ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල ආණ්ඩුකාරවරයා ලෙසින් සර් ඔලිවර් අර්නස්ට් ගුණතිලක නාමය ලක් දේශපාලන ඉතිහාසයට එක්වෙයි. ලන්ඩන් සරසවි අධ්‍යාපනයෙන් උපාධිය ලබා ගුරුවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරඹූ සර් ඔලිවර් රාජ්‍ය සේවයට එක්වී ලංකාවේ සිවිල් ආරක්‍ෂක කොමසාරිස් ලෙස වගකීම භාර ගත්තේය.


1942 - 1945 කාලයේ එම රාජකාරිය ඔහු අකුරටම  ඉටුකළේ දඟකාර දරදඬු පුද්ගලයකු වූ ප්‍රධාන අණදෙන නිලධාරි ජ්‍යොෆ්‍රි ලේටන් පවා පුදුම කරමිනි. ඔහුගේ ඇතැම් නියෝගවලට ද අභියෝග කරමිනි.


අධිරාජ්‍යවාදීන්ට එරෙහිව නිදහස් අරගලයේ ගිනිදලු නැගෙමින් පැවතුණද ස්වතන්ත්‍ර පාලනයක් භාරදීම සඳහා මෙරට වැසියාට දැනුමක් නැතැයි ආණ්ඩුකාර සර් ඇන්ඩෘ කොල්ඩිකොට් ඇතුළු සුද්දෝ විශ්වාස කළහ.


නමුත් දෙවන ලෝක යුද උණුසුමෙන් දරුණු ආහාර හිඟයකට ලක්වන්නට ඔන්න මෙන්න කියා සිටි ජනතාව උපක්‍රමශීලිව ඉන් බේරාගත්තේ සර් ඔලිවර්ය. ඔලිවර්ගේ සමීපතමයා ඩී. ඇස්. ය. නිදහස් සටනට ඔවුන් එකතුව වැඩ කළ බැවිනි. එබැවින් ලාංකිකයන් ගැන සුද්දන්ගේ වැරදි ආකල්පය දුරු කිරීමට ඔව්හු කතිකා කර ගත්හ. ලංකාවට ඩොමීනියන් ආණ්ඩු තත්ත්වය ලබාගැනීමට සුදුසුදැයි බැලීමට සොල්බරි සාමි ඇතුළු නියෝජිත පිරිස ලංකාවේ සංචාරයක් කළහ. 


ඔවුන් මහනුවර බලා යන අතරතුර කුඹුරක සී සාමින් සිටි ගොවිගෙවිලියන් පිරිසක් ඇස ගැසුණි. “ගොවියන් මෝඩයන්” යැයි ඔප්පු කිරීමට සෝල්බරි සාමි සිතන්නට ඇත.


“සර් හිතනව වැරදියි. බොරු නම් ගිහින් බලන්න. ලංකාවෙ ගොවින්ට සමාජය ගැන හොඳ වැටහීමක් තියෙනව.”
සර් ඔලිවර් සෝල්බරි සාමිට කීය. සාමි වාහනයෙන් බැස ගොවින් ළඟට ගොස් ගොවිතැන ගැන දන්නා සිංහලෙන් ප්‍රශ්නයක් ඇසුවේය.


අමුඩ කෙටියෙන් සැරසි උදලු රැගෙන සිටි ගොවියෝ ඔහුට පිළිතුරු දුන්නේ ව්‍යක්ත ඉංග්‍රීසියෙනි. රෙද්ද හැට්ටයෙන් සැරසුණු ගෙවිලියෝ ද ඊට ඉංග්‍රීසියෙන් පිළිවදන් දුන්හ. තමන්ගේ අනුවණකම ගැන සෝල්බරි ලජ්ජාවූ අතර සිංහලයන් ගැන තිබූ  අන්ධ විශ්වාසය නැතිකර ගත්තේය. 


ශ්‍රී ලංකාවට ඩොමීනියන් පාලන තත්ත්වයක් ඔහු විසින් යෝජනා කිරීමට මෙම තත්ත්වය හේතු විය. එහෙත් සෝල්බරි සාමි නොදත් යමක් විය. එනම් එදා ගොවියන් හා ගෙවිලියන් ලෙස රඟපෑවේ සරසවි සිසු සිසුවියන් බවය. ඔවුන් මනාව පුහුණු කළේ ඩී. ඇස්. හා මිතුරු සර් ඔලිවර්ය.


රාජ්‍යතාන්ත්‍රික කටයුතු අතින්ද සර් ඔලිවර් ඉදිරිපෙළ වූ බව නොරහසකි.


1947 දී අපට ඩොමීනියන් තත්ත්වය ලැබුණු අතර සර් ඔලිවර් සෙනෙට් මන්ත්‍රි මණ්ඩලයට තෝරා ගැනිණ. ඩී. එස්. සේනානායකගේ ආණ්ඩුවේ ස්වදේශ ඇමැතිවරයා සර් ඔලිවර්ය.


සෝල්බරි කොමිසමේ නිර්දේශය අනුව මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය 1947 අගෝස්තු 23 වැනිදා සිට සැප්තැම්බර් 20 වැනිදා දක්වා දින 19ක් පුරා පැවැත්විණ. එය මෙරට දිර්ඝතම මහ මැතිවරණයයි.


ඩී. එස්. අගමැති තනතුරට පත්වූ අතර ඔහු 1952 මාර්තු 22 වැනිදා කොළඹ ගෝල්ෆේස් පිටියේදී අසු පිටින් වැටී මිය යන තුරුම සර් ඔලිවර් සමග ගජ මිතුරුදම නොකැඩිණ. අනතුරුව අගමැති තනතුරේ ඩඞ්ලි සේනානායක දිවුරුම් දුන් අතර ඔහුද සර් ඔලිවර්ට නිසි තැන දුන්නේය. 1952 අප්‍රේල් 28 දින සිට දින 04ක් දෙවන මහ මැතිවරණය පැවැත්වූ අතර සර් ඔලිවර් කෘෂිකර්ම හා ආහාර අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබීය.


මෙහිදී මුදල් ඇමැති ධුරය දැරූ ජේ. ආර්. 1953 ජුලි 23 වැනිදා අයවැයෙන් පාසල් දිවා ආහාර වේල කපා හැර දුම්රිය හා තැපැල් ගාස්තු වැඩිකළ අතර ආහාර සහනාධාරය රු. මිලියන 300 සිට රු. මිලියන 160 දක්වා අඩු කළේය. ඒ නිසා සහල් සේරුවක මිල ශත 25 සිට ශත 70 දක්වා නැග්ගේය. මෙම කප්පාදුවට එරෙහිව වැඩ කරන ජනතාව  වාමාංශික වෘත්තිය සමිතිවල  අනුදැනුමින් වැඩ වර්ජනයක් හා හර්තාලයක් ඇරඹූ අතර විපක්‍ෂනායක බණ්ඩාරනායක මැතිඳු සහයද ඊට හිමිවිය.


සැප්තැම්බර් මස 12දා අගමැති ඩඞ්ලි ඉල්ලා අස්වූ අතර ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැති ධුරයේ දිවුරුම් දුන්නේය. ඔහු කළේ ජේ. ආර්. ගෙන් මුදල් ඇමැතිකම ඉවත්කර කෘෂිකර්ම ඇමැතිකම පිරිනමා ආහාර අමාත්‍ය සර් ඔලිවර්ට මුදල් ඇමැතිකම පැවරීමය.


මුදල් අමාත්‍ය ධුරය ලද වහාම සර් ඔලිවර් කළේ එතෙක් ජනතා කැලඹීමට හේතුවී තිබූ ශත 75ක්වූ හාල් සේරුවේ මිල ශත 55ට අඩුකිරීමය. 1954දී සර් ඔලිවර් ද ඉල්ලා අස්විය. ඒ ශ්‍රී ලංකාවේ අග්‍රාණ්ඩුකාර පදවිය භාර ගැනීමටය.


සර් ජෝන් ඔහුගේ නම දෙවැනි එළිසබෙත් මහරැජිනට නිර්දේශ කර තිබිණ. ඒ අනුව ඇය සර් ඔලිවර් 1954 ජුලි 17දා ලංකාණ්ඩුකාර ධූරයෙහි පිහිටුවූවාය. සර් ඔලිවර් යු.ඇන්.පී. මැති ඇමැතිවරුන් අතරේ වැඩි කලක් සිටි නිසා ඔහු ප්‍රතිගාමියෙක් ලෙස මතයක් ජනතාව අතර පැවතිණ. එය මුසාවක් බවට පත් කරමින් 1956 දී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිඳුන්ගේ ජාතික ආණ්ඩුවට පූර්ණ සහයෝගය දී රාජකාරි අකුරට සිදුකළේය.


1958 දී ඇතිවූ ජාතිවාදී අරගලයේදී පවා සර් ඔලිවර් ආණ්ඩුව අපහසුතාවට ලක්නොවන සේ ජාතික සාමය හා සංහිඳියාව උදෙසා කැපවිය. නමුත් ගැටලුව මතුවුණේ 1962දීය. එනම් සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුව පෙරළා දැමීමට සිදුකළ හමුදා කුමන්ත්‍රණයට අග්‍රාණ්ඩුකාර සර් ඔලිවර්ගේ නමද ගෑවී තිබිණි.


ඔහු නිර්දෝෂි බව සඳහන් වන විට අග්‍රාණ්ඩුකාර ධුරයෙන් සමුගෙන තිබිණ. අනතුරුව පූර්ණකාලීනව දිවි ගෙවීමට ඔහු එංගලන්තය තෝරා ගත්තේය.


සර් ඔලිවර් ධනපති පවුලක උපත ලැබුවකු බව ඇතැමුන් තුළ අදහසක් තිබිණ. එහෙත් ඔහු සාමාන්‍ය පවුලක උපත ලැබූ අතර පියා වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයකු විය. ඇල්ෆ්‍රඞ් අර්නස්ට් ගුණතිලකගේ එකම පුතු ඔලිවර් 1882 ඔක්තෝබර් 20 වැනිදා උපත ලද අතර ඔහු  ඉතා අසීරුවෙන් දිවි  මගේ පියවරෙන් පියවර දියුණුව කරා ගමන් කළ අයෙකි.

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි