1948 වසරේ එක් දිනක චෙන්ග්නැන්ග්සුන්ග් හි පැවති ආරක්ෂක හමුදා සමු`එවකට සහභාගීවීම සඳහා යුද පෙරමුණේ සිට පැමිණී ජෙනරාල් සූ යූ මාවෝ බලන්නට පැමිණියේය. දිගු පියවර තබමින් කාමරයෙන් පිටතට පැමිණි සභාපතිතුමා අතට අත දෙමින් ඔහුට සුබ පැතූ අතර ඔවුන් දෙදෙනා සෑහෙන වේලාවක් එලෙස අත් අල්ලාගෙන කතා කරනු මට ඇසුණී. “අවුරුදු දාහතකට විතර පස්සේ.” ඔවුන්ගේ කතා බහේදී එසේ කියුවත්, එතරම් දිගු කාලයක් ඔවුන් එකිනෙකා නොදැක වෙන්වී සිටීයාද යන්න ගැන මට නම් සිතාගත නොහැකිය. කෙසේ වෙතත් මාවෝ මෙලෙස යමෙක් පිළිගන්නේ ඉතාමත් කලාතුරකින් නිසා ඒ අවස්ථාව මගේ සිතේ තදින්ම කා වැදුණි. 

 

ආණ්ඩුවේ ඉහළ තනතුරුදරණ පුද්ගලයින් සහ හමුදාවේ ඉහළ තනතුරු ලාභීන් සමග පෞද්ගලිකව මිතුදම් පැවැත්වීමෙන් මාවෝ වැළකි සිටි බවක් පෙනුණි. ඔවුන් සමග පැවැත්වු සබඳතා ඒ රාජකාරියට පමණක් සීමා කිරීමට ඔහු වගබලා ගත්තේය. චූ එන්-ලායි දශක ගණනාවක් තිස්සේ ඔහු සමග සිටි සගයෙකි. ඔහු දිනපතාම වාගේ මාවෝ ගේ ජිවිතයේ කටයුතු වලට සම්බන්ධ විය. මාවෝ විසූ නිවාස බොහොමයක් තෝරා දෙනු ලැබුවේ ඔහු විසිනි. යුද සමයේ මෙන්ම සාමාන්‍ය කාලවලදිත් සභාපතිතුමා ගමන් ගන්නා පාරවල්වල ඔහු යන්නට පෙර චූ ටික දුරක් ගමන්කර ඒවා ආරක්ෂිතදැයි සොයා බැලුවේය. වඩාත් වැදගත් කරුණු සම්බන්ධයෙන්  තීන්දු තීරණ ගැනීමේදී මාවෝ වැඩි විශ්වාසය තැබූ පුද්ගලයා වූවේ ද ඔහුය. මේ සියලු දේ හරහා මාවෝ සහ චූ අතර දැඩි පෞද්ගලික සබඳතාවක් ගොඩ නැගෙන්නට ඇතැයි යමෙකුට සිතන්නට ඉඩ තිබුණි. නමුත් මාවෝ සමග  මා ගතකළ පහළොස් වසර තුළ කිසි දිනක හෝ ඔහු චූ ගේ පෞද්ගලික කරුණක් සම්බන්ධයෙන් කතා කරණු මට අසන්නට නොලැබුණි.


මේ ආකල්ප පක්ෂයේ ඉතිහාසයත් සමග බද්ධව පැවතුනකි. දිගු කාලයක් ඇදි ගිය යුද්ධයේදි මුදා ගන්නා ලද ප්‍රදේශ සතුරා විසින් එකිනෙකින් වෙන්කර තිබුණි. එනිසා ඒ එකිනෙක පළාත් මුදා ගැනීමට ඔවුනට වෙන් වෙන්ව සටන් කරන්නට සිදුවිය. මෙනිසා කණ්ඩායම් බොහොමයක් මතුවිය. “එවැනි තත්ත්වයක් යටතේ ඒ ලෙස කණ්ඩායම් ගණනාවක් මතු නොවුනා නම් තමයි පුදුමය.”ඒ ගැන සඳහන් කරමින් මාවෝ වරෙක කීවේය. නමුත් පක්ෂයේ සභාපති ලෙස ඔහු හැම කෙනෙකුටම සැලකුවේ සමාන ලෙසිනි. කිසිවකු සමග හෝ සමීප සබඳතා පැවැත්වීමට හෝ සමීපවීමට හෝ උත්සාහ නොකළේය. “මේ මාවෝ ගේ ළඟම මිතුරෙකි” කියා පක්ෂයේ කිසිවෙකු හෝ නම් කළ නොහැක්කේ මේ නිසාවෙනි. 


කෙසේ හෝ මිනිසුන් ඈත්ව තබා ගැනීමට මාවෝ දැරූ උත්සාහය තුළ යම් සාධනීය ප්‍රථිඵල ද ඇතිවිය. පක්ෂයේ ඉහළ තනතුරු දැරූ අය ඇතු`එව බොහොමයක් දෙනා මාවෝ ට ඉහළ ගරුත්වයක් දැක්වූහ. ඔහු ඉදිරියේදී ඔවුන් තුළ තරමක තැති ගැනීමක් ඇතිවූ අතර මෙනිසා ඇතැම් අවස්ථාවල ඔහු ඉදිරියේ කියන්න තිබෙන දේ පවා කිව නොහැකිවිය. 1960-70 කාලයතුළ එක් පුද්ගලයෙක් අතට බලය කේන්ද්‍රවීම මාවෝ ගේ මේ ගෞරවනීයත්වය ඉහළයාම තුළ සිදුවූවක් ලෙස කිව හැකිය. කෙසේ වෙතත් මේ තත්ත්වයෙන් බැහැරව මාවෝ ට සැලකූ කැපී පෙනෙන පුද්ගලයින් දෙදෙනෙකු වූවේ පෙන්ග් ඩි හුවා සහ චෙන් යී ය.


මාවෝ සහ පෙන්ග් අතර පැවතියේ හරියට සමීප මිතුරන් දෙදෙනෙකු අතර පවතින සබඳතාව වැන්නකි. ඔවුන්ගේ මිතුරුකමට කිසිදු බාධාවක් හෝ තහංචි නොවිනි. ඔවුහු සිනා සෙමින් එකට වාද විවාද කරමින් සුහද සාමීචියේ යෙදුනහ. පෙන්ග් කතා කළේ හරියට මැෂින් තුවක්කුවක් පත්තු වන්නාක් සේ වේගයෙනි. ඔහු කතා කරණ උස් හඬට ඉන්නා තැන වහල කඩා වැටේවි කියා සිතේ. තවද ඔහු කතා කළේ වේගයෙන් අත් එහා මෙහා කරමිනි. මාවෝ ද ඔහු සමග එක්වුවේ එවැනිම උද්යෝගයකිනි. කුමන විෂය ගැන කතා කළ ද ඔහු වඩාත් කැමැත්තෙන් ඊට එක්විය. මෙලෙස පැරණි යහළුවන් දෙදෙනෙක් මෙන් ඔවුහු සතුටු සාමීචියේ යෙදෙමින් කල් ගත කළහ.


උතුරු ෂැන්ෂි හි පැවති යුද්ධයට බොහොම කාලයකට පෙර සිටම පෙන්ග් හැරෙන්නට පක්ෂයේ හැම කෙනෙක්ම මාවෝ ඇමතුවේ “සභාපති මාවෝ” ලෙසිනි. ඔහු ඒ වන විටත් මාවෝ ඇමතුවේ “ලාවෝ මාවෝ” යනුවෙනි. මෙලෙස මාවෝ ඇමතූ අවසාන පුද්ගලයා ඔහු විය හැකිය. ලුෂාන් කඳුකරයේ පැවති පක්ෂ මධ්‍යම කාරක සභා සමළුවේදී මාවෝ විසින් පෙන්ග් “චූදිතයෙක්” ලෙසට නම් කිරීමත් සමග මේ සියල්ල අවසන් විය. එතැන් සිට මාවෝ ඉදිරියේ මුනිවත රැකි පෙන්ග් ඔහු කෙරෙහි දැක්වුවේ අහිතවත්බවකි.

ආරියනන්ද දොඹගහවත්ත