ප්‍රථමයෙන් ප්‍රංශයෙන් ආරම්භ වී, අනතුරුව බටහිර යුරෝපයේ සෙසු රටවලට පැතිරී ගිය 1848 විප්ලවය හේතු කොටගෙන මාක්ස් හා එංගල්ස් ආපසු සිය මව්බිම බලා ගියහ. රයින් ප්රුසියාවේ කොලොන් හි පළමු ප්‍රජාතන්ත්‍රවාදී පුවත්පත වූ නවරයින් පුවත්පත ඔවුහු තමන්ගේ භාරයට ගත්හ. රයින් ප්රුසියාවේ සියලු විප්ලවීය- ප්‍රජාතන්ත්‍රික ප්‍රාර්ථනයන්ගේ හදවත හා ආත්මය වූයේ මේ මිතුරන් දෙදෙනාය. ඔවුහු ප්‍රතිගාමිත්වයේ බලවේගවලට එරෙහිව ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා අවසානය දක්වාම සටන් කළහ. අප දන්නා පරිදි ප්‍රතිගාමි බලවේග ජයගති. නවරයින් පුවත්පත තහනම් කෙරිණි. පිටුවහල් කරනු ලැබ සිටි කාලය තුළදී සිය ප්රුසියානු පුරවැසිභාවය අහෝසි වී සිටි මාක්ස් රටින් නෙරපා හරින ලදි. අවිගත් ජනතා නැගිටීමට සහභාගි වූ එංගල්ස් විමුක්ති සටන් තුනකටම සහභාගි විය. අනතුරුව කැරුලිකරුවන්ගේ පරාජයෙන් පසුව ස්ව්ට්සර්ලන්තය හරහා එංගලන්තයට පැන ගියේය.

මාක්ස් ද ලන්ඩනයෙහි පදිංචි විය. එංග්ල්ස්, යළිත් නොපමාව ලිපිකරු තනතුරක් සොයා ගත්තේය. අනතුරුව, හෙතෙම තමා එක්දහස් අටසීය හතළිස් ගණන් වල සේවය කළ මැන්චෙස්ටර් වාණිජ සමාගමෙහි කොටස් කරුවෙක් විය. 1870 වන තුරුම ඔහු මැන්චෙන්ටර් හි ජීවත් වූ අතර, මාක්ස් ලන්ඩනයෙහි ජීවත් විය. එහෙත් ඔවුන් අතර ඉතාමත් සජීවි ලෙස අදහස් හුවමාරු කරගැනීමට මෙයින් බාධාවක් නොවීය. ඔවුහු දිනපතාම පාහේ එකිනෙකාට ලිපි ලිවූහ. මේ ලිපි හුවමාරුවේදී මෙම මිතුරන් දෙදෙනා අදහස් හා සොයා ගැනීම් පිළිබඳ තොරතුරු හුවමාරු කරගත් අතර, විද්‍යාත්මක සමාජවාදය සකස් කිරීමෙහිලා පොදු ප්‍රයත්නයක යෙදුණාහ. 1870 දී එංගල්ස් ලන්ඩනයේ පදිංචියට පැමිණියේය. එතැන් සිට 1883 දී මාක්ස් මිය යන තුරුම මේ දෙදෙනා අතිශයින් වෙහෙසකරවූ, ඒකාබද්ධ ශාස්ත්‍රීය කටයුතු කරගෙන ගියහ. මේ ඒකාබද්ධ ප්‍රබුද්ධ ජීවිතයේ ප්‍රතිඵල දෙදෙනා තුළින්ම බිහිවිය. අපේ යුගයේ දේශපාලන අර්ථ ශාස්ත්‍රයේ ශ්‍රේෂ්ඨතම කෘතිය වන ප්‍රාග්ධනය මාක්ස් විසින් ලියන ලදි. එංගල්ස් අතින් ලොකු කුඩා පොත් ගණනාවක්ම බිහිවිය. ධනවාදී ආර්ථික ක්‍රමයේ සංකීර්ණ ප්‍රපංචයන් විශ්ලේෂණය කිරීම මාක්ස් ගේ කාර්යය විය. එංගල්ස්, සරල බසින් ලියන ලදි.  එංගල්ස්, සරල බසින් ලියන ලද කෘතීන් මගින්. ඇතැම් විට විවාදාත්මක ලෙස, ඉතිහාසයේ භෞකිතවාදී සංකල්පනයේ සහ මාක්ස්ගේ ආර්ථික න්‍යායේ ජීව ගුණයෙන් යුතුව වඩාත් පොදු විද්‍යාත්මක ගැටලු සහ අතීතය සහ වර්තමානය පිළිබඳ විවිධ ප්‍රපංචයන් ගැන ලිවීය. 


එංගල්ස් විසින් ලියන ලද කෘතීන් අතුරෙන් සමහරක් පහත සඳහන් කරමු. ඩුරින්ශ්ට එරෙහිව ලියන ලද විවාදාත්මක කෘතිය (මෙය දර්ශනවාදය, ස්වභාව විද්‍යාව සහ සමාජ විද්‍යා ක්ෂේත්‍රයේ අතිශයින් වැදගත් ගැටලු විශ්ලේෂණය කරයි) පවුලේ, පෞද්ගලික දේපල වල සහ රාජ්‍යයේ සම්භවය (1895 ශාන්ත පීටර්ස්බර්ග් හිදී මෙහි රුසියානු අනුවාදයේ තෙවැනි මුද්‍රණය පළවිය) ලුද්විග් පොයර්බාහ් (මෙහි රුසියන් අනුවාදය සහ සටහන් ජී. ප්ලෙහානොවු විසිනි. 1892 ජිනිවාහිදී පළකරන ලදි) රුසියානු ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය පිළිබඳ ලිපියක් (ජිනිවාහි පළමු “සොට්සියාල් ඩිමොක්‍රා්” පුවත්පතේ අංක 1 සහ 2 කලාපවල මෙහි රුසියන් පරිවර්තනය පළවිය) නිවාස ප්‍රශ්නය ගැන ලියන ලද අගනා ලිපි කීපයක් සහ රුසියාවේ ආර්ථික සංවර්ධනය ගැන ලියන ලද අගනා කෙටි ලිපි දෙකක් (මේවා සසුලිච් විසින් රුසියන් බසට පරිවර්තනය කරන ලදුව, ෆෙඞ්රික් එංගල්ස් “රුසියාව ගැන” යන හිසින් 1894 දී ජිනිවාහිදී පළ කරන ලදී) තමා විසින් ප්‍රාග්ධනය ගැන ලියන ලද මහා කෘතිය නිමකිරීමට පෙර කාල්මාක්ස් මියගියේය. කෙසේ වූවද, එම ග්‍රන්ථයෙහි දළ සැලැස්ම ලියා නිම කර තිබු අතර, සිය මිතුරාගේ මරණින් පසුව ප්‍රාග්ධනයේ දෙවන හා තෙවන වෙළුම් පළ කිරීමේ භාරදූර කාර්යය එංගල්ස් භාර ගත්තේය. හෙතෙම 1885 දී ප්‍රාග්ධනයේ දෙවන වෙළුමද 1894 දී තුන්වන වෙළුමද ප්‍රකාශයට පත් කළේය. (සිව්වන වෙළුමද සකස් කිරීමට පෙර ඔහු මිය ගියේය.) මේ වෙළුම් දෙක සකස් කිරීමේදී දැරීමට සිදු වූ වෙහෙස අපමණය. “ප්‍රාග්ධනය” ග්‍රන්ථයෙහි දෙවන හා තෙවන වෙළුම් ප්‍රකාශයට පත් කිරීමෙන් එංගල්ස් සිය මිතුරා වූ ඒ අසහාය ප්‍රඥාවන්තයාගේ නාමයෙන් ඉදිකර තිබෙන්නේ අභිමානවත් සිහිවටනයකියි. ඔස්ත්‍රියානු සමාජ- ප්‍රජාතන්ත්‍රවාදියෙකු වූ ඇඞ්ලර් පවසා ඇත. මේ කාර්යය සපුරාලීමේදී එංගල්ස් නොදැනුවත්වම තම නමද නොමැකෙන අකුරින් එහි කොටා ඇති බව ඔහු කීය. ඇත්ත වශයෙන්ම ප්‍රාග්ධනයෙහි මේ කාණ්ඩ දෙකම මාක්ස් හා එංගල්ස් යන දෙදෙනාගේම කෘතීන් වේ. පැරණි පුරාවෘත්ත වල මිත්‍රත්වය පිළිබඳ නොයෙකුත් අනුවේදනීය කතා අන්තර්ගතව ඇත. පුරාතනයන් අතර පැවති ඉතාමත්ම අනුවේදනීය මිතුරුදම් පවා පසුබාන්නා වූ අන්‍යොන්‍ය සම්බන්ධතාවකින් වෙළී පැටලී සිටි වියත්, සටන් කාමී පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිර්ධන පංතියේ විද්‍යාව බිහි කරන ලදැයි පැවසීමට යුරෝපීය නිර්ධන පංතියට අයිතිය තිබේ. එංගල්ස් නිතරම පාහේ සහ සම්පූර්ණයෙන්ම, ඉතා සාධාරණ ලෙස තමන්ට පවරා ගන්නේ මාක්ස්ට දෙවැනි වූ තැනකි. “මාක්ස් ජීවත්ව සිටි කාලයේ මම ඔහුගේ දෙවැනියාව සිටියෙමි” යි එංගල්ස් සිය මිතුරෙකුට ලියූ ලිපියක සඳහන් කළේය. ජීවමාන මාක්ස් කෙරෙහි ඔහු තුළ වූයේ අසීමිත ගෞරවයකි. මේ දැඩි සටන්කාමියා හා තීක්‍ෂණ චින්තකයාට අයත්ව තිබුණේ ගැඹුරු ලෙස සෙනෙහසින් පිරීගිය හදවතකි. 1848 - 1849 ව්‍යාපාරයෙන් පසු විදේශගත වූ මාක්ස් සහ එංගල්ස් විද්‍යාත්මක පර්යේෂණ කටයුතු වලට පමණක් සීමා නොවූහ. 1864 දී “ජාත්‍යන්තර කම්කරු සංගමය” ඇරඹූ මාක්ස් දසවසරක්ම එහි නායකත්වය දැරුවේය. එංගල්ස්ද එහි කටයුතු වලදී ක්‍රියාකාරී මෙහෙයක් ඉටු කළේය. මාක්ස්ගේ අදහසට අනුව සියලුම රටවල කම්කරුවන් එකමුතු කළ ජාත්‍යන්තර සංගමය කම්කරු පංති ව්‍යාපාරයේ වර්ධනයෙහිලා අතිශයින් වැදගත් විය. එහෙත් එක්දහස් අටසීය හැත්තෑ ගණන් වලදී ජාත්‍යන්තර සංගමය අහෝසි වීමෙන් පසුව වුවද මාක්ස් සහ එංගල්ස්ගේ සමගි ප්‍රයත්නය නොනැවතුණි. ඊට ප්‍රතිපක්‍ෂව, කම්කරු ව්‍යාපාරයට නිර්බාධකව වර්ධනය වූ හෙයින්, කම්කරු ව්‍යාපාරයේ ආධ්‍යාත්මික නායකයින් වශයෙන් ඔවුන්ගේ වැදගත්කම අනාවරණයෙන් වර්ධනය වූ බව කිව හැකිය. මාක්ස් ගේ අභාවයෙන් පසුව එංගල්ස් යුරෝපීය සමාජවාදීන්ගේ උපදේශකයා හා නායකයා වශයෙන් තනිව දිගටම කටයුතු කරගෙන ගියේය. ආණ්ඩුවේ මර්ධනකාරි ක්‍රියාවන් මධ්‍යයෙහි වුවද, සීඝ්‍රයෙන් හා අඛණ්ඩව ස්වකීය බලය වර්ධනය වෙමින් තිබූ ජර්මන් සමාජවාදීන් මෙන්ම, ඔවුන්ගේ ප්‍රථම පියවරයන් තැබීමේදී සිතා මතා බලා එසේ කළ යුතු වූ ස්පාක්‍ද්ක්‍ද ජාතිකයන්, රුමේනියානුන් හා රුසියානුන් වැනි පසුගාමී රටවල නියෝජිතයින්ද එකසේම එංගල්ස් ගේ අවවාද හා උපදෙස් සොයා ගියහ. ඔවුන් සියල්ලෝම වයෝවෘද්ධ එංගල්ස්ගේ දැනුමේ හා අත්දැකීම් වල පොහොසත් භාණ්ඩාගාරයෙන් ප්‍රයෝජන ගත්හ.


රුසියන් බස දැන සිටි, රුසියන් පොත පත කියවූ මාක්ස් හා එංගල්ස් රුසියාව ගැන දැඩි උනන්දුවක් දැක් වූහ. ඇල්මෙන් යුතුව රුසියානු විප්ලවීය ව්‍යාපාරයේ ගමන් මග ගැන සෝදිසියෙන් සිටියහ. එමෙන්ම ඔවුහු රුසියානු විප්ලවවාදීන් සමඟ සබඳකම් පැවැත්වූහ. ඔවුහු දෙදෙනම සමාජවාදී වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදීන් වී සිටියෝය. දේශපාලන ඒකාධිපත්‍ය කෙරෙහි ඇති වූ ප්‍රජාතන්ත්‍රවාදී වෛරය ඔවුන් තුළ අතිශයින් බලවත් විය. දේශපාලන ඒකාධිපත්‍ය හා පීඩනය අතර ඇති සම්බන්ධය පිළිබඳ ගැඹුරු න්‍යායික අවබෝධය සමඟ එක් වූ එම සෘජු දේශපාලන හැඟීමත්, ස්වකීය ජීවිතයේම ලත් සාරවත් අත්දැකීම් සම්භාරයක් මගින් මාක්ස් සහ එංගල්ස් දේශපාලන වශයෙන් අසමසම ලෙස ප්‍රතිචාරි පුද්ගලයන් බවට පත් කෙරිණි. දැවැන්ත සාර් රාජාණ්ඩුවට එරෙහිව විප්ලවවාදීන් අතළොස්සක් විසින් ගෙන යන ලද වීරෝදාර අරගලය. ඒ කෘතහස්ත විප්ලවවාදීන්ගේ හදවත් තුළ සානුකම්පිත ආවේගයක් ජානිත කළේ එම නිසාය. අනික් අතින් බලන විට මායාකාරී ආර්ථික වාසි සඳහා රුසියානු සමාජවාදීන්ගේ ඉතාමත් ක්ෂණික හා වැදගත් කර්තව්‍යය එනම්, දේශපාලන නිදහස දිනාගැනීම අතහැර දැමීමේ ප්‍රවණතාව ස්වභාවයෙන්ම සැක කටයුතු දෙයක් සේ ඔවුනට පෙනී ගිය අතර, ඔවුහු එය සමාජ විප්ලවයේ ශ්‍රේෂ්ඨ කාර්යභාරය කෙළින්ම පාවාදීමක් වශයෙන් පවා සැලකූහ. “කම්කරුවන්ගේ විමුක්ති සාධනය කම්කරු පංතියේම කාර්යභාරය විය යුතුයි” මාක්ස් හා එංගල්ස් නිතරම උගැන්වූහ. එහෙත් සිය ආර්ථික විමුක්තිය සඳහා සටන් කිරීම් වස් නිර්ධන පංතිය ඇතැම් දේශපාලන අයිතිවාසිකම් දිනාගත යුතුය. තවද, රුසියාවේ සිදුවන දේශපාලන විප්ලවයක් බටහිර යුරෝපීය කම්කරු පංති ව්‍යාපාරයටද අතිශයින් වැදගත් වේ යැයි මාක්ස් හා එංගල්ස් පැහැදිලිවම දුටුවෝය. ඒකාධිපති පාලනයකින් යුත් රුසියාව සියලු කල්හිම පොදු යුරෝපීය ප්‍රතිගාමිත්වයේ බල පවුරක් විය. බොහෝ කලක් ප්‍රංශය හා ජර්මනිය භේද භින්න වී සිටීමටතුඩු දුන් 1870 යුද්ධයේ ප්‍රතිඵලයක් වශයෙන් රුසියාවට අත්ව තිබූ අති විශේෂ, වාසි සහගත ජාත්‍යන්තර තත්ත්වය, ඇත්තෙන්ම, ප්‍රතිගාමි බලවේගයක් වශයෙන් ඒකාධිපති රුසියාවේ වැදගත්කම වැඩිකළා පමණකි. නූතන යුරෝපය යුද බරින් මුදාලමින් නිදහස් ජීවිතයක් උදාකරලීමටත්, යුරෝපයේ සකල ප්‍රතිගාමි බලවේගයන් දුබල කිරීමටත්, යුරෝපීය කම්කරු පංතිය ශක්තිමත් කිරීමටත් හැකි වන්නේ, පෝලන්ත, පින්ලන්ත, ජර්මන්, ආර්මේනියන් හෝ වෙනත් කිසිම කුඩා ජාතියක් පීඩනය කිරීමේ වුවමනාවක් නැත්තා වූද, ප්‍රංශය හා ජර්මනිය නිරන්තරව උනුන් අතර ඇනකොට ගැනීමට උසිගැන්වීමේ වුවමනාවක් නැත්තා වූද නිදහස් රුසියාවකට පමණකි. බටහිර රටවලද කම්කරු පංති ව්‍යාපාරයේ උන්නතිය සඳහා රුසියාවේ දේශපාලන නිදහස ස්ථාපිත කිරීම එංගල්ස් ඉමහත් උද්යෝගයකින් අපේක්‍ෂා කළේ එම නිසාය. ඔහුගේ වියෝවෙන් රුසියානු විප්ලවවාදීන්ට ඔවුන්ගේ හොඳම මිතුරා අහිමි වී ඇත.

 


නිර්ධන පංතියේ ශ්‍රේෂ්ඨ සටන්කාමියා හා ගුරුවරයා වූ ෆෙඞ්රික් එංගල්ස් ගේ නාමය අපේ හදවත් තුළ සදානුස්මරණීය වේවා.! 
(1907 අප්‍රේල් මාසයේදී ලෙනින් විසින් ලියන ලදි. සිංහල අනුවාදය- පියසේන මානිල්ගම)

 

 

 

 

 

 

 

 

 


මාතලේ - එම්. තාරික්