IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


රට පස්සට ඇදලදාන අපේ නිවාඩු

ශ්‍රී ලංකාව ලෝක වාර්තා තැබීම අතින් සෑහෙන ප්‍රසිද්ධය. ඒවායින් ස්වල්පයක් හොඳ වාර්තා වුව ද බොහෝ ඒවා නරක වාර්තාය. මේ වන විට වැඩිපුරම රජයේ නිවාඩු බුක්ති විඳීම අතින් සියලු රටවල් අතරින් දෙවැනි ස්ථානයට පත්වීමේ වාර්තාව අපි හිමිකරගෙන සිටින්නෙමු.

2020 වන විට ඒ අතින් අප ප්‍රථම ස්ථානයට පත්වනු නියතය. එම අවස්ථාව සතුටින් සමරන්න ද නැතහොත් ඊට දුකෙන් හඬන්න ද යන්න තීරණය වන්නේ ඔබ රජයේ සේවකයකු වීම හෝ නොවීම මතය. ඒ තරම් විශ්වාසයකින් ඒ බව ඔබ පුරෝකථනය කරන්නේ ද? යන්න කෙනෙකුට ඇසිය හැකි වේ. එය අසන්නට වටිනා ප්‍රශ්නයකි. අපි ඒ ගැන විමසා බලමු.

2020 ලේඛනය අනුව ශ්‍රී ලංකාවේ රජයේ නිවාඩු 26 කි. කාම්බෝජය, අප පරදවා ඇත්තේ එහි 28 ක් තිබීම නිසාය. ශ්‍රී ලංකාවට පසු පසින් සිටින්නේ රජයේ නිවාඩු 21 ක් ඇති ඉන්දියාව සහ කසකස්ථානයයි.

පසුගිය මාසයේදී කාම්බෝජ රාජ්‍යය රජයේ නිවාඩු සංඛ්‍යාව, ලබන වසරේ පටන් 28 සිට 22 ට අඩු කරන්නට තීරණය කර ඇත. එකී රාජ්‍යයේ, රජයේ නිවාඩු වල ප්‍රධාන වෙනස සිදු වූයේ  බමර් අලුත් අවුරැදු  “Khmer New Year” නිවාඩු කාලය දින තුනේ සිට හතර දක්වා වැඩි වීමත් රජතුමාගේ තුන් දින උපන් දින සැමරුම් නිවාඩුව එක් දිනයකට සීමා කිරීමත්ය. තවත් අනෙකුත් වැදගත් කමෙන් අඩු නිවාඩු දින ද කපා හරින ලදී.

කාම්බෝජියානු කැලැන්ඩරයේ සිදුවන මෙම වෙනස සමඟ ශ්‍රී ලංකාව රජයේ නිවාඩු දින අතින් ප්‍රථම ස්ථානයට පත්වනු ඇත. ශ්‍රී ලංකාව මෙසේ ඉහළම ස්ථානයේ වැජඹෙන්නට ඉඩ හරිමින් අපි වෙනත් විවිධ රටවල ශ්‍රම බලකාය බුක්ති විඳින රජයේ නිවාඩු සමඟ මඳක් එය සසඳා බලමු. ආසියා පැසිෆික් කලාපයේ රජයේ නිවාඩු 18 ක් ඇති පිලිපීනය ළඟට රජයේ නිවාඩු 17 බැගින් ඇති චීනයත්, හොංකොං දූපතත් ඊළඟට ඇත. තායිලන්තයේ නිවාඩු දින 16 කි. මැලේසියාවේ සහ වියට්නාමයේ නිවාඩු දින 15 බැගින් ඇත. ඉන්දුනීසියාවේ 14 කි. තායිවානයේ සහ දකුණු කොරියාවේ 13 කි. සිංගප්පූරුවේ 11 ක්ද ඕස්ටේ්‍රලියාවේ සහ නවසීලන්තයේ නිවාඩු දින 10 බැගින් ද ඇත.

ලෝක වෙළඳාමට දායකව ඉන්නා රටවලින් 80% ක් සාමාජිකත්වය දරන ඨ 20 රටවල සාමාන්‍ය නිවාඩු දින ගණන වසරකට 12 කි.
 
ස්වීඩනය සහ ලිතුවේනියාව ඇතුළු යුරෝපයේ ද නිවාඩු දින ගණන එතරම් නරක නොවන්නේ එම රටවල නිවාඩු සංඛ්‍යාව 15ක් බැවිනි. ස්ලෝවැකියාවේ 14 කි. ඔස්ටි්‍රයාවේ, බෙල්ජියමේ සහ නෝර්වේහි නිවාඩු ගණන 13 කි. පින්ලන්තයේ සහ රුසියාවේ 12 ක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දින 11 ක් නිවාඩුය. විශේෂයෙන් ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය නිවාඩු දින ගැන වැඩි තැකීමක් නැත. එම රටවල රජයේ නිවාඩු 8 කි.

පමණට වැඩි නිවාඩු
ජනප්‍රියව පවතින මතය වන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන්ට නිවාඩු මදිය යන්න වුව ද මෙම තොරතුරුවලින් අනාවරණය වන්නේ වෙනත් කතාවකි. මෙම රජයේ නිවාඩු වලට සති අන්ත සෙනසුරාදා හා ඉරිදා දින එකතු කළ විට අවුරුද්දකට නිවාඩු දින 125 ක් පමණ අපේ රජයේ සේවකයකුට හිමි වේ. සරලව කිවතොත් ඔවුන් තමන්ට හිමි නිවාඩු පහසුකම් ලබා නොගත්ත ද ඔවුන් අවුරුද්දකට වැඩ කරනුයේ මාස හතකුත් සතියකි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතිකමය වශයෙන් බහු වාර්ගික උද්‍යෝගිමත් සමාජයක් ඇති බැවින්  නිවාඩු සහිත විවිධ උත්සව සැමරීම සිදු වේ. එය ඇත්තෙන්ම අගය කළ යුත්තකි. එසේ වුව ද අප නිවාඩු අතින් ලෝක වාර්තා තැබිය යුතු බව ඉන් අදහස් නොවේ. ජාතික සංවර්ධනය පෙරදැරි කරගෙන ලෝක වාර්තාවලින් තොරව අපට නිවාඩු ගැන සිතා බැලිය හැකිය.

පක්ෂ හා විරුද්ධ මත
 විවේකය හේතු කොටගෙන විවිධ ආර්ථිකමය ඵල හට ගනී යන සංකල්පය දැඩි ලෙස නිවාඩු දින සමඟ බැඳී ඇත. එක් අතකින් වැඩිවන විවේක කාලය විසින් පුද්ගලයාගේ සතුට වැඩිකරනු ලබයි. 2009 OECD වාර්තාව (ආර්ථික සහයෝගීතාව හා වර්ධනය පිණිස වූ සංවිධානයේ වාර්තාව) “සාමාන්‍ය රටක, ජීවිතයේ තෘප්තිමත් බවේ මට්ටම, විවේකීව ගත කරන කාලයට අනුලෝමව සමානුපාතික වන බවයි.” අනිවාර්ය නිවාඩු දින සංඛ්‍යාව සහ විවේක කාලය අතර අනුලෝම සම්බන්ධතාවක් ඇති බව ද එකී වාර්තාව පවසයි. එහි තවදුරටත් පවසන්නේ විවේකී බව විසින් සාමාන්‍ය යහපත් බවේ ස්වභාවය හිමිකර ගනී. ආදායම් වර්ධනයට මෙන්ම එයට ද ඉල්ලුමක් ඇත.’ යනුවෙනි.

අනිවාර්යය රජයේ නිවාඩු සපයා දීම නිසා ජනයාට තම පවුලේ උදවිය සමග කාලය ගත කිරීමටත් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියාකාරකම් කිරීමටත් හැකියාව ලැබේ. ඊට අමතරව නිවාඩු දින මගින් ආගමික උත්සව සංස්කෘතිකමය සහ අනෙකුත් සමාජ අනන්‍යතා පවත්වා ගැනීමේ හැකියාව උදා වේ. ශ්‍රී ලාංකීය සංස්කෘතික උරුමය වූ සාරධර්ම ආරක්ෂා කිරීම සෑම දෙනාගේ යුතුකම වේ යන මතය එයින් ශක්තිමත් කෙරේ.

විවේචන
කෙසේ වුව ද දැනට පවතින රජයේ නිවාඩු ක්‍රමයේ හානිකර පැත්ත බොහෝ සෙයින් විවේචනයට ලක්ව ඇත. පමණට වැඩි නිවාඩු නිෂ්පාදන ඵලදායිතාවට අහිතකර ලෙස බලපායි. පමණට වැඩි නිවාඩු දින පැවැතීම ආර්ථිකයට මෙන්ම මධ්‍යම මූල්‍ය පද්ධතියට ද හානිකර වෙයි. “සාධාරණ සීමාව” ඉක්මවා නිවාඩු දින පැවැති විට රටක ඵලදායිතාවට අහිතකර බලපෑම් ඉන් ඇති වේ. රටක මූල්‍ය සහ ප්‍රාග්ධන වෙළඳ පොළ, ගෝලීය ප්‍රවණතාව කරා යෑමට උත්සාහ දරන විට විටින් විටට ඇති නිවාඩු දින වලින් ඊට සිදුවන හානිකර බව ද නිසි සේ අවබෝධ කරගෙන නැත.

රටේ යාන්ත්‍රණය දීර්ඝ කාලීනව නවතා තැබීම වැළැක්වීම සඳහා ප්‍රතිසංස්කරණමය පියවර ගතයුතු බවට බොහෝ ප්‍රවීන වෘත්තිකයන් යෝජනා කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ ඇතැම් දේ වෙනස් වන බවක් නොපෙනේ. වෘත්තීය සමිති විසින් පවත්වා ගෙන යන අධිකාරි බලයට අභියෝග කිරීමට කිසිවකු ඉදිරිපත් වන බවක් පෙනෙන්නට නැත.

විසඳුම්
එක් හොඳ යෝජනාවක් නම් නිවාඩු දින සංඛ්‍යාව වෘත්තිය, කර්මාන්තය හෝ ව්‍යාපාරය අනුව වෙනස් කළ යුතුය යන්නයි. වර්තමානයේ ශ්‍රී ලංකාව පවත්වාගෙන යන්නේ එකම තරමේ “ඇඳුම සැමටම ඇන්ද වීමේ” ක්‍රමයයි. රාජ්‍ය අංශය ගතහොත් එහි විවිධ අමාත්‍යාංශ ඇත. විවිධ දෙපාර්තමේන්තු වලට විවිධ කාර්ය භාර ඇත. එම වැඩ උපරිමයට යන්නේ අවුරුද්දේ එකිනෙකට වෙනස් කාල වලදීය. දැනට නිර්දේශ වී ඇති ක්‍රමය අනුව නිවාඩු එක් එක් කාර්ය සටහන් වලට අනුව සකසා සංවිධානය කළ හැකිය. මෙම යෝජනා මගින් සලකා බලන්නේ එක් එක් කාර්ය භාරවලට ගැළපෙන පරිදි නිවාඩු වෙන්කොට බෙදා දැක්වීමට හැකියාව පවතින්නේ ද යන්නයි. ඉතිහාසගත සංස්කෘතික දින දර්ශනයට අනුකූලව නිවාඩු දින ඇතුළත් කිරීමට වඩා එය ඵලදායි වනු ඇත.

තවත් නිර්දේශයක් වනුයේ තනි තනි සේවකයා තෝරා ගන්නා පරිදි නිවාඩු සංඛ්‍යාවත් ඒවා ගන්නා දිනයත්, සමස්ත සංවිධානයේ ඵලදායිතාව සලකා බලා ගන්නට ඉඩ හරින්නා වූ සමස්ත නම්‍යතාවය පවතින ක්‍රමයකි.

එසේම රජයේ නිවාඩු, රජයේ හා බැංකු සේවකයන්ට දුන් විට ඒවායේ බලපෑම පෞද්ගලික අංශයේ සංවිධාන කරා ද විහිද යන්නේ ඒවායේ කටයුතු රාජ්‍ය සේවා හා බැංකු සේවා මත තීරණය වන බැවිනි. උදාහරණයකට හදිසි ණයවර ලිපියක් (LC) විවෘත කර ගැනීම නැතහොත් ආනයනය කළ වැදගත් නැව් බඩු නිදහස් කරවා ගැනීම දැක්විය හැකිය. ඒ මගින් බැරෑරුම් ලෙස, ආර්ථිකය කෙරේ සෘණාත්මක බලපෑම් ඇති වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන චීනය මෑතකදී, සතියක් තරම් දීර්ඝ වූ "Golden Weeks" නමින් හැඳින්වෙන නිවාඩු දීම පිළිබඳව නැවත සලකා බලා තිබේ. ඒ වෙනුවට සමානව පැතිරී ගිය රජයේ නිවාඩු දීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇත.

අපට කාම්බෝජයෙන් පාඩමක් ඉගෙන ගත හැකිය. ආරම්භයකට, අපට අපේ නිවාඩු දින දර්ශනයෙන් දවස් හත අටක් කපා හැර ඒවා වාර්ෂික නිවාඩු දින වැඩිකර ගැනීම සඳහා උපයෝගී කරගත හැකිය. එවිට සේවකයන් දැන් ගන්නා තරම් දරුණු වෘත්තිය ක්‍රියාමාර්ග නොගනිතැයි බලාපොරොත්තු විය හැකිය. අපට සේවකයන්ට කැමැති පරිදි නිවාඩු දිනවල වැඩ කිරීමට යෝජනා කරමින් මෙම ක්‍රමය වෙනසකට  ලක් කළ හැකි වේ. වැඩ කරන නිවාඩු දිනවල ඔවුන්ට අමතර මූල්‍යමය සහන දීමනාවක් හෝ වෙනත් දිරි දීමනාවන් සැපයීම යෝග්‍ය වේ. ආරම්භයේදී එම සේවකයන්ට නිවාඩු දිනවල ප්‍රවාහන සේවා වැනි උපකාරක සේවා ලබා දීම ද කළ හැකි නම් වඩා යෝග්‍යය. කලක් ගත වෙත්ම මෙම සේවා වඩාත් වර්ධනය කළ හැකිය.

නැවත සිතා බැලීම
රජයේ මෙම නාස්තිකාර නිවාඩු ක්‍රමය පිළිබඳ නැවත සිතා බැලීම හොඳය. මෙම ක්‍රමය පෞද්ගලික අංශයේ පමණක් නොව පොදු ජනයාගේ ද අවමානයට පාත්‍රව ඇත. උදාහරණයකට, හින්දු සහ ඉස්ලාමීය උත්සව දින වල මුළු රජයේම මෙහෙයුම් කටයුතු නවතා දමන්නේ ඇයි? ජනගහනයෙන් 70% ක් පමණ බෞද්ධයන් වූ කළ එසේ කිරීම සුදුසු ද?

ශ්‍රී ලංකාවේ බහු ආගමික, බහු සංස්කෘතික ලක්ෂණ නිසා විවිධ සමාජ සමූහවලට රජයේ නිවාඩු දීමෙන් එම සමූහයෙන් පිටත අයට සැලසෙන සුබසෙත කුමක් ද යන්න පැහැදිලි නොවේ.

ඉදිරියේදී විමසීමට නඩු දහස් ගණනක් තිබියදී ඒවායේ වැඩ නවතාගෙන, පවතින නිවාඩු දිනවලට අමතරව උසාවි වලට දීර්ඝ නිවාඩු දිය යුත්තේ ඇයි? අප පොහොය දින නිවාඩුව සෑම පොහොය දිනකටම වලංගු බව ප්‍රකාශයට පත් කළ යුතු ද? එසේ නැතහොත් විශේෂ වැදගත් කමක් ඇති පොහොය දින පමණක් නිවාඩු දුනහොත් නොසෑහේද? මෙම ප්‍රශ්න අප අපගෙන්ම අසාගෙන පිළිතුරු සොයා බැලිය යුතුය.

කෙසේ වුව ද ජාතියක් ලෙස ශ්‍රී ලාංකිකයෝ නිවාඩු දිනවලට ආශා කරති. ශ්‍රී ලංකාවේ රාජ්‍ය කටයුතු ආගම හා සම්බන්ධ වීම තර්ජනයට ලක්ව ඇතැයි මතයක් පවතී. එහෙත් එය ආගමික නිවාඩු දින කෙරේ ගෞරවයෙන් පවසන්නක් නොවේ. තමන්ගේ නොවන එහෙත් සමීපතමයන්ගේ ආගමික උත්සව සඳහා නිවාඩු ඉල්ලමින් මැසිවිලි නඟන්නන් පිළිබඳව මෙම රචකයා කිසි දින අසා නැත.

මීට අමතරව, ප්‍රභූ පුද්ගලයන්ගේ මරණ, දේශීය ආගමික උත්සව, වැඩවර්ජන නිසා ආයතන වසා දැමීම ආදිය හේතුවෙන් ඉඳහිට නිවාඩු වේෂයෙන් ලැබෙන වාසි ද සැලසේ. මේ සියල්ල අතරතුර නිවාඩු දිනවල මත්පැන් අලෙවිය ද ගජරාමෙට සිදුවෙයි.

නිවාඩු ප්‍රතිපත්තිය
රටේ ඉරණම හැඩ ගැන්වීම කිරීම කෙරෙහි වගකීම දරනුයේ ශ්‍රම බලකාය යන්න විශ්වාසය කරන අතරම සුවපහසුව සහ මහන්සි වී වැඩ කිරීම කෙසේ සමතුලනය කරගන්නේ ද යන්න අසීරු කටයුත්තකි.

 තොරතුරු තාක්ෂණය පිළිබඳ විප්ලවයක් සිදුවෙමින් පවතින මේ යුගයේ බොහෝ දින ගණනක් කාර්යාල වසා තැබීම අයුක්තිසහගතය.

ජනතාව ආගමික උත්සව සැමරීම සඳහා නිවාඩු ගත යුතු නොවේය යන්න මෙම ලේඛකයා යෝජනා කර සිටින්නේ නැත.

නිවාඩු දින සංඛ්‍යාව පිළිබඳ විවාදයකට එන්නට ද මෙම ලේඛකයාට අවශ්‍ය නැත. එහෙත් අප ජාතියේ සමාජ ආර්ථික දියුණුව කෙරේ රජයට පැවරී ඇති කාර්ය භාරය දෙස බැලූ විට රාජ්‍ය සේවය හැකිතරම් බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ වැදගත්කම පෙනී යයි. ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන විට, කලින් සිදුවූවා සේම මුලදී එය අසීරු විය හැකි වුව ද කාලයත් සමග එම ගැටලු විසඳාගත හැකිය.

2019 සැප්තැම්බර් 23 Daily Mirror පුවත්පතේ පළවූ ලයනල් විජේසිරි ලියූ Yes Sri lanka has too many public holidays ලිපිය පරිවර්තනය කළේ සමන් පුෂ්ප ලියනගේ



අදහස් (20)

රට පස්සට ඇදලදාන අපේ නිවාඩු

Prasanna Friday, 04 October 2019 07:41 AM

හැමෝටම පේන්නේ ලංකාවේ තියන නිවාඩු 26 විතරයි, මම සේවය කරන ඉස්‍රායල් වල වසරකට නිවාඩු 40 කට වඩා තියනවා.

:       15       71

Athula k Friday, 04 October 2019 08:55 AM

සමහර බටහිර රටවල සිකුරාදා වරුවක් සහ සෙනසුරාදා, ඉරිදා නිවාඩු. දෙසැම්බර් 20 ගණන් වල ඉඳලා ජනවාරි මුල ටිකෙත් නිවාඩු. ඊ මේල් එකක් යැව්වත් ඔටෝ පිළිතුරක් එනවා. අපේ පුද්ගලික සේවකයන් සෙනසුරාදා වරුවෙන් ගියත් ගෙදර යනකොට රෑ වෙලා. ගෙදර ඉඳන් රාත්‍රියේ රැකියාවේ වැඩ කරන අය ඉන්නවා. පැය 8 වැඩ කරලා පැය 4- 5 ක් බස් එකේ කෝච්චියේ යන මිනිස්සු ඉන්නවා. රාජ්‍ය අංශයේ තියන අකාර්යක්ෂම බව වෙන දෙයක්. කැලැන්ඩරේ නිවාඩු දින ගැන විතරක් බලලා හරියන්නේ නෑ...

:       4       16

අපි හම්බන්තොටFriday, 11 October 2019 05:58 AM

හම්බන්තොට අපි නම් කොලබ ඉදලා කිලෝමීටර් 240 පැය 2.5 න් යනවා. අපේ කාර්යාලයේ ඉන්නා නුවර අයට කිලෝමීටර් 115 ක් යන්න පැය 5 ක් යනවා. අපේ රජතුමා අපිට සියලු පහසුකම් ලබා දුන්න.

:       0       10

සමන් Friday, 04 October 2019 10:37 AM

ඉතා වටිනා මාතෘකාවක්... නමුත් මෙය රාජ්‍ය අංශයට අදාලව සැකසී ඇත. පුද්ගලික අංශයේ සතියේ වැඩ කාලය පැය 45කි. එනම් දින 5 1/2 කි. වසරේ ව්‍යවස්ථාපිත නිවාඩු 8කි. වැඩ කරන කාලය පැය 8ට සීමා නොවේ. නමුදු ලොව බොහෝ දියුණු /අර්ධ දියුණු රටවල වසරකට දෙවරක් ඇති සති නිවාඩු මෙහි නැත. අපිට ජීවිත 4ක් ඇත. රැකියාව, පවුල, සමාජය හා ආධ්‍යාත්මය ඒ4 වේ. අපේ රටේ අන් රටවලට වැඩි මානව ගුණාංග ඇත්තේ ඒ නිසාය.

:       13       36

ගෝඨාභය රනිල් කුමාර Friday, 04 October 2019 11:47 AM

මම කතෝලික... නමුත් අපේ රටේ බහුතරය බෞද්ධ... ඒ නිසා පෝය 12 අනිවාර්යයෙන්ම නිවාඩු කළයුතුයි. ඉන්පසුව වෙසක්, නත්තල්, රාමසාන්, තෛපොංගල් අනිවාර්යයෙන්ම නිවාඩු දිය යුතුයි. එම පිරිස සුළුවුවත් ඔවුන් මේ රටේ අපි වගේම අයිතිය තියෙන ජනතාව... ඔවුන්ට ගරුත්වයක් වශයෙන් ජාතික නිවාඩු දින ලබාදිය යුතුයි. එවැනි කරුණු මත නිවාඩු දින 22ක් ලබාදීම සංස්කෘතිකමය වශෙන් ලෝක වාර්තාවක් තැබුවාට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නය නම් මෙම නිවාඩු වලට සහ සතිඅන්ත නිවාඩුවට අමතරව තවත් දින 21ක් රජයේ සේවකයින්ට ලබාගැනීමේ හැකියාවයි. එයද කමක් නැත කියා සිතමු. ලොකුම ප්‍රශ්නය නම් තමන් වැඩ කරන දිනයේ එම පැය ගණන තුළවත් පඩියට සරිලන සේවයක් ඔවුන් සලසනවාද යන්නයි. අඩුම තරමේ රජයේ ආයතනවල ඔවුන්ගේ තේ සහ දහවල් ආහාර වෙලාව තුළ සියලුම සේවකයන් එකවිට නිවාඩු නොගෙන සේවා ලබා ගැනීමට එන ජනතාවට නොකඩවා සේවය සැපයීමේ ක්‍රමයක් ලබාදිය යුතුයි.

:       0       56

samSaturday, 05 October 2019 03:24 AM

ලංකාවේ සේවයේ නිරත (විශ්‍රාමිකයන් නොවේ ) පිරිසෙන් කී දෙනෙකු පොහොය නිවාඩුව ලබා දීමේ පරමාර්ථය වන බෞද්ධාගමික වත් පිළිවෙත් වල නියැලෙනවාද? දහසකට එක් අයෙක් වත් සිල් ගන්නවා තියා එදාට පන්සලකටවත් නිකමට ගිහින් එන්න යනවද ? පෝය දිනට පෙර දින හවස බාර් එකක් ලඟට ගියොත් නම් පෝය නිවාඩුව පාවිච්චි කරන්නේ මොකටද කියලා හිතා ගන්න අමාරුවක් නැහැ.

:       26       59

Rohana Friday, 04 October 2019 01:26 PM

ලංකාව වැනි සමක අසන්න රටවල වැඩ කරන විට මහන්සිය වැඩියි. ඒකනේ සමහර කාර්යාල වායුසමීකරණ කරලා තිබෙන්නේ. පොදු ප්‍රවාහන සේවා අන්තිම දුර්වලයි. බස්වල දුම්රියේ කෙටි කෙටි ගිහින් කාර්යාලයක වැඩකිරීමේ මානසිකත්වය බින්දුවට බහිනවා. තමන්ගේ වාහනයක ගියත් බස් එකේ ගියත් වාහන තදබදයට හෙම්බත් වෙලා වැඩ කිරීමේ මානසිකත්වයට එන්න ටික වෙලාවක් යනවා. මේ නිසා නිවාඩු අවශ්‍යයි කියා මම කියන්නේ නැහැ. පොදු ප්‍රවාහන සේවා ඉතමත් හොඳ මට්ටමක පවතී නම් නිවාඩු වැඩියි කියන කතාව තරමක් දුරට පිළිගත හැක. මෙම ලිපිය ලිය අත්තේ අනිකුත් සේවා ඉතා හොඳ මට්ටමකින් පවතී යි කියා සිත ගෙනය. නමුත් සත්‍ය එසේ නොවේ.

:       0       42

sandy123 Saturday, 05 October 2019 08:14 AM

ඉතාමත් කාලෝචිත ප්‍රශ්නයක්. නමුත් මෙයට පිළිතුරු විවිධාකාරයි. ලේඛකයා පවසන පරිදි සියලුම දෙනා සතුටු කළ නොහැක. එය සත්‍යයයි. විවිධ හැල හැප්පීම් ගලා ඒවි... එමනිසා දේශපාලකයින් රටට මෙය කෙතරම් ප්‍රශ්නයක් වුවත් මෙයට අත නොතබන බව මගේ විශ්වාසයයි. ගින්දරට අත දාන්න කව්රුද කැමති...? අපේ රටේ රාජ්‍ය සේවකයන් පැය 8ක් (වැඩ කරන නොකරන එක වෙන ප්‍රශ්නයක්) වැඩකළ යුතු අතර පුද්ගලික අංශය සතියට පැය 45ක් වැඩ කළ යුතුය. ඉහළින් පළකර ඇති අදහස පරිදි අපි පොදු හෝ පුද්ගලික ගමනාගමනයට වැයකරන කාලය ඉතාමත් වැඩිය. අවම වශයෙන් පැය 8ට අමතරව තවත් පැය 4ක් යාම සහ ඒම සඳහා ගතකළ යුතුය. එනම් දවසට පැය 12කි. එය ඉතා වෙහෙසකාරී දෙයකි. අනිත් කාරණය නම් කියමනක් තියෙනා වැඩ කරන පැය 8ත් හරි යන්න එන්න යන පැය 4ත් හරි යනුවෙන්. එමනිසා දියුණු වීමට නම් නිවාඩු අඩු කළ යුතුය. ඒ වගේම ඒහා බැඳුණු අනිත් දේ කෙරෙහි අවධානය යොමු කර එය දියුණු කළ යුතුමය...

:       14       6

sandy123 Saturday, 05 October 2019 09:16 AM

ඉතාමත් කාලෝචිත ප්‍රශ්නයක්... නමුත් මෙයට පිළිතුරු විවිධාකාරයි. ලේඛකයා පවසන පරිදි සියලුම දෙනා සතුටු කල නොහැක. එය සත්‍යයයි. විවිධ හැල හැප්පීම් ගලා ඒවි. එම නිසා දේශපාලකයින් රටට මෙය කෙතරම් ප්‍රශ්නයක් වුවත් මෙයට අත නොතබන බව මගේ විශ්වාසයයි. ගින්දරට අත දාන්න කව්රුද කැමති. අපේ රටේ රාජ්‍ය සේවකයන් පැය 8ක් (වැඩ කරන නොකරන එක වෙන ප්‍රශ්නයක්) වැඩ කල යුතු අතර පුද්ගලික අංශය සතියට පැය 45ක් වැඩ කල යුතුය. ඉහලින් පලකර ඇති අදහස පරිදි අපි පොදු හෝ පුද්ගලික ගමනා ගමනයට වැය කරන කාලය ඉතාමත් වැඩිය. අවම වශයෙන් පැය 8ට අමතරව තවත් පැය 4ක් යාම සහ ඒම සදහා ගත කළ යුතුය. එනම් දවසට පැය 12කි. එය ඉතා වෙහෙසකාරී දෙයකි. අනිත් කාරණය නම් කියමනක් තියෙනවා වැඩ කරන පැය 8ත් හරි යන්න එන්න යන පැය 4ත් හරි යනුවෙන්. එම නිසා දියුණුවීමට නම් නිවාඩු අඩුකළ යුතුය. ඒ වාගේම ඒ හා බැඳුණු අනිත් දේ කෙරෙහි අවධානය යොමු කර එය දියුණු කළ යුතුමයි.

:       20       0

Rohan Monday, 07 October 2019 04:44 AM

ප්‍රසන්න, ඉශ්‍රායල්වල මොනවද කරන්නේ? එහෙ මොන වගේ ජොබ්ද තියෙන්නේ..?

:       0       1

නාමල් බේබි Monday, 07 October 2019 06:52 AM

අපේ ගෙදර ඉඳන් මගේ ඔෆ්ෆිචේ එකට දුර 39 කිලෝමීටර. ඒත් 6.30ට පිටත්වෙන ස්ටාෆ් බස් එකට එන්න ගෙදරින් 6.10 එන්න ඕන. බස් එක 6.30ට ආවට ඔෆිස් එකට එනකොට 8.15 විතර වෙනවා. සංවර්ධනයේ ආශ්චර්ය ඕක තමයි.

:       7       4

ඩේසි ආච්චිTuesday, 08 October 2019 10:55 AM

මට පහුගිය කෝච්චි ස්ට්‍රයික් දවස්වල ගනේමුල්ලේ ඉඳන් තඹිරිගස්යායට කිලෝමීටර් 26ක් එන්න පැය තුනහමාරක් ගියා...

:       0       1

sana Monday, 07 October 2019 02:04 PM

වසරකට එන නිවාඩු වලින් කිහිපයක් සති අන්තේ යෙදෙනවා. මෙතන ලිස්සලා ගියාට පුද්ගලික බැංකු සේවකයොත් ඔය නිවාඩු හොඳින් භුක්ති විදිනවා.අනෙක මෙතන රාජ්‍ය සේවයට හැමදාමත් කරන බැනීම කරාට ඒ අනුව රාජ්‍ය සේවකයෝ වැඩ කරන්නෙ නැත්නම් ඇයි රජයේ ආයතනයක් වර්ජනය කරාම ඒක රටට ලොකුවට දැනෙන්නේ? ඒ වගේම ඔය කියනා නිවාඩු දිනවලත් රටේ ආර්ථිකය ඒ දිනවලට ගැලපෙන ආකාරයට ක්‍රියාකාරී වෙනවා. නිවාඩු දින ඉවත් කරොත් ඒ දිනවල පිරී යන හෝටල්,සිනමා ශාලා, උද්‍යාන, සංචාරක සේවා ආශ්‍රිත ව්‍යාපාර.. ඒවට මොකද වෙන්නේ?

:       11       33

lalithmThursday, 10 October 2019 03:02 AM

වර්ජන කරාම දැනෙන්නේ රාජ්‍ය අංශය මෙගා රාජ්‍ය සේවාවක් වෙලා පුද්ගලික අංශයෙන් ඉතා පහසුවෙන් කළහැකි දේවල් රාජ්‍ය අංශයෙන් බලෙන් කරන නිසා. උදාහරණයක් ගත්තොත්, දුම්රිය හොඳින් නියාමනය කර පුද්ගලික අංශයට දුන්නොත් ජනාකීර්ණ ප්‍රදේශ ආවරණය කරන්න විදුලි දුම්රිය පටන් ගතහැකි. වෙන රටවල් වල මේවා පුද්ගලික සමාගම් මගින් කරන්නේ. එතකොට ඔය මාර්ග තදබදය නවතීවි. ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා. විශ්වවිද්‍යාල, දුරකථන සේවා වගේ අංශවල පුද්ගලික අංශයේ දායකත්වය නිසා සිදුවුණු වෙනස ඔබට පෙනිය යුතුමයි. ලිඳෙන් ගොඩට විත් ලෝකය දිහා බලන්න.

:       0       1

w.g.wijeratne Tuesday, 08 October 2019 10:35 AM

රාජ්‍ය ආයතන තුළ මීට වඩා හොඳ කාර්යක්ෂමතාවයක් ඇති කළ යුතුයි. ඒ වෙනුවෙන් ඉහළ කළමනාකරණය තුළ හොඳ අධීක්ෂණයක් හා වුවමනාවක් තිබීම අනිවාර්යයි. එය ඇතිවීමට නම් ආයතන හෝ විෂයභාර බලධාරින් අවධියෙන් සිටිය යුතුයි. ඔවුන්ට ආයතනයේ සේවාව ගැන දැනුමටත් වඩා වුවමනාවක් තිබිය යුතුයි. ආයතනවලින් හා රාජ්‍ය සේවකයින්ගෙන් තමාගේ අවශ්‍යතා ඉටුකරගන්න පත්වෙන බලධාරීන් රාජ්‍ය ආයතන වල ඵලදායිතාවය පහත හෙලනවා. මෙම බලධාරීන්ගේ පාලන බලධාරීන්ට හෙවත් රජයට නිසි දැක්මක් ඇත්නම් මාස්පතා ප්‍රගතිය මැනබැලීමෙන් හා නිසි ක්‍රියාමාර්ග ගැනීමෙන් සේවකයින්ගේ නිවාඩු ගැන කතා නොකර ආයතන වල ඵලදායිතාවය ඉහළ නන්වා ගතහැකියි. නිවාඩු අඩුකළත් නිවැරදි අධීක්ෂණයක් නොකලොත් අවශ්‍ය කාර්යය ඉටු නොවනු ඇත. නිවාඩු අඩු කළොත් සේවක අසහනය ඉහළයනු ඇත. එ් තුළින් ඵලදායිතාවය පහළ වැටෙනු ඇත. කොටින්ම කියනව නම් විෂයභාර ඇමතිවරු හොඳයි නම් එම ආයතන හොඳට තියේවි...

:       0       5

w.g.wijeratne Tuesday, 08 October 2019 10:41 AM

සේවක තෘප්තිය තුළින් ආයතනවල හොඳ සේවාවක් ගන්න පුළුවන් බව දන්නෙම නැද්ද? මහා එකා හොඳයි නම් පොඩි අයගේ නිවාඩු ගැන කතා වුවමනා නෑ.

:       0       1

Rohan Thursday, 10 October 2019 03:05 AM

කියන්න ලේසි නමුත් කරන එක තමා අමාරු.

:       0       0

Desha Thursday, 10 October 2019 05:25 PM

පෝය නිවාඩු සියල්ල අවලංගු කරල වෙසක් නිවාඩුව විතරක් තියන්න නව ජනාධිපතිට කියමු

:       0       0

ධනුෂ් Sunday, 13 October 2019 11:23 AM

ඇත්තෙන්ම නිවාඩු සහ විවේකය යනු භූ විෂමතාවය අනුව වැඩකරන ජනතාව භුක්ති විඳිය යුතු පහසුකමකි.ඒ අතින් අතිශය උෂ්ණාධික කලාපයක පිහිටි ශ්‍රී ලංකාවේ නිවාඩු මදිය. චීනය වැනි රටවල දවාලට නිදාගැනීමටද කාලයක් ලබාදේ. සිසිල්, වෙහෙස අඩු භූ කලාපවල ජීවත්වන සේවකයන් ගේ කාර්‍යක්‍ෂමතාව හා ලංකාවේ මිනිසුන් ගේ කාර්‍යක්‍ෂමතාව සැසඳීම හුදෙක් උගත් නිරූපකයන්ගේ ස්වභාවයකි.

:       0       0

thusitha Monday, 14 October 2019 02:51 AM

මේ නිවාඩු අදාල වන්නේ රජයේ අයට විතරයි. අපි නිවාඩු වලට වඩා වැඩියෙන් වැඩ කරනවා. ඒ මදිවට ලැබෙන වැටුප මදි නිසා අමතර ආදායම් කරනවා. අනෙක් කාරණාව පෝය නිවාඩු තිබිය යුතුමයි මක් නිසාද අඩුම තරමේ පෝයටවත් පන්සල් යා යුතු නිසා w.g.විජේරතන /රොහාන්/ධනුෂ් ගේ අදහසට මම එකගයි

:       0       2

ඔබේ අදහස් එවන්න

කිවිදා දැක්ම

ප්‍රගති මාවතේ අභියෝග
2024 අප්‍රේල් මස 19 142 0

සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්‍රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාල


සීරුවෙන්! නැව මාරයෙක්
2024 අප්‍රේල් මස 05 1416 2

මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට සිදුවී තිබෙන්නේ පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය. නිකම්ම නිකං පරිසර ප්‍රශ්නයක් ගැන නොව මෙරට මුහුදු තීරණයට බරපතළ හානියක් සිදුව


සත්‍යයට පිටුපෑමේ ආදීනව
2024 මාර්තු මස 29 590 4

“රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි. රාජපක්ෂලාගෙන් ගොඩගිය අය මෙන්ම එසේ නොව


​බලයේ තත්වයේ හෑල්ලුව
2024 මාර්තු මස 22 509 0

මේ සතියේ කිවිදා දැක්ම තුළ සාකච්ඡා කළ යුතු යැයි සිතෙන කරුණු කීපයක්ම තිබේ. මෝදු වෙමින් පවතින ජනාධිපතිවරණ සාකච්ඡාව එවැනි එකක්ය. ඉදිරියට එන්නේ ජනපතිවරණයක


කුමන්ත්‍රණ කතාවට එකතුවක්
2024 මාර්තු මස 15 1198 3

“ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ලියැවුණු කෘතිය පැති කිහිපයකින් රටේ අනාගතය ගැන සිතීමේ දී වැදගත් වන්නේය.


මූල්‍ය විනය අවුල්කළ තීන්දුවක්
2024 මාර්තු මස 08 1064 2

මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මතුවී තිබෙන එක් මාතෘකාවක් වන්නේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ අති විශාල වැටුප් වැඩි කර ගැනීම පිළිබඳවය. 2023 වර්ෂයේ සිට මහ බැංකුව ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site