2014 දෙසැම්බර් මස 20 වැනි සෙනසුරාදා

2014-12-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.4300 , විකුණුම් මිල රු.133.3200 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.203.6000 , විකුණුම් මිල රු.209.4300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.159.3000 , විකුණුම් මිල රු.164.5400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.132.2000 , විකුණුම් මිල රු.136.9700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.112.0600 , විකුණුම් මිල රු.115.8100 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.8600 , විකුණුම් මිල රු.109.9100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.8100 , විකුණුම් මිල රු.102.0200 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.0915 , විකුණුම් මිල රු.1.1277 |

ගාල්ලේ ගිලුණු නැවු නරඹන්න සංචාරකයන්ට වරම්

2012 ජූනි මස 03 12:50:58 | ලංකාදීප කර්තෘ මණ්ඩලය

ගාලූ කොටුව නිහඩය. ඒ අසල ඇති ගල්පරයන්හි හැපී පෙණ පිඬු නගන මුහුදු රළ පහර මවන්නේ අපූරු චමත්කාරජනක දසුන් සමූහයකි. ගාලූ කොටුව නිර්මාණය කළ පෘතුගීසීන් ද එය විශාල කොට ගොඩනැංවූ ලන්දේසීන් ද අනතුරුව එය තමන්වෙත භාරගත් ඉංගී‍්‍රසීන් ද මේ සොඳුරු දර්ශනයෙන් වශීකෘත වන්නට ඇත.

පෘතුගීසී, ලන්දේසී මෙන්ම ඉංගී‍්‍රසි ජාතිකයෝ ද ගාල්ල හා ගාලූ කොටුව ශී‍්‍ර ලංකාවේ මර්මස්ථානයක් ලෙස සැලකූහ. ඒ නිසාම ගාල්ලේ අතිවිශාල බළකොටුවක් ඉදිකළ ඔවුහු ගාලූ වරාය ලොව ප‍්‍රධානතම වරායන් කිහිපයෙන් එකක් බවට පත්කළේ එය ලෝකයේ වැදගත්ම වෙළෙඳ මධ්‍යස්ථානය බව ඔවුන් හොඳින් වටහාගෙන සිටි බැවිනි.

පෘතුගීසීන්ගේ පැමිණීමටත් සියවස් ගණනාවකට පෙර පටන් ගාල්ල වරාය ආරාබි, රෝම, පර්සියන් හා චීන ජාතිකයන්ගේ සිත්ගත් ස්ථානයක් වූ අතර කොළඹ වරාය ඉදිකරන තුරු ලංකාවට පැමිණෙන වෙළෙඳ හා යුද නැව් වල ප‍්‍රධානතම නැංගුරම් ස්ථානය වූයේ ගාල්ල වරායයි.

ස්වභාවික පිහිටීම හේතුවෙන් ගාල්ල වරාය කොතෙක් වැදගත් ස්ථානයක් ගත්ත ද එය වටා පිහිටි ගල්පර සමූහයත් නිරන්තරවම හමා එන චණ්ඩ මාරුතත් හේතුවෙන් ගාල්ල වරයාට පැමිණීම තරමක් භයානක අත්දැකීමක් බව ලොව යාති‍්‍රකයෝ දැන සිටියහ. මේ කරුණු හේතුවෙන් ගාල්ල වරායේදී අනතුරට පත්ව ගිලී ගිය නෞකා සංඛ්‍යාව අතිවිශාලය.

පෘතුගීසි ගාල්ල පාලනය කළ කාලයේ පටන් නැව් ගිලී යාම් පිළිබඳ විස්තර ඇතත් ඇතැම් නෞකා සොයා ගැනීමට හැකියාවක් නැත. මේ වනවිට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය මගින් වරින් වර ගවේෂණය කැර ගාල්ල වරාය හා ඒ අවට ප‍්‍රදේශයෙන් සොයාගත් නෞකා හෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත අවශේෂ හමුවන ස්ථාන 26 හඳුනාගෙන තිබේ. මේ අතරින් කිහිපයක් දැනටමත් පුරාවිද්‍යාත්මක ගවේෂණ මගින් නිවැරදිව හඳුනාගෙන ඇත. මුහුදු පුරාවිද්‍යාව ශී‍්‍ර ලංකාවට නව විෂය ක්ෂේත‍්‍රයක් වුව ද එය බොහෝ දෙනකුගේ කුතුහලය දනවන්නක් වී තිබේ.

සාමාන්‍ය මිනිසුන්ගෙන් සැගවී පවතින මුහුදු පත්ලේ චමත්කාරය බොහෝ දෙනකුට දැකගත හැකිවන්නේ පටිගත කළ වැඩසටහන් වලින් සහ ඡායාරූප මගින් පමණි. මේ නිසාම බොහෝ දෙනකු තුළ මුහුදේ පත්ල ගැන දැනගැනීමට ඇත්තේ නොනිත් ආශාවකි. එහි චමත්කාරය් මුහුද යට ජීවත් වන මසුන් ඇතුළු සත්ත්ව ප‍්‍රජාවගේ හා ශාක ප‍්‍රජාවගේ විවිධත්වයත් හේතුවෙන් එය වඩාත් තීව‍්‍ර වී තිබේ.

මේ අතර මුහුද යට ගිලී ඇති නෞකා ඇතුළු ආගන්තුක ද්‍රව්‍ය වාසස්ථාන කරගනිමින් ජීවත් වන මුහුදු ජීවීන් සංඛ්‍යාව ද අතිමහත් ප‍්‍රමාණයකි. බොහෝ තැන් මසුන්ගේ අභිජනන මධ්‍යස්ථාන බවට පත්ව තිබේ. මුහුද යට ඇති මෙවැනි පරිසර පද්ධති නැරඹීමට යාම ලෝකයේ සංචාරකයන් අතර අතිශයින් ජනපි‍්‍රය වෙමින් පවතී. විශාල මහද්වීප තටකයක් හෙවත් පුළුල් ලෙස පැතිරුණු නොගැඹුරු මුහුදක් සහිත ශී‍්‍ර ලංකාවේ වෙරළ ආසන්නයේ මෙවැනි නෞකා රාශියක් ගිලී ගොස් තිබේ. හොඳින් හිරු එළිය පතිතවන ශී‍්‍ර ලංකාවේ ද මුහුද යට ගිලී ඇති නෞකා නැරඹීම ජනපි‍්‍රය වෙමින් තිබෙන්නකි. විශේෂයෙන්ම හික්කඩුව ආසන්න මුහුදේ ගිලී ඇති නෞකා නරඹන සංචාරකයන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවෙමින් පවතී.

මෙය සැලකිල්ලට ගත් ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය සංචාරක අමාත්‍යාංශය හා එක්ව මුහුද යට ඇති පුරාවිද්‍යාත්මක ස්ථාන නැරඹීමට යාමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ගාල්ල වරායේ සහ ඒ අවට ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන නැරඹීමට යාමේ අවස්ථාව සලසා දෙමින් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ ස්ථානභාර නිලධාරී ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ගාල්ල වරාය හා ඒ අවට මුහුද සංචාරකයන්ගේ සිත් ගත් ස්ථානයක්. විදෙස් සංචාරකයන් නිරන්තරවම මේ ස්ථානයන්හි කිමිදුම් කාර්යයේ යෙදෙනවා. නමුත් ඔවුන් ස්ථිර වශයෙන්ම නෞකා වෙත යොමු වන්නේ නැහැ. මුහුදු පත්ලේ කිමිදුම් කාර්යයේ යෙදන සංචාරකයන්ට අපේ මේ නව වැඩපිළිවෙල වඩාත් නැවුම් අත්දැකීමක් වේවි. අප තෝරාගත් නෞකා හතරක් වෙත ඔවුන් රැගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ නෞකා අතර රැංගුන් යනුවෙන් නම පවා හඳුනාගත් නැවක් තිබෙනවා. අනෙක් නැව් තුන ස්ථිර වශයෙන්ම හඳුනාගෙන නැහැ. සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා පවසන්නේ රැංගුන් නෞකාව මීටර 30 ක් පමණ ගැඹුරේ පිහිටා ඇති බැවින් එය නැරඹීමට යන සංචාරකයන්ට ජාත්‍යන්තර කිමිදුම් බලපත‍්‍රය ලබා සුදුසුකම් සම්පූර්ණ කැර තිබීම අත්‍යාවශ්‍ය දෙයක් බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

ගාල්ල වරාය අවට කිමිදුම් කටයුතු සඳහා සුදුසු කාලය වන්නේ නොවැම්බර් සිට අපේ‍්‍රල් දක්වා කාලය පමණයි. අනෙක් කාලයේ මුහුද රළු ස්වභාවයක් ගන්නා නිසා මේ ස්ථානයන්හි කිමිදීම අපහසුයි. ඒ නිසා ලබන නොවැම්බරයේ මේ ව්‍යාපෘතිය අප ආරම්භ කරනවා. දිය යටදී ගිලී ගිය නෞකා ඡායාරූපයට නැගීමට වීඩියෝ පටිගත කිරීමටත් සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට අප අපේක්ෂා කරනවා.

සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය පවසන්නේ එක් වතාවකට සංචාරකයන් අට දෙනකුට යා හැකි යාත‍්‍රාවක් මේ සඳහා සූදානම් කරමින් තිබෙන බවයි. සංචාරකයන් ඒ ඒ ස්ථානයන්ට ගෙන යාම සඳහා මගපෙන්වන්නන් වශයෙන් සමුද්‍ර පුරාවිද්‍යා ඒකකයේ පර්යේෂණ නිලධාරීන්ම කටයුතු කිරීම විශේෂත්වයකි.

මේ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දැක්වූ මධ්‍යම සංස්කෘති අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී අධිකාරී මහතා මෙසේ කීවේය.

සමුද්‍ර පුරාවිද්‍යාව වගේම මහ මුහුද පත්ලේ සංචාරක කර්මාන්තයට ලෝකයේ විශාල ඉල්ලූමක් තිබෙනවා. එවැනි තත්ත්වයක් මත ගාල්ල වරායේ ගිලී ගිය නැව් කිහිපයක් සංචාරකයන්ට පෙන්වීමෙන් අප රටට විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් ලබාගැනීමට හැකිවේයැයි අප අපේක්ෂා කරනවා. මුහුද යට කිමිදුම් කටයුතු කරන ඇතැම් පුද්ගලයන් සංචාරකයන් මේ ස්ථාන වලට රැගෙන ගියත් ඔවුන් ඒ ස්ථානයන්හි ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් පිළිබඳ සංචාරකයන් දැනුම්වත් කරන්නේ නැහැ. මෙය සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය විසින් කරනු ලැබීමෙන් මෙතෙක් සිදුවූ ඒ අඩුපාඩුව මගහැරී යනවා වගේම රජයේ ව්‍යාපෘතියක් නිසා වඩාත් විශ්වසනීයක් ඇතිව කරගෙන යා හැකියි. සමුද්‍ර පුරාවිද්‍යා ඒකකය පවසන්නේ මුහුද පත්ලේ ඇති පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථාන වෙත සංචාරකයන් ගෙන යාමේ නියමු ව්‍යාපෘතිය ගාල්ලෙන් ඇරඹුව ද ඉදිරියේදී වයඹ සහ නැගෙනහිර ප‍්‍රදේශයන්හි ද මුහුදේ ගිලී ගිය නැව් නැරඹීමට යාමේ ව්‍යාපෘති කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

සජීව විජේවීර

මුහුද යට ඇති නැව් කොටස්

කිමිදුම් කණ්ඩායමක්

අදහස්(8) බැලූවෝ (6000)

ගාල්ලේ ගිලුණු නැවු නරඹන්න සංචාරකයන්ට වරම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

විරිජ් 2012-06-04 21:05:38

ගොඩක් හොඳ වැඩක් , මමත් ආසයි...සුභ පතනවා...

දොන් 2012-06-04 21:35:47

බීච් එකට එන අයට අලුත් අත්දැකීමක් වෙයි

කුමාර; 2012-06-06 09:07:41

සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් මනාව ආරක්ෂාව සහිතව ලබාදිමට කටයුතු කළොත් මේක හොද ව්‍යාපෘතියක් ‍‍වේව්. ඉතා හොද වැඩක් සුභ පතනවා.

කේ.එස්.ඩබ්.පෙරේරා 2012-06-06 10:44:17

ලාංකිකින් වන අපට අලුත් අත්දැකීමක් සහ ආඩම්බර විය හැකි කරුණකි.

සහන් 2012-06-07 07:00:30

ඉතා හොදයි.ස්තූතියි

ඩබි. ඩී නුවන් 2012-06-08 11:08:50

අපිට ආරංචි වෙලා තියෙන්නේ මෙම ව්‍යාපෘතිය සංචාරක අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතියක් නොවේ. අපි දකුණු පළාත් රුහුණු සංචාරක කාර්යාංශයට මේ ව්‍යාපෘතියට උණුසුම් සුභපැතුම් පිරිණමනවා...!!!!!!

ගයන්තිකා 2012-06-08 11:52:02

හොද ව්‍යාපෘතියක්... අපේ උණුසුම් සුභපැතුම්

හිල්මි 2012-06-09 13:16:24

මේක ක්‍රමවත්ව ආරක්ෂා සහිතව කරන්න ඕන..

ආරක්ෂාව ඉතා වැදගත්

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :