යුදෙව් සංහාරකයාගේ නොපළ කතා - 04

තමා සිරගත වූ කාලයේ දී පක්ෂ අරමුදල් හීන වී ඇති බව දුටු හිට්ලර් අරමුදල් තර කර ගනු වස් ධනවතුන් වැවිලිකරුවන් අනුග්‍රාහකයින් සොයා වෙහෙස නොබලා සතියකට නගර විස්සකට පමණ ගියේය. ඉදිරි මැතිවරණය වෙනුවෙන් දිවා රෑ නොබලා වැඩ කළ ඔහුගේ ශූරත්වය නිසාම 1930 මැතිවරණයේදී රයික් පාර්ලිමේන්තුවේ ආසන 107 ක් හෙවත් ඡන්ද ලක්ෂ 50 ක් දිනා ගැනීමට සමත් විය. පක්ෂයේ අති විශිෂ්ට ජයග්‍රහණය මෙයම විය. එසේම  කෙසේ වුවද විසි හත් දහසක්ව පැවැති නට්සි පක්ෂයේ සාමාජිකත්වය 1932 වන විටදී 1,414,000 ක් වූ අතර ඇස් ඒ බළකාය විසි ලක්ෂයක් පමණ වූහ. එම සංඛ්‍යාව ඒ වන විටදී සමස්ත ජර්මන් යුද හමුදාවේ ප්‍රමාණයද ඉක්මවීය.


මේ වන විටදී ජර්මන් ජනපතිවරයා වූයේ වොන් හින්ඩන්බර්ග්ය. ඔහුගේ පළමු ධූර කාලය අවසන්වීමට නියමිතව තිබූ කාලයේ මීළඟ ජනපති වන්නේ කවුදැයි විමසිල්ලක් මතු විය. ඒ අතර ඇතැමෙක් හිට්ලර්ට කැමති වූහ. ඇතැමෙක් සොල්දාදූවෙක් පමණක් යැයි කියා ඔහුට දෝෂාරෝපණය කළා පමණක් නොව කෘතහස්ත ජර්මන් දේශපාලනඥයා වූ ජනපති හින්ඩන්බර්ග්ගේ පැත්තම ගත්හ. නමුත් හිට්ලර් කිසිදු බියකින් තොරව ජනපති සටනට පෙළ ගැසිණි. ජනපති සටනෙන් හින්ඩන්බර්ග් පෙරමුණ ගත්තත් හිට්ලර්ද ඒ ආසන්නම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තේය. වසර ගණනක කෘතහස්ත දේශපාලනයක් හිමි උසස් පිළිගැනීමක් ඇති රාජ්‍ය තාන්ත්‍රිකයෙක් හා වැදගත් පුද්ගලයෙක් වූ හින්ඩන්බර්ග්ගේ ජය අසලටම සෙබළෙකුගේ ආගමනය ඔහුට රිසි වූයේ නැත. ඡන්ද ප්‍රමාණ සමානත්වයේ ආරම්භයකට හෝ පැමිණ තිබූ නිසා නැවත ඡන්දයක් තබන්නට සිදු විය. හිඩන්බර්ග්ගේ ජය මෙහිදී තිර වුවත් හිට්ලර් තවත් ඉදිරියට පැමිණියේය. කෝලාහලකාරී නූගත් ජර්මන් පුරවැසිකම හෝ නැති පහත් පෙළේ යැයි සැලකූ හමුදා සෙබළෙක් හා දෙවරක් තරඟ කිරීමට සිදු වීම ගැන ජනපති කනස්සලු විය.
කෙස් වුවද මේ වන විටදී ජර්මන් දේශපාලන පොර පිටියේ බලවතුන් සිටියේ පස් දෙනෙක් පමණි. ඒ ජනපති හින්ඩන්බර්ග්, කෘතහස්ත දේශපාලනඥයෙක් වූ බෘනිං, වොන් පැපන්, ක්ලූචර් හා හිට්ලර්ය. හිට්ලර් හැරුණු කොට සෙස්සෝ කොමියුනිස්ට් මත හෝ ජනපතිගේ පක්ෂයේ වූ අතර ඔවුහු සියලු දෙනා හිට්ලර්ගේ සතුරෝද වූහ. මේ කාලය තුළදී උක්ත සිව් දෙනාම උත්සාහ කළේ කෙසේ හෝ හිට්ලර්ගේ ඉදිරි ගමන නවතාලීමටය. ඒ සඳහා ඔවුහු විවිධ අවස්ථාවලදී විවිධ කුමන්ත්‍රණ දියත් කළ අතර හිට්ලර්ට මෙය විශාල අභියෝගයක් ම විය. හිට්ලර්ට වඩාත් පක්ෂව සිටි ජර්මන් යුද හමුදාවේ “ස්ටෝම් ටෲපර්” නම් බළකාය ජනපති ලවා විසුරුවා හැරීමට කටයුතු කිරීම එහි එක් අවස්ථාවක් විය. මින් හිට්ලර් මහත් සේ කම්පාවට පත් වූ අතර ඔහු මහා කඩාවැටීමකට ලක් විය. නමුත් ඔහු සියල්ල විඳ දරා ඉදිරියටම ගියේය. 


මේ වන විටදී හිට්ලර්ටම නිර්මාණය කළ නාසි පක්ෂය පාර්ලිමේන්තුවේ දෙවන බලවත් පක්ෂය වී තිබුණි. තත්ත්වය කෙසේ නමුත් ජනපති, ක්ලූචර්, බෘනිං හා පැපන් ගේ කුමන්ත්‍රණ ඔවුන්ටම පාරාවළල්ලක් ම විය. කුමන්ත්‍රණයේ අසාර්ථකත්වයේ ප්‍රතිඵලයක් ලෙසින් හිට්ලර් ජනනායක හෙවත් චාන්සලර් වීම ස්ථිර විය. ඊට වසර 28 කට පමණ පෙර වියානා හා මියුනිච් නගරවල සිඟන්නෙක් සේ ඇවිද යමින් තම චිත්‍රයක් විකුණා ගැනීමට පදිකයින් පසුපස නොනවත්වා දිව ගිය කුණු බක්කිවලින් ආහාර සපයා ගත් කුසගින්න නිවා ගැනීමම එකම අරමුණ කරගත් වැරහැලි ඇඳගත් දරුවා 1933 ජනවාරි 30 වැනිදා ජර්මනියේ චාන්සලර්හෙවත් ජර්මනියේ දෙවැනි පුරවැසි ධූරයට පත් විය. පළමු පුරවැසිධූරය සඳහා අවශ්‍ය වන්නේ තවත් එක් පියවරක් පමණි. මොහුගේ මෙම ජයග්‍රහණය අතිශයින්ම ඓතිහාසික එකක් වන්නේ ඔහු සතු ධෛර්යයත් විශ්ම දනවන සුලු ආත්ම විශ්වාසයත් උත්සාහයත් හමුවේ එවැනි පාලකයෙකු ලොව කොහේ හෝ සිටියා නම් පමණි. සිටියේ නම් ප්‍රංශයේ නැපෝලියන් බොනපාට්ම පමණකි. හිට්ලර්ට චාන්සලර් පදවියේ කටයුතු කරන්නට ලැබුණේ වසරක් පමණ කාලයකි. ජනපති හින්ඩන්බර්ග් 1934 දී මිය ගියෙන් හිට්ලර් ජනපති ලෙස දිවුරුම් දුන්නේය. ඒ සමඟම ජර්මනිය පමණක් නොව සමස්ත යුරෝපයම මවිත කරමින් ඔහු චාන්සලර් පදවියේද බලතල පවරා ගෙන අසහාය නායකයා හෙවත් “පුවරර්” ලෙසින් සිටියේය.


1919 වන විටදී සාමාන්‍ය සෙබළෙක් වූ හිට්ලර් 1933 වන විටදී ජර්මනියේ පාලකයා බවට පත් වී තිබුණි. එතෙක් පැවැති සම්මත දේශපාලන ප්‍රවාහයට බාහිරින් ප්‍රවිශ්ට වූ නිර්ධන පාංතික එකම පුද්ගලයා වූයේද ඔහු පමණකි. කෙසේ වුවත් අවසන ඔහු ජර්මන් පළමු පුරවැසියා වෙතම තමන්ගේ අරමුණ සමත්‍රික්‍රමණය කළේය. කෙසේ වුවද චාන්සලර් ධූරයට පත් වූ තැන සිටම ඔහු ජර්මනිය ගොඩ නැගීමේ යුද්ධය තවත් ඉදිරියට බලාත්මක කළේය.


ජර්මනිය පෙර තිබූ තත්ත්වයට ගෙන ඒමට නම් ජර්මන් හමුදාව නවීකරණය කිරීම අත්‍යවශ්‍ය බව වටහා ගත් ඔහු හමුදාවේ සියලුම අංශවල සංයුති වර්ධනය කළේය. කාලතුවක්කු යුද්ධ ටැංකි වෙනත් සියලුම තුවක්කු වර්ග යුද්ධෝපකරණ බහුල ලෙස ජර්මනියේම නිපදවන ලදී. යුද්ධ නැව්, කෲසර යාත්‍රා, ඩිස්ට්‍රෝයර්  යාත්‍රා, සබ්මැරීන් ආදියෙන් අනූන වූ නවමු නාවික හා ගගන හමුදාවක් නිර්මාණය කළේය. කලක් යන තුරුම ජර්මනියේ යුද ශක්තිය ලොවට රහසක් ම විය. ජර්මන් අවි නිෂ්පාදන කම්හල්වල තත්ත්වය සිය දහස් ගුණයකින් ඉහළ නැංවූයේය. ඒවායේ වැඩ දිවා රාත්‍රී සිදු කෙරුණු අතර වයස අවුරුදු 18 ඉහළ සියල්ලන්ටම යුද සේවය අනිවාර්ය කළේය. ඒ සඳහා දළ ජාතික නිශ්පාදනයෙන් 15% ක් වෙන් කෙරිණි. පෙර යුද්ධයෙන් පරාජිතයා එසේ මුදලක් වෙන් කරද්දී යුද්ධයේදී ජයගත්තෙක් වූ බි්‍රතාන්‍යයද වියදම් කළේ එවැනිම ප්‍රමාණයකි. 1940 පමණ වන විටදී බි්‍රතාන්‍ය හා ප්‍රංශයේ විවිධ වර්ගයේ ප්‍රහාරක යානාවලටත් වඩා වැඩි යානා සංඛ්‍යාවක් ජර්මනිය සතු විය. දුප්පතුන්ගේ හා කම්කරුවන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීම සඳහා මැයි 01 දිනය කම්කරු දිනයට කම්කරුවන් වෙනුවෙන් ක්‍රීඩා උත්සවයක් සංවිධානය කළේය. මහා උත්සවයක් වූ මෙයින් ජයග්‍රහණය කරන්නවුන් මැඩීරා වැනි ඉහළ තරඟාවලි සඳහා පිටත් කෙරිණ. එසේම ණර්චඑ ෘැ ඡරදා නම් ක්‍රීඩා උත්සව ව්‍යාපාරයක් සංවිධානය කළේ මේ තත්ත්වය ඉදිරියටම පවත්වා ගැනීම සඳහාය.


ජර්මන් ආර්ථිකය මේ වන විට පැවැතියේ යුදෙව් ධනවතුන් භාරයේ සහ ලාභාංශ විදේශවලට ඈදී යන ලෙසිනි.  ඒ බව අවබෝධ කර ගත් හිට්ලර් ජර්මනියටම ආවේණික ආර්ථික සැලැස්මක් නිර්මාණය කළේය. ඊට අනුව ශීඝ්‍රයෙන් ජර්මන් ආර්ථිකය වර්ධනය වෙත්දී උත්ක විදේශ බලවේග හා යුදෙව්වෝ මීට එරෙහි වූහ. එය පළමු නාසි යුදෙව් අරගලය වූවා මිස පෙර නාසි යුදෙව් ක්‍රියාකාරී අරගලයක් නොවීය.

 

 

මතු සම්බන්ධයි.

 

 

 

ඩබ්ලිව්. එම්. හිරාන් මධුසංක වීරබාහු