මාඕ ත්සේතුං 175

 

 

ලී නේ මාවෝ ගේ නිදන කාමරයට වී ඇගේ ඉගෙනීමේ කටයුතු ගැන තම පියාට විස්තර කරන්නට වූවාය. විශ්ව විද්‍යාලයේදී ඇයට ලැබුණු ආහාර ගැන යම් තරමකට පැමිණිලි කළාය.


“මම නිතරම යැපුණේ පොඩි සලාකයකින්.” ඇය කීවාය. “වෑංජන ලැබෙන්නේ බොහොම ටිකයි. ඒවත් උයලා තියෙන්නෙ ලුණුයි, නිකම්ම නිකම් වතුරෙනුයි. එළවළු තෙල් කෝකියන්ටවත් ප්‍රමාණවත් නෑ. මම කවදාවත් බඩ පුරවගෙන පංතියට ගිහින් නෑ.”


“මේ දුෂ්කරතා වැඩි කාලයක් තියෙන්නෙ නෑ.”මාවෝ කාරුණික හඬින් කීවේය. “රටේ අනිත් අය ඉන්නවා වගේ ඉවසගෙන ඉන්න. අනිත් අයටත් ආදර්ශයක් වෙන විදිහට ඒ අයටත් විස්තර කරලා දෙන්න. කොමියුනිස්ට් පක්ෂය ගැන විශ්වාසය නැතිකර ගන්න එපා.” ඔහු විහිළුවක් කරන්නාක් මෙන් මෙයද කතාවට එක් කළේය. “මොනවද කරන්නෙ කියලා මට කෝකියන්ට කියන්න බෑ.”


යින් ජින්ග්ෂෙන් ආපසු පැමිණියේය. “සභාපති සහෝදරයා කෑම ලෑස්තියි.”


“මා එක්ක කෑම ගන්න එන්න.”මාවෝ තම දියණියගේ අතගෙන ඇය කෑම මේසය කරා කැන්දාගෙන ගියේය.


ආහාර ගන්නා කෝටු අතට ගත් ලී නේ දුම් දමමින් ඇති බත්වල සුගන්ධය සෑහෙන වේලාවක් ඉහළට ඇද්දාය. එහි තිබුණේ කිරි අල මුසු දුඹුරු බත් ය. “ඒවා මොනතරම් සුවඳද?.” ඇය හඬ නගා කීවාය. අනතුරුව සිනාසුණාය. තම දෙමාපියන් දෙස බලා ආදරබර ලෙස සිනා පෑවාය.


ඇය දෙස බැලූ ජියැන්ග් කුයින් ආපසු මාවෝ දෙස බැලුවාය. ඇයට යමක් කීමට උවමනාබවක් පෙනුණි. ඇය පරීක්ෂාකාරී බැල්මක් හෙළුවාය. ඇය කියන්නකට සවන් දෙමින් ශරිර ආරක්ෂකයා කෑම මේසය අසල සිටිනවාට ඇගේ කැමත්තක් නොවීය. බාගෙට මුවට නගාගත් හෘදයාංගම සිනාවක් සමග ඇය දීසි වලින් එකකින් ආහාර ගෙන ලී නේ ගේ පිඟානට බෙදුවාය.


“හොඳයි අපි දැන් කෑම ගනිමු.”මාවෝ ආහාර ගන්නා කෝටු වෑංජන සහිත දීසිවලට එල්ල කරමින් කීවේය.


ලී නේ මුව පිරෙන්නට බත් දමා ගත්තාය. නමුත් ඇය එය අතරමග නතර කළේ බත හොඳටම උණු නිසාවෙනි. ඇගේ දෙනෙතේ කඳුළු මතුවිය. මුවට ගත් බත් ගිලින්නට පෙර ඇය කට ඇර හුමාලය පිට කළාය.


“හෙමින් හෙමින්, ඉක්මන් වෙන්න ඕනැ නෑ.”මාවෝ ඉතා සන්සුන් ලෙස කීවේ මුවට මද සිනාවක් නගා ගනිමිනි.


ලී නේ හොරෙන් ශරීර ආරක්ෂකයා දෙස බලා සමාව අයදින්නාක් සේ කතා කළාය. “අපි ඉස්කෝලෙදි ඉක්මනට කෑම කනවා. ඒක පුරුද්කට ගිහින්.”


“ඒත් ඔයා දැන් කෑම කන්නෙ ගෙදරදිනෙ?” ජියැන්ග් කුයින් ලී නේ ට තවත් කෑම බෙදමින් කීවාය. තරමක සුදුමැලිබවක් ඇය වෙතින් දිස්විය. සුපුරුදු සිනාව ඇගේ දෙතොලේ තිබුණි.  සුදුමැලිබව ඒ සිනාව අතුරුදන්කිරීමට තර්ජනය කරන්නාක් මෙන් පෙනුණි. ඇය ලී නේ දෙස බැලුවේ දාරක ස්නේහයෙන් පිරුණු මවක් ලෙසිනි. 


ලි නේ ඇගේ දෙමාපියන් ඉදිරියේ කිසිදු පසුබැසීමක් නැතිව බඩගිනි වෘකයෙකු සේ ඉක්මනින් කෑම කන්නට පටන් ගත් අතර කෑම හරියට හපන්නේවත් නැතිව ගිල දමන්නට විය. කෑම කොපමණ තරමක් අවසන් වෙලාදැයි දැනගන්න මෙන් ඇය වරින් වර ආහාර දීසි වෙත හොර බැලුම් හෙළුවාය. කෑම ගැනීම ආරම්භයේදී මාවෝ තම දියණිය සමග හෙමින් පිළිසඳරේ යෙදුණ ද වැඩි වෙලාවක් යන්නට පෙර ඔහු බොහෝ හෙමින් ආහාර ගන්නට විය. එක් බත් කටත් කන්නට සෑහෙන වේලාවක් ගත විය. අනතුරුව ඔහු කෑම ගැනීම සම්පුර්ණයෙන්ම නවතා තම දියණිය කෑම ගන්නා දෙස කල්පනා බරව බලා සිටියේය.


ජියැන්ග් කුයින් කෑම ගැනීම නතරකර තිබුණේ ඊට සෑහෙන වෙලාවකට පෙරය. ඇය තම දියණිය දෙසත් මාවෝ දෙසත් වරින් වර බැලුවාය. ඇය තම සැමියා දෙස දෙනෙත් රඳවාගෙන කිහිපවතාවක්ම හඬ නැගෙන සේ හුස්ම ඉහළට ඇද්දාය. ඇතැම් වෙලාවට ඇගේ සිතේ තියෙන දේ මුවින් පිට නොකර ඇගේ සිතේ ඇති දේ මාවෝ ට කියැවීමට ඉඩ හැරියාය.


“හේයි ඇයි ඔයා කෑම කන එක නතර කළේ?.”ලී නේ අකමැත්තෙන් ඇගේ මුහුණ බත් පිඟානෙන් පිටතට ගත්තාය.


“ආ” මාවෝ සිනාසෙමින් කීවේය. “හුඟක් කන්න දැන් වයස වැඩියි. ඔයා වගේ තරුණ කාලේ මං එහෙම කෑවා.”


ඔහු පුවත්පත අතට ගෙන පුටුව මදක් හරවාගෙන එය කියවන්නට විය. තමන් කියවන්නේ මොනවාද යන්න ධාරණය කරගන්නට මෙන් හිස සෙමින් වනමින් යමක් මුමුනන්න විය.


හදිසියේම වාගේ ජියැන්ග් කුයින් දිග සුසුමක් පිටකර, ඇගේ පිඟානේ ඉතිරි වූ දේ ලී නේ ගේ පිඟානට දමා එය හිස්කර නැගිට කාමරයෙන් පිටව ගියාය. ඇගේ දෙනෙතේ කදුළු පිරි තිබුණි.

 

 

 

 

 

 

 


ආරියනන්ද දොඹගහවත්ත