රතු විප්ලවයේ ලෙනින්ගේ අරගලය-08

1923 නොවැම්බර් මුල්භාගයේ ග්ලුක්හමෝ මෝලේ කම්කරු නියෝජිත පිරිසක් ලෙනින් බැලීමට ගෝර්කි බලා ආවේය. ඔවුහු තෑගි වශයෙන් චෙරිගස් දහඅටක් රැගෙන ආහ. ඔවුන් අමුත්තන්ගේ කාමරයට කැටුව යන ලදී. එවිට එහි දොර ඇරුණි


ලෙනින් මද සිනාවක් පාමින් කාමරය තුළට ආවේය. ඔහු කම්කරුවන් වෙත ගොස් එකිනෙකාට අතට අත දී ආචාර කළේය. ලෙනින් සමග විනාඩි පහක් ගත කිරීමෙන් පසුව නියෝජිතයෝ ඔහු සිප වැලඳගෙන ආපසු යාමට ඔහුගෙන් සමුගත්තෝය. අවසන් වරට ඔහුට ආයුබෝවන් කීවේ හැට විය පිරුණු කුස්නෙට්සොවු නැමැති කම්කරුවෙකි. ඔවුහු දෙදෙනා එකිනෙකා වටා යැවුන ඇතැතිව වැලඳගෙන විනාඩි දෙකක් පමණ සිටියෝය. මහල්ලා කඳුලු පිරි දෙනෙතින් යුතුව යළි යළිත් මෙසේ කියන්නට වන, 


“මම කම්කරුවෙක් ව්ලදිමිර් ඉල්යීච් යකඩ තලන්නෙක් ඔබ අපට කී සෑම දෙයක්ම ගිනියම් කොට තලා පදම් කරන්නම්. ඔවුන් ගිය පසු ලෙනින් මහ රෑ වන තුරු හිඳගෙන ග්ලක්හමෝ කම්කරුවන්ගේ සුබපැතුම් පණිවුඩය කියෙව්වේය. යළි යළිත් කියෙව්වේය. එය ඔහු කම්කරුවන් හමුවූ අවසාන වතාවයි. 


1924 ජනවාරි 21 වැනි දින පස්වරු 6.50 ට ලෙනින් මිය ගියේය. මොළයෙන් ලේ ගැලීම හේතුකොට ගෙනය.


ජනවාරි 21 වැනි දින රාත්‍රියේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පූර්ණ රැස්වීමක් කැඳවන ලදී. එය ජනතාවට ආයාචනයක් සකස් කරන ලදී. එහි මෙසේ සඳහන් විය. අපේ පක්ෂය යුධ ධූම පටලයෙන් එතී යද්දී ඊට එඩිතර නායකත්වය දුන්නා වූද රට මුළුල්ලෙහි අචල හස්තයෙන් ඔක්තෝබරයේ ධජය එසෙව්වා වූද, සතුරන්ගේ ප්‍රතිරෝධය මැඩ පළමු සාර්වාදී රුසියාවේ වැඩ කරන ජනතාවගේ ආධිපත්‍යය සුරක්ෂිත ලෙස ස්ථාපිත කළාවූද, මිනිසා මිය ගියේය. කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ ආරම්භකයා වූද ජගත් කොමියුනිස්ට් වාදයේ නායකයා වූද, ජාත්‍යන්තර නිර්ධන පංතියේ භක්ති ප්‍රණාමය හා අභිමානය වූද, පීඩිත පෙරදිග ලෝකයේ ධජ ධාරියා වූද, රුසියාවේ කම්කරු ආඥා දායකත්වයේ නායකයා මිය ගියේය. 


සංවේග ජනක පුවත සෝවියට් දෙරණ මුළුල්ලෙහි හා මිහිතලයෙහි සිව්කොන දක්වා වේගයෙන් පතළ විය. ජනවාරි 22 වැනි දින මධ්‍යම විධායක කාරක සභාවේ සභාපති එම්.අයි. කලිනින් ඒ වන විට මුළුදෙමින් තිබූ සමස්ත රුසියා සෝවියට් සභා සමුළුවේ එකොළොස් වැනි සමුළුවේ නියෝජිතයින්ට ලෙනින්ගේ මරණය පිළිබඳ පුවත දැනුම් දුන්නේය. 


ජනවාරි 23 වැනිදා ගෝර්කි සිට මොස්කව් නුවරට ලෙනින්ගේ දේහය රැගෙන එන ලදී. එය වෘත්තිය සමිති මන්දිරයේ ස්ථම්භ ශාලාවේ තැන්පත් කරන ලදී. සිව් දිනෙක මුළුල්ලේ දිවා රෑ දෙකහිම දැඩි හිම පතනයක් පවතිද්දී ලක්ෂ ගණන් ජනතාව කම්කරුවෝ සහ ගොවීහු රතු හමුදා භටයෝ සහ කාර්යාල සේවකයෝ, සෝවියට් දේශයේ සෑම පෙදෙසෙකින්ම පැමිණි නියෝජිත මණ්ඩල, වැඩිහිටියෝ සහ ළමයි සිය ශ්‍රේෂ්ඨ නායකයාට අවසන් බුහුමන් දැක්වීමට ස්ථම්භ ශාලාව දිගේ ඇදුනෝය. ජාතිය ශෝකයෙන් ඇළලී ගියේය. 


ජනවාරි 26 වැනිදා දෙවන සමස්ත සාංගමික සෝවියට් සභා සමුළුවේ අනුස්මරණ රැස්වීමක් බල්ෂොයි රඟහලේදී පැවැත්විණ. ප්‍රථම කථිකයා වූයේ සමාජවාදී සෝවියට් සමූහාණ්ඩු සංගමයේ මධ්‍යම විධායක කාරක සභාවේ සභාපති, එම්.අයි. කලිනින්ය. සෝවියට් ආණ්ඩුව සිය දේශීය හා විදේශීය පිළිවෙතේදී ලෙනින්ගේ ආඥාවන්ගෙන් බැහැර නොගොස්ම ඒවා අනුගමනය කරන බව ඔහු පැවසීය. කෘප්ස්කයා සෝවියට් සංගමයේ මුළුමහත් වැඩකරන ජනතාවට ලෝකයේ සිය උරුමය අහිමි වූ සියලු දෙනාට ලෙනින්ගේ ධජය යටතේ කොමියුනිස්ට්වාදයේ ධජය යටතේ ඒකරාශී වන මෙන් ආයාචනය කරමින් සිය කථාව අවසන් කරන ලදී. 


සමුළුවේ අනෙකුත් කථිකයන් අතර පේ.වී. ස්ටාලින් ක්ලාරා සෙත්කිත් සහ එන්. නරිමානව් වූහ. ඒ.එන්. සෙර්ගේයෙව් ක්‍රාස්ති පුතිලොවියෙට්ස් කම්හලේ කම්කරුවන් වෙනුවෙන්ද ඒ.බී. ක්‍රයුස්කින් පක්ෂයට සම්බන්ධ නොවූ ගොවීන් වෙනුවෙන්ද කේ.වයි. වොරෂිලව් රතු හමුදාව වෙනුවෙන්ද පී.අයි. ස්මරදින් තරුණයන් වෙනුවෙන් ද විද්‍යාඥ එස්.එෆ්. ඔල්ඩන්බර්ග් විද්‍යාඥයන් වෙනුවෙන්ද කථා කළහ. 


සමුළුව ලෙනින්ගේ නාමය සදාණුස්මරණීය කිරීම් වස් තීරණයක් ගත් අතර ලෝකයේ වැඩකරන ජනතාව වෙත ඇමතීමක් සම්මත කළාය. ලෙනින්ට කරන හොඳම උපහාරය කොමියුනිස්ට්වාදයේ අදහස් මිහිතලයේ සෑම කොනකටම රැගෙන ගිය ඔහුගේ කෘතීන් පුළුන් ලෙස ප්‍රචාරය කර හැරීම යයි සමුළුව අවධාරණය කරන ලදී. 


පෙට්ට්‍රොග්‍රෑඞ් හි කම්කරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන්ගේ නගරය එතැන් සිට ලෙනින්ග්‍රෑඞ් යයි සමුළුව යළි නම් කරන ලදී. 


ජනවාරි 27 වැනිදා පස්වරු 4 ට ලෙනින්ගේ අවමංගල කටයුතු සිදු කෙරිණි. ලෙනින් දේහය බහාලු දෙන ඒ සඳහා රතු චතුරස්‍රයේ විශේෂයෙන් ඉදි කෙරුන ස්මාරක ගර්භයෙහි තැන්පත් කෙරිණ. 


සෝවියට් ජනතාව ඉමහත් ශෝකයෙන් සිය නායකයාගෙන් සමුගත්තේය. ජාත්‍යන්තර නිර්ධන පංතිය විනාඩි පහක් වැඩ නතර කොට ලෙනින්ට බුහුමන් දැක් වූහ. ජගත් කම්කරු පංතියේ නායකයා වූද ඔවුන්ගේ හොඳම මිතුරා සහ ආරක්ෂකයා වූද, ව්ලදිමීර් ඉලීව් ලෙනින් අවසන් නින්දේ සතපවන විට මෝටර් රථ සහ දුම්රිය මග නිසලව නතර විය. කම්හල් හා මෝල්වල වැඩ නතර විය.


ලෙනින්ගේ අභාවය පක්‍ෂයටත් සෝවියට් සංගමයේ කම්කරු පංතියටත් මුළුමහත් ජගත් කොමියුනිස්ට් හා කම්කරු ව්‍යාපාරයටත් දැරිය නොහැකි පාඩුවක් විය. මෙම දැවැන්ත පාඩුව මගහරවා ගැනීම් වස් පක්‍ෂය මධ්‍යම කාරක සභාව වටා තව තවත් ඒකරාශී වූ අතර කම්කරු පංතිය වැඩ කරන බහුජනතාව ලෙනින්ගේ පක්ෂයවටා ඒකරාශී වූහ. කම්කරුවෝ දස දහස් ගණනින් ලෙනින්ගේ පක්ෂයට බැඳීමට කැමැත්ත ප්‍රකාශ කළහ. මධ්‍යම කාරක සභාව වැඩපොළේ දී කම්කරුවන් පක්ෂයට බඳවා ගැනීමේ විශේෂ ලෙනින් ව්‍යාපාරයක් ප්‍රකාශයට පත් කරන ලදී. සති කීපයක් ඇතුළත කම්කරුවන් 240,000 කට අධික සංඛ්‍යාවක් පක්ෂයට බැඳී තිබුණි. 
ලෙනින්ගේ ශික්ෂණයන්ට හා උගැන්වීම්වලට අවනත වෙමින් ඔහු නිර්මාණය කළ හා පන්නරය ලබා දුන් කොමියුනිස්ට් පක්ෂය ඒ මහා පුරුෂයා සකස් කළ මාවත දිගේ සෝවියට් ජනතාව කැටුව ගියේය.

 

 

 

 


එම්. තාරික්