මේ පරිද්දෙන්ම ෂැංහයිවල දී මාඕ සහ චෙන් යන දෙදෙනා තමන්ට රැස්කළ හැකි හැම බලයක්ම භාවිතා කොට ප්‍රතිගාමි පිලට එරෙහිව සටන් කළහ. ෂැංහයි පක්ෂ කමිටුවට කිසි විටකත් වැරදිය නොහැකි යයි තරයේම කියා සිටි ඔවුහු එය අනුගමනය කළ යුතු යැයි පැවසුහ. ඔවුන්ට සම්පත් දෙකක් විය. පළමුව පැරණි නගරාධිපති  විසින් කරන ලද දියුණුව නිසා දිනාගත් වැසියන්ගේ හොඳ හිත භාවිත කළ ඔවුහු එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කළහ. දෙවනුව තමන් විසින්ම ෂැංහයිවල සංස්කෘතික විප්ලවය ආරම්භ කළ ඔවුහු එය තමන්ගේ ජයග්‍රහණයක් ලෙස ඉදිරිපත් කළහ. දෙවනුව තමන් විසින්ම ෂැංහයිවල සංස්කෘතික විප්ලවය ආරම්භ කරන ලද බවත් නියම මාඕවාදීන් තමන් බවත් පෙන්වීමෙන් මෙය කළ හැකි විය. නාගරික පක්ෂ කමිටුව මධ්‍යම කරක සභාවට සහයෝගය දෙන බවත් එමෙන්ම තමන්ට විරුද්ධ වන්නන් ඇත්ත වශයෙන්ම එරෙහි වන්නේ සභාපතිට බවත් ඔවුහු ප්‍රකාශ කළහ. කැරලිකරුවන් මහජනයාගේ විරුද්ධවාදීන් ලෙස හුවා දැක්වීමට ඔව්හු උත්සාහ ගත්හ. ප්‍රධාන සතුරා ලෙස සලකන ලද්දේ සුළු සුළු වැරදි කළවුන්ය. 
 
කැරලිකරුවන්ගේ දුර්වලතාවයන් ඔවුන්ට විරුද්ධව ඉදිරිපත් කරන ලදී. ආර්ථිකය හා සදාචාරය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කැරලිකරුවෝ එතරම් පැහැදිලි අදහස් නොදැරූහ. මේ නිසා සාමාන්‍ය  කැරලිකරුවන්ගේ අදහස් උදහස් ව්‍යාකූල කිරීමට සංශෝධනවාදීන්ට අවස්ථාව ලැබුණි. ඇතැම් ව්‍යවසායකයන්හි කම්කරුවන් 50% පමණ ද ඇතැම් තැනක 80%ක් පමණ ද පක්ෂ නායකයන් වෙතට රොක් වූහ. ජූනි, ජූලි මාසයක් තුළ අරගලය ඇවිළී ගියේය. 


ජූලි මස අගදී සභාපති මාඕ පීකිංවලට පෙරළා පැමිණියේය. සංස්කෘතික විප්ලවය අඩපණ කර ඇති බව ඔහුට පෙනී ගියේය. ලියු ෂා ඕචි ප්‍රතිගාමී ධනපති මගෙහි ගමන් ගන්නා බව සක්සුදක් සේ පැහැදිලි විය. මහජනයාට නන් අයුරින් පහර දෙනු ලැබූ අතර පක්ෂය තමාගේ පිලේ සටන් කරනු ඇතැයි ලියූ විශ්වාස කළේය. සුළු දෙනකු රැක ගැනීම සඳහා ඔවුහු බහුතරයට පහර දුන්හ. 
මධ්‍යම කාරක සභාවේ රැස්වීමක් සභාපති ගැන වහාම කැඳවීය. අගෝස්තු 8 වැනිදා පවත්වන ලද අටවන පක්ෂ කාරක සභාවේ එකොළොස් වන පූර්ණ සැසිවාරයේ දී කරුණු  දහසය යනුවෙන් ප්‍රචලිත වූ ‘පීඩිත පංතික මහා සංස්කෘතික විප්ලවය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණ’ ප්‍රකාශයට පත්කරනලදී. 


‘මූලස්ථානයට වෙඩි තබනු’ යනුවෙන් මාඕ සේතුං තමාගේම පෝස්ටරය ප්‍රකාශයට පත් කළේය. නම් සඳහන් නොකොට ප්‍රතිගාමීන්ගේ නායකයා ලියූ ෂා ඕචි බව මෙයින් අනාවරණය කෙරිණි. ජනතාව මත විශ්වාසය තබා ඔවුන්ගේ මූලිකත්වය ගරුකොට බිය නොවී විය හැකි කලබලකාරී තත්ත්වයට මුහුණ දීම මාඕ අනුගමනය කළ මාවත විය. 


යළිත් කැරලිවාද විවාද උච්ච ස්ථානයට පැමිණියේය. සම්පූර්ණයෙන්ම නිවා දැමුවාක් මෙන් තිබූ ගිනි දලු යළිත් ඇවිලෙන්නට විය. 


අගෝස්තු 18 වැනිදා පවත්වන ලද රතු භටයන්ගේ මහජන රැලියක දී ඔවුන් පලඳින රතුපටිය මාඕ සේතුං සිය බාහුවෙහි පැලැන්දේය. ව්‍යාපාරය රටපුරා පැතිර ගියේය. ‘චතුර්විධ පැරැන්නන්’ නමින් හැඳින්වුණ අදහස් සංස්කෘතික සිරිත් හා හුරුපුරුදු  යන සියල්ලටම රතු භටයෝ රටේ අස්සක් මුල්ලක් නෑර පහර දෙන්නට වන්හ. ෂැංහයි පක්ෂ කමිටුවේ යම්කිසි බරපතළ අඩුපාඩු තිබෙන බව රතු භටයන්ට ඒත්තු ගියේය. ඔවුහු මූලස්ථානයට වෙඩි තබන්නට පටන් ගත්හ. ප්‍රතිගාමීන්ගේ ක්‍රියාකලාපයට රැවටුණු කම්කරුවන් හා ශිෂ්‍යයන් බොහෝ දෙනෙක් නගර සභා පක්ෂ කමිටුව රැකගැනීමට එක්රොක් වූහ. දිවා රෑ දෙකෙහිම පක්ෂ කමිටු කාර්යාල  වටා විවාද කරමින් සෙනඟ විශාල සංඛ්‍යාවක් සිටියහ. සිය අනුගාමික කේඩර්වරුන්ගේ සහයෝගය ලැබු නගරාධිපති චාඕ සහ ප්‍රධාන ලේකම් චෙන් පීකිං වලින් පැමිණි ශිෂ්‍යයන්ගේ ජන්මය හොඳනැති වුණත් ඔවුන් ඉඩම්  හිමියන්ගේ දරුවන් බවත් සැබෑ ප්‍රතිගාමින් ඔවුන් බවත් පවසමින් නොයෙකුත් චෝදනා එල්ල කළහ. රතු භටයන් සමග සටන් කිරීමට ඔවුහු කම්කරුවන් උස්ගැන් වූහ. මේ කටයුත්ත ප්‍රමාණය ඉක්මවා ගියේය. යම්කිසි විශාල වැරැද්දක් සිදුවී ඇති බව වටහාගත් කම්කරුවන් බොහෝ දෙනෙක් ක්‍රමයෙන් ශිෂ්‍යයන්ගේ පිළට එක්වූහ. 


අගෝස්තු මාසය අවසානය වනවිට විප්ලවකාරී ශිෂ්‍ය කණ්ඩායමක් ෂැංහයි නුවර පිහිටුවන ලදී. සෑම විටම විප්ලවය ඉදිරියෙන් සිටියේ ශිෂ්‍යයන් බව චින ඉතිහාසයේ මැනවින් පෙනේ. අගෝස්තු සිට ඔක්තෝබර් දක්වා අරගලය  පැවතිණි. කෙසේ වෙතත් ෂැංහයි නුවර බල තත්ත්වයන් දැරූ උසස් පෙළේ පාක්ෂිකයෝ ප්‍රතිගාමි පිලෙහි දරදඬු ලෙස එල්ඹ ගෙන සිටියහ. 


දෙසැම්බරයේදී අරගලය පෙරටත් වඩා දරුණු විය. ඔක්තෝබර්වල දී කැඳවන ලද මධ්‍යම කාරක සභා රැස්වීමේන් පසු තමන් රවටා ඇති බව කම්කරුවන්ට වැටහින. විවිධ කැරලි කණ්ඩායම් සම්බන්ධ කිරීම සඳහා නොවැම්බර් මස මුලදී මධ්‍යස්ථානයක් ඇති කරන ලදී. විප්ලවකාරී ව්‍යාපාරයක අරටුව වන්නේ කාර්මික ක්ෂේත්‍රයේ සිටින කම්කරු පංතියයි. කම්කරුවන්  අවදි කරනු ලැබු සැනින්ම තත්ත්වය ඉතා ඉක්මනට වෙනස් විය. ප්‍රතිගාමීහූ තදින්ම බිය වූහ. දේශපාලනය සඳහා තමන්ගේ වටිනා කාලය මිඩංගු නොකළ යුතු යයි ඔවුහු දේශනා කරන්නට පටන් ගත්හ. විශේෂයෙන් මාඕ සේතුං කළ නිෂ්පාදනය මර්දනය කරන්න යන පාඨය ඔවුහු උපුටා දැක්වූහ. එනමුත් විප්ලවය මැනවින් වටහා ගන්න. යන එහි පළමු කොටස අත්හලහ. කැරලිකාර කම්කරු මධ්‍යස්ථානය සමග කිසිදු ඇයි හොඳැයි කමක් පැවැත්වීමට නගර සභා පක්ෂ කමිටුව ඉදිරිපත් නොවීය. ඊට සහයෝගය දක්වනු කෙසේ වෙතත් එවැන්නක් තිබෙන බව වත් ඔවුහු පිළි නොගත්හ. 
කෙසේ වෙතත් මේ අතරවාරයේදී කැරලිකරුවන්ගේ ශක්තිය වර්ධනය වන්නට විය. නොවැම්බර් මුල දී කැරලිකාර මධ්‍යස්ථානයේ සිටියේ සාමජිකයන් 10,000ට වඩා වැඩි සංඛ්‍යාවක් වුවද එ මස අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 500,000 දක්වා වැඩිවිය. බල හමුදාවන්ගේ තුලනතාවය මූලික  වශයෙන් වෙනස් වෙමින් පැවතිණි. නගර සභාවේ කාර්යාල බොහෝ ගණනක සේවය කළ කේඩර්වරු කැරලිකරුවන්ට පක්ෂපාතී බව ප්‍රකාශ කළහ. මෙය සතුරාගේ පිළිකන්නේ  හටගත් පිපිරීමක් බඳුවිය. කම්කරුවන්  විසින් කළ නොහැකි විශේෂ කාර්යභාරයක් ඉටු කිරීමට කේඩර්වරුන්ට ඉඩ ප්‍රස්තාව තිබුණි. ශිෂ්‍යයන් විසින් පෙරමුණ ගනු ලැබුව ද නගර සභා පක්ෂ කමිටුවේ ඇතුළත පිළිබඳව දැනුමක් ඔවුන්ට නොවීය. පක්ෂ කමිටුව ගැන කිසියම් අවබෝධයක් කම්කරුවන්ට තිබුණු අතර මහජන මතය වෙනස් කිරීමට ද ඔවුන්ට හැකිවිය. එහෙත් සංවිධානාත්මක ගැටලු හා සිසුවන්නේ කේඩර්වරුන්ට පමණි. නගර සභා කේඩර්වරුන් විප්ලවයට ඒකරාශී වීම මහජන මතයෙහි ප්‍රබල වෙනසක් ඇති කළේය. ශිෂ්‍යයන් කම්කරුවන් හා කේඩර්වරුන් යන තුන් කණ්ඩායමෙන්  සැදුම්ලත් විප්ලවකාරී හමුදාව සෑහෙන බලවේගයක් විය. මේ අය එකමුතු වුවහොත් ඔවුනට එරෙහිව සිටි ප්‍රතිගාමින් අතළොස්සට බලපෑම් කළ හැක. 


මේ වනතුරුත් නගරාධිපති හා ප්‍රධාන ලේකම් යන දෙදෙනා පරාජය පිළි ගැනීමට ඉදිරිපත් නොවූහ. ඔවුන් විසින් වත්මන් කරන ලද කම්කරු පිරිසකට සංරක්ෂණවා දී සංවිධානයක් වශයෙන් සමන්විත වී රතු පුරවැසි හමුදාව යන නම යටතේ කැරලිකරුවන්ට විරුද්ධකම් පාන්නට ඔවුහු උපකාර කළහ.

 

 

 

 

 

 

 

 

 


මාතලේ - එම්. තාරික්