කාඞ් සෙල්ලමෙන් පරාජයට පත්වුණු හැම අවස්ථාවකදීම වාගේ ඔහු තරමක අකමැත්තෙන් මෙන් මට මෙසේ කීවේය. “ඒකෙන් කියන්නේ මාවෝ ත්සේතුං නොපරදින කෙනෙක් නෙවෙයි කියන එකයි. එහෙම නැතිනම් ඔහු පරදින්නෙ නෑනෙ.”

 

ජියැන්ග් තුළ එවැනි දාර්ශනික බවක් නොවිය. මාවෝට මෙන්ම ඇයටත් ක්‍රීඩාව අමාරුවෙන් ජයගතයුතු වුවත් ඇය පරාජයට පත්වුවහොත් මහා කලබලයක් කර සියලුදෙනම මහා දුක්ඛිතභාවයකට ඇද දමයි. කාඞ් සෙල්ලමේදි මම ඇගේ පැත්තේ එක් හවුල්කරුවෙක් වීමි. එලෙස ඇගේ පිලට එක්ව සෙල්ලම් කරණ විට මට ඇතිවන හැඟීම් සාරාංශ කළ විට අධිරාජ්‍ය සමයේ හිටපු කවියෙකු වන සූ ඩොන්ග්පෝ ලියූ “එය දරාගත නොහැකි ශීතලකි” යන කවිපදය වඩාත් ගැළපේ යැයි සිතමි. 


මා වැරදි කොළයක් ගැසුවොත් ජියැන්ග් ගෙන් අවඥා සහගත බැලුම් එල්ලවන හෙයින් මම බොහෝ ප්‍රවේශම්විමි. අපේ ආරක්ෂකයින් මෙන් අපේ විරුද්ධ පිලේ අය එතරම් දක්ෂ නැති අය වූවානම් එතරම් ප්‍රශ්නයක් මතු නොවිණි. ඒ ඔවුන්ට සෙල්ලමෙන් කිසිදා ජයගත නොහැකි නිසාවෙනි. නමුත් අපේ හෙදියෝ කාඞ් සෙල්ලමට ඉතා දක්ෂයින් වු නිසා කතාව ඊට වඩා වෙනස් විය. ඔවුන්ට ක්‍රීඩාව ඉතා පහසුවෙන් ජයගත හැකි වුවද ජියැන්ග් ට නොදැනෙන්නට අපට දිනන්න ඉඩ දුන්හ. එහෙත් බැරිවීමකින් හෝ ජියැන්ග් ඒ බවක් දැන ගත්තා නම් අපට නොසිතූ කරදරවලට මුහුණ දෙන්නට සිදුවනු නොඅනුමානය. මෙවන් ප්‍රශ්න ඔළුවේ රඳවාගෙන සෙල්ලම් කිරීම ඉතාමත්ම අමාරු කාර්යයක් විය. නිකම් හෝ වැරදි කාඞ් එකක් ගැසුවා නම් ඇය මා දවාලන බැල්මක් හෙළයි. එනිසා ජියැන්ග් සමග කාඞ් සෙල්ලම් කිරීම දැඩි මානසික වේදනාවක් ගෙන දුන්නකි.


1952 වසරේ වසන්තයේ දිනක මම එවන් විපත්තියකට මුහුණ පෑවෙමි. කාඞ් සෙල්ලම් කිරිමට අපි මේසයට වාඩිගත් හැටියේම වාගේ ජියැන්ග් ගේ මුහුණේ පෙනුම එතරම් හොඳ නැති බව මට පෙනුණි.  ඒ පෙනුමෙන් මා තුළ නොසන්සුන්බවක් ඇතිවුණු අතර එය වඩ වඩාත් ඉහළ ගොස් මා වරද්ද වරද්දා සෙල්ලම් කිරීම නිසා ඇගේ නොරිස්සුම්බව වඩාත් වැඩිවිය. එවිට අපට ජයග්‍රහණය ලෙහෙසියෙන් ලබාදීමට හෙදියන්ට අපහසුවිය.


මේ අතරවාරයේ එක් අවස්ථාවක මම වැරදි කාඞ් එකක් ගැසුවෙමි. මා එය ඉවත් කරගන්නට පෙර ජියැන්ග් ඇගේ කාඞ් අත මා ඉදිරියේ දමා ගැසුවාය. “මං දැන් මේක නවත්තනවා. මම මේ ව්‍යාපාරවලින් අයින්වෙලා ඉන්නෙ ඇයි කියලා දැන් තමන්ට තේරෙනවද?.”


ඇගේ ඒ වාග් ප්‍රහාරයෙන් මගේ හදවත කඩා වැටුනාක් මෙන් දැනුණි. බියෙන් මම සුදුමැලි වීමි. හරියට හමුදා අණදීමක් සිදුවුවාක් මෙන් මම වහා අසුනින් නැගිට සීරුවෙන් සිට ගත්තේ ඇය මේ කතාව දැන ගත්තේ කෙසේද යන්න ගැන ඇතිවුණු ඉමහත් පුදුමයෙනි.


දූෂණයට, නාස්තියට සහ නිලධාරිවාදයට එරෙහිව දිප ව්‍යාප්ත ව්‍යාපාරයක් ඊට වසරකට පෙර ආරම්භ කෙරිණි. ජියැන්ග් ආපසු යෙනෑන් කරා ගිය පසු පක්ෂයේ සිදුකෙරණ කිසිදු ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙළකට කැමැත්තක් නොදැක්විය.


ඇගේ ඉතිහාසය ගැන මාවෝ සමග ඇතිවුණු ආරවුලකින් පසු ඇය වඩාත් කෝපයට පත්වූවාය. එනිසා කුමන අන්දමේ හෝ දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ නොවි ඇය මග හැරියාය. බොහෝ අවස්ථාවල ඇය එවන් දේශපාලන ව්‍යාපාර ගැන නුරුස්සන සුලු ලෙස කතා කරනු මට අසන්නට ලැබුණි. “මේ මිනිස්සු අනිත් අයට චෝදනාකරණවාට වඩා වෙනත් වැඩක් කරගෙන හිටියා නම් වඩාත් හොඳයි. හැබැයි පරිස්සම් වෙන්න. මේ වාරේ ඔබලාට අනිත් අයට හිංසාකරන්න පු`එවන් වේවි. එත් ඊළඟ වාරේ ඒවා ඔබලාකරා ඒවි.”

ආරියනන්ද දොඹගහවත්ත