IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කරළියේ ආටක නාටක

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු මහාචාර්ය
එම්.ඕ.ඒ. ද සොයිසා

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 04 දිනය. නිදහස ලැබීමෙන් අනතුරුව මේ වනවිට ගත වී ඇති කාලය වසර 70 කි. ගත වූ එම කාලය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් යටතේ රටේ පාලන තන්ත්‍රය ක්‍රියාවට නංවනු ලැබීය. 1948 සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, 1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුන වේ. මෙයින් අද වනවිට ක්‍රියාත්මක වන්නේ 1978 වර්ෂයේදී ස්ථාපිත කරන ලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පදනම් කරගෙන රටක රාජ්‍ය පාලනය ක්‍රියාවට නංවනවා නම් එවැනි ආණ්ඩුක්‍රමයක් හඳුන්වන්නේ ව්‍යවස්ථානුකූල පාලනයක් ලෙසය. ව්‍යවස්ථානුකූල පාලනයේ පදනම් මූලධර්මය වන්නේ නීතියේ අධිපතිත්වයයි. මෙයින් ප්‍රථමයෙන් අදහස් කරන්නේ ව්‍යවස්ථානුකූල නීතිය පදනම් කරගෙන රාජ්‍ය පාලන කටයුතු ක්‍රියාවට නැංවිය යුතුය යන්නය. එනම් ආණ්ඩුවේ බල ආයතන ත්‍රිත්වය වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ව්‍යවස්ථාවෙන් ඒ ඒ ආයතනයට පැවරී ඇති බලතල අනුව, එම බලතලවලින් දැක්වෙන සීමාවලට යටත්ව ක්‍රියාත්මක විය යුතු බවය. 

මෙයින් යම් ආයතනයක් එයට පැවරී ඇති බලතල ඉක්මවා අත්තනෝමතික සහ හිතුවක්කාරී ලෙස ක්‍රියාකරන්නේ නම් එය ව්‍යවස්ථානුකූල පාලනය උල්ලංඝනය කිරීමක් වන අතර එම තත්ත්වය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට මුළුමනින්ම පටහැනි වේ. දෙවනුව නීතියේ අධිපතිත්වය යන මූලධර්මයෙන් අදහස් කරන්නේ නීතියේ උත්තරීතරභාවයයි. එනම් පාලකයන් මෙන්ම පාලිතයන් ද එක හා සමාන ලෙස නීතියට යටත් වන බවත් නීතියට ඉහළින් කිසිවෙකු නොමැති බවත්ය. මේ හා බැඳී පවතින අනෙක් මූලධර්මය වන්නේ නීතිය ඉදිරියේ සියලු දෙනාම එක හා සමාන වන බවත් නීතියේ සමාන ආරක්‍ෂාව සියලු දෙනාට එක හා සමානව හිමිවන බවත්ය.

ව්‍යවස්ථානුකූල පාලනයක ප්‍රධානම වාසිය වන්නේ ආණ්ඩුක්‍රමයට සුජාතභාවයක් හිමිවීමය. එනම් ආණ්ඩුක්‍රමය නීත්‍යනුකූල එකක් වනවාය සහ ආණ්ඩුව කරන කියන දෑ නීතියට අනුකූල වනවාය යනුවෙන් ජනතාවගේ මනස තුළ ගොඩනැඟෙන විශ්වාසයයි. දෙවන වාසිය වන්නේ ආණ්ඩුකරණය ස්ථාවර පදනමක් යටතේ පවත්වාගෙන යාමට හැකි වීමය. තුන්වන වාසිය වන්නේ ආණ්ඩුවේ බලය සීමාවලට යටත්කොට පවත්වාගෙන යාමට හැකිවීමය. විශේෂයෙන්ම ව්‍යවස්ථානුකූල පාලනයක් පවතින විට විධායකයට අත්තනෝමතිකව සහ හිතුවක්කාරී ලෙස විධායක බලතල ක්‍රියාවට නැංවිය නොහැකි බව පිළිගනු ලැබේ. ව්‍යවස්ථානුකූල පාලනයක සිව්වන වාසිය වන්නේ දේශපාලන බල අරගලය ප්‍රජාතන්ත්‍රවාදී පදනමක් මත කිරීමට හැකිවීමය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් කෙරෙන එක් සුවිශේෂී කාර්යයක් වන්නේ දේශපාලන ක්‍රීඩාව කෙරෙහි අදාළ වන නීතිරීති පෙන්වා දීමත් ඒ අනුව දේශපාලන ක්‍රීඩාව කිරීමට බල අරගලයේ නියුක්ත දේශපාලනඥයන් පොළඹවාලීමත්ය. මෙම නීතිවලට පටහැනිව දේශපාලන ක්‍රීඩාව කරන්නේ නම් එය ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි එකක් ලෙසයි සලකනු ලබන්නේ. වෙනත් ආකාරයකට කියනවා නම් මෙම නීතිරීතිවලට පටහැනිව කරන දේශපාලන ක්‍රීඩාව නියත ලෙසම හිතුවක්කාරී ආඥාදායක පාලනයකට මඟ පාදනු ලැබේ. ඉහත දැක්වූ කරුණුවලින් පෙනී යන්නේ ව්‍යවස්ථානුකූල පාලනය කරුණු කාරණා රාශියක් මත රඳා පවතින දෙයක් වන බවය. මේ කරුණු කාරණා නිසි පරිදි ක්‍රියාත්මක නොවන විට ව්‍යවස්ථානුකූල පාලනය අර්බුදයට ලක් වේ. ව්‍යවස්ථානුකූල පාලනය අර්බුදයට ලක් වූ විට පළමුවෙන් සිදුවන්නේ රට අරාජික තත්ත්වයට පත්වීමය. මෙය කෙළවර වෙන්නේ එක්කෝ රට තුළ භයානක ආඥාදායකත්වයක් ඇතිවීමෙන්ය. නැතිනම් ඒ හා සමානම ආඥාදායකත්වයක් සහිත මිලිටරි ජුන්ටාවක පාලනය යටතට රට පත්වීමෙන්ය. ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානුකූල පාලනය සමඟ අනිසි ලෙස සෙල්ලම් කරන අය ප්‍රථමයෙන්ම තේරුම් ගත යුතු කරුණ වන්නේ මෙයයි.

ඉහතින් දැක්වූ පරිදි ශ්‍රී ලංකාව තුළ පවතින්නේ ද ව්‍යවස්ථානුකූල පාලනයක්ය. දැනට රට පාලනය වන්නේ 1978 දී ස්ථාපිත කරන ලද දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේය. එසේවූවද, ඉතිහාසයේ කිසිම දිනක අත්නොදුටු භයානක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයකට මේ වනවිට රට මුහුණ දී ඇත. අර්බුදයට හේතු වී ඇති කරුණු කිහිපයක් තිබෙන අතර එයින් එකක් වන්නේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ධුරයට පැවරී තිබෙන බලතල ක්‍රියාවට නංවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රධාන කැබිනට් මණ්ඩලය පසුගිය සැප්තැම්බර් 26 දින නිලතලවලින් පහකිරීමය.

දෙවන කරුණ වන්නේ පසුගිය 09 දින යළිත් වරක් ජනාධිපතිවරයා විසින් තම බලතල ක්‍රියාවට නංවමින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මහා මැතිවරණයක් පැවැත්වීම සඳහා දින නියම කිරීමය. තුන්වන හේතුව වන්නේ 13 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තාවකාලිකව නවත්වාලමින් දෙසැම්බර් මස 07 දින දක්වා බලපැවැත්වෙන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමය. සිව්වන කරුණ වන්නේ පසුගිය 14 දා කථානායකවරයා විසින් කැඳවන ලද පාර්ලිමේන්තුව විසින් මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමය. හයවන කරුණ වන්නේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ විටක බලයේ සිටින ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු වූවද, ඉල්ලා අස් නොවන්නේ නම් ජනාධිපතිවරයා විසින් තම බලතල ක්‍රියාවට නංවමින් බලයෙන් පහකිරීම කළ යුතු වූවද මේ ලිපිය ලියන මේ මොහොත දක්වාම ඒ කිසිදු පියවරක් අගමැතිවරයා විසින් හෝ ජනාධිපතිවරයා විසින් නොගැනීමය.

පසුගිය මාසයේ 26 දිනෙන් පටන් ගත් මේ ව්‍යවස්ථා නාටකය අවසාන වන වගක් මේ දක්වාම දක්නට නැත. අවසාන වනවාට වඩා මේ වනවිට දැකිය හැක්කේ නාටකය අඛණ්ඩවම තව තවත් ඉදිරියට ඇදී යන ආකාරයක්ය. මෙම නාටකය මෙයාකාරයට අර්බුදයෙන් අර්බුදයට යමින් දිග්ගැස්සීම කෙරෙහි බලපා තිබෙන හේතු මොනවාද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. මේ සම්බන්ධයෙන් බලපා තිබෙන ප්‍රධානම සහ එකම කරුණ වන්නේ ව්‍යවස්ථානුකූල පාලනයක් පවතින රටක ඇති වූ දේශපාලන අර්බුදයක් ව්‍යවස්ථානුකූල නීතියට පටහැනිව වෙනත් ව්‍යවස්ථානුකූල නොවන විසඳුම් හරහා නිරාකරණය කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයයි. අර්බුදය හටගන්නේ ජනාධිපතිවරයා සහ ඒ වනවිට අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ අතර ඇති වූ පෞද්ගලික ආරවුල් විසඳා ගැනීමට ව්‍යවස්ථානුකූල නීතිය වැරැදි ලෙස අර්ථකතනය කරමින් සහ භාවිතයට ගනිමින් අගමැතිවරයා තනතුරින් පහකිරීම සහ අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමය.

ජනාධිපතිවරයා දිගින් දිගටම ප්‍රකාශ කර සිටින්නේ ඔහු එම තීරණයට එළඹියේ නීති විශාරදයන්ගේ මෙන්ම ආණ්ඩුක්‍රම නීතිය පිළිබඳ විශේෂඥයන්ගේ මත විමසීමෙන් පසුව බවය. මෙම ප්‍රකාශය සාධාරණ සහ යුක්ති සහගත එකක් ලෙස පිළිගත හැකිද යන ප්‍රශ්නය මෙහිදී මතු වේ. හේතුව එක් අතකින් එම නීති විශාරදයන් කවුරුන්ද යන්න මේ දක්වාම ජනාධිපතිවරයා විසින් හෙළි නොකිරීමය. අනෙක් අතින් එයාකාරයට පෞද්ගලික මට්ටමෙන් කරන නීති විමසීම් පදනම් කරගෙන ආණ්ඩුක්‍රමයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් බලපාන තීරණාත්මක තීන්දු තීරණ ගැනීමට ජනාධිපතිවරයා ක්‍රියා කිරීම ව්‍යවස්ථානුකූල නීතියට මෙන්ම රටේ පිළිගත් පොදු නීතියට අනුකූල වනවාද යන්නය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නීති උපදෙස් විමසිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මිස කැලෑ පෙරකදෝරුවන්ගෙන් නොවේ. එහෙත් පැහැදිලිවම පෙනී යන්නේ අගමැතිවරයා නිලයෙන් පහකිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන අතිශයින්ම තීරණාත්මක දේශපාලන සංසිද්ධි දෙකේදීම ජනාධිපතිවරයා ක්‍රියාකර තිබෙන්නේ කැලෑ පෙරකදෝරුවන්ගේ උපදෙස් මත මිස රටේ මූලික නීතිය අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් උත්තරීතර බලධාරීත්වය දරන ශ්‍රේෂ්ඨාධිකරණය විමසීමෙන් නොවන බවය. මෙම ක්‍රියාව එක් අතකින් බලන විට චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකට සමාන වේ. මෙයාකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොසලකා හරිමින් කැලෑ පෙරකදෝරුවන්ගේ අවවාද හා උපදෙස් මත ජනාධිපතිවරයා ක්‍රියා කිරීම නිසයි අද රට ඉමහත් අවුලකට ඇද දමා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය පැනනැඟී තිබෙන්නේ.

මෙම අර්බුදය සම්බන්ධයෙන් සලකා බැලිය යුතු අනෙක් වැදගත් කරුණ වන්නේ ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා හිතුවක්කාරී සහ අත්තනෝමතික ලෙස බලයෙන් පහකිරීම යුක්ති සහගත සහ සාධාරණ වනවාද යන්නය. 1978 අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ගොඩනඟා තිබෙන්නේ ද්විත්ව විධායකයක්ය. මේ අනුව එම විධායකය සමන්විත වන්නේ ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයෙකු සහිත කැබිනට් මණ්ඩලයකින්ය. විධායකයේ මෙම කොටස් දෙක තෝරාපත් කරන්නේ එකිනෙකට වෙනස් මැතිවරණ දෙකකින්ය. 2015 වර්ෂයේ ජනවාරි මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට ද එම අවුරුද්දේම පවත්වන ලද මහා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමත්‍ය ධුරයට ද ජනතාව තමන්ගේ ඡන්ද බලයෙන් තෝරා පත්කර ගනු ලැබූහ. මෙම අවස්ථා දෙකෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට තෝරා පත්කර ගත්තේ හැට දෙලක්‍ෂයකට තරමක් වැඩි ඡන්ද ප්‍රමාණයකින්ය. රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය තනතුරට පත්කර ගත්තේ 5098916 ක් හෙවත් ප්‍රකාශිත මුළු වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 45.66 ප්‍රතිශතයකින්ය (එක්සත් ජාතික පෙරමුණ ලැබූ ඡන්ද ප්‍රමාණය). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන ආකාරයට ජනතාව තම පරමාධිපත්‍ය බලය ප්‍රකාශ කරන එක් උපක්‍රමයක් වන්නේ සර්වජන ඡන්ද බලයයි. මෙයාකාරයට ජනතාව තම පරමාධිපත්‍ය බලය ඡන්ද බලය හරහා ක්‍රියාවට නංවමිනුයි අග්‍රාමත්‍යවරයා හා අනෙක් ජනතා නියෝජිතයන් 224 දෙනා තෝරා පත්කර ගෙන තිබෙන්නේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙසේ තේරී පත්වන ජනතා නියෝජිතයන්ට අවුරුදු 5 ක් දක්වා කාලයකට ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාවට නැංවීමේ වරම හිමිවන අතර එම වරම ජනාධිපතිවරයාට අහෝසි කිරීමට අවශ්‍ය වනවා නම් එසේ කළ හැකි වන්නේ අඩුම වශයෙන් අවුරුදු හතර හමාරක කාලයක් ගතවීමෙන් පසුවය. එම කාලයට ප්‍රථමයෙන් එම වරම අහෝසි කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් එය නියත වශයෙන්ම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකට සමාන වේ. එසේනම් මෙයිනුත් පෙනී යන්නේ අගමැතිවරයා ඉවත් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන විධිවිධානවලට පටහැනිව බවය. මෙහිදී ජනාධිපතිවරයා කළ යුතුව තිබුණේ කැලෑ පෙරකදෝරුවන්ගේ අවවාද හා උපදෙස් විමසීම නොව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඒ අනුව කටයුතු කිරීමය. එහෙත් ජනාධිපතිවරයා එසේ කළේ නැත.

වර්තමාන අර්බුදය මඟින් නරක ආදර්ශ කිහිපයක් සමාජයට ලබා දී තිබෙන බව අවසාන වශයෙන් කිව හැක. මෙයින් එකක් වන්නේ රට තුළ යාම්තමින් හෝ ක්‍රියාත්මක වෙමින් පැවති ව්‍යවස්ථානුකූල පාලනය ආඥාදායකත්වයක් කරා ගමන් කිරීමේ පෙර නිමිති පහළ වීමය. දෙවැන්න වන්නේ රටේ උත්තරීතර නීතිය ලෙස සලකන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කිසිවකු නොසලකන, කිසිවෙකු ගණන් නොගන්නා සිල්ලර ලියවිල්ලක් බවට පත්වීමය. උගත් යැයි පිළිගත් නීතිඥයන් පමණක් නොව දුම්රියේ බස් පොළේ කඩල විකුණන අය පවා හිතෙන හිතෙන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථකථනය කිරීම තුළින් පෙන්වන්නේ එම තත්ත්වයයි. තුන්වැන්න වන්නේ කරන ලද වැරැද්දක් එය වැරැද්දක් ලෙස පිළිනොගෙන එය නිවැරැදි එකක් බවට යුක්ති සහගත කිරීම සඳහා තව තවත් වැරැදි තර්ක ඉදිරිපත් කිරීමය.

ලෙනින් වරක් ප්‍රකාශ කළ ආකාරයට මිනිසුන් අතින් වැරැදි සිදුවීම සාමාන්‍ය දෙයක් වේ. එහෙත් මිනිසුන්ට කළ හැකි සමාව දිය නොහැකි වැරැද්ද වන්නේ කරන ලද වැරැද්ද නොපිළිගෙන එය නිවැරැදි බවට තර්ක කීරීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ අය අද කරන්නේ එම වැරැද්දය. එයට කිසිසේත්ම සමාව දිය නොහැක. අවසාන වශයෙන් කිව හැක්කේ මෙම අර්බුදය හේතුවෙන් රටේ ආණ්ඩුක්‍රමයේ සුජාතභාවය මුළුමනින්ම පාහේ නැති වී ගොස් තිබෙන බවය. මෙවැනි තත්ත්වයක් තුළ රට තුළ නීතිය හා සාමය පවත්වා ගෙනයාම කළ නොහැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ.

 

 



අදහස් (1)

කරළියේ ආටක නාටක

විමර්ශි Friday, 16 November 2018 06:00 AM

ව්‍යවස්ථා නීතී රෙගුලාසි ජනතාව වෙනුවෙන් මිස ජනතාව ව්‍යවස්ථා, නිති, රෙගුලාසි වෙනුවෙන් නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 321 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


සීරුවෙන්! නැව මාරයෙක්
2024 අප්‍රේල් මස 05 1476 2

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට සිදුවී තිබෙන්නේ පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය. නිකම්ම නිකං පරිසර ප්‍රශ්නයක් ගැන නොව මෙරට මුහුදු තීරණයට බරපතළ හානියක් සිදුව


සත්‍යයට පිටුපෑමේ ආදීනව
2024 මාර්තු මස 29 593 4

“රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි. රාජපක්ෂලාගෙන් ගොඩගිය අය මෙන්ම එසේ නොව


​බලයේ තත්වයේ හෑල්ලුව
2024 මාර්තු මස 22 512 0

මේ සතියේ කිවිදා දැක්ම තුළ සාකච්ඡා කළ යුතු යැයි සිතෙන කරුණු කීපයක්ම තිබේ. මෝදු වෙමින් පවතින ජනාධිපතිවරණ සාකච්ඡාව එවැනි එකක්ය. ඉදිරියට එන්නේ ජනපතිවරණයක


කුමන්ත්‍රණ කතාවට එකතුවක්
2024 මාර්තු මස 15 1199 3

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ලියැවුණු කෘතිය පැති කිහිපයකින් රටේ අනාගතය ගැන සිතීමේ දී වැදගත් වන්නේය.


මූල්‍ය විනය අවුල්කළ තීන්දුවක්
2024 මාර්තු මස 08 1067 2

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මතුවී තිබෙන එක් මාතෘකාවක් වන්නේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ අති විශාල වැටුප් වැඩි කර ගැනීම පිළිබඳවය. 2023 වර්ෂයේ සිට මහ බැංකුව ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1644 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site