යුදෙව් සංහාරකයාගේ නොපළ කතා - 02

 

හිට්ලර්ගේ චිත්‍ර යුද්ධයෙන් පසුව ඇමරිකාව විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර ඒවා ප්‍රසිද්ධියට පත් කිරීම හෝ නොකළේය. ඔහුගේ චිත්‍ර නිර්මාණ ඔහුව සමාජයට හඳුන්වා දීමට තවත් එක් පහසු මඟක් විය. කම්කරු රැකියාවේ ආදායම හා චිත්‍ර විකුණා ලැබෙන ආදායමෙන් ඔහුට යම් තත්ත්වයක් උරුම වූවා පමණක් නොව මෙතෙක් ගෙන ආ බාහිර ස්වරූපය වෙනස් වී ගියේය. ඒ පමණක් නොව වියානාවේ විඳි ජීවිතයෙන් උගත් දේ පිළිබඳ සිතන්නටත් නූතන ඔස්ටි්‍රයා දේශපාලනය ගැන සිතන්නටත් ඒ පිළිබඳ වාද කිරීමටත් යොමු විය. මේ කාලය තුළ ඔහු දේශපාලනය, ආර්ථිකය, ජර්මන් ඉතිහාසය යනාදී කරුණු පිළිබඳ කියැවීම් හා සිහිකැඳවීම්වල නිරත වූයේය.

එකී කාලය විසින් හිට්ලර්ව පරිපූර්ණයෙන්ම වෙනස් කළේ යැයි පැවසීම සාවද්‍ය නොවේ. ඔස්ටි්‍රයානු ආර්ථික, දේශපාලනික, සමාජීය, යන සෑම අංශයකම පරිහානිය සිදු වන්නේත් සෑම අංශයකම බලය අල්ලා ගෙන සිටින යුදෙව්වන් විසින් යන්න මෙහිදී ඔහු තේරුම් ගත්තේය. බහුතරයක් ජර්මානුවන් පහත් රැකියාවන්වල නිරතව ඇති අතර සුළුතරය වූ යුදෙව්වන් උසස් රැකියා නිලතල තානාන්තරවල වැජඹෙන බවත් හෙතෙම දුටුවේය. ජර්මන් ජාතිකයාගේ පරම සතුරා යුදෙව්වාය, ජර්මනිය යළි නැගිටුවීමට වර්තමාන ජර්මන් රයිෂයට (පාර්ලිමේන්තුවට) කිසිඳු සාර්ථක විසඳුමක් නැතැයිද යෝජනා කළ ඔහුගේ අදහස් සෑම තැනම ජනප්‍රිය වූයේ ඔහු කිසි විටෙක නොසිතු ලෙසිනි. පවතින තත්ත්වයට එදිරිව කතා කරන්නා වූ දේශපාලනඥයින්ට ඔහු නැතිවම බැරි චරිතයක් විය. කෙමෙන් ජනප්‍රියත්වයට පත් වූ ඔහු පසු කලෙක දේශපාලන වේදිකාවට අවශ්‍ය චරිතයක් විය. ඔහුගේ කතා නගරයේත් රටේත් වේගයෙන් ව්‍යාප්තවූ අතර 1912 දී මියුනික් නගරයට ගිය හිට්ලර්ට පැවති ජනප්‍රියතාවටත් වඩා උසස් තත්ත්වයක් හිමි විය. ඒ සමාජයේ සුළුතරයක් වූ උසස් ජර්මන් ප්‍රභූ පිරිස් අතිනි. ඔහුගේ දේශනවල අවසන් හරය වූයේ කොමියුනිස්ට්වාදීන් විනාශ කළ යුතු බවත් ජර්මන් ජාතිය උසස් බවත් යුදෙව්වන්ගෙන් බලයගත යුතු බවත් ඔවුන්ගේ තත්ත්වය ජර්මානුවන්ට උරුම විය යුතු බවත්ය.


තත්ත්වය මෙසේ පවතිද්දී පළමුවන ලෝක යුද්ධය ඇතිවන්නේ ජර්මන් පාලක දෙවන කයිසර් විලියම්ගේ නොමනා ක්‍රියාකලාපය හේතුවෙනි. සරයේවෝ සිද්ධිය හරහා ජර්මනිය මේ සඳහා පෙලඹෙන අතර 1919 වන විටදී ඇය ජර්මනියක් නැති තත්ත්වයටම ඛණ්ඩනය වී රාජ්‍යයක් පමණක් යැයි හඳුන්වා දීමට හැකිවන තෙක් පමණක් නාමිකව ශේෂ වේ. ඒ දේශපාලන ආර්ථික සමාජීය පමණක් නොව සෑම අංශයකින්ම ජර්මනිය අන්ත අසරණ තත්ත්වයට පත්වෙමිනි. ඒ සඳහා යුරෝපයටම අභියෝග කළ ජර්මනියේ සියලු තටු යුද්ධයෙන්ද හා වර්සෙල්ස් ගිවිසුම විසින් බිඳ දැමීම නිසාය.


ක්‍රි.ව 1919 වර්සෙල්ස් ගිවිසුම මඟින් නිශ්ප්‍රභ වූ ජර්මනියේ තත්තවය ලඝු කොට


■ යුද්ධයෙන් වූ අලාභහානි ගෙවනු පිණිස ජර්මනියට වන්දි ගෙවීමට සිදුවීම හා විශ්‍රාම වැටුප් ගෙවීමට සිදුවීම.
■ ටොන් 1600 ට වැඩි බර වෙළඳ නැව් තබා ගැනීම තහනම් වීම හා ඒවා මිත්‍ර පිළට භාරදීමට සිදු වීම.
■ දස වසරක් යන තෙක් ප්‍රංශයට වන්දි වශයෙන් ජර්මනියේ ගල්අඟුරු ආකරවල අයිතිය ලබා දීමට සිදු වීම.
■ යුධ උපකරණ සම්බන්ධයෙන් වාරණ නිකුත් වූ අතර සබ්මැරීන් නිෂ්පාදනය තහනම් විය. යුධ කිරීමේ අදහසින් ගුවන් යානා නිෂ්පාදනයද තහනම් විය ජර්මනියේ යුධ සෙබළුන්ගේ ප්‍රමාණය ලක්ෂයකට සීමා කෙරිණ.
■ බොහෝ ජර්මන් ප්‍රදේශ ඇයගෙන් අහිමි කළ අතර ඇල්සාස් හා ලෝරේන් ප්‍රදේශ නැවතත් ප්‍රංශයටම භාර දීම සිදු විය.


මෙම ගිවිසුම මඟින් ජර්මන් මාතාව ප්‍රසිද්ධියේ මිත්‍ර බලවතුන් විසින් සමූහ දූෂණය කරන්නේ යැයි හිට්ලර්ගේ පරම අදහස විය. ඔහු සෑම විටකම අදහස් කළේ ගිවිසුමෙන් ජර්මනිය බේරා ගත යුතුය යන්නමය.
ඉවසීම ඉහවහා ගිය තැන තනිවම ඊට එක්වීම සඳහා 16 වන බැවේරියන් බළකායේ සෙබළෙකු ලෙස පළමු ලෝක යුධ සේවයට පැමිණි හිට්ලර් බි්‍රතාන්‍ය සෙබළුන්ගේ විෂ බෝම්බයකට හසුවී දිවි බේරාගන්නේ අනූ නවයෙනි. කෙසේ වෙතත් අවසානයේදී රෝහලේ සිට යුද්ධයේ පරාජය පිළිබඳ ඇසූ හෙතෙම දැඩිසේ කම්පා වී යැයි ඔහුම සඳහන් කරයි. රෝහලෙන් සුව වූ වහාම හෙතෙම නැවතත් පැමිණියේ යුද පිටියටමය. සෑම අවස්ථාවකදීම ඔහු නිර්භීතව උත්සාහයෙන් නොපැකිළ තම කාර්ය ඉටු කළේය. එක් අවස්ථාවක ඔහු තනිවම සතුරන් පිරිසක් මරා දමා තම සගයින්ද බේරා ගෙන සෙස්සන් හට පැන යාමට ඉඩ නොදී කළ වීර ක්‍රියාවට දෙවන පංතියේ යකඩ කුරුසිය සම්මානයද හිමි කර ගත්තේය. ඒ පමණක් නොව ඔහු ඒ වන විට යුද්ධයේදී ජර්මනියෙන් බිහිවූ නිර්භීතම සෙබළුන් 16 දෙනාගෙන් කෙනෙක් වී තිබුණි. ඇතැම් තැනකදී ඔහු හමුදා නායකයින්ගේ ඊර්ෂ්‍යාවට බඳුන් විය. යුද්ධය අවසන් වන විටදී ඔහු තම කැපවීම උත්සාහය නිර්භීත බව නිසා ජර්මානු හමුදාවේ උසස්ම ගරු සම්මානය වන පළමු පංතියේ යකඩ කුරුසියේ හිමිකරුවෙක් විය. මේ සියල්ල ඔහු සිදු කළේ ජර්මන් මාතාව නැවත නැගිටුවා සිටුවීමේ පූර්ණ පරම පවිත්‍ර චේතනාවෙනි.


කෙසේ හෝ යුද වන්දිය ගෙවීම නතර කළ යුත්තේ යැයි ඉටා ගත් ඔහු ඊට පෙර ඒ සඳහා ජර්මන් ජාතිකයින් අතර එක් මතයක් ගොඩනැගිය යුතු යැයි ජනතාව සමගි සම්පන්න කළ යුතු යැයි සිතීය. ඒ සඳහා වන සංවිධානයේ නායකයා තමන් වෙමින් “ජාතිය හා මවුබිම” යන්න තේමා කරගෙන සමාජ විප්ලව කණ්ඩායමක් බිහි කර ගත්තේය. එය ඔහුගේ දේශපාලන ගමනේ නිල ලත් ආරම්භය විය. ඔහු නිරන්තරයෙන් සිතුවේ 1871 දී තම වීරයා වන බිස්මාර්ක් විසින් එක්සත් කර ඇතිකළා මෙන් නැවත ජර්මනිය පුබුදුවා යුරෝපයේ බබළවනු ලැබීමය. ඒ සඳහා හෙතෙම ප්‍රතිඥා දුන්නේ නමුදු කිසි විටෙකත් පුද්ගලික සුඛ විහරණය පිළිබඳ අංශු මාත්‍රයක් හෝ නොසිතුවේය.


ඔහු වියානාවේදී කළ දේශන අසා සිටියවුන් වශීකෘත කිරීමටත් ඔහුටම ආවේණික වූ උද්වේගකාරී චතුර කතා විලාසයත් නිසා මර නින්දක වූවද පසූ වූවන් දේශ ප්‍රේමයෙන් අවදි කිරීමට සමත් වෙයි. ඔහු පිළිබඳ පසු කථනය කළෝ සිතුවේ බිස්මාර්ක්ගෙන් පසුව ජර්මනිය ගොඩ ගැනීමට දෙව් ලොවින් දෙවියන් වහන්සේ විසින් එවන ලද පුත්‍රයෙකු ලෙසිනි. මේ වන විටදී හෙතෙම ජර්මනිය පුරා මහත් ප්‍රසිද්ධියක් ලබාගෙන තමන් යන මාවත කුමක්දැයි තීරණය කර සිටියේය. නව නායකත්වයක් ඔස්සේ ජර්මනිය ඉදිරියට මෙහෙය වීමට තීරණය කර හුන් ඔහුට ඒ සඳහා වටිනා අවස්ථාවක් හිමි වන්නේ යුද හමුදාවේ උපදේශක තනතුරක් ලැබීම හේතුවෙනි. එය පනින රිළවුන්ට ඉනිමං තැනීමක් සේ වූයේ ඒ මඟින් ජර්මන් සෙබළුන්ගේ චිත්ත ශක්තිය අවදි කිරීමට ජනතාවගේ සිත් අවදි කිරීමට නිලලත් අවසරයක් වූ හෙයිනි.

 

 

 


මතු සම්බන්ධයි.

 

ඩබ්ලිව්. එම්. හිරාන් මධුසංක වීරබාහු