රතු විප්ලවයේ ලෙනින්ගේ අරගලය-05

විවිධ සෝවියට් සමූහාණ්ඩු තනි රාජ්‍යයක් බවට ඒකාබද්ධ කළ යුතු යයි ඔහු යෝජනා කළේය. පක්ෂයේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් වෙත, සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය පිහිටුවීම ගැන සහ ජාතීන් පිළිබඳ ප්‍රශ්නය නොහොත් ස්වායත්තතාකරණය ගැන ඔහු ලිපි ලිවීය. එමගින් ඔහු සමූහාණ්ඩු එක්සත් කිරීම පිළිබඳ මූලික ප්‍රතිපත්ති, එනම් සමාන අයිතිවාසිකම් බුක්ති විඳින්නාවූද, නිර්ධන පංති ජාත්‍යන්තරවාදයේ මූලධර්ම මත පදනම් වූද ස්වාධීන ජාතීන්ගේ ස්වේච්ඡා සංගමයක් වූ සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයක් පිහිටුවීම පිළිබඳ මූලික ප්‍රතිපත්ති, ඉදිරිපත් කළේය. ඉතිහාසයේ ජාතීන් අතර මිත්‍රත්වය මත පදනම් වූ ප්‍රථම බහුජාතික රාජ්‍යය මෙය වූ අතර සෝවියට් රාජ්‍යයෙහි අපරාජිත ශක්තියෙහි උල්පත ලෙනින් දුටුවේ මෙම මිත්‍රත්වය තුළය.

ප්‍රථම සමස්ත සාංගමික සෝවියට් සභා සමුළුව සමාජවාදී සෝවියට් සමුහාණ්ඩු සංගමය පිහිටුවීමේ යෝජනාව සම්මත කරන ලදී. (1922 දෙසැම්බර්) ඒ වන විටත් අසනීපයෙන් පෙළුන හෙයින් ලෙනින්ට ඊට සහභාගි වීමට නොහැකි විය. එහෙත් සමුළුවේ මුළුමහත් ක්‍රියාවලියම සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය පිහිටුවීමේ ප්‍රකාශනය සහ එක්සත් ගිවිසුම ඔහුගේ උපදෙස්වල ප්‍රතිමූර්තියකි. එසේම එය ජාතීන් අතර සමානත්වය සහ සහෝදර සහයෝගයේ අදහස්වලින් පණපෙවී තිබුණි. ලෙනින් සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ මහජන කොමිසාර් මණ්ඩලයේ සභාපති වශයෙන් තෝරා පත්කරගන්නා ලදී.


1922 දෙසැම්බරයේ ලෙනින් නැවත වරක් බරපතළ ලෙස අසනීප විය. එහෙත් 1923 ජනවාරියේ සහ පෙබරවාරියේ ඔහු මදක් සුවය ලැබුවේය. මෙම කාලය තුළ ඔහු සිය ප්‍රසිද්ධ ලිපි ලියා ගැනීම සඳහා කියවීය. මේවා ඔහුගේ අන්තිම ලිපි විය. සම්මේලනය වෙත ලිපියක්, දිනපොතකින් උපුටාගත් පිටු, සමුපකාරය ගැන, අපේ විප්ලවය ගැන අප විසින් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ පිරික්සුම ප්‍රතිසංවිධානය කළ යුත්තේ කෙසේද? එවැනි ලිපි කීපයකි.


ඔහුගේ අපරාජිත චිත්ත ධෛර්ය සිය වගකීම පිළිබඳ දැනසිටීම සහ සිය රටෙහි අනාගතය ගැන එහි අඛණ්ඩ ප්‍රගතිය පිළිබඳව අවධානය ඔහුගේ අසනීපයෙන් ජනිත කරන ලද වේදනාවට එරෙහිව සටන් කිරීමට හා මනුෂ්‍ය ප්‍රයත්නයේ සීමාවන් ඔබ්බෙහිද දේවල් පරිපූර්ණ කිරීමට, ලෙනින්ට ශක්තිය ලබාදුන්නේය. ඔහු තදබල ලෙස රෝගාතුරවී සිටි නමුදු සති හයක කෙටි කාලයක් තුළදී අද්විතීය කෘතීන් ගණනාවක් ලිවීය.


ලෙනින්ගේ අවසාන ලිපි සහ ලියුම්වල වැදගත්කම මැනිය නොහැකිය. ඉතා සමීප ලෙස අන්තර් සම්බන්ධයක් ඇති මේවා ප්‍රධාන කොටම, ලේඛන සහ කථාවල අන්තර්ගත වූ නිගමන සහ යෝජනා සංවර්ධනය කරන ලද සමවබෝධී කෘතීන් වන අතර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමයේ සමාජවාදය ගොඩනැගීම පිළිබඳව ඔහුගේ ශ්‍රේෂ්ඨ සැලැස්ම විස්ථාරණය කොට ජගත් විමුක්ති ව්‍යාපාරයේ පොදු අනාගත අපේක්ෂාවන්ගේ දෘෂ්ඨි කෝණයෙන් රුසියාව සමාජවාදය කරා සංක්‍රාන්ත වීමේ වැඩපිළිවෙළක් සැලසුම් කළේය.


රුසියාවට සමාජවාදය ගොඩනැගීමට අවශ්‍ය සෑම දෙයක්ම සතුව ඇති බව ලෙනින් සැලකීය. ඔහු විසින් පෙන්වන ලද ප්‍රධාන කර්තව්‍යය වූයේ කර්මාන්ත විශේෂයෙන්ම බැර කර්මාන්ත පුනරුත්ථාපනය හා සංවර්ධනය කිරීම සහ ලෝකයේ ප්‍රධාන රටවල් අතර හරි හරියට ප්‍රමුඛස්ථානයට ගමන් කිරීමයි. මෙම කාර්ය සාක්ෂාත් කරගැනීමට මහ පරිමාණ කර්මාන්ත සංවර්ධනයත් මුළු රටම කාර්මිකකරණය සහ විද්‍යුත්කරණයත් එසේම ශ්‍රම ඵලදාව වැඩිකිරීමත් අවශ්‍ය වනු ඇත.


සමාජවාදය ගොඩනැගීම සඳහා කම්කරු පංතිය හා ගොවි ජනතාව අතර සන්ධානය ශක්තිමත් කළ යුතු යැයි ලෙනින් විශ්වාස කළේය. කම්කරු පංතිය ගොවීන්ට මගපෙන්විය යුතුවිය. සමාජවාදී ක්‍රමයට හැඩගැසීමට දිරිගැන්විය යුතුය. ඔවුන්ගේ කුඩා විසිරුණු පෞද්ගලික ගොවිපළවල මහා පරිමාණ යාන්ත්‍රීකරණය කළ සමූහ ගොවිපළ බවට පත්කිරීමට උදව් කළ යුතුවිය. ගොවීන් සමාජවාදී නිර්මාණයට ඇදගැනීමේ එකම ක්‍රමය සමුපකාරය විය. සමුපකාර ක්‍රමයෙන් ගොවීන්ගේ පෞද්ගලික උවමනාවන් රජයේ සහ සමස්තයක් වශයෙන් ජනතාවගේත් පොදු උවමනාවන් හා සමග ඒකාබද්ධ කළ හැකිය. සෝවියට් රාජ්‍යය ගොවීන්ට ට්‍රැක්ටර් සහ අනිකුත් කෘෂිකර්මාන්ත යන්ත්‍ර සූත්‍ර සැපයීම මගින් ඔවුන්ට ඔවුන්ගේ සමුපකාර සංවිධානය කරගැනීමට ආධාර කිරීමට නියමිත විය. 1919 තරම් කලෙක පක්ෂයේ අටවැනි සම්මේලනය වෙත ලෙනින් විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් අපට ඉස්තරම්ම ට්‍රැක්ටර් ලක්ෂයක් හා ඒවා ක්‍රියාකරවන්නන් ගම්බදට සැපයිය හැකි නම් ගොවීන් කොමියුනිස්ට්වාදයට ඡන්දය දෙනු ඇතැයි ලෙනින් කීය.


සමාජවාදය ගොඩනැගීම, ලෙනින්ගේ අදහස අනුව සංස්කෘතික විප්ලවය හා සම්බන්ධ වී තිබුණි. මෙය ඉමහත් වැදගත්කමක් ඉසුලූ කර්තව්‍යයක් විය. පොදු අධ්‍යාපනය සඳහා අරමුදල් වෙන්කිරීමට මැළි නොවිය යුතු යැයි ඔහු කීය. අකුරු නූගත්කම කඩිනමින් තුරන්කර දැමීමේ ප්‍රාථමික ද්විතික, විශේෂ සහ උසස් පාසල් රටාව ව්‍යාප්ත කිරීමේ සියලුම ක්ෂේත්‍රයන්හි විද්‍යාව වර්ධනය කිරීමේ හා ජනතාව අතරින් බුද්ධිමතුන් බිහි කිරීමේ කර්තව්‍යය ඔහු පක්ෂය හමුවේ තැබීය.


සමාජවාදය ගොඩනැගීමේ ප්‍රධාන උපකරණය නිර්ධන පංති රාජ්‍යයයි. ඔහු උගැන්වීය. සෝවියට් බලය පැරණි රාජ්‍ය යන්ත්‍රය විනාශ කොට වැඩ කරන බහුජනතාව එහි කාර්යයන්ට යොදාගෙන තිබුණි. මෙය දැවැන්ත ඓතිහාසික ජයග්‍රහණයක් විය. කෙසේ වුවද, පළමුව මෙම උපකරණයේ සමහර කොටස් ක්‍රියාකළේ ඉතාමත් දුර්වල ආකාරයෙනි. තරුණ සෝවියට් සභා ක්‍රියාකාරීන්ට තවමත් රට පාලනය කිරීම පිළිබඳව ප්‍රමාණවත් අත්දැකීමක් නොතිබුණි.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

එම්. තාරික්