ලිබරල්වාදය ලිපි පෙළේ “ඉතිහාසයේ අවසානය” කොටසට අපි පිවිස සිටින්නෙමු. ෆ්‍රැන්සිස් ෆුකුයාමා නම් ජාත්‍යන්තර දේශපාලන විද්වතා ගෙනහැර දක්වන අදහස් මත ඉතිහාසයේ අවසානය සම්බන්ධ ප්‍රශ්නයට මෙලෙස පිවිසෙන්නෙමු.

 

කරුණු දෙකක් නිසා හේගල් අපට වැදගත් ය. ලිබරල්වාදය තේරුම් ගැනීමට ලෝකයට වඩා විශිෂ්ට තේරුමක් ඔහු ලබා දී තිබේ. ඉතිහාසය “පිළිගැනීම සඳහා අරගලයක්” වශයෙන් හේගල් දක්වා තිබේ. එය දෙවැන්න ය. පිළිගැනීම සඳහා ඇති අරගලය නමැති සංකල්පය දේශපාලන දර්ශනය වාගේම පැරැණි සංකල්පයකි. මෙහි වටිනාකම නිසියාකාරව තේරුම් ගැනීමට නම් මිනිසා පිළිබඳ හේගල්ගේ සංකල්පය වටහාගත යුතුය.

හේගල්ට ප්‍රථම සිටි ලිබරල් න්‍යායවාදීන් මනුෂ්‍ය ස්වභාවය ඉදිරිපත් කළේ පළමු මිනිසාගේ සංකල්පයට අනුව ය. මුල් මිනිසා මානවයාගේ මුල් ආකෘතියකි. ඔහු තුළ මූලික මානුෂික ලක්‍ෂණ පිහිටා තිබුණි. ඒ සිවිල් සමාජයක් ඇති වීමට ප්‍රථම සහ ඓතිහාසික ක්‍රමවේදයට ප්‍රමථයෙනි. හේගල් පෙන්වා දෙන මෙම මුල් මිනිසා තුළ සතුන්ට තිබූ මූලික ස්වාභාවික ආශාවන්වලට වඩා (කෑම, බීම, නිදාගැනීම, නිවහනක්) තම ජීවිතය පවත්වා ගැනීමට, ආරක්‍ෂා කර ගැනීමට ඇති ආශාව ආදිය දක්නට ලැබුණි. එහෙත් හේගල්ගේ මේ මුල් මිනිසා සතුන්ගේ ආශාවන්ගෙන් රැඩිකල් ලෙස වෙනස් වූ ආශාවන්ගෙන් යුක්ත විය. ඒ ද්‍රව්‍යමය නොවන දේ සඳහා තිබූ ආශාවන්ය. මේ සියල්ලටම වඩා ඔහුගේ ආශාව තිබුණේ අලුත් මිනිසුන් එනම් අනෙක් මිනිසුන්ට ඔහු අවශ්‍ය වීම සහ ඔහු පිළිගැනීමට ලක් කිරීමය. මේ අනුව මිනිසා ආරම්භයේ සිටම සමාජ සත්වයෙකි.

වඩාත් මූලික අද්විතීය මානුෂික ලක්‍ෂණය වූයේ මිනිසා තුළ තිබෙන ඔහුගේ ජීවිතය අවදානමකට ලක් කළ හැකි ලක්‍ෂණයයි. හැකියාවයි. සටනේ දී කීර්තිය සඳහා යමෙකුගේ ජීවිතය අවදානමකට ලක් කිරීමට ඇති කැමැත්ත පිළිබඳ වැදගත්කම තේරුම් ගත හැකි වන්නේ හේගල්ගේ මිනිස් නිදහස පිළිබඳ තේරුම, ඔහුගේ දැක්ම වඩාත් ගැඹුරට අධ්‍යයනය කළොත් පමණි.

අපට පුරුදු ඇංග්ලො සැක්ෂන් ලිබරල් සම්ප්‍රදායට අනුව නිදහස යනු කුමක්ද? පාලනයකින් තොර වීම යන්න එහි සරල අදහස ය. තෝමස් හොබ්ස් නම් දාර්ශනිකයාගේ දේශපාලනික කෘතියේ මිනිසා මිනිසා හඳුන්වා දී ඇත්තේ ඉතාමත් සකීර්ණ යාන්ත්‍රණයක් වශයෙනි. ඔහු මිනිස් ස්වභාවය මූලික ආශාවන් ගණනාවකට බෙදා පෙන්නුම් කර තිබේ. සතුට, වේදනාව, බිය, බලාපොරොත්තු, කෝපය සහ අභිලාෂයන් ඒවා ය. හේගල් ඉදිරිපත් කරන්නේ මීට වඩා හාත්පසින්ම වෙනස් අදහසකි. මිනිසා ඔහුගේ ශාරීරික හෝ සත්ව ස්වභාවය මත පමණක් නොව එම ස්වභාවය අභිබවා යාමට ඇති හැකියාව ගැන වැඩි අවධානයක් යොමුව ඇත. සදාචාරාත්මක තෝරාගැනීමේ හැකියාව මිනිසා සතු ය. තමාගේම නීති සාදා ගැනීමටත් ඒවාට අනුකූල වීමටත් මිනිසා තුළ ඇති ආවේණික වූ නිදහස පිළිබඳව ඔහු කතාකර තිබේ.

මිනිසා බලාපොරොත්තු වන්නේ හුදෙක් ද්‍රව්‍යමය සම්පත් හෝ සැනසීම නොව ගෞරවය හෝ පිළිගැනීමය. හේගල්ගේ මුල් මිනිසා පිළිබඳ සංකල්පය නවීන ලිබරල්වාදයේ ආරම්භකයන් වන හොබ්ස් සහ ලෝකේ ගේ අදහස් සමග ගළපා බැලීම වැදගත් ය.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉබේම ඇති වූවක් නොවේ. එය කොමියුනිස්ට් සමාජ වගේම මිනිස් සමාජයේ ආණ්ඩු කළ යුතු ආයතන මොනවාද සහ න්‍යාය පිළිබඳ තේරුමක් ඇතිව මිනිසා විසින් ඕනෑකමින්ම නිර්මාණය කරගත්තකි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැඹුරින් තේරුම් ගැනීමට නම් හොබ්ස් සහ ලෝකේ යන දෙදෙනාගේ ඒ සම්බන්ධ දේශපාලනික ලිපි පිළිබඳ හැරී බැලීමක් අනිවාර්යයෙන්ම කළ යුතුය.

අද තෝමස් හොබ්ස් ප්‍රාථමික වශයෙන් හඳුන්වා දෙන්නේ කරුණු දෙකකිනි. ඔහුගේ ස්වභාවධර්මයේ වර්ගීකරණය කිරීම හුදකලා, දුප්පත්, මෝඩ, කෲර සහ කෙටි වූවක් වශයෙන් දැක්වීම පළමු වැන්න ය. නිරපේක්‍ෂ රාජාණ්ඩු පරමාධිපත්‍යය පිළිබඳ ඔහුගේ මූලධර්මය දෙවැන්න ය. ආණ්ඩුවක නීත්‍යනුකූලභාවය රඳා පවතින්නේ රජ්ජුරුවන්ගේ අයිතිවාසිකම් හෝ පාලනය කරන්නන්ගේ ශ්‍රේෂ්ඨත්වය මත නොව පාලිතයන්ගේ අයිතිවාසිකම් මත යන මූලධර්මය මුලින්ම තහවුරු කළේ හොබ්ස් විසිනි. ඔහුට අනුව මිනිසා තුළ ඇති ලොකුම මිනිස් හැඟීම වන්නේ සාහසික මරණයකට ඇති බියයි. නූතන ලිබරල් රාජ්‍ය වෙත හොබ්ස් යොමු වන්නේ මෙම මරණයට ඇති බිය මැදිකරගෙන ය. මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ට ඇති පෞද්ගලික අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම රජයකට ඇති මූලික නීත්‍යනුකූල භාවයයි. ජීවත් වීමට ඇති අයිතිය හොබ්ස් මූලික මිනිස් අයිතිවාසිකම් වශයෙන් සලකා තිබේ.

පාලනය වන්නන්ගේ කැමැත්ත ලබා ගැනීමට හැකි වන්නේ අද පවතින ආකාරයේ නිදහස්, රහස්, බහුපාක්‍ෂික සර්වජන ඡන්දයක මූලික පදනම වන මෙම ලක්‍ෂණවලින් පමණක් නොවන බව හොබ්ස්ගේ විශ්වාසයයි. යම් ආණ්ඩුවක් යටතේ ජීවත් වීමටත් එම නීතිවලට ගරු කිරීමටත් රට වැසියාගේ ඇති නිහඬ කැමැත්ත අනුව බව ඔහු පෙන්වා දී තිබේ. “පිළිගැනීම” සංකල්පය හේගල් විසින් සොයා ගන්නා ලද දෙයක් නොවේ. එය බටහිර දේශපාලන දර්ශනයේ පැරැණි සංකල්පයකි. “පිළිගැනීම පිළිබඳ ආශාව” නමැති මනෝ විද්‍යාත්මක ප්‍රපංචය සඳහා එක් වචනයක් භාවිත වූයේ නැත. ප්ලේටෝ එයට ප්‍රීතියත්, මකිවෙල් එයට මිනිසාගේ මහිමයත්, හොබ්ස් එයට උඩඟුකමත්, රූසියෝ අභිමානයත්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ප්‍රසිද්ධියත්, ජේම්ස් මැඩිෂන් අභිලාෂයත්, හේගල් පිළිගැනීමත්, නිෂ්චේ විසින් එය රතු කම්මුල් සහිත සතා වශයෙනුත් හඳුන්වා ඇත. මෙම සියලුම වචන මිනිසා තුළ තිබෙන යම්කිසි ක්‍රියාවලට වටිනාකමක් දිය යුතු යැයි කියන හැඟීම අර්ථ දැක්වීමට පාවිච්චි කරන වචන බව තේරුම් ගත හැකිය. මෙම සියලු වචන මිනිසා තුළ තිබෙන යම්කිසි ක්‍රියාවන්ට වටිනාකමක් දිය යුතු යැයි කියන හැඟීම අර්ථ දැක්වීමට භාවිත කරන වචන වශයෙන් තේරුම් ගන්නට පුළුවන.

අයකු තමා කෙරෙහි පනවා ගන්නා වටිනාකම අද අපි ආත්ම අභිමානය වශයෙන් හඳුන්වන්නෙමු. තමන්ගේ යම් වටිනාකමක්, වැදගත්කමක් තිබෙන බවට මිනිස්සු විශ්වාස කරති. අනෙක් මිනිසුන් ඔවුන් නිශ්ඵල නැතිනම් වැදගත්කමක් නැති අය ලෙස ක්‍රියා කළොත්, නොපිළිගතහොත් එය මිනිසාට කෝපය ගෙන දෙන්නක් වනු ඇත. ඒ වගේම එම වටිනාකම සාධාරණ ලෙස තක්සේරු කළහොත් අපට ඇති වන්නේ අභිමානයකි.

පිළිගැනීමට ඇති ආශාව, බඩගින්න හෝ පිපාසය ආශාවක් වශයෙන් හඳුන්වන්නට ද පුළුවන. පිළිගැනීම සඳහා ඇති ආශාවට අඳුරු පැත්තක් ද ඇත. මෙම අඳුරු පැත්ත හේතු කරගෙන බොහෝ දාර්ශනිකයන් විශ්වාස කරන්නේ මානව දුෂ්ඨකමට මූලාශ්‍ර වූයේ ප්‍රීතිය බවය. එය “තයිමොස්” වශයෙන් හඳුන්වන අතර එය ග්‍රීක වචනයකි. සොක්‍රටිස් රිපබ්ලික් ග්‍රන්ථයේ දී තයිමොස් පිළිබඳව දීර්ඝ සාකච්ඡාවකට එළැඹ තිබේ. එයට හේතුව තයිමොස් පිළිබඳ කොටස ඔහුගේ “සාධාරණ නගරය” පිළිබඳව අර්ථ දැක්වීමේ දී වැදගත් වීමය. මෙම නගරය අනෙක් නගර මෙන් විදේශ සතුරන්ගෙන් ආරක්‍ෂා කර ගැනීම අවශ්‍යය. එනිසා  ආරක්‍ෂක පැලැන්තියක්ද අවශ්‍ය වනු ඇත. ඔවුන් ධෛර්යමත් වගේම ඔවුන්ගේ ද්‍රව්‍යමය ආශාවන්, පරිත්‍යාග කිරීමට කැමති විය යුතුය. එය පොදු යහපත සඳහාම විය යුතුය.
ඕනෑම දේශපාලනික සමාජයක පැවැත්මට නම් තයිමොස් නමැති දේශපාලනික ගුණාංගය අවශ්‍ය වන බව සොක්‍රටීස්ගේ අදහස වුණි. පෞද්ගලික මිනිසා ආත්මාර්ථකාමී ජීවිතයේ ආශාවලින් ඈත් වී පොදු යහපත දෙස බලන මූලික පදනම එයයි. සාධාරණ දේශපාලනික සමාජයක් නිර්මාණය කිරීමේ දී තයිමොස් නමැති ගුණාංගය වර්ධනය කිරීම වැදගත් බව ඔහුගේ මතය වූවේය. නූතන ලිබරල්වාදයේ ආරම්භකයන් වන හොබ්ස් සහ ලෝකේට දේශපාලන ජීවිතයෙන් තයිමොස් ගුණාංගය සම්පූර්ණයෙන්ම ඉවත්කර දැමීමට අවශ්‍ය වුණි. ඒ වෙනුවට ඔවුහු ආශාව සහ හේතුව යන සාධක දෙක පෙරමුණට ගත්හ.

නවීකරණ ක්‍රියාදාමය, නවීන සමාජ ව්‍යුහ, ධනවාදය ඉදිරි ලිපියෙන් විමසමු.

සටහන - චමින්ද මුණසිංහ