රජයේ සහන වැඩපිළිවෙළ බැංකුවලින් හරියට ක්‍රියාත්මක නොවුණු බවට ව්‍යාපාරිකයන්ගෙන් පමණක් නොව සාමාන්‍ය ජනතාවගෙන්ද රජයට චෝදනා එල්ල විය. ආණ්ඩුවේ ඇමැතිවරුද කැබිනට් රැස්වීම්වලදී මේ ගැන කතා කළහ.


ඒ අතරේ ලීසිං ප්‍රශ්නයක් හේතුවෙන් ත්‍රීරෝද සංගමයක සභාපතිවරයකු ද මහ මග මරාදමනු ලැබුවේ මීට සතියකට ඉහතදීය.


ජනාධිපතිවරයා ගිය බද‌ාද‌ා මහ බැංකුවේ ප්‍රධානීන් ජනාධිපති කාර්යාලයට කැඳවූයේ මේ සියලු‍ කාරණා ගැන විමසීමටය. රජය හඳුන්වා දුන් සහන වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට හෝ වැටුණු ආර්ථිකය ගොඩනැගීමට හෝ මහ බැංකුව කිසිදු පියවරක් ගෙන නැති බව ජනාධිපතිවරයා මහබැංකුවේ ප්‍රධානින්ගේ මූණටම කීවේය. බැඳුම්කර හොරකමට සහාය දුන් සමහර නිලධාරින්ද තවමත් මහ බැංකුවේ සිටින බව කී ජනාධිපතිවරයා ආර්ථිකය ගොඩනැගීමට මහ බැංකුවෙන් කිසිදු සහයක් නොලැබෙන බව කීවේය. ඒ සඳහා වැඩපිළිවෙළක්වත් ඉදිරිපත් කර නැතැයි කී ජනාධිපතිවරයා අඩුම තරමින් තමා යෝජනා කළ වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමටවත් මහ බැංකු නිලධාරින් උනන්දු නොවන බව කීවේ දැඩි දෝස්මුරයක්ද එල්ල කරමිනි.


තමා ඉදිරිපත් කළ වැඩපිළිවෙළ හොඳ නැත්නම් මහ බැංකුවේ වැඩපිළිවෙළ පසුවදා උදේම ඉදිරිපත් කරන්නැයිද ජනාධිපතිවරයා කීවේය.


එතෙක් නිද‌ාගෙන සිටි මහබැංකුව නැවත ඇහැරෙන්නට පටන් ගත්තේ ජනාධිපතිවරයාගේ ආන්දෝළනාත්මක ප්‍රකාශයෙන් පසුවය. මහ බැංකුවේ මුදල් මණ්ඩලය එදිනම රාත්‍රියේ රැස්විය. ජනාධිපතිවරයාගේ කතාවෙන් කොතෙක් බලපෑමක් එල්ලවූයේද යත් මහ බැංකුව රෑත් වැඩ කරන්නට පටන් ගත්තේය. පොලී අනුපාත අඩු කිරීම ඇතුළු සහන රැසක් එදින රාත්‍රියේම මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ කතාවේ ප්‍රතිඵලයක් වශයෙනි.
මනාප ගැටුම වළක්වන්න මහින්ද මැදිහත් වෙයි


මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ මේ වන විට කරළියට පැමිණ සිටී. අපේක්ෂකයන්ද සියලු‍ දේ පසෙකලා දිස්ත්‍රික්කය පුරා ඇවිදින්නේ මනාප ගොඩ වැඩිකර ගැනීමේ බලාපොරොත්තුවෙනි. මේ ඡන්ද ක්‍රමය අනුව මනාප පොරයද අලු‍ත් දෙයක් නොවේ. පක්ෂ අතර අර්බුදයටත් වඩා මනාප සටන උග්‍රවී තිබෙන්නේ එකම පක්ෂයේ අපේක්ෂකයන් අතරය. ඒ අතර සමහර අපේක්ෂකයන් තමන්ට මනාපය දෙන්නැයි කියන අතර තමන්ගේම පක්ෂයේ අහවලාට දෙන්න එපා යැයි කියන ප්‍රවණතාවක්ද දක්නට ලැබේ.


අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කරන දිවයිනේ සියලු‍ අපේක්ෂකයන් අරලියගහ මැදුරට කැඳවූයේ මැතිවරණ ව්‍යාපාරය ගැන දැනුවත් කිරීමේ බලාපොරොත්තුවෙනි. පොහොට්ටුවෙන් තරග කරන අපේක්ෂකයෝ සියලු‍ දෙනාම පාහේ ඊට පැමිණ සිටියහ. අගමැතිවරයා සමග හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය පී.එල්. පීරිස්, බැසිල් රාජපක්ෂ හා සාගර කාරියවසම් යන මහත්වරු ප්‍රධාන මේසයේ අසුන්ගෙන සිටියහ. අගමැතිවරයා සිය කතාව පටන්ගත්තේ අවවාදයක්ද කරමිනි.


තමන්ගේම පක්ෂයේ අපේක්ෂකයන්ට මනාප දෙන්න එපා කියල කියන්න එපා. සමහරු කියනවා අහවලාට නම් මනාප තියෙනවනෙ, එයාට දෙන්න එපා තමන්ට විතරක් දෙන්න කියලා. තමන් ප්‍රමෝට් කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිත් අයට දෙන්න එපා කියල කියන්න එපා යැයි අගමැතිවරයා කීවේය.


අනතුරුව කතා කළේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාය. ඔහු පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයාද වෙයි. මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හඳුන්වා දී ඇති අලු‍ත් ඡන්ද නීති සහ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් ඡන්ද ව්‍යාපාරය කරන හැටි ඔහු පැහැදිලි කළේය. ඔහු ඊට අද‌ාළ ලිපි ගොනුවක්ද සෑම අපේක්ෂකයකු අතටම පත්කළේ ඡන්ද නීති සම්බන්ධ​ ලේඛනයක්ද සහිතවය. මැතිවරණ ව්‍යාපාරය මැතිවරණ නීතිරීතිවලට අනුවම සිදුවන්නේදැයි සොයා බැලීම සඳහා මැතිවරණ කාලසීමාව තුළ නෙළුම් මාවත කාර්යාලයේ අධීක්ෂණ මැදිරියක්ද පවත්වාගෙන යන බව ඔහු කීවේය.


අනතුරුව සාකච්ඡා වාරය ඇරඹිණි. එහිදී රූපවාහිනි සාකච්ඡාවලදී අපේක්ෂකයන් හැමෝටම සමාන අවස්ථා ලබාදෙන්නැයි කියාය. මෙතන මාධ්‍ය ඇමැතිතුමා ඉන්නවනෙ. ඒක ගැන එතුමාම කියන්න.’’ අගමැතිවරයා කීවේ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පෙන්වමිනි. බන්දුල කීවේ රූපවාහිනී සාකච්ඡාවලට අපේක්ෂකයන් යැවීමට තෝරා ගැනීම අසීරු කටයුත්තක් බවය. ඒ කටයුත්ත පක්ෂයෙන් මහාචාර්ය චරිත හේරත්ට බාරදී ඇති බව බන්දුල කීවේය.


බැසිල් රාජපක්ෂ මහතාද චරිත හේරත් පෙන්වමින් කීවේ ‘‘චරිත ඉන්නවනෙ. ඔයා ඒ ගැන පැහැදිලි කරන්නකො’’ යනුවෙනි. අනතුරුව මහාචාර්ය චරිත හේරත් ඒ ගැන පැහැදිලි කළේය. ‘‘රූපවාහිනි සංවාදවලට යවන ක්‍රමවේදයක් තියෙනවා. සමහරු සූද‌ානම් වෙන්නෙ නැතිව යන අවස්ථා තියෙනවා. එහෙම වුනාම ඒක එතුමාට විතරක් නෙවෙයි, පක්ෂයටත්, රජයටත් ප්‍රශ්නයක්. ඒ නිසා ඉදිරියේදී අපි ඒක කළමනාකරණය කරලා ඒ සඳහා තවත් අය යවන්න බලන්නම්’’ චරිත කීවේය.


මේ අතර, ඉකුත් සති අන්තයේ ආණ්ඩුවේ පක්ෂ නායකයන්ගේ හමුවක්ද අරලියගහ මන්දිරයේදී පැවැත්වූවේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයෝ වැඩි දෙනෙක් ඊට සහභාගි වූහ. රැස්වීම ආරම්භ වන තෙක් පැමිණ සිටි පිරිස ආගිය තොරතුරු කතාබහ කරමින් සිටියහ. බැසිල්, ජී.එල්.විමල් ඇතුළු පිරිසක් කතාබහ කරමින් සිටියේ ‘බැලට් පේපර්’ සම්බන්ධයෙනි. බැලට් පේපර් එක හුඟක් දිග නිසාත් අලු‍ත් ලකුණක් එකතු වී ඇති නිසාත් වරදින්නට තියෙන හැකියාව වැඩි බව විමල් වීරවංශ කීවේය. බැසිල් කීවේ හැම දිස්ත්‍රික්කයකම කණ්ඩායම් 20 කට වැඩිය නාමයෝජනා ඉදිරිපත් කර ඇති බවය. අංකය හොයාගන්න ලේසියි. අමාරු ලකුණ​ හොයා ගන්න එකයි. බැසිල් කීවේය.


අනතුරුව කතාබහ ඇදී ගියේ කොළඹ දිස්ත්‍රික්කයේ පොහොට්ටු ලැයිස්තුව දෙසටය. බැසිල් කීවේ කොළඹ පොහොට්ටු ලැයිස්තුවේ ඉන්න වැඩි දෙනෙක් කඩුවෙල ආසනයේ බවය. ‘‘ඒක ඇත්ත. මමත් එක්ක කඩුවෙල ආසනයෙ විතරක් අටක් ඉන්නවා.’’ විමල් කීවේය. ‘‘ඒ වුණාට ඡන්ද ලක්ෂයකට වැඩිය තියන හෝමාගමට ඉන්නෙ එක අපේක්ෂකයෙක් විතරයි’’ බැසිල් කීවේය. ඒ බන්දුල ගුණවර්ධනය.


මේ අතරවාරයේ අගමැති මහින්ද ආවේය. ඒ සමගම රැස්වීමද ඇරඹිණි. මැතිවරණ කොමිසම දී ඇති උපමාන අනුව අපේක්ෂකයන් හා පක්ෂය මැතිවරණ කටයුතු සිදු කරන ආකාරය ගැන මූලිකව සාකච්ඡාවට ලක්වූ අතර අගමැතිවරයා කීවේ මැතිවරණ නීති උල්ලංඝනය නොවන ලෙස ඡන්ද ව්‍යාපාර කටයුතු සිදු කළ යුතු බවය. මැතිවරණ කාර්යාල පිහිටුවීමේදීද ඒ අනුව කටයුතු කරන්නැයි අගමැතිවරයා ඉල්ලා සිටියේය.


පක්ෂයේ දිස්ත්‍රික්ක කාර්යාල විවෘත කිරීමේදී හොඳින් පෙනෙන ආකර්ෂණීය තැනක පිහිටුවන්නැයි ඇමැතිවරයා ඉල්ලීමක් කළේය. ඒ සමගම අගමැතිවරයා කීවේ ඒ ඒ දිස්ත්‍රික්කයෙන් ඡන්දයට ඉදිරිපත්ව සිටින පක්ෂයේ සියලු‍ම අපේක්ෂකයන්ගේ ඡායාරූප හා අංක දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රදර්ශනය කරන ලෙසය. ජනතාව අපි කෙරෙහි තියෙන විශ්වාසය නැති කරගන්න හොඳ නැහැ. අපි ටීම් එකක් විදියට වැඩකරමු’’ අගමැතිවරයා කීවේය.


ප්‍රසන්නගෙන් ජොනීට අභියෝගයක්


ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ගිය සති අන්තයේ කුරුණෑගල රැස්වීම් කිහිපයකට ගියේ බැසිල් රාජපක්ෂගෙන් ලැබුණු ආරාධනයෙනි. කුලියාපිටියේ පැවැති පොදුජන පෙරමුණ රැස්වීමට ප්‍රසන්නත්, කුරුණෑගල ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාත් තවත් අපේක්ෂකයෝ පිරිසකුත් පැමිණ සිටියහ.


ජනාධිපතිවරණයේදී ගම්පහ අපි තමයි වැඩිම ඡන්ද ප්‍රමාණය ගත්තෙ. ගිය පාර අපි ගම්පහින් වැඩි ඡන්ද තුන්ලක්ෂ හැටපන්දාහක් ගත්තා. මේ පාරත් අපි තමයි තීරණාත්මක වැඩි ඡන්ද ගණන ගන්නෙ යැයි කී ප්‍රසන්න ඔයාල පුළුවන්නම් ඒ වාර්තාව කුරුණෑගලින් කඩලා පෙන්වන්න යැයි ජොනීට අභියෝගයක් කළේය.


“ග්‍රීන් බ්ලඩ්” තරුණ පිරිස සමග එජාප නායකගේ ඡන්ද මෙහෙයුම


මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සැම සඳුදා දිනකම පාහේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් හමුවී සාකච්ඡා කරනු ලබන එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සඳුදා තම පිරිස හමුවිය.


එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රවී කරුණානායක, රුවන් විජයවර්ධන, පාලිත රංගෙ බණ්ඩාර යන මහත්වරු ප්‍රමුඛ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවී සිටියහ.


මැතිවරණ ප්‍රචාරක කටයුතු අඩු පාඩු මෙයට පෙර පැවැති සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන්ගේ හැසිරීම වෘත්තීය සමිති නියෝජිතයන්ට අනුබල දුන් අය ආදී වශයෙන් විවිධ මාතෘකා ඔස්සේ මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් විමසා බලමින් අවශ්‍ය උපදෙස් ලබා දුන්නේය.


එජාප නායකයා එහිදී කියා සිටියේ මෙවර විශේෂ අවධානයෙන් ප්‍රචාරක කටයුතු සිදුකළ යුතු බවය. එක්සත් ජාතික පක්ෂයෙන් පිරිසක් දැන් වෙන්වී සිටින නිසා රටේ ජනතාව අතර පක්ෂය ප්‍රචලිත කිරීමට කටයුතු කළ යුතු බව ඔහු කීවේය. ‘පක්ෂයේ වැදගත්කම රටට කරන ලද සේවය පිළිබඳව විශේෂයෙන්ම ජනතාව දැනුවත් කරන්න’ එජාප නායකයා කීවේය.


මීට අමතරව කැලණිය ආසන සංවිධායක වශයෙන් කටයුතු කරන හිටපු රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතාගෙන් කැලණියේ තොරතුරු විමසා සිටියේය. එහිදී රුවන් විජයවර්ධන මහතා කියා සිටියේ කැලණියේ සංවිධාන කටයුතු හොඳින් සිදුවන බවත් ජනතාවගෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබෙන බවත්ය.


‘බියගම ආසනයේ මට සහාය දැක්වූ පිරිසක් නිවසට කැඳවා සාකච්ඡා කළා. එහිදී ඔවුන් මා බියගමින් ඉවත්වීම ගැන දැඩි ලෙස කනස්සල්ල පළ කළා. බියගමින් ඉවත්වීමට මගේ අදහසක් නොතිබූ බවත් පක්ෂ නායකත්වයේ ඉල්ලීම මත මා කැලණිය සංවිධායක තනතුර භාරගත් බවත් ඔවුන්ට කීවා’ රුවන් විජයවර්ධන මහතා මෙහිදී කීවේය.


බොහොමයක් ප්‍රාදේශීය සභාවලට තේරීපත්වී සිටින ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂය හැර ගොස් සිටියත් බියගම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පහළොස් දෙනාම පක්ෂය සමඟ දැඩි ස්ථාවරයකින් සිටිනවා’ යැයි ද රුවන් විජයවර්ධන මහතා පක්ෂ නායකයාට මතක් කළේය. 


මෙම සාකච්ඡාවේ දී හිටපු ඇමැති රවී කරුණානායක මහතා මහ බැංකුවේ ක්‍රියාපටිපාටිය පිළිබඳ කරුණු පෙන්නා දුන්නේය. එක්සත් ජාතික පක්ෂය බලයේ සිටියදී තමා කී දේ කිසිවක් ගණන් නොගත් බවත් බැංකු කඩාවැටීමට මූලිකවූ මහ බැංකුවේ නිලධාරීන් තවමත් ගෙදර යවා නැති බවත් රවී පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා මහ බැංකුව අය කරනු ලබන සියයට 4 පොලිය සියයට 2 දක්වා අඩු කිරීමට ජනපති දොස් පවරා පැය 5 න් තීරණය කළ මහ බැංකුව මෙතරම් කාලයක් මෙය නොකිරීම බරපතළ ප්‍රශ්නයක් බවද රවී පෙන්වා දුන්නේය.


එක්සත් ජාතික පක්ෂයෙන් කැඩී ගොස් වෙනම පක්ෂයක් ඇති කරගත් පිරිස් පිළිබඳවත් මෙහිදී රවී කරුණානායක මහතා කරුණු දැක්වීය. කැඩී ගිය අයට ඡන්ද පදනමක් නොමැති බැවින් ඔවුන් රාජපක්ෂලා සමඟ වැඩ කරන බවට එජාපයට දොස් නැගීම හාස්‍යයට කරුණක් බවද කී රවී එම පක්ෂයේ ලක්වනිතා ඒකකය මේ වනවිට භේදභින්න වී ඇති බවද කීය. 
මෙහිදී මංගල සමරවීර මහතා සමගි ජනබලවේග අපේක්ෂකත්වයෙන් ඉවත්වීම පිළිබඳව ද සාකච්ඡාවට භාජන විය.


සජිත්ගේ පාර්ශ්වයෙන් තවත් අය ඉවත්වීම ගැන ද සාකච්ඡා විය. වෘත්තිය සමිති නියෝජිතයන්ගේ කලහකාරී හැසිරීමට අනුබල දුන් පක්ෂයේ හිටපු දේශපාලනඥයන් කීප දෙනකුගේම නම් ගම් මෙහිදී හෙළිවිය.


මීට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී ‘ග්‍රීන් බ්ලඩ්’ යනුවෙන් හඳුන්වන පක්ෂයේ ඉංග්‍රීසි කතා කරන තරුණ පිරිසක්ද හමුවිය. යොවුන් පෙරමුණට අමතරව සංවිධානයවී සිටින මේ පිරිස නවීන තාක්ෂණය සමඟ නිතර ගනුදෙනු කරන පිරිසක්වීම විශේෂත්වයකි. මුහුණු පොතේ සටහන්වන කරුණු පිළිබඳවත් ඉදිරියට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් රනිල් වික්‍රමසිංහ මහතා මේ පිරිස සමඟ සාකච්ඡා කළේය.


ඉකුත් බ්‍රහස්පතින්දා උදේ වරුවේ විවේකීව ගත කළ රනිල් වික්‍රමසිංහ මහතා සතිය පුරා තමන් හමුවට පැමිණි හිටපු මන්ත්‍රීවරුන් හිතවතුන් හා අපේක්ෂකයන් සමඟ ඔවුනොවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා අතර විටින් විට සිරිකොත පක්ෂ මූලස්ථානයටද පැමිණියේය.


සුනිල් ජයවර්ධනගේ දරුවන්ට
සජිත්ගෙන් පොරොන්දුවක්


ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති ලෙස කටයුතු කළ සුනිල් ජයවර්ධන මහතාගේ හදිසි අභාවයෙන් කම්පාවට පත් වූ හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමද‌ාස මහතා අවිවේකී දේශපාලන කටයුතු මදකට නතර කර ඒ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා ඔහුගේ නිවසට දෙවරක්ම ගියේය.


ඒ මහතාගේ එක් දරුවෙක් සරසවි අධ්‍යාපනය ලබයි. අනෙක් දරු දෙදෙනා පාසල් අධ්‍යාපනය ලබමින් සිටී.


සිය පියා අහිමි වීමෙහි දැඩි වේදනාව හේතුවෙන් ඔවුන් සිටියේ කම්පාවෙනි. ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට කළ හැකි සියල්ල ඉටුකිරීමට තමන් පසුබට නොවන බව සජිත් කීවේය. ඔහු සුනිල්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු උදෙසා මූල්‍ය පරිත්‍යාගයක් ද කරනු ලැබීය.


ආණ්ඩුව විසින් ලබාදෙන බවට පොරොන්දු වූ කල්බදු සහන ලීසිං සමාගම් වෙත නිසියාකාරයෙන් දැනුවත් නොකිරීම නිසා සිදු වූ මෙම අවාසනාවන්ත ඝාතනය තුළින් ගම්‍ය වන්නේ රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ ගොස් ඇති බව යැයි ද සජිත් කීවේය.


‘ජාතික ආරක්ෂාව සලසනවා කියලා පම්පෝරි ගැහුව, මේ ආණ්ඩුව යටතේ අද වන විට මිනීමැරුම්, පහරදීම්, මංකොල්ලකෑම් ආදී කටයුතු වැඩි වශයෙන් අසන්නට ලැබෙනවා. ඔන්න සුරක්ෂිත රට’ සජිත් කීවේය.


මැතිවරණ කටයුතු ආරම්භ වී ඇති අතර සමගි ජනබලවේගය මේ දිනවල අද‌ාළ ප්‍රචාරක කටයුතු සිදුකරමින් සිටී. සජිත් දිනපතාම ආසන මට්ටමින් මහජන හමු හයකට පමණ සහභාගි වන අතර කුඩා හමුවීම් දහයක් පමණ සිදුකරයි.


මේ සියල්ල අතර ඔහු සංවිධායකයන්ට අවධාරණය කරන්නේ සෞඛ්‍යමය උපදෙස් මත එම රැස්වීම් සංවිධානය කරන ලෙසටය.


‘කිසිම වෙලාවක ජනතාව අවදානමකට ද‌ාන්න එපා. කිසිම හේතුවකට සෞඛ්‍ය උපදෙස් කඩ කරන්න එපා.’ සජිත් තම සංවිධායකයන්ට උපදෙස් දී ඇත.


‘මේ වෙලාවේ අපේ ප්‍රතිවාදියා ආණ්ඩුව. මේ ආණ්ඩුව ජනතාව නොමරා මරණවා. ඒ නිසා ආණ්ඩුව පරාජය කරන එකයි අපේ වගකීම. ඊට පස්සේ අනෙක් සියල්ල විසඳෙයි.’ සජිත් ඔවුන්ට පැහැදිලි කර දී තිබේ.


සමගි ජන බලවේගයේ තරුණ පෙරමුණ වන සමගි තරුණ බලවේගය පිහිටුවීම පසුගියද‌ා (15) සජිත්ගේ  ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


මෙහිදී තරුණ ප්‍රඥප්තියක් සහ තරුණ ප්‍රතිපත්ති රාමුවක් එළිදැක්වීම සිදුකෙරුණු අතර අද‌ාළ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙන් සමගි තරුණ බලවේගයේ නායකයන් සහ සමගි ජනබලවේගයේ නායක සජිත් සමග සම්මුතියක් ද අත්සන් කෙරිණි. එහිදී සජිත් විශේෂ පොරොන්දුවක් ලබා දුන්නේය.


‘25% කාන්තා නියෝජනයක් ලබා දෙමින් අපි 25% අපේක්ෂක අවස්ථාවක් තරුණයන්ට දෙන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා වගේම ජනතාව බලය ලබා දුන්නම එය නීතියක් බවට පත් කරනවා.’


මෙම අවස්ථාවට සමගි තරුණ බලවේගයේ නායකයෝ හා සාමාජිකයෝ ද ජන බලවේගයේ නායකයන් පිරිසක් ද සහභාගි වූහ.


එම සංවිධානයේ සම්බන්ධීකාරක ලෙස මයන්ත දිසානායක පත්කර ඇත. පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාරගේ මූලිකත්වයෙන් ගාල්ල, ගම්පහ, බදුල්ල හා නුවරඑළිය ආසන හා දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීම්ද ඉකුත් සතියේ පැවැත්විණි.

 

 

 

-ගජබා-



අදහස් (0)

කටවුට් ප්‍රදර්ශනයට අවසර නැතිව ඡන්ද අපේක්ෂකයන් කනගාටුවෙන්

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 134 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site