සූර්යයා කේන්ද්‍රකරගත් අපේ ග්‍රහ මණ්ඩලයේ අභ්‍යන්තරයට ගමන්කර, ප්‍රථම වරට සූර්ය රැස්මාලාව නිරීක්ෂණය කිරීම සඳහා උඩුගුවනට යැවීමට චන්ද්‍රිකාවක් යුරෝපා අභ්‍යවකාශ ආයතනය (ඒසා) දැන් සූදානම් කරමින් සිටී. හිරුට කිලෝමීටර ලක්ෂ හාරසිය තිහක කක්ෂයක සිට පර්ෙ‌ය්ෂණයේ  යෙදීමට නියමිත මෙම චන්ද්‍රිකාවේ අනෙකුත් මෙවලම් අතර ප්‍රධානම මෙවලම වෙන්නේ එහි ඇති දුරේක්ෂයයි. මෙම දුරේක්ෂය සැලසුම් කිරීම, දැඩි අධීක්ෂණය යටතේ කාර්මික කොටස් නිෂ්පාදනය කරවීම, ඒවා එක්තැන්කර දුරේක්ෂය නිර්මාණය කිරීමේ ප්‍රායෝගික කාර්යය හා අභ්‍යවකාෂයේ මෙහෙයුම් කාලය තුළ එහි තාක්ෂණික ක්‍රියාකාරිත්වය පිළිබඳව වගකීම ද භාර ඉතාලි අභ්‍යවකාශ ඉංජිනේරුවරුන් හතරදෙනා අතර ශ්‍රී ලාංකික තරුණ අභ්‍යවකාශ යානා ඉංජිනේරුවරයෙක් ද සිටී. ඔහු නමින් නිෂාන්ත ප්‍රගීත් ය. 


හිරු රෂ්මි කදම්භය ගවේෂණය සඳහා අභ්‍යවකාශ ගමන් ඉතිහාසයේ ප්‍රථම වරට අභ්‍යවකාශගත කෙරෙන “සොලා ඕබිටර්” නම් වූ මෙම චන්ද්‍රිකාවේ නමක් හා සළකුණක් ඇති එකම මෙවලම වෙන්නේ මෙම දුරේක්ෂයයි. එය නම්කර ඇත්තේ “මේතිස්” නමින් ය. 


සූර්යයාට සැතපුම් ලක්ෂ ගණනින් ආසන්න වීමේ දී දැනෙන අධික සූර්ය තාපය දුරේක්ෂයේ සංවේදී කාච ඇතුළු අනෙකුත් මෙවලම්වලට අනතුරුදායක වෙන බැවින්, විශේෂ අමුද්‍රව්‍ය හා ක්‍රමවේදයන් භාවිතා කරමින් මෙම දුරේක්ෂය නිර්මාණය කර ඇත. දුරේක්ෂයේ සංවේදී කැමරා කාචයන්ට ඍජු හිරු කිරණ ඔරොත්තු නොදෙන බැවින්, පරාවර්ථන මගින් ලබාගන්නා රූප රාමු ඡායාරූප ලෙස පෘථිවියට (ඉතාලි අභ්‍යවකාශ ආයතනය වෙත) එවනු ඇත. 


අනතුරුදායක සූර්ය පෘෂ්ඨය වළකා හිරු රෂ්මි කදම්භය පමණක් නිරීක්ෂණය කිරීම චන්ද්‍රිකාවේ මෙවලම්වලට පහසු කිරීම සඳහා කෘත්‍රිම සූර්යග්‍රහණ ප්‍රයෝගයක් මගින් සූර්යයාගේ මධ්‍ය ප්‍රදේශය ආවරණය කරමින්, රැස් වළල්ල පමණක් චන්ද්‍රිකාවේ මෙවලම්වලට අනාවරණය කරදීමට හැකි වෙන පරිදි මෙම දුරේක්ෂය නිර්මාණය කිරීමට මෙම අභ්‍යවකාශ ඉංජිනේරුවරු සමත්ව සිටිති. 


මේ වසරේ ඔක්තෝබර් මාසයේ දී ඇමෙරිකාවේ ෆොලොරිඩා ප්‍රාන්තයේ කේප්කැරනවල් හි පිහිටුවා ඇති අභ්‍යවකාශ යානා ගුවන්ගත කරන අට්ටාලයෙන් නාසා ආයතනය විසින් තවත් චන්ද්‍රිකා කීපයක් සමග “සොලා ඕබිටර්” චන්ද්‍රිකාව ද අභ්‍යවකාශගත කරනු ලැබීමට නියමිත ය. හිරුට කි.මී. හාරලක්ෂ තිස්දහසක් පමණ ආසන්නයේ නියමිත කක්ෂය වෙත ළඟා වීමට “සොලා ඕබිටර්” චන්ද්‍රිකාවට වසර තුනහමාරක කාලයක් ගතවෙනු ඇත. චන්ද්‍රිකාවේ සහතික ක්‍රියාත්මක කාලය වසර හතකි. මෙම වසර හත තුළ හිරුගේ තාප කුණාටු හා පිපිරීම් පිළිබඳ සියලුම තොරතුරු දත්ත මගින් හා ඡායාරූප මගින් පෘථිවියට එවීමට මෙම චන්ද්‍රිකාව සමත් ය. 


අභ්‍යවකාශ ඉංජිනේරුවන් විසින් නිපදවා ඇති මේතිස් දුරේක්ෂය, එහි ලාංඡනය හා එම ව්‍යාපෘතියට සහභාගි වූ ශ්‍රී ලාංකික අභ්‍යවකාශ ඉංජිනේරු නිශාන්ත ප්‍රගීත් ද ඡායාරූපයන්ගෙන් දැක්වේ. 

 

 

 

 

 

 

 


ගැස්කොන් ලාසරස් 
රෝමය, ඉතාලිය.