මාඕ ත්සේතුං  173

 

අවුරුදු හතේදි ලී නේ ගතකළේ කෙවැනි දිවියක්දැයි මට හොඳට මතකය. කුඩා ඇලුමිනියම් භාජනයක් අතින් ගත් පුංචි දැරිය තමන්ට ලැබෙන කළු සෝයා සලාකය ලබාගන්න අනිත් මිනිසුන් සමග විශාල හැලිය ඉදිරියේ සිටගෙන සිටියාය.


ඇගේ භාජනයට කළු සෝයා වැටුණු විට පෙරළා බිත්තිය ළඟට ගොස් ඇණ තියාගෙන වාඩිවි ඇගේ සිහින් ඇඟිලි භාජනයට දමා ලුණු දමා තම්බන ලද සොයා ගෙන ඇගේ මුව තුළට රුවාගෙන හෙමින් හෙමින් විකමින් ගිල දැම්මේ අනිත් මිනිසුන්ගේ මෙන් කුසේ පිරි තිබුණු ගෑස් ඉවත්කර දමන්නටය. ඒ සමගම සටන් වදිමින් පා ගමනේ යන මිනිසුන් පිනවන්නට සුන්දර ළමා හඬින් බීජිං ඔපෙරා ගීත ගැයුවේද ඒ කුඩා ගැහැනු ළමයාමය.


ඔහුගේ ළමයින් අතුරින් මාවෝ ලී නේ ට බෙහෙවින් ආදරය කළේය. වැඩ අධික කලබලකාරි දිනවල  කොපමණ වාරයක් ඇය වඩාගෙන සුරතල් කළාද යන්න කීමට මට මතකයක් නැත. ඇය සුරතල් කරමින් ඔහු ඇගේ පිටට හෙමින් තට්ටු කරමින්  මිමිනුවේ “මගේ දුව මගේ ආදරණීය දුව,”කියමිනි. එවිට ලී නේ ඇගේ දැත් ඔහුගේ ගෙලවටා දමාගෙන “තාත්තා, මගේ ආදරණීය තාත්තා” යැයි කීවාය.


ඔහු ඇයට මොනතරම් ආදරය දැක්වුවත් ඔහු මෙන් ‘ඒ’ ශ්‍රේණියේ ආපන ශාලාවට පැමිණිමට ඇයට අවසර නොදුන්නේය. නව චීනය පිහිටුවාට පසු මාවෝ දැන් චීන රජයේ සභාපති නිසා ලී නේ ගේ හෙදිය වරක් ඔහුට මේ ගැන කීවාය. “සභාපති සහෝදරයා, දැන් ලී නේ ඔබතුමා සමග එකට කෑම කෑවට කමක් නෑ නේද?.” අතවනමින් එය ප්‍රතික්ෂේප කළ මාවෝ එයට ප්‍රතිචාර දැක්වූවේ මෙලෙසිනි. “නෑ. තවදුරටත් ඇය තමුන්ලාත් එක්කම කෑම ගන්න ඕනැ. ඇය තමුන්ලා වගේ ‘සී’ ශ්‍රේණියේම ඉන්න ඕනැ.”


විශ්වවිද්‍යාලයට ඇතුළුවිමෙන් පසු ලී නේ ආපසු නිවසට පැමිණියේ සෙනසුරාදා සවස්කාලවල පමණි. විශ්ව විද්‍යාලය ඔවුන්ගේ නිවහනට තරමක් දුරින් පිහිටි අතර ඇතැම්විට එහි වැඩ කටයුතු නිසා අඳුර වැටෙන තුරු ඇයට නිවසට ඒමට නොහැකිවෙන අවස්ථා තිබුණි. මෙලෙස රාත්‍රියේ තනිවම ගමන් කිරිම ගැහැනු ළමයාගේ ආරක්ෂාවට තරම් නොවන බැව් මට සිතුණි. මාවෝටවත් දැනුම් නොදී එවැනි දිනවලදී ඇය මෝටර් රථයකින් ආපසු කැඳවාගෙන එන්නට මම තීරණය කළෙමි. විශ්ව විද්‍යාලය අසල නොපෙනෙන තැනක මෝටර් රථය නවතා මම විශ්ව විද්‍යාලය තුළට ඇතුළුවී, වෙනත් සිසුවියන්ට සැකයක් ඇති නොවන ආකාරයට නිහඬව ඇය මෝටර් රථය වෙත කැඳවාගෙන ආවෙමි.


නමුත් වැඩි දවසක් ගතවෙන්නට පෙර මාවෝ ට මෙය දැනගන්නට ලැබුණි. එසේ කිරීම ගැන ඔහු මට හොඳටම දොස් පැවරුවේය. එවිට මම එයට එරෙහිවිමි. “එතකොට ගැහැනු ළමයෙක් රාත්‍රියේ තනිවම ගෙදර එනඑක ආරක්ෂා සහිත නෑ නේද?.”


“එතකොට අනිත් ගැහැනු ළමයි ගැන මොකද කියන්නේ?” මාවෝ මා දෙස දැඩි බැල්මක් හෙළමින් ඇසුවේය. “ඒක අනිත් ළමයින්ට ආරක්ෂා සහිත නම්, ඇයි මගේ දුවට ආරක්ෂා නැත්තේ?.”


“අනිත් අයට වඩා ඇය වෙනස්. ඇය මාවෝ ත්සේතුංගේ දරුවෙක්.” මම උස් හඬින් කීවෙමි. මා කියු දෙයින් මාවෝ තරමක් තිගැස්සුණි. නමුත් ඔහු කේන්ති ගන්නට පෙර මම කතාවට තවත් යමක් එක් කළෙමි. “සතුරන්ට අනිත් මිනිසුන්ගේ ළමයි ගැන උනන්දුවක් නෑ. ඔවුන්ට නිශ්චිතවම උවමනාවෙන්නේ ඔබතුමාගේ ළමයි.”


මගේ ඒ අනතුරු හැඟවිමෙන් මාවෝ ගේ නැග එමින් තිබුණු තරහ පහව ගොස් තරමක තෘප්තිමත්බවක් මතුවිය. ඒ කාලයේදී කුවෝමින්ග්ටෑන් හමුදා රටතුළ අපට එරෙහි යුද මෙහෙයුමක් අරඹා තිබුණි. නමුත් ඔහු ඔහුගේ ස්ථාවරය වෙනස් නොකළේය. “එයා එක්කරගෙන එන්න ආයේ කාර් යවන්න එපා. මා කියන විදිහට කරන්න. ඕනැනම් එයාට බයිසිකලයක් පාවිච්චි කරන්න පුළුවනි.”


ජියැන්ග් කුයින් එයට තවත් අතුරු දෙයක් එක් කළාය. “මට යම්තම් වයස අවුරුදු දහය වෙද්දී මං රාත්‍රියේ පයින් ගමන් ගිහින් තියෙනවා. තමන්ගේ ආරක්ෂාව සලසාගන්න පු`එවන් තරමට දැන් ඇය ලොකුයි. දැන් ඔයා ගිහින් සභාපතිතුමා කියන විදිහට කරන්න.”

 

 

 

 

 

 

 

 

 

 

 

ආරියනන්ද දොඹගහවත්ත