රුසියාව රැක ගැනීමේ ලෙනින්ගේ අරගලය - 02

අපි වෙනුවෙන් හා අධිරාජ්‍යවාදීන් පිටුදැකීමට ඉක්මනින් සුවය ලබාගන්න. සැප්තැම්බර් 12 වැනි දින රතු හමුදාව සිම්බීර්ස්ක් නිදහස් කර ගත් අතර පළමු වැනි හමුදාවේ භටයෝ ලෙනින් වෙත විදුලි පුවතක් එවූහ. ආදරණීය ව්ලැදිමීර් ඉල්යිච් ජන්ම නගරය අත්පත්කර ගැනීමෙන් අපි ඔබේ එක් තුවාලයක් සඳහා පළිය ගත්තෙමු. අනෙක් තුවාලයේ පළිය ගැනීමට අපි සමාරාව අත්පත් කර ගන්නෙමු. ඊට ලෙනින් මෙසේ පිළිතුරු දුනි. මගේ ජන්ම නගරය සිම්බීර්ස්ක් අත්පත් කර ගැනීම පුදුමාකාර ඖෂධයකි. මගේ තුවාලවලට හොඳම ප්‍රතිකාරයයි. මට නව පණක් හා ශක්තියක් ලැබුණා සේ දැනේ. රතු හමුදාවේ භටයින්ට ඔවුන්ගේ ජයග්‍රහණය ගැන මගේ සුබ පැතුම්. ඔවුන්ගේ සියලු පරිත්‍යාගයන් සඳහා මුළුමහත් වැඩ කරන ජනතාව වෙනුවෙන් මගේ ස්තූතිය පිළිගන්න. ඔහුගේ තුවාල සුව වූ වහාම ඔහු පක්ෂයෙහි හා රටෙහි වැඩ කටයුතු යළිත් භාර ගත්තේය. 

 

1918 - 1919 ශීත සෘතුවේ යළි උත්සන්න කරන ලද සටන් ඇවුළුණි. ඇමෙරිකා එක්සත් ජනපදයේ, බි්‍රතාන්‍යයේ, ප්‍රංශයේ හා ජපානයේ අධිරාජ්‍යවාදීහු සෝවියට් රුසියාවට එරෙහිව දැවැන්ත හමුදා ඒකරාශි කළහ. ඔවුහු උතුරෙන් ඔඩෙස්සාවලින් සහ ක්‍රිමියාවෙන්ද, ට්‍රාන්ස් කොකේසියාවෙන් මධ්‍යම ආසියාවෙන් හා ඈත පෙරදිගින් හමුදා යෙදවූහ. මනාව ආයුධ සන්නද්ධ කරන ලද දස ලක්ෂයකට අධික යුද භටයෝ සෑම පැත්තකින්ම සෝවියට් සමූහාණ්ඩුව වට කළහ. අධිරාජ්‍යවාදිහු ධවල හමුදාව සෙන්පතියන්ට ආධාර කළෝය. පළමුවෙන්ම, කොල්චාක්ට ආධාර කළහ. 1919 වසන්තයේ කොල්වාක්ගේ හමුදාව ප්‍රහාරයක් දියත් කළේය.


පක්ෂය විසින් මෙහෙය වන ලද ජනතාව ඔක්තෝබර් විප්ලවයේ සතුරෝ ප්‍රතිරෝධනය උත්සන්න කළහ. ලෙනින්ගේ ඉල්ලීම වූයේ “පෙරදිග පෙරමුණට ආධාර දෙන්න” යන්නයි. කොමියුනිස්ට්වරුන් විසි දහසක් ද කොමියුනිස්ට් තරුණ සංවිධානයේ සාමාජිකයෝ දහස් ගණනක් ද කම්කරුවෝ සහ වෘත්තිය සමිති සාමාජිකයෝ 60,000 කට අධික සංඛ්‍යාවක් ද, කොමියුනිස්ට් පක්ෂයේ ඉල්ලීමට ප්‍රතිචාරය දක්වමින් පෙරමුණ බලා පිටත් වූහ. 


ලෙනින් කිසි දිනෙක දුෂ්කරතා නොසැඟවීය. ඔහු නිතරම ජනතාවට ඇත්ත කීවේය. එසේම පක්ෂයට ද එසේම කරන ලෙස උගැන්වීය. කොමියුනිස්ට්වරු කම්හල්වලට ආකරවලට හා ගම්වලට ගොස් සෝවියට් සමූහාණ්ඩුව වැටී ඇති අමාරු තත්ත්වය ගැන ජනතාවට කීහ. සෝවියට් බලය ශක්තිමත් කරන ලෙස හා ආරක්ෂා කරන ලෙස කම්කරුවන්ගෙන්   ගොවීන්ගෙන්,  නැවියන්ගෙන්  හා හමුදා භටයින්ගෙන් ආධාර ඉල්ලා සිටියෝය. ඔවුහු යුධ පෙරමුණේ ඉතාමත් බිහිසුණු අංශවලට ගොස් පෞද්ගලිකව ආදර්ශ දෙමින් මිනිසුන් එඩිතර ක්‍රියාවලට දිරි ගැන්වූහ. කොමියුනිස්ට් පක්ෂයේ ස්ථාවරභාවයත් බිහිසුණු කාලය තුළ එය ක්‍රියාකළ කල්පනාකාරි දැමුණු ස්වභාවයත්, ජයග්‍රහණය පිළිබඳ එහි අචල විශ්වාසයත්, එය තව තවත් බහු ජනතාවට සමීප කළේය. ජයග්‍රහණයෙන් කෙළවර වන යුද්ධයක් කිරීමට ශක්තිමත් සංවර්ධිත අභ්‍යන්තර පෙරමුණක් අත්‍යවශ්‍යයි ලෙනින් කීය. ජනතා සහයෝගය නොමැති නම් ලෝකයේ හොඳම යුද හමුදාව වුවද විනාශ කරනු ලබනු ඇත. හමුදාවට ආයුධ සැපයිය යුතුය. ආහාර දිය යුතුය. ඇඳුම් සැපයිය යුතුය. අභ්‍යන්තර පෙරමුණේ කාර්යය මෙයයි. ලෙනින් සහ පක්ෂය නිරතුරුවම යුද බිමේ සිටින හමුදාවට ආධාර දෙන ලෙස ඉල්ලා සිටියහ. 


කම්කරුවෝ සහ මුළුමහත් වැඩ කරන බහු ජනතාව ශ්‍රම පෙරමුණෙන් වීරෝදාර ප්‍රයත්නයන් හි යෙදෙමින් නායකයාගේ ඉල්ලීමට ප්‍රතිචාරය දැක්වීය. 1919 වසන්තයේ මොස්කව් හි, දුම්රිය සේවකයන්ගෙන් ආරම්භ වූ කොමියුනිස්ට් සුබොත්නික් ව්‍යාපාරය (රජයේ සුබ සිද්ධිය සඳහා ආරම්භ කරන ලද ශ්‍රමදාන ව්‍යාපාරය) රට මුළුල්ලෙහිම සංවිධානය කෙරිණ. ලෙනින් මෙම සුබොත්නික් ව්‍යාපාරය “ශ්‍රේෂ්ඨ ආරම්භයක්” නමැති ලිපියෙන් ඓතිහාසික වැදගත්කමකින් යුතු සිද්ධියක් ශ්‍රමය කෙරෙහි කොමියුනිස්ට් ආකල්පයක නියම ආරම්භයක් වශයෙන් හඳුන්වන ලදි. කොමියුනිස්ට් වාදය ආරම්භ වන්නේ පොදු කම්කරු ජනතාව ශ්‍රම ඵලදාව වැඩි කිරීමට උනන්දුවක් දක්වන තැනය. ධාන්‍ය, ගල් අඟුරු, යකඩ සහ සමස්තයක් වශයෙන් පොදුවේ ජනතාවට අයත් අනෙකුත් නිෂ්පාදන රැක බලා ගැනීමට උනන්දුවක් දක්වන තැනය. 1920 මැයි 1 වැනිදා ක්‍රෙම්ලින් හා සංවිධානය කරන ලද සුබොත්නික් ව්‍යාපාරයකට ලෙනින් ද සහභාගී විය. 


හැකි සෑම අයුරකින්ම ශ්‍රම ඵලදාව වැඩි කරන ලෙස ලෙනින් කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය. අවසාන විශ්ලේෂණයක යෙදෙන්නේ නම් ශ්‍රම පලදාව නව සමාජ ක්‍රමයේ ජයග්‍රහණය උදෙසා ඉතාමත්ම වැදගත් ප්‍රධානම දෙය වේ යයි ඔහු ලීවේය. 


සෝවියට් සමූහාණ්ඩුවට රටවල් දාහතරක ආක්‍රමණයට එරෙහිව ආරක්ෂාව සලසා ගැනීමට සිදු විය. ආක්‍රමණකාරී හමුදා හා අභ්‍යන්තර ප්‍රතිවිප්ලවය පරාජය කිරීමේ කර්තව්‍යය, උදෙසා සෑම දෙයක්ම යොමු කිරීමට සිදු විය. කර්මාන්ත හා ප්‍රවාහන කටයුතුවල මෙන්ම යුද හමුදාවේ හා නාවික හමුදාවේද යුද්ධ නීතිය ක්‍රියාත්මක කරන ලදි. යුද හමුදාවට හා කම්කරුවන්ට ආහාර සැපයීම සඳහා සෝවියට් රජයට රටෙහි සීමිත ආහාර තොග බෙදාහැරීමේදී දැඩි සීමාවන් පැනවීමට සිදු විය. අතිරික්ක පවරා ගැනීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරන ලද අතර ඒ යටතේ යුද හමුදාවට හා කම්කරුවන්ට ආහාර සැපයීම සඳහා අතිරික්ත ධාන්‍ය තොග රජයට භාර දීමට ගොවීන්ට සිදුවිය. සතර වටින්ම සතුරන් විසින් වටලන ලද බළකොටුවක් තුළ සිටින්නාක් මෙන් තත්ත්වයක පසුවන සෝවියට් සමූහාණ්ඩුවට එසේ නොමැතිව ජීවත් විය නොහැකි යැයි ලෙනින් පැවසීය. සර්ව සාධාරණ ශ්‍රම සේවාවක් ඉදිරිපත් කරන ලද අතර ආහාර නිකුත් කරන ලද්දේ වැඩ කළවුන්ට පමණි. යුද්ධය හා ආර්ථික පරිහානිය හේතු කොට ගෙන අවශ්‍ය වූ තාවකාලික පියවරක් වශයෙන් යුද්ධ කොමියුනිස්ට්වාදය නමැති ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදි. 


විදේශිය ආක්‍රමණිකයන්ට හා අභ්‍යන්තර ප්‍රතිවිප්ලවයට එරෙහිව අරගලය ඉතාමත් උත්සන්න අවස්ථාව පැමිණි විට පක්ෂයේ අටවෙනි සම්මේලනය කැඳවන ලදි. එය 1919 මාර්තු 18 වැනිදා, පැරිස් කොමියුන දිනයෙහි දී ආරම්භ විය. කොමියුන් සභිකයන් සිතූ පැතූ හා දිනාගැනීමට සටන් කළ දෙය රුසියන් නිර්ධන පංතිය විසින් සාක්ෂාත් කරනු ලැබ තිබුණි. මෙය සමුළු නියෝජිතයන් අතර උල්ලාසයක් ජනිත කළ අතර, සෙසු රටවල සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කිරීමේ විශ්වාසයකින් ඔවුන් පණ ගැන්වීය.

 


මතු සම්බන්ධයි.

 

එම්. තාරික්
ඡායාරූපය : අන්තර්ජාලයෙනි