IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලි​ෙම්න්තුවේ ඉඩ මදිවෙයි

 

  • අලුත් මන්ත්‍රීන්ට විපක්ෂයෙන් වැඩමුළුවක්

 

 

මාස හයකට ආසන්න දීර්ඝ කාලයකින් පසුව පාර්ලිමේන්තුව ඉකුත් සතියේ රැස්විය. මෙවර විශේෂත්වය නම් 1947 සිටම පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට සහභාගි නොවීමය. මෙවර මහ මැතිවරණයෙන් අන්ත පරාජයකට පත් වූ එක්සත් ජාතික පක්ෂයට එකදු මන්ත්‍රී ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වූ අතර යන්තමින් හෝ ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පමණි. එසේ වුව ද 9 වැනි පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට පෙර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පවා කිසිවකුත් පත්කර ගැනීමට එජාපයට නොහැකි විය.


පළමු කැබිනට්ටුවට ජනපතිගෙන් උපදෙස් මාලාවක්


නව රජයේ පළමු කැබිනට් රැස්වීම ගිය බද‌ාද‌ා උදේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වූවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර කැබිනට්ටුවට ඇමැතිවරු සියලු දෙනාම සහභාගි වූහ. ජනාධිපතිවරයා ඔවුන් පිළිගත්තේ මැතිවරණයෙන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ගැන ස්තූතිය පළකරමිනි. 


මංගල කැබිනට් රැස්වීමට පළමු කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරනු ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි. ඒ ඇමැතිවරුන්ට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ දී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඇතුළත් කැබිනට් පත්‍රිකාවකි. කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළ යුතු ආකාරය කැබිනට්ටුවට ගෙන ආ යුතු යෝජනා, නොගෙනා යුතු යෝජනා ආදිය ගැන දීර්ඝ විස්තරයක් එමගින් ඉදිරිපත් කර තිබිණි. ජනාධිපතිවරයා තවත් විශේෂ කැබිනට් පත්‍රිකා දෙකක් ද ඉදිරිපත් කළේය. ඉන් එකක් තවත් උපාධිධාරීන් 10,000 කට රැකියා ලබා දීමේ කැබිනට් පත්‍රිකාවකි. දෙවැන්න රාජ්‍ය ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශවලට ලේකම්වරුන් පත්කිරීමේ යෝජනාවකි. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ මේ වසරේ සැප්තැම්බර් 1 වැනිද‌ා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රජයේ වියදම් පියවීමට අදාළ අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ කැබිනට් පත්‍රිකාවකි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග පසුගිය මාස කිහිපයේම රජයේ වියදම් පියවා ගැනීමට ඒකාබද්ධ අරමුදලින් මුදල් වියදම් කළේ ජනාධිපතිවරයා විසින් භාණ්ඩාගාර ලේකම්වරයාට බලය පවරමිනි. රජයේ අපේක්ෂාව වී තිබුණේ නව පාර්ලිමේන්තුව පත්වීමෙන් පසුව මේ වසරට අද‌ාළ අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමය. එහෙත් කොරෝනා නිසා ඡන්දය නොසිතූ අන්දමින් කල් ගියේය. ඒ නිසා මේ වසරට අද‌ාළ වියදම් පියවා ගැනීමට අයවැයක් සම්මත කර ගැනීමට නොහැකි විය. අලුතින් අමාත්‍යාංශ සකස් කර ඇති නිසා කඩිනමින් අයවැය හැදීමේ හැකියාවක් ද නැත. ඒ නිසා සිදුව ඇත්තේ මේ වසරේ ඉතිරි මාස කීපයට ද අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන්කර ආණ්ඩුවේ කටයුතු කරගෙන යාමය.


හැමෝටම එපා වූ 19 අහෝසි වෙයි


දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යහපාලන ආණ්ඩුව පත් වූ විගසම පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගත් ව්‍යවස්ථා සංශෝධනයකි. ඊට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් 215 දෙනකු පමණ ඡන්දය දී සම්මත කර ගත්තේ එමගින් විශාල පරිවර්තනයක් සිදුවන බව කියමිනි. අවසානයේ සිදු වූයේ ඊට මුල් වූ අයම 19 වැනි සංශෝධනය රටට සාපයක් බව කීමය. ඒ නිසා වත්මන් ආණ්ඩුව දිගින් දිගටම කීවේ 19 අහෝසි කරන බවය. ඊට අදාළ කැබිනට් සංදේශය ගිය බද‌ාද‌ා පළමු කැබිනට් රැස්වීමටම ඉදිරිපත් කළේ 19 අහෝසි කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකන බැවිනි. යෝජනාව ඉදිරිපත් කර තිබුණේ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතාය. 19 අහෝසි කර 20 වැනි සංශෝධනය ගෙන ඒමටත්, අනතුරුව නව ව්‍යවස්ථාවක් ගෙන ඒමටත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.


මේ අතර සම කැබිනට් ප්‍රකාශකවරු තිදෙනෙක් ද ජනාධිපතිවරයා විසින් පත්කරනු ලැබූහ. ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, බලශක්ති ඇමැති උදය ගම්මන්පිල සහ වැවිලි ඇමැති රමේෂ් පතිරණ ඊට පත්වූහ.


ණ්ඩුවේ මන්ත්‍රී රැස්වීමට ජනාධිපති කාර්යාලයේත් ඉඩ මදිවෙයි


ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගිය බද‌ාද‌ා සවස ජනාධිපති කාර්යාලයේ දී රැස්වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පැවැති රැස්වීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සියලු දෙනාම සහභාගි වූහ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම 150 කට ආසන්න නිසා රැස්වීම් ශාලාවේ පහත මාලයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවීය. ඒ නිසා මන්ත්‍රීවරුන් විශාල පිරිසකට රැස්වීම් ශාලාවේ ඉහළ මාලයේ අසුන්වලට යාමට සිදුවිය. 


ආගම සිහිකිරීමෙන් හා මියගිය රණවිරුවන් සිහි කිරීමෙන් අනතුරුව, ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සුබ පතමිනි. පොදුජන පෙරමුණ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට හැකි ලෙස මැතිවරණය ජයග්‍රහණය කිරීම ගැන ජනාධිපතිවරයා හැමෝටම ස්තූතිය පළ කළේය. කතානායකවරයා ලෙස මහින්ද යාපා අබේවර්ධන ද නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය ද නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් ද සභානායක ලෙස දිනේෂ් ගුණවර්ධන ද ආණ්ඩු පක්ෂ සංවිධායක ලෙස ජොන්ස්ටන් ප්‍රනාන්දු ද පත් කරන්නට තීරණය කර ඇති බව ජනාධිපතිවරයා මන්ත්‍රී කණ්ඩායමට දන්වා සිටියේ මැති ඇමැතිවරුන්ගේ අත්පොළසන් මැදය. අනතුරුව අගමැති මහින්ද කතා කළේ ද පොදුජන පෙරමුණ ලැබූ විශිෂ්ට ජයග්‍රහණය ගැන සතුට පළකරමිනි. පසුගිය ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පාර්ලිමේන්තු ආවේ නැහැ කියල චෝදනාවකුත් තිබුණා. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට උත්තර දුන්නෙත් නැහැ. අපේ මේ පාර්ලිමේන්තුවට එහෙම වෙන්න දෙන්න බෑ. ඒ නිසා හැමෝම පාර්ලිමේන්තුවට ඇවිත් ඉන්න යැයි අගමැතිවරයා කීවේ ඉල්ලීමක් ද කරමිනි. හිටපු ජනපති මෛත්‍රී ද ආණ්ඩු පක්ෂ රැස්වීමට පැමිණ සිටියේය.


ආණ්ඩුවේ මන්ත්‍රීලා 30 ක් විපක්ෂයේ අසුන් වල


ඉකුත් 5 වැනිදා පැවැති මැතිවරණයෙන් තේරී පත් වූ නව පාර්ලිමේන්තුව ගිය බ්‍රහස්පතින්දා විවෘත වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර පාර්ලිමේන්තුව විශේෂ කාරණා කීපයකි. එකක් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් ගණන මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකි. 


සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව ඡන්දයෙන් මෙතරම් මන්ත්‍රී සංඛ්‍යාවක් තනි පක්ෂයකට හිමි වූ පළමු අවස්ථාව මෙය වේ. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය පැත්තේ අසුන් ගණන 120 කි. මේ නිසා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 30 දෙනකුට පමණ අසුන් ගන්නට සිදුව ඇත්තේ විපක්ෂයේ අසුන්වලය. පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වූ ඉකුත් බ්‍රහස්පතින්දා උදේ මන්ත්‍රීවරුන්ට කැමති ආසනයක ඉඳගන්නට අවස්ථාව දී තිබුණේ ආසන වෙන් නොකළ බැවිනි. මේ නිසා උදය ගම්මන්පිල, විමල් වීරවංශ, නාමල් රාජපක්ෂ ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනෙකු ද විපක්ෂයේ පසු පෙළ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි. මෙවර පාර්ලිමේන්තුවේ තාත්තලා පුතාලා ද අට දෙනෙකි. අගමැති මහින්ද රාජපක්ෂ, ඇමති නාමල් රාජපක්ෂ, ඇමැති චමල් රාජපක්ෂ, රාජ්‍ය ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ, ඇමැති දිනේෂ් ගුණවර්ධන, මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඒ පිය පුතු අට දෙනාය. චමල් සිය පුත් ශෂින්ද්‍ර සමග සභාවට පැමිණි අතර, ජනක සිය පුත් ප්‍රමිත සමග සභාවට ආවේය. ජනක පැමිණ සිය අසුනේ ඉඳගත් පසුව ප්‍රමිත බුලත් අතක් දී සභාව මැද දණ ගසා වැන්ඳේ මන්ත්‍රීකමට එහා ගිය පිය සෙනෙහස ඉස්මතු වූ බැවිනි.


මෛත්‍රී, මැති සබේ සුපුරුදු පුටුවට එයි


මෙවර මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව ඇත්තේ ඔහු මීට පෙර ඇමැති ලෙස සිටියදී පාර්ලිමේන්තුවේ අසුන් ගත් අසුනමය. ඔහු සෞඛ්‍ය ඇමැති ලෙස සිටියද අසුන් ගත්තේ ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ ආරම්භක අසුනයි. ඔහුට මෙවර ද එම අසුනම හිමිව තිබේ. කතානායකවරයාත්, නියෝජ්‍ය කතා නායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයාත් පත්කර ගැනීමෙන් අනතුරුව සභාව ටික වේලාවක් පවත්වාගෙන ගියේ නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට සුබ පැතීම වෙනුවෙනි. අගමැති මහින්දත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාසත් ඇතුළුව පක්ෂ නායකයෝ 15 දෙනෙක් නව කතා නායකවරයාට සුබ පතමින් කතා කළහ.


අගමැති මහින්දත්, වාසුදේව නානායක්කාරත් හැරුණු විට පාර්ලිමේන්තුවේ පැරණිම මන්ත්‍රීවරයා මහින්ද යාපාය. 1983 හක්මණ අතුරු මැතිවරණයෙන් එජාපයෙන් පාර්ලිමේන්තුවට පළමු වරට පත්වූ මහින්ද යාපා මන්ත්‍රීකමට ආයුබෝවන් කියා ගෙදර ගියේ 1987 ගෙනා ඉන්දු ලංකා, ගිවිසුමට විරුද්ධ වෙමිනි. හොඳ මහත්මයකු ලෙස දේශපාලනයේ කා අතරත් ප්‍රසිද්ධ මහින්ද යාපා කලක් දකුණේ මහ ඇමැති ලෙස ද කටයුතු කළේය.


පාර්ලිමේන්තුව බදාදා උදේ රැස්වී සවස 3.00 වන තෙක් කල් තබන ලැබුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සැසිවාරය විවෘත වන බැවිනි. මේ නිසා සමහර මැති ඇමැතිවරු හවස වන තෙක්ම පාර්ලිමේන්තුවේ රැඳී සිටියහ. ඒ අතර නවක මන්ත්‍රීවරුන්ගේ ඇඟිලි සලකුණු ගැනීමත්, ඡායාරූප ගැනීමත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලැබීය. විද්‍යුත් ක්‍රමයට ඡන්දය ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ගේ වමතේ සහ දකුණතේ ඇඟැලි දෙක බැගින් ඇඟිලි හතරක සලකුණු ලබා ගැනුනි. මෙවර පාර්ලිමේන්තුවට පැමිණ සිටින නවක මන්ත්‍රීවරුන් ගණන 81 කි.


පාර්ලිමේන්තු නව සැසිවාරය විවෘත කිරීමට ජනපති ගෝඨාභය ආවේ අලුත් ආදර්ශයක් ද සපයමිනි. වෙනදා මෙන් ජනාධිපතිවරයා පැමිණි රථ පෙළපාළි, සංදර්ශන ආදිය මෙවර නොවීය. ජනාධිපතිවරයා සිය බිරිය ද සමග තනි වාහනයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතර, ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් සූදානම් කර තිබුණේ ද චාම් උත්සවයකි. එය බොහෝ දෙනාගේ අවධානයටත්, ප්‍රසංශාවටත් ලක් වූවකි. ජනාධිපතිවරයා සිය රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කළ කතාව ද බොහෝ දෙනාගේ ඇගැයීමට ලක්විය. රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් ගෙන එන බව කී ජනාධිපතිවරයා එය එක රටක් එක නීතියක් යන සංකල්පය අනුව ගෙන එන බව කීවේය. රජයේ අමාත්‍යාංශ හා රාජ්‍ය ආයතන අනවශ්‍ය කාර්ය මණ්ඩලවලින් පුරවන්නේ නැතැයි කී ජනාධිපතිවරයා අමාත්‍යාංශවල ආයතනවල දූෂණයට වංචාවට එරෙහිව තරා තිරම නොබලා කටයුතු කරන බවද කියා සිටියේය. අමාත්‍යාංශවල ඉලක්ක සපුරා ගත නොහැකි නම් තනතුරු වෙනස්කම් ද සිදුකරන බවට ජනාධිපතිවරයා අනතුරු ඇඟවීය.


ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රීලනිපයෙන් කමිටුවක්


19 වැනි සංශෝධනය ඉවත් කර 20 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒම ආණ්ඩුවේ ප්‍රමුඛතම කාර්යයක් බවට දැනටමත් හඳුනාගෙන ඇත. ඒ සමගම නව ව්‍යවස්ථාවක් ද ගෙන එන බව ආණ්ඩුව කීවේය. ඒ සඳහා ආණ්ඩුව විද්වත් කමිටුවක් ද පත් කළේ අවශ්‍ය නිර්දේශ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ද ගිය බ්‍රහස්පතින්දා හැන්දෑවේ පක්ෂ මූලස්ථානයේදී රැස් වූයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ව්‍යවස්ථා සංශෝධනය එහිද මාතෘකාවක් විය. ඒ සම්බන්ධයෙන් යෝජනා අදහස් ඉදිරිපත් කිරීමට ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද එහිදී පත් කරනු ලැබීය.


ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිප තරුණ සංගම් සභාපති පදවියෙන් ඉවත් වෙයි


ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී ශ්‍රීලනිප තරුණ සංවිධානයේ සභාපති ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා එම ධුරයෙන් ඉවත් විය.


‘‘මම ශ්‍රීලනිප තරුණ සංවිධානයට බැඳුණේ මෙයට වසර 28 කට කලින්. පසුගිය වසර හතරම මම සභාපති ධුරයේ කටයුතු කළා. තවදුරටත් මම එම තනතුර දරණ එක හරි නෑ. අලුත් කෙනකුට ඉඩ දෙන්න මම එම තනතුරෙන් ඉවත් වෙනවා.’’ ශාන්ත එසේ කියා එම තනතුරෙන් ඉවත් වුණේය. හිටපු ජනපති මෛත්‍රී එම තීන්දුවට එතරම් කැමැති නොවූවත් ශාන්ත තම ඉල්ලා ඉස්වීමේ ලිපිය භාර දුන්නේය.


සිරිකොතට කඩාවැදුණු භික්ෂූන් වහන්සේලා


එජාප ජාතික ලැයිස්තුවට අද‌ාළ නම යැවීම පසුගිය 15 වැනි සිකුරාද‌ායින් අවසන් වීමට තිබුණ ද එජාප ය ඒ සඳහා කල් ගෙන තිබේ. එසේ නොවුවා නම් එජාපය විසින් මැතිවරණ කොමිසම වෙත යවනු ලැබූ ලැයිස්තුවේ මුල් නම ලෙස තිබූ ජෝන් අමරතුංග මන්ත්‍රී ධුරය සඳහා පත් කිරීමට ඉඩකඩ තිබිණ.


කෙසේ වෙතත් එජාප නායක හා කෘත්‍යාධිකාරි මණ්ඩලය මන්ත්‍රී ධුරයට අද‌ාළ නමක් තීන්දු කිරීමෙන් පසු එය කොමිසමට යැවීමට නියමිතය.


එජාප නායකත්ව සටන තවදුරටත් නොනිමි අරගලය බවට පත්ව තිබෙන පසුබිමක හා 08 දෙනෙකු ඒ සඳහා තරග වදින පසුබිමක වත්මන් නායක තවදුරටත් රැඳී සිටීමට තීන්දු කර තිබේ. එසේම එජාපය තුළ මේ වන විට සිටින සියලු දෙනා පරාජිතයන් වන හෙයින් පරාජිතයකුට නායකත්වය බාර දීම පක්ෂයේ අනාගතයට කෙසේ බලපාවි ද යන්න පිළිබඳවත් එජාපය තුළ පුළුල් සංවාදය ඇරඹී තිබේ.


එවැනි පසුබිමක බද‌ාද‌ා සිරිකොතට පැමිණි තිනියාවල පාලිත, බෝපිටියේ ධම්මිස්සර ඇතුළු හිමිවරුන් 15 දෙනෙකු නායක හමු වී ලිපියක් බාර දී ඉල්ලා සිටියේ නායක අපේක්ෂා නොකළ ​ඉල්ලීමකි.


‘ඔබතුමා වසර 26 ක් නායකත්වයේ හිටියා. පාක්ෂිකයන් පැතූ ජයග්‍රහණ ගන්න බැරි වුණා පමණක් නොවෙයි ලැබූ ජයග්‍රහණ රැක ගැනීමටත් නොහැකි වූ නිසා දැන් ඉවත් වී කරු ජයසූරිය මහතාට නායකත්වය බාර දෙන්න. ඊට අද‌ාළව මේ ලිපියට වහාම අත්සන් කර අපට බාර දෙන්න.’ හිමිවරු ඉල්ලූහ.


ඒ ඉල්ලීමෙන් වික්ෂිප්ත වූ නායක රනිල් ලිපිය පසෙක තබා කරුණු පැහැදිලි කරන්න විය.
‘ඔබ වහන්සේලා කරු ජයසූරිය මහතා ගැන කතා කරන්න ද ආවේ? නායකත්වය ගැන මෙහෙම දෙයක් මට දැනුම් දී තිබුණෙත් නැහැ. කෘත්‍යාධිකාරියට අනෙක් නම් ආවා වගේ කරුගේ නමත් එකතු කරන එක ප්‍රශ්නෙකුත් නොවෙයි. නායකත්වය තීන්දු කරන්නේ මා නොවෙයි. කෘත්‍යාධිකාරියයි. එතනදීත් අවම වශයෙන් මාස දෙකක්වත් කල් යනවා.’ එාජප නායක පැහැදිලි කළේය.


ඒ අවස්ථාවේ එහි සිටි සාගල ඇතුළු පිරිසක් එම ස්වාමීන් වහන්සේලා නායක වෙතින් ඉවත් වූ පසුව කිසියම් වීඩියෝ පටයක් උන් වහන්සේලාට ප්‍රදර්ශනය කළ බවට ද ආරංචි පවතී. ඉන් පෙන්නුම් කළේ කරු පසුගිය මහා මැතිවරණයට දුරකථනයෙන් කොළඹ දිසාවට තරග වැදුණු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අයුරුය.


එජාපයට එරෙහිව කැඩී ගිය පක්ෂයක අපේක්ෂකයන් වෙනුවෙන් පෙනී සිටි අයෙකු දැන් එජාප නායකත්වය ඉල්ලීම ගැටලු සහගත නොවේදැයි ඔවුහු උන් වහන්සේලාගෙන් ප්‍රශ්න කළෝය. එතනින් ඉවත්ව ගිය උන් වහන්සේලා මාධ්‍ය හමුව කැඳවා එජාප නායකට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ඉන් අනතුරුවය.


‘එජාප නායකත්වය ස්වාමීන් වහන්සේලාට සලකනවා මදියි. ඒ නිසා අප වත්මන් ආණ්ඩුවේ නායකත්වය සමග භික්ෂුන් 14,000 ම එකතු කර දෙනවා.’ උන් වහන්සේලා පැවැසූහ. 
එම සිද්ධිය සම්බන්ධයෙන් එජාප මතය එසේ වුවත් එජාපයට හිතවත් මහා සංඝරත්නයේ මතය වෙනස් එකකි.


ඔවුන් කියන්නේ තිනියාවල පාලිත, බෝපිටියේ ධම්මිස්සර ඇතුළු ත්‍රෛනිකායික බෞද්ධ හිමිවරුන් 15 ක් පමණ සිරිකොතට කඩා වැදී වහාම පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එය දේශමාන්‍ය කරු ජයසූරියට පවරන ලෙස රනිල්ට බල කළ බවය. ඒ සම්බන්ධයෙන් ලිඛිත සහතිකයක් තමන් වෙත ලබා දෙන ලෙස ද ඔවුහු රනිල්ට කියා සිටියහ.


රනිල් වික්‍රමසිංහ හිමිවරුන්ගේ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් කරුට එරෙහිව වෙනත් චෝදනාවක් එල්ල කළේය. ඒ නම් පසුගිය මැතිවරණයේ දී සජබයෙන් තරග කළ එරංග වැලිඅංගේ විසින් සමාජ ජාලාවල ප්‍රචාරය කරන ලද වීඩියෝවකි. රනිල් කියා සිටියේ වෙනත් පක්ෂයක අයෙක් ප්‍රවර්ධනය කළ අයෙකුට එජාප නායකත්වය දිය නොහැකි බවයි. එකී වීඩියෝවේ කොතැනකවත් ටෙලිෆෝනයට ඡන්දය දෙන්නැයි කරු ජයසූරිය නොකියයි. ඔහු කියන්නේ එරන්ද වැලිඅංගේ තරුණ සේවා සභාවේ සභාපති ලෙස තරුණයන්ට සේවයක් කළ අයෙක් බවත් වැලිඅංගේ කට පුරා මන්ත්‍රීතුමා යැයි පැවැසිය හැකි අයෙක් බව යැයි අද‌ාළ හිමිවරු කියති.


එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව වෙනත් තරගකාරී පක්ෂයක අපේකෂකයෙකු ප්‍රවර්ධනය කිරීම වරදක් යැයි කියමින් කරු ජයසූරියට එරෙහිව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කියමින් කරු ජයසූරිය ද නායක අර්බුදය තුළ සිරකර තැබීම රනිල්-වජිර කල්ලියේ අරමුණ වී ඇතැයි ද මේ පාර්ශ්වයේ අය කියති.


මේ අතර හිටපු කතානායක කරු ජයසුරිය මහතා තරුණ සේවා සභාවේ හිටපු සභාපති එරංග වැලිඅංගේ මහතා අගයමින් ප්‍රකාශය කළේ සමගි ජන බලවේගය නමින් දේශපාලන පක්ෂ පිහිටුවීමට පෙරදී යයි කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


2019 වසරේ සැප්තැම්බර් 3 වැනිදා වැලිඅංගේ මහතා කළ ඉල්ලීමකට අනුව කරු ජයසූරිය මහතා අදාළ ප්‍රකාශය කළ බවද එකල එක්සත් ජාතික පක්ෂයේ දෙකඩ වීමක් නොතිබූ අතර වැලිඅංගේ මහතා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග ඉතා සමීපව කටයුතු කරමින් සිටි බවද මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.


විපක්ෂ වැඩමුළුව


සමගි ජන බලවේගයෙන් මෙවර පාර්ලිමේන්තුවට පත්වූ මන්ත්‍රීවරුන් හා හිටපු මන්ත්‍රීවරු සහභාගි කරගෙන පසුගිය සතියේ දී දේශපාලන වැඩමුළුවක් පැවැත්වුණේ කොළඹ දීය. පක්ෂයේ ඉදිරි වැඩ කටයුතු ගැන මෙන්ම පාර්ලිමේන්තුවේ කටයුතු ගැන ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරගැනීම මෙම වැඩමුළුවේ අරමුණ වී තිබුණි.


වැඩ මුළුව ආරම්භ වූයේම පැමිණි මන්ත්‍රීවරුන් කණ්ඩායම් අටකට වෙන් කරමිනි. එක් එක් කණ්ඩායමට ඉදිරි වැඩපිළිවෙළ ගැන අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලබාදුන්නේය. මන්ත්‍රීවරු තමන්ගේ පුද්ගලික අදහස් සාකච්ඡා කර කණ්ඩායමක් ලෙස පොදු ඉදිරිපත් කිරීමකට සූදානම් වන විටම සජිත් වැඩමුළුව පැවැත්වූ ශාලාවට පැමිණියේය. සජිත් පැමිණ මේසයෙන් මේසයට ගොස් මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබාගත්තේය. මුලින්ම ඔහු ගියේ මයන්ත දිසානායක, බුද්ධික පතිරණ, රෝහිණී කවිරත්න ඇතුළු මන්ත්‍රීවරු සිටි මේසයටය. ඉන්පසුව ඉමිටියාස් බාකීර් මාකර්, තලතා අතුකෝරළ, හරින් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර සිටි මේසයට සජිත් ආවේය. මනුෂ සිය කණ්ඩායමේ අදහස් ඉදිරිපත් කළේ විශාල ප්‍රමාණයේ කොළවල අදහස් ලියා පෙන්වමිනි.


එක් එක් කණ්ඩායම් තමන්ගේ අදහස් ඉදිරිපත් කරන විට සජිත් ඒ සියල්ල උනන්දුවෙන් අසා සිටියා පමණක් නොව සටහන් පොතක් රැගෙන විත් ඒවා සටහන් කරගැනීමට ද අමතක කළේ නැත. කණ්ඩායම් සිය අදහස් ඉදිරිපත් කිරීමෙන් පසුව කිහිප දෙනෙක් කලින් සූදානම් කරගෙන පැමිණි ඉදිරිපත් කිරීම් කළේය. මුල්ම ඉදිරිපත් කිරීම කළේ කබීර් හෂීම් ය. ඔහු එම ඉදිරිපත් කිරීම කරන විට සභාව මෙහෙය වූයේ ඉරාන් වික්‍රමරත්නය. හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු වරප්‍රසාද ගැන ඉදිරිපත් කිරීමක් කළේය. ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජන බලවේගය පෙළ ගැස්විය යුතු ආකාරය ගැන අදහස් දැක්වූයේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය.


“යොවුන් පෙරමුණ අපි බලගැන්විය යුතුයි. නවීන දේශපාලන උපාය උපක්‍රම අනුව පක්ෂයක් ලෙස ඉදිරියට යා යුතුයි”‍ රාජිත සේනාරත්න අදහස් දැක්වූයේ තමන්ගේ දේශපාලන අත්දැකීම් ද සමගය.


සජිත් කතා කළේ මේ සියලු‍ම කතාවලට පසුවය.


“අපි ඉතාම කෙටි කාලයක් ඇතුළත සැලකිය යුතු බලයක් ලබාගෙන තිබෙනවා. අපි තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. මට විශේෂිත චරිත හෝ පුද්ගලයින් නැහැ. මම හැම වෙලාවේම දක්ෂයාට තැන දෙනවා. හොඳට දුවන කෙනාට, දක්ෂ කෙනාට කොන්දේසි විරහිතව මම තැන දෙනවා”‍ සජිත් කීවේ පක්ෂය තුළ දක්ෂයින්ට අවස්ථාව ලබාදෙන වැඩපිළිවෙළක් නිර්මාණය කරන බවට සහතික වෙමිනි.


සමගි ජන බලවේගයේ මංගල පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැත්වුණේ මේ වැඩමුළුවෙන් පසුවය. වැඩමුළුවෙන් පසුව දිවා ආහාරය සූදානම් කර තිබූ අතර ඉන්පසුව පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම ආරම්භ විය. පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතු ගැන එහිදී අදහස් හුවමාරු විය.


“පාර්ලිමේන්තුව රැස්වුණාට පස්සේ කතානායකවරයෙක් පත් කිරීමේ අවස්ථාව විශේෂිතයි. අපි මේ ගැන අවධානය යොමු කළ යුතුයි”‍ තිස්ස අත්තනායක කීවේය.


“ආණ්ඩුවට කැමැති අයෙක්ට කතානායක ධුරය ලබාදෙන්න කියමු. අපි ඒ සඳහා අවස්ථාව දෙමු”‍ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කීවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව කටයුතු කළ යුතු බව අවධාරණය කරමිනි.


“ඒ වුණාට පාර්ලිමේන්තුවේ විපක්ෂයට හිමිවිය යුතු වැදගත් තනතුරු කිහිපයක් තිබෙනවා. ඒවාට ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට පත්වීම් කරන්න දෙන්න බෑ. කෝප් කමිටුවේ සහ කෝපා කමිටුවේ බහුතරය තියෙන්නේ විපක්ෂය අතේ. ඒ නිසා අපි ඒ අවස්ථාව ලබාගත යුතුයි”‍ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහස සජිත් ද අනුමත කළේය.


කණ්ඩායම් රැස්වීම අවසන් කළ සජිත් මන්ත්‍රීවරු සමග සුහදව ආගිය කතා කතාකරමින් බොහෝ වේලාවක් එහි රැඳී සිටියේය.


විපක්ෂ කාර්යාලයට ආ ආණ්ඩුවේ ඇමති දෙපොල 


සජිත් විපක්ෂ නායක කාර්යාලයට නොපැමිණියත් වෙනත් අමුත්තන් දෙදෙනෙක් විපක්ෂ නායක කාර්යාලයට පැමිණියහ. ඒ ආණ්ඩු පක්ෂයේ ඇමැතිවරු දෙදෙනෙකි. නිමල් ලංසා සහ පියල් නිශාන්ත සභා ගර්භයේ සිට කතා බස් කරමින් විපක්ෂ නායක කාර්යාලය දෙසට පැමිණියේ පරණ පුරුද්දටමය. ඔවුන් දෙදෙනා කාර්යාලයේ දොරින් ඇතුළුවත්ම නුහුරු නුපුරුදු කණ්ඩායමක් එහි සිටිනු දුටුවෝය. තමන් දැන් සිටින්නේ ආණ්ඩු පක්ෂයේ බව ඔවුන් දෙදෙනාටම වැටහුනේ ඒ වෙලාවේ දීය. විපක්ෂ නායක කාර්යාලයට පැමිණ ඇති බව තේරුම් යාමත් සමග ඔවුන් දෙදෙනාගේ ඇස් උඩගොස් ආපසු හැරුනේ “අපි මේ වැරදි තැනකට ඇවිත් නේ”‍යි කියමිනි.


ඔවුන් දෙදෙනා ගොස් ටික වේලාවකින් එහි පැමිණි මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට විපක්ෂ නායක කාර්යාලයේ සිටි අය මේ කතාව කීවේ රස කරමින්ය.

 

-ගජබා-



අදහස් (0)

ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරුන්ට පාර්ලි​ෙම්න්තුවේ ඉඩ මදිවෙයි

ඔබේ අදහස් එවන්න

කරලියේ කතාබහ

මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 125 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 401 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 238 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 244 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 330 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


ඡන්ද කල්දාන සාස්තර පොත එලියට
2023 ඔක්තෝබර් මස 16 265 0

රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ජනපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site