IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ආධාර බෙදන්න බැසිල් එයි

කොවිඩ් අර්බුදය හේතුවෙන් ගිය සතියේ ද රටේ සාමාන්‍ය ජන ජීවිතය අඩපණ වී තිබිණි. විශේෂයෙන්ම බස්නාහිර පළාත ඉන් ප්‍රධානය.​ කොවිඩ් පැතිර යාම පාලනය කිරීමේ පියවරක් ලෙස බස්නාහිර පළාතට ඉකුත් 29 වැනිදා මැදියම් රැයේ සිට ඇඳිරිනීතිය පනවනු ලැබුවේ එය ගිය සඳුදා උදේ ඉවත් කිරීමේ අපේක්‍ෂාවෙනි. එසේ වුව ද කොවිඩ් වයිරසය පැතිර යාමේ අවදානම අඩු නොවූ බැවින් බස්නාහිර ඇඳිරිනීතිය හෙට (9) දිනය දක්වා දීර්ඝ කරන්නට රජය තීරණය කළේය.

ඒ තත්ත්වය තුළ බස්නාහිර පළාතේ ගිය සතියේ සාමාන්‍ය කටයුතු සිදු නොවූ අතර ජනතාවට ද සිදු වූයේ ඇඳිරිනීතියට කොටු වී නිවෙස්වලට වී සිටින්නටය.
ඇඳිරිනීතිය හමුවේ බස්නාහිර පළාතේ ජන ජීවිතය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට ආර්ථික පුනර්ජීවන කමිටුව සඳුදා රැස්විය. ඒ එහි ප්‍රධානි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. බැසිල් ද පසුගිය මාස කිහිපයේම අතිශයින් කාර්ය බහුල වී සිටියේ කොවිඩ් අර්බුදය හමුවේ රට තුළ ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම ඔහුට පැවැරී තිබීම හේතුවෙනි.

ඒ අනුව ජනාධිපති කාර්යසාධක බළකාය ගිය සඳුදා උදේ අරලියගහ මන්දිරයෙදී රැස්විය. බස්නාහිර පළාතේ ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු ද පළාත් පාලන ආයතන ප්‍රධානීහු ද පළාතේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරු ද ඊට සහභාගි වූහ. පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය ද ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු ද සහභාගි වූ පිරිස අතර වූහ. බැසිල් කීවේ ගම්පහට මෙන්ම ඇඳිරිනීතිය පනවා ඇති කොළඹ හා කළුතර දිස්ත්‍රික්කවල සුදුසු පවුල්වලට රුපියල් 5,000 දීමනාව ලබාදෙන බවය. නිරෝධායනය වන පවුල්වලට ද රුපියල් 10,000ක අත්‍යවශ්‍ය භාණ්ඩ මල්ලක් ලබාදෙන්න ජනාධිපතිතුමාගේ උපදෙස් මත කටයුතු කරගෙන යන බව බැසිල් කීවේ ඇඳිරිනීතිය හමුවේ රටේ ආර්ථිකය පවත්වාගෙන යා යුතු ආකාරය ද පැහැදිලි කරමිනි. කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ඇතුළු වෙළෙඳ කලාපවල බෝඩිම් වී සිටින සේවක සේවිකාවන් මුහුණ දී ඇති ගැටලු ගැන ප්‍රසන්න රණතුංග මතු කළේය. ඔහු කීවේ ඒ අයට කන්න බොන්න නෑ කියලා ලොකු ප්‍රචාරයක් යන බවය. බෝඩිම්වල ඉන්න වැඩිදෙනකු මෑන්පවර් සේවකයන් බව කී ප්‍රසන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ඔවුන්ට වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව කීවේය.


කැබ්නට් රැස්වීම


සතියේ කැබිනට් රැස්වීම ඇඳිරිනීතිය පැවැතිය ද ගිය සඳුදා හැන්දෑවේ පැවැත්විණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. එහි වැඩිපුර කතාබහට ලක්වුණ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති පියවර සහ රටේ ආර්ථිකය පවත්වාගෙන යා යුතු ආකාරය ගැනය. ජනාධිපතිවරයා ඒ ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ රට ලොක්ඩවුන් කරන්නැයි ඇතැමුන් කරන ඉල්ලීම්වට ද පිළිතුරු දෙමිනි. “රටම ලොක්ඩවුන් කළා නම් මේ තත්ත්වය වළක්වා ගන්න තිබුණා කියල සමහරු කියනවා. හැබැයි රට වැසුවොත් රටේ ආර්ථිකයට ඒක බලපානවා. ඉස්කෝල වැහුවාම ඒකෙ බලපෑම වසර ගණනක් ඉස්සරහට යනවා. ඒ නිසා දැන් අපට සිද්ධ වෙන්නේ මේකත් එක්ක ජීවත් වෙන්නයි. රෝගය හැදුණු අය ප්‍රතිකාරවලට යොමු කරන ගමන්, අනෙක් අය නිරෝධායනයට යොමු කරන්නේ ඒ නිසයි” යැයි ජනාධිපතිවරයා කීවේය.


චමල් පොලිසියට වාහන ඉල්ලයි


පොලිසිය භාර රාජ්‍ය ඇමැතිවරයා වන්නේ චමල් රාජපක්‍ෂය. පොලිසියට වාහන නොමැති වීම නිසා ගැටලු රැසක් පැන නැගී ඇතැයි චමල් කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ විකල්ප යෝජනාවක් ඉදිරිපත් කරමිනි. රාජසන්තක කරන ලදුව, රේගුව භාරයේ ඇති වාහන ලයිස්තුවක් ද චමල් කැබිනට්ටුවට ඉදිරිපත් කළේය. ඔහු කීවේ එම වාහන පොලිසියට ලබාදෙන ලෙසය.


කොරෝනා වයිරසය හේතුවෙන් පාසල් නිවාඩුව ද දීර්ඝ කර ඇත. මේ තත්ත්වය තුළ නිවෙස්වල සිටින පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා රූපවාහිනී නාළිකාවල සහාය ලබාගන්නැයි යෝජනා කළේ අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්ය. ඔහු කීවේ රූපවාහිනී නාළිකා මගින් පාසල් අධ්‍යාපන වැඩසටහන් ප්‍රචාරය කිරීමෙන්, ළමයින්ට සහනයක් සැලැසිය හැකි බවය.


මෙවර කැබිනට් රැස්වීමේ විශේෂත්වයක් ද විය. වෙනදා කැබිනට් රැස්වීමට සහභාගි වූ ඇමැතිවරුන් ප්‍රධාන මේසය වටා අසුන් ගත්තේ එක් පෙළක් ලෙසය. එහෙත් කොවිඩ් නිසා ඇමැතිවරුන්ගේ ආසන දුරස් කර තබා තිබිණි. ඒ නිසා වෙනදා එක පෙළකට වාඩි වී සිටි ඇමැතිවරුන් මෙවර ඉඳගත්තේ පේළි දෙකක් ලෙසිනි.
සහල් මාෆියාවට එරෙහිව බන්දුල නැගී සිටියි


ඇඳිරිනීතියත් සමග හාල් මිල ගණන් ද ඉහළ යාම පාරිභෝගිකයන්ට දැඩි පීඩාවක් ගෙන දුන්නේය. සහල් වෙළෙඳුන් කියා සිටියේ ඔවුන්ට සහල් මෝල් හිමියන්ගෙන් සහ සහල් නිෂ්පාදකයන්ගෙන් වැඩි මිලට සහල් ලැබෙන නිසා එසේ මිල වැඩි කරන්නට සිදුව ඇති බවය. බන්දුල ද අවස්ථා කිහිපයකදීම මෝල් හිමියන් හා හාල් නිෂ්පාදකයන් කැඳවා මිල අඩු කරන ලෙස ඉල්ලා සිටි නමුත් යහපත් ප්‍රතිචාරයක් නොලැබිණි. ඒ නිසා බන්දුල වෙළෙඳ ඇමැතිවරයා ලෙස ඊට මැදිහත් වෙමින් සහල් මෝල් සහ නිෂ්පාදකයන් විසින් සහල් අලෙවි කළ යුතු උපරිම මිලක් නියම කළේය. ඒ අනුව පාරිභෝගික අධිකාරිය ලවා විශේෂ ගැසට් නිවේදනයක් ද ඒ සඳහා නිකුත් කරනු ලැබීය.

 

බස්නාහිර ඇඳිරිය හෙට ඉවතට


බස්නාහිර පළාතට ඉකුත් 29 වැනිදා මැදියම් රැයේ පැනවූ ඇඳිරිනීතිය හෙට (9) උදේ ඉවත් කෙරෙන්නේ දින 10කට පමණ පසුවය. එදින ඇඳිරිනීතිය පැනවූයේ දින තුනකට වුව ද බස්නාහිර කොවිඩ් වසංගතය පැතිර යාම වේගවත් වූ බැවින්, එය සතියකින් දීර්ඝ කරන්නට ආණ්ඩුව තරණය කළේය. එහෙත් දිගින් දිගටම ඇඳිරිය පනවා, රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම කළ නොහැකි බව ජනාධිපතිවරයාගේ අදහසය. මේ නිසා ඇඳිරිනීතිය ඉවත් කර සංචරණ සීමා සහ දැඩි සෞඛ්‍ය නීති ක්‍රියාත්මක කිරීම රජයේ අපේක්‍ෂාවය.


අයවැයටත් හරස්වෙන කොරෝනා


ලබන වසරේ අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. ඒ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසිනි. වෙනදා නම් අයවැය විවාදය අඩුම වශයෙන් මාසයක් පුරා ඇදී යයි. එහෙත් මෙවර එය උපරිම දින 10කට සීමා කිරීමට පක්‍ෂ නායකයන්ගේ අවධානය යොමුව ඇත. අයවැය දෙවන වර කියවීමේ විවාදය දින හතරකුත්, කාරක සභා අවස්ථා විවාදය දින හයකුත් පැවැත්වීමට දැනට තීරණය කර ඇත.


පොහොට්ටුව සහ චීන කොමියුනිස්ට් පක්‍ෂ හමුව


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ චීනයේ කොමියුනිස්ට් පක්‍ෂය අතර හමුවක් ඉකුත් සතියේ පැවැත්වුණේ බත්තරමුල්ල වෝටර්ස්එජ් හිදීය. පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැතිවරයා ද නාමල් රාජපක්‍ෂ, ශෙහාන් සේමසිංහ යන ඇමැතිවරු ද කතානායක මහින්ද යාපා අබේවර්ධන ද ඊට සහභාගි වූහ. චීන කොමියුනිස්ට් පක්‍ෂයේ නියෝජිතයන් ඊට සම්බන්ධ වූයේ චීනයේ සිට ඔන්ලයින් ක්‍රමයටය. කොවිඩ් අර්බුදය නිසා ඔවුන්ට මෙරටට පැමිණීමට නොහැකි විය. මෙරට සිටින චීන තානාපතිවරයා ද ඊට සම්බන්ධ නොවූයේ ඔහු ළඟදී මෙරටට පත්ව ආ නිසා තවමත් ස්වයං නිරෝධායනය වෙමින් සිටින බැවිනි.


බස්නාහිර ඇඳිරිනීතිය නිසා ගිය සඳුදා වනවිට දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු අලෙවි කරගැනීමේ දැඩි අර්බුදයක් මතුව තිබිණි. කොළඹ මැනිං වෙළෙඳපොළ සහ බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන ඇඳිරිනීතියත් සමග වසා දැමීම ඊට හේතුවය. දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළෙඳුන් මේ තත්ත්වය හමුවේ අර්බුදයකට ලක්ව සිටිය ද ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිවරයාත් ප්‍රමිත තෙන්නකෝන් මන්ත්‍රීවරයාත් ඊට මැදිහත් වූහ. ඔවුන් දෙදෙනාම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් වෙළෙඳ සංගමය ද හමුවී මේ ගැන සාකච්ඡා කළේ එළවළු අලෙවි කරගැනීමට ඇති විකල්ප ක්‍රියාමාර්ග කුමක්දැයි සොයා බලමිනි. ඒ සමගම ජනකත්, ප්‍රමිතත් බැසිල් රාජපක්‍ෂ හිටපු ඇමැතිවරයාටත්, මහින්දානන්ද, ශෂින්ද්‍ර රාජපක්‍ෂ යන ඇමැතිවරුන්ට හා කොළඹ දිසාපතිවරයාටත් වරින් වර දුරකතනයෙන් කතා කරමින් විසඳුමක් සාකච්ඡා කළේ එය කඩිනමින්ම විසඳිය යුතුව තිබූ ප්‍රශ්නයක් බැවිනි. බැසිල් කීවේ, “අපි හෙට ඉඳන් කොළඹ ආර්ථික මධ්‍යස්ථාන අරිනවා. ඒක නිසා බඩු ගන්න වැඩපිළිවෙළක් හදනවා.” යනුවෙනි. ඒ අනුව දඹුල්ලේ උදේ වරුවේ ගොඩ ගැසෙමින් තිබූ එළවළු තොග සවස් වනවිට විකුණා ගන්නට එම ක්‍රියාමාර්ගය බෙහෙවින් ඉවහල් වී තිබිණි.


අගමැතිට පැමිණිලි


කොරෝනා වසංගතය නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයට ද තදබල බලපෑමක් ඇති විය. කුරුණෑගල මහ රෝහලට ලබා දී ඇති පී.සී.ආර්. යන්ත්‍රයෙන් දිනකට පරීක්‍ෂණ දහයක්වත් කළ නොහැකිය. ඉකුත් සඳුදා පාර්ලිමේන්තුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වූ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා මෙම ප්‍රශ්නය කතා කළේය.


“සර්... කුරුණෑගලට තියෙන පී.සී.ආර්. යන්ත්‍රයේ ධාරිතාව මදි. ඒ වගේම කුරුණෑගල පොලිස් වසම් ගණනාවකටම ඇඳිරිනීතිය පනවලා තියෙනවා. එම ජනතාවත් ඉන්නේ බොහොම දුෂ්කරව. රුපියල් පන්දාහේ දීමනාව ඒ ජනතාවට දීලා නෑ...” ශාන්ත බණ්ඩාර කීවේය.


“ආ... ඕක බැසිල්ට කියන්න ඕනෑ... මමත් කියන්නම්... ඔයත් බැසිල්ට කියන්න...” අගමැති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.


අග්‍රාමාත්‍ය දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඉකුත් 30 වැනිදා නාරාහේන්පිට අභයාරාමයට ගියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදැකීමටය.


ඒ අතරතුර කිසිවෙක් නොසිතූ පරිදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද විහාරස්ථානයට පැමිණියේය.
“අපේ නායක හාමුදුරුවනේ, මම වෙන රාජකාරි ගමනක් ගිහින් එන ගමන් ඔබ වහන්සේත් බැහැදැකලා යන්න ආවා...” අගමැතිවරයා ආනන්ද හිමියන්ට කීවේය. “ඔබතුමා කවදාවත් වෙනස් වුණ නායකයෙක් නෙවෙයිනේ... ඒක නිසානේ අදත් අපි සලකන්නේ...” ආනන්ද හිමියන් කියා සිටියේ බොහොම ලෙන්ගතුවය.
“සර් නායක හාමුදුරුවෝ මේ දවස්වල ආණ්ඩුව ගැනත් මතක් කරලා ටිකක් සැරට කතා කරනවා. ඒක නිසා විපක්‍ෂයේ සමහර අයත් එන්න පටන් අරන්...” කුමාරසිරි හෙට්ටිගේ කීවේය.


“ආනන්ද හාමුදුරුවන්ගේ හැටි එහෙමනේ. අඩුපාඩු වැරැදි දැක්කාම කතා කරනවා. අපි ඒවා එච්චර ගණන් ගන්න ඕන නෑ. නායක හාමුදුරුවන්ට ඕන ඉක්මනින් වැඩ කෙරෙන්න නේද අපේ හාමුදුරුවනේ..?” අගමැතිවරයා කියද්දී, “අගමැතිතුමනි, ඔබතුමා ටිකක් වටපිටාව ගැන සෙවිල්ලෙන් ඉන්න. සමහර ඇමැතිවරුන්, නිලධාරීන් වැඩ කරන විදිය එච්චර හොඳ නෑ. ඒක ජනතාව ආණ්ඩුව ගැන කලකිරීමට ලොකු හේතුවක්...” ආනන්ද හිමියෝ කීහ.

 


විපක්‍ෂ නායක සජිත් අනුරාධපුරයේදී ආගමික වතාවත්වල


විපක්‍ෂ නායක සජිත්  ප්‍රේමදාස මහතා පසුගිය සතියේ අනුරාධපුර විහාරස්ථාන කිහිපයකටම ගොස් මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාදය ලබාගත්තේය. ඒ සමගම ඔහු එම විහාරස්ථානවල අඩුපාඩුකම් සොයා බැලීමට ද අමතක නොකළේය.


මේ අතර දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන කොරෝනා ව්‍යසනය පිළිබඳව ද ඔහු සිය අවධානය යොමු කළේය.
අනුරාධපුර ඉසුරුමුණි විහාරයට ගිය සජිත් මතව ශ්‍රී සංඝරක්ඛිත සුමංගල නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.


විපක්‍ෂ නායකයා විහාරස්ථාන පරිශ්‍රයේ සිට පිටතට එනවිට බොහෝදෙනෙක් විහාරස්ථානයෙන් පිටත රැඳී සිටියහ.


“ඒ දවස්වල මුල ඉඳලම ඔබතුමා කියපු දේ දැන් ඇත්ත වෙලා. බොරු පොරොන්දු දීලා බලය ගත්තාට දැන් පේනවා ඇත්ත.”


පැමිණ සිටි අයෙක් සජිත්ට කීවේ ගිය මැතිවරණයේදී පොහොට්ටුවට තමන් උදව් කළ බව ද කියමිනි.
“ආණ්ඩුව හිතුවට ජනතාව හැමදාම රවට්ටන්න පුළුවන් කියලා ඒක බොරු. කොයි ආණ්‍ඩුවටත් වැරැදුණේ ජනතා ප්‍රශ්න අමතක කරපුවාමයි...” සජිත් කීවේය.


සජිත් ඉසුරුමුණිය විහාරස්ථානයට ආ බව සැලවූ මාධ්‍යවේදීන් පිරිසක් ද එහි පැමිණ සිටියහ. ආණ්ඩුව ප්‍රමුඛතාවය දී ඇත්තේ අවශ්‍ය දේට නොව අනවශ්‍ය දේට බවත් අඩු තරමේ නව සෞඛ්‍ය පනතක් සහ නව නිරෝධායන පනතක් ගෙන එන්නටවත් වුවමනාවක් ආණ්‍ඩුවට නැති බවත් සජිත් එහිදී කීවේය.
“තවම තියෙන්නේ සුද්දා ගෙනාපු නිරෝධායන නීති. ආණ්‍ඩුවට 19 වෙනස් කරන්න තිබ්බ හදිස්සිය අලුත් නිරෝධායන පනතක් ගේන්න තිබ්බේ නැහැ...” සජිත් කීවේය.

 


ඊට පසුදා සජිත් ගියේ මිරිසවැටිය විහාරස්ථානයටය.


“සර්, මෙන්න කොරෝනාවලට ආණ්‍ඩුව බෙහෙතක් සොයාගෙන...” සජිත් අසල සිටි රෝහණ බණ්ඩාර කීවේ සිය ජංගම දුරකතනය පෙන්වමිනි. සජිත් කුතුහලයෙන් යුතුව එදෙස බැලුවේය. එහි වූයේ සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් ගංගාවලට කළ ගෙඩි විසි කරන වීඩියෝවකි.


“සර්, මෙහෙමයි ආණ්‍ඩුව කොරෝනා තුරන් කරන්න හදන්නේ...” රෝහණ කීවේය.
“විශ්වාසවලට අපි නිගරු කරන්න හොඳ නැහැ. හැබැයි ජනාධිපතිවරණය කාලේ මණිඅක්ඛිත නා රජු බෝතලේකට දාගෙන ඇවිත් ඡන්දය ගත්ත සමහරුනෙ හිටියේ...” සජිත් කීවේය.
“හැබැයි අද රෝහල්වල අප්‍රමාණ ගැටලු. ජනතාව පුදුමාකාර දුකක් විඳින්නේ. ඒවා ගැන හිතන්නේ නැතිව කළ ගෙඩි දාලා හරියන්නේ නෑ...”සජිත් තවදුරටත් කීවේය.


විපක්‍ෂ නායක සජිත් පසුගිය දා පාර්ලිමේන්තුවේදී කළ කතාව පිළිබඳව බොහෝදෙනෙක් සිය ප්‍රසාදය සජිත්ට පළ කළේය. ඔහු පැයකට වැඩි කාලයක් හරවත් තර්කානුකූල කතාවක් කළේය.


“ජනවාරි 24 වැනිදා ඉඳලා අද දවස දක්වා මේ සම්බන්ධයෙන් මම ඉදිරිපත් කරපු කරුණු සියල්ලක්ම රට ඉදිරියේ සත්‍යය බවට පත්වෙලා තියෙනවා. නමුත් යෝජනා ඉදිරිපත් කරන විට හැම වෙලාවෙම අපට මඩ ගැහුවා. චරිත ඝාතනය කළා. කමක්නැහැ.


මඩ ගැසීමෙන් චරිත ඝාතනයෙන් යම් තාවකාලික වින්දනයක් ලැබුවාට ප්‍රශ්නයක් නැහැ...” යැයි සිය කතාවෙන් සජිත් කීවේය.


“මම මේ මොහොතේ මතක් කරන්න කැමැතියි ලෝකේ සාර්ථකව කොරෝනා මැඩපවත්වපු රටක් විදිහට නවසීලන්තයේ කතාවක්. විදෙස්ගත වෙලා හිටපු නවසීලන්තයේ දෙදෙනෙක් නැවත නවසීලන්තයට පැමිණියා. ඒ ආව බව සොයා ගන්න බැරිවෙච්ච නිසා ඒ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා ඉල්ලා අස් වුණා. එහෙම පූර්වාදර්ශ තමයි අපි දැක්කේ...”


ආණ්‍ඩුව කොරෝනා උවදුර සිය දේශපාලන වුවමනාවන් වෙනුවෙන් භාවිත කළ අයුරු සජිත් පැහැදිලි කළේය.
“මුළු කතාවම හරවත්. අපි දන්නවා, ඔබතුමා මුල ඉඳලාම මේ අනතුර ගැන කීවා...” කොළඹ ප්‍රකට හිමිනමක් සජිත්ට කීවේය.


“විපක්‍ෂයේ භූමිකාව වෙන්නේ නෑ කියලා එජාපයේ හාදයෙක් කියලා තිබුණා. අපි දන්නවානේ එයාලගේ භූමිකාව...” එහෙම කීවේ නලින් බණ්‍ඩාරය.


“ලෝකෙ ගිනි ගත්තත් වගේ වගක් නැතිව හිටිය අය අද පුස් වෙඩි තියනවා. සමගි ජන බලවේගය තරම් ජනතාවාදී විපක්‍ෂයක් තව තියෙනවා ද?” හේෂා කීවේය.


“ඔව්, අද ඔබතුමාගේ කතාවෙන් ආණ්‍ඩුව හෙල්ලුණා...” නලින් කීවේය.


“සමගි ජන බලවේගය අතෑරලා යනවා කියලා බොරු ප්ලාන්ට් කරපු අයට තරු පෙනෙන වැඩක් මයන්ත කරලා...” තිස්ස අත්තනායක සජිත්ට කීවේය.
“ඔව්, මයන්ත ලොකු අභියෝගයක් කළා. ඔය බොරු ප්ලාන්ට් කරන අයට එහෙමයි උත්තර දෙන්න ඕන...” සජිත් කීවේය.


“මම ගොඩක් කරුණු සොයා ගත්තා. නඩු දාලා ඒ මුදලුත් පක්‍ෂය ගොඩනංවන්න මම දෙනවා...” මයන්ත කීවේය.


ජනතාව අතරට නොයා විශ්වාසය ගොඩනගන්න බෑ
- එජාප නියෝජ්‍ය නායක රුවන්


බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වූ නිරෝධායන ඇඳිරිනීතිය නිසා පසුගිය සතියේදී එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට වැඩිපුර කාලයක් කොළඹ දිස්ත්‍රික්කයටම කොටු වී සිටීමට සිදුවිය. එහෙත් ඇඳිරිනීතිය තම කටයුතුවලට බාධාවක් කර නොගත් ඔහු තාක්‍ෂණය යොදා ගනිමින් අවශ්‍ය කටයුතු සිදු කරගත්තේය. Zoom තාක්‍ෂණය යොදා ගනිමින් පක්‍ෂයේ ප්‍රධානීන් සමඟ නිතර සාකච්ඡා කළේය.
එකවර කිහිප දෙනා සමඟ ද සාකච්ඡා කළේය. එහිදී සාකච්ඡාවට භාජනය වූ ප්‍රධාන මාතෘකාව වූයේ කොරෝනා වසංගතයේ පැතිරීම, පී.සී.ආර්. පරීක්‍ෂණ නිසි ලෙස සිදු නොවීම හා ඇමෙරිකාවේ ඡන්දය යන කරුණුය.


එහිදී රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ රජය කොරෝනා වසංගතය මැඩපැවැත්වීමට ගත් උත්සාහයට වඩා වැඩි උත්සාහයක් විසිවැනි සංශෝධනය සම්මත කරගැනීම සඳහා ගත් බවය. රටේ ජනතාව බොහොමයක් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නැති බවට චෝදනා කරන රජය පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා චීනයෙන් ලබාදුන් යන්ත්‍රය පිළිබඳව පුහුණුවක් ලබා නොගැනීම පිළිබඳව ද විජයවර්ධන මහතා පෙන්වා දුන්නේය.


පසුගිය පුන් පොහොය නිමිත්තෙන් සිරිකොත මන්දිරයේ ධර්ම දේශනාවක් සංවිධානය කළ රුවන් විජයවර්ධන මහතා ඒ ධර්ම දේශනාව පැවැත්වීමට ආරාධනා කළේ හීනටිගල ඉන්ද්‍රවංශ හිමියන්ටය. නාගරික මන්ත්‍රීවරු කිහිපදෙනෙක් හා ලක්වනිතා සංවිධානයේ සාමාජිකාවෝ කිහිපදෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


ධර්ම දේශනාවෙන් පසු පැමිණ සිටි පිරිස සමඟ කතාබහ කළ විජයවර්ධන මහතා ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂය මෙයට වඩා ජනතාව අතරට යා යුතු බවයි. එසේ නොමැතිව ජනතා විශ්වාසය ගොඩනඟා ගැනීමට නොහැකි වන බැවින් හැකිතාක් ජනතාවට ළං වී කටයුතු කළ යුතු බව ද විජයවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේය.


ඒ අතර රනිල් වික්‍රමසිංහ මහතා රුවන්ට දුරකතනයෙන් කතා කර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලෙසට උපදෙස් දුන්නේය. කොළඹ නිවසේ සිට තාක්‍ෂණය යොදා ගනිමින් මාධ්‍ය සාකච්ඡාව පැවැත්වූ විජයවර්ධන මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදුන්නේය.

 

 

-ගජබා-



අදහස් (0)

ආධාර බෙදන්න බැසිල් එයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 135 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 403 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 239 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 333 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1448 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site