අද ජුනි 17 වැනිදා ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංවිධානය තම පෞඩ දිවියේ 35 වැනි වසරට පා තබයි. වසර 35ක් යනු දිගු කාලයකි. ඒ දිගු බව වඩාත් ගැඹුරු වෙන්නේ නොපුරුදු දේශයක සංකීර්ණ වාතාවරණයන් මැද්දේ, නොදන්නා භාෂාවක් ඇසුරු කරමින්, එකිනෙකට වෙනස් සංස්කෘතීන් දෙකක් සමඟ ගැටෙමින් ආපදා ව්‍යාධීන්ගෙන් ​තොරව ජීවිතය ජයගන්ට හැකිවීම හේතුවෙනි.  


ඉතිහාස පොත්වල ලියා නොමැති මුත් 70 දශකයේ මුල් කාලයේදී ශ්‍රී ලාංකිකයන් ප්‍රංශයට පා තැබීම ඇරැඹූ බව කියැවේ. ඉරාන ඉරාක යුද සමයේ මේ පැමිණීම වැඩිවුනෙලු. ශ්‍රී ලාංකිකයින් විසින් ඇතිකර ගන්නා ලද බෞද්ධ සංගමය හැරුණු විට වෙනත් කිසිදු ආකාරයක සංගමයක් මේ අවධියේ නොතිබුණි. වඩාත් පුළුල්ව පැතිර ගිය සමාජයීය කාර්යයන් සඳහා කැප වන සංගමයක අවශ්‍යතාව වැඩියෙන් දැනෙන්නට වූයේ 1983 ජුලි ලංකාවේ සිදුවූ සිද්ධීන්වල උණුසුම පැරීසිය දක්වා පැතිරී එම හේතුවෙනි. ආකාර කීපයකින් ම නැගී සිටින සංකීර්ණ තත්ත්වයන් හමුවේ වඩාත් සංවිධානාත්මක ලෙසින් ඒකරාශි වන්නට සිතූ අපේ උන් 1983 වසරේ ප්‍රංශයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංවිධානයට මුල්ගල තැබූහ. එහි මුල්ම සභාපතිවරයා වූයේ ගරු පරවැහැර චන්දරතන හිමියෝය.  


ගෙවී ගිය දශක තුනකට වැඩි කාලයක් ගිය තැන අද ප්‍රංශයේ කැපී පෙනෙන ශ්‍රී ලාංකික සංවිධාන බොහොමයකි. ඒවායින් ඉටුවූ කාර්යය අතිමහත්ය. එමෙන් බිහිවී නොදිගු කාලයකින් කඩා වැටුණු සංගම් සංවිධාන ප්‍රමාණයද ඇති විශාලය. ඒ කෙසේ වෙතත් ප්‍රංශයේ ශ්‍රී ලංකා සංස්කෘතික සංවිධානය ප්‍රංශයේ ශ්‍රී ලාංකික සමාජයට (සිංහල) වැදගත් වන්නේ සංගම්, සංවිධාන බිහි කිරීමේ හා ඒවායේ මනා පැවැත්ම සම්බන්ධයෙන් අගනා මඟ පෙන්වීමක් මේ සංගමය මගින් ලබා දුන් බැවිනි.  


අද බොහෝ දෙනා හඳුන්වන පරිදි “සිංහල සංගමය එවක චන්ද්‍රා කොට්ටච්චි මහතාගේ යෝජනාවකට අනුව “1984 වසරේ අප්‍රේල් 29 වැනිදා ‘මොන්ට්රියෙල්” ප්‍රදේශයේදී ප්‍රංශයේ ප්‍රථම බක්මහ උළෙල පැවැත්වූහ. එය ප්‍රංශයේ පමණක් නොව විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් එළිමහන් ක්‍රීඩාංගණයක දී පවත්වන ලද පළමු බක්මහ උළෙල ලෙස ඉතිහාසයට එක්වී ඇත.  


නොවැළැක්විය හැකි හේතූන් මත ඇතැම් වසරවල නොපැවැත්වුව ද වසර 30කට ආසන්න කාලයක් පුරා වසරකට වරක් වැඩිම ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් එක් රොක්වන මේ උළෙල කරන්නට ඔවුන්ට හැකිවිය. වර්ෂ 1992 දී ආධුනික ගී ප්‍රසංගය ඔවුන් අතින් බිහිවිය.  


සිංහල සංගමයේ අනේක විධ කාර්යයන් අතරින් වඩාත් කැපීපෙ​ෙනන්නේ මරණාධාර සමිතියයි. සමිතියේ සාමාජිකයන්ගේ පවුල්වල සිදුවන වියෝවීම් හමුවේ ආර්ථික වශයෙන් උපකාර කළ මේ පුණ්‍ය ක්‍රියාවලිය මගින් ආධාර ලැබූවන් අති විශාල බව කිව යුතුය.  


ප්‍රංශ රජය පිළිගත් මුල්ම සංවිධානය සිංහල සංගමයයි. කලින් කලට දහස් ගණන් සාමාජිකයන්ගෙන් ඔපවත්වුව, මේ සංගමයේ කාර්යයන් සුවිශේෂි වන්නේ එය ප්‍රංශයේ වාසය කරන ලාංකිකයන්ගේ හුදු සමාජීය සුභ සිද්ධිය උදෙසාම කැපවීමයි. බෞද්ධ විහාරස්ථාන ගොඩනැඟීමේ දී සංගමයෙන් ලැබුණේ අතිමහත් සහායකි. ප්‍රංශයේ වාසය කරන්නට උවමනා නීතිමය බලපත් ලබා ගැනීම වෙනුවෙන් අලුත පැමිණි ලාංකිකයන් සංගමයේ බලධාරීන් සොයා ගියහ. රජයේ පිළිගත් ආයතන සමඟ විශේෂයෙන් වෘත්තීය සමිති සමඟ සමීප සබඳතා ඔවුන් සතුවිය. එය වනාහි යම්කිසි ඉලක්කයක් සපුරා ගන්නට බිහිවී පැවැතුණු සංවිධානයක් නොවේ. විවිධ චරිත ඇත්තෝ, දේශපාලන මතිමතාන්තර දරන්නෝ එහි සාමාජිකත්වය, නිල තල දැරූහ. ඔවුන් අතර වාද විවාද ඇතැම් විටෙක සිත් අමනාපකම් ඇතිවූ බව රහසක් නොවේ. එහෙත් ඒ ශුන්‍ය සිත් රිදවිලිවලින් සංගමයේ අත්තිවාරම ඉරිතලා ගියේ නැත.  


ප්‍රංශය නම් වෙනස් තැනකි. එය අපේ මව්බිම නොවේ. ශ්‍රී ලාංකික අප එහි දෙවැනි ජාතිය බඳුය. සම අයිතිවාසිකම් ලැබුණ ද ගරු කළ යුතු නීති රීති සදාචාර ධර්ම ගණන ඇති විශාලය. සංවිධායක මඩුල්ල ශක්තිමත් නොවේ නම් රජයෙන් ලබාගත හැකි දේ ඇහිරී යයි. උත්සව සංවිධානයේදී ගරු කළ යුතු කොන්දේසි රාශියකි. අඳුර වැටුනු පසු සද්ද නොහැකිය. වෙලාවට ගරු කළ යුතුය.   


සීමාසහිත නිදහසකින් ප්‍රයෝජන ගනිමින් උත්සව සංවිධානය කර පැමිණෙන්නෝ සියලු දෙනා සතුටු කර ආදායම් උපයා ගනිමින්, ඒ ආදායම් සංගමයේ අනාගතය වෙනුවෙන් යොදා යනාදී සියක් කාරණා අපේ නොවන දේශයක දී අපහසු වඩා සංකීර්ණ කාර්යයන් බවට පත් වෙති. ප්‍රංශයේ ශ්‍රී ලංකා සිංහල සංවිධානය සහ එහි නිලධරුවෝ වසර 35ක කාලයක් පුරා මුහුණ දුන්නේ මේ සංකීර්ණ වාතාවරණයටයි.  


35 වසර සමරණ මේ මොහොතේ මෙතෙක් සංගමයේ සිට මිය පරලොව ගිය සියලුම දෙනා සිහිපත් කර අද (17 දා) ඉරිදා ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී දානයමය පුණ්‍ය කර්මයක් සංවිධානය කර ඇත.  

 

 

 


මංජුල සේනාරත්න
ප්‍රංශයේ සිට.