දුහුවිල්ලෙන් වැසුණු ඔවුන්ගේ ගත කිළිටි ය. ඇඳුම වැරහැළි ය. පනාවක් නොදුටු කොණ්ඩය හැඩපළු ගෙතී ඇත. බොහෝ දෙනෙකුගේ දෑස බියෙන් මෙන් විවරව ඇත. කලකින් නොමැදපු දත් පෙන්වා නගන සිනහව තුළ ඇත්තේ අපූරු සිරියාවකි. එහෙත් ඒ සිනහව සංවේදී සිත් හැඬවීමට තරම් ප්‍රමාණවත් ය. ඔවුනොවුන් අතර ඇමතීම සඳහා පමණක් නමක් ඔවුන්ට ඇත. ඒ නම ඔවුන්ට දුන්නේ කවුරුන් දැයි කිසිවකු දන්නේ නැත. ඔවුන්ට හිසට වහලක් නැත. නිවහන යුද්ධයෙන් ඇද වැටුණු සිමෙන්ති වනාන්තරය පමණි. ඔවුන්ගේ මීළඟ ආහාර වේල කවදා කොහෙන් ලැබේ දැයි කිසිවකු දන්නේ නැත. කුසගින්න පිපාසය ඔවුන්ට හුරු පුරුදු ය. මවක පියෙකු ගැන ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දන්නේ නැත. වෙනත් ඥාාතියෙකු ද ඔවුන්ට නැත. ජීවිතයට වඩා ඔවුහු මරණය ගැන දනිති. සෑම දිනකම ඔවුන් දකින්නේ මරණය පමණි. මොවුන් වනාහී සිරියාවේ යුද අනාථ වීදි දරුවෝ ය. 


සිරියාවේ ස්වෙච්ඡා කටයුතු සඳහා ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවෙන සංවිධානවල වාර්තාවන්ට අනුව, අලෙප්පු නගරයේ පමණක් යුද අනාථ වීදි දරුවෝ දහස් ගණනින් ය. මේ දරුවන්ගෙන් බහුතරය ඊසිස් ත්‍රස්තයන් විසින් ලිංගිකව දූෂණය කරන ලද සිරියානු කාන්තාවන් විසින් බිහිකරන ලද දරුවෝ ය. මේ අම්මලා විසින් තම සතුරාගෙන් පළි ගැනීම සඳහා ඔවුන්ට දාව උපන් දරුවන් මහමග දමා ගොස් ඇත. මේ මව්වරු ජීවිතයේ අමිහිරි සිදුවීමක සටහන් තැබූ පිටුව තම ජීවිත කතාවෙන් ඉරා දමා ඇත්තේ එසේ ය. යුද්ධයේ නියැලියන් විසින් හෙළන ලද බෝම්බ ප්‍රහාරවලින් තම දෙමාපියන් මෙන්ම ඥාතීන් ද මියයද්දී, පෙර වාසනාවකට ජීවිතය බේරුණු දරුවෝ ද මේ අතර වෙති. 


සිරියානු වීදි දරුවන්ගෙන් බහුතරය වයස අවුරුදු තුනත් හතත් අතර වූවෝ වෙති. ඔවුනට උප්පැන්න සහතිකයක් නැත. ඒ නිසාම කිසිම තැනක ඔවුන් පිළිබඳව තැබුණු නීත්‍යානුකූල සටහනක් නැත. සිරියාවේ යුද අනාථ වීදි දරුවන්ගේ සංඛ්‍යාව මිලියන ගණනකැයි කීවද, නිවැරදි සංඛ්‍යාලේඛනයක් කොතැනකවත් නැත. සිරියාවේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය නොවෙන සංවිධාන මෙම දරුවන් පිළිබඳව විමසිල්ලෙන් සිටියද, අද සිටින දරුවා හෙට නැත. ඒ යුද්ධයෙන් උපන් දරුවා යුද්ධයට ම බිළිවූ නිසා විය හැකිය. සොල්දාදුවන් විසින් හා ත්‍රස්තයන් විසින් ද මෙම දරුවෝ ලිංගිකව අපහරණයට ලක්කෙරෙන බව රහසක් නොවේ. එහෙත් ඒ පිළිබඳ සොයා බලා යුක්තිය පසිඳලීමට හෝ එය වැළකීමට ඉදිරිපත්වීමට තරම් කෙනෙකුන් එහි නැත. සිරියාවේ යුද්ධය විසින් නිර්මාණය කර ඇති භීෂණය හා විනාශය හේතුවෙන්, පාසල් වයසේ දරුවෝ ලක්ෂ ගණනින් පාසල් අධ්‍යාපන කටයුතුවලින් බැහැරව සිටිති. පාසල් ගොඩනැගිලි යුද්ධයෙන් විනාශවී ගොසින් ය. 


වතිකාන අනුග්‍රහය ලබන සිරියාවේ ක්‍රියාත්මක වෙන රාජ්‍ය නෙවෙන සමාජ සේවා ආයතන කීපයක මීළඟ ඉලක්කය වී ඇත්තේ අවම වශයෙන් යුද අනාථ වීදි දරුවන් දෙදහස් පන්සීයක් පුනරුත්ථාපනය කළ හැකි මධ්‍යස්ථාන තුනක් සිරියාවේ පිහිටුවීම ය. එහෙත් එය සිහිනයකි. රට පුරා සටන් ය. පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පිහිටුවීමට තරම් සාමකාමී පරිසරයක් එහි සොයාගැනීම කළුනික සෙවීමට සමානය. අද සිටින දරුවා හෙට නැත. ඒ වෙනුවට යුද්ධය විසින් බිහිකරන ලද අවජාතක දරුවකු මහමගට එකතුවී ඇත. ඔහුට ද ආමන්ත්‍රණය සඳහා පමණක් කිසිවකු විසින් නමක් තබනු ඇත. ඔහුට හෝ ඇයට හිමිවෙන්නේ ඒ නම පමණි. වෙනත් කිසිවක් ඔවුනට නැත. 


වරක් පුවත්පත් කලාවේදියෙකු විසින් සිරියාවේ යුද අනාථ වීදි දරුවකුගෙන් ඔහු ලොකුමහත් වූ විට කුමක් කිරීමට කැමතිදැයි ප්‍රශ්නකර තිබුණු අවස්ථාවක, ඒ දරුවා විසින් දී තිබුණු පිළිතුර වෙන්නේ තමන් යළි කුඩා ළමයකු වීමට කැමති බව ය. දරුවාගේ පිළිතුර තුළ සැඟව ඇත්තේ තමන්ට අහිමිව ගිය සුන්දර ළමා කාලය නැවත ලබාගැනීමට ඇති ප්‍රාර්ථනයයි. දරුවකුට තම ළමා කාලය අහිමිවීම තරම් ඛේදවාචකයක් තවත් නැත. යුද්ධය කොතැනක මොනයම් අරමුණකින් සිදුවුවද, එය සෑම විටම කුඩා දරුවන්ට එරෙහිව කෙරෙන විනාශයක් පමණි. 

 

 

 

 

 

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.