20 වැනි ශත වර්ෂයේ ආරම්භයේදී රුසියාව දෙවන සාර් නිකොලස් අධිරාජයා යටතේ පාලනය විය. අධිරාජයා සහ අධිරාජිණිය සිත් තැවුලට පත් කරමින් සිහසුනේ මීළඟ උරුමක්කාරයා වෙනුවෙන් වසර හතරක් වැනි කාලයක් බලා සිටීමට සිදු විය. ගැහැනු දරුවන් හතර දෙනෙකු ලැබීමෙන් පසු බලාපොරොත්තු කඩ වු රාජකීය යුවළ නා නා ප්‍රකාර පුද්ගලයන්ගේ පුජකයන්ගේ සහය පැතුවේ පෙළ පතට උරුමක්කාරයකු වු පුත්‍ර රත්නයක් ලබා ගැනීමටය. අවසානයේ දී බලාපොරොත්තු මල්පල ගන්වමින් 1904 අගෝස්තු 12 වැනි දින ඇලෙක්සි නිකලොයෙවිච් දරුවා මෙලොව එළිය දුටුවේය. එහෙත් ඇලෙක්සි කුමරා උපතේ සිටම රාජකීය රෝගය යැයි හැඳින්වු හිමෝෆිලීයාව නොහොත් රක්තකාමය රෝගයෙන් පෙළෙන්නට විය. මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණය නම්, ලේ කැටි නොගැසීමය. 

1905 වසරේ දිනක ඇලෙක්සි කුමරු අශ්වයෙකුගේ පිටෙන් වැටී තුවාල වීම රජ පවුලේ ඛේදවාචකයක් බවට පත් විය. වෛද්‍යවරුන්ගේ මතය වූයේ කුමරුගේ ජීවිතය බේරා ගැනීම අපහසු බවයි. එයින් අතිශයින් බියට පත් වු රජ බිසව පිහිටක් ලබා ගැනීම සඳහා අවසානයේ යොමු වූයේ දේව බලයෙන් රෝග සුවකරන්නෙකු ලෙස පෙනී සිටි රස්පුටින් නම් පූජකයෙකු වෙතය. 


සයිබීරියාවේ පොත්රොවුස්කෝයේ හිදී උපත ලද ග්‍රෙගරි යෙෆිමොවිච් රස්පුටින්ගේ උපන් දිනය ලෙස සටහන් වන්නේ 1869 ජනවාරි 22 වැනිදාය. වයස අවුරුදු 18 දී තෙමසක කාලයක් තාපසාරාමයක ගත කරන රස්පුටින්, තහනම් කරන ලද ක්‍රිස්තියානි නිකායක් සමග සම්බන්ධතා පැවැත්වූ බවට ද විශ්වාස කෙරේ. තාපසාරාමයෙන් ඉවත් වු පසු අසල විසු මකාරි නම් ධාර්මික දිවියක් ගෙවු මිනිසෙකුගේ ඇසුරට වැටෙන රස්පුටින් ඔහුව අනුකරණය කිරීමට ද පෙළඹේ. මකාරි විසින් රස්පුටින් කෙරෙහි දැක්වු බලපෑම අතිමහත්ය. 1901දී නිවසින් පිටවන රස්පුටින් වන්දනාකරුවකු වශයෙන් තැනින් තැනට සංචාරය කළේය. 1903 දී ශාන්ත පීටර්ස්බර්ග් නුවරට පැමිණ ටික කලෙකින් රෝග සුවකරන්නකු හා අනාගත වක්තෘ කෙනෙකු ලෙසට ද නමක් දිනා ගැනීමට සමත් වේ. දෙවියන් වහන්සේ සමග ඔහුට සෘජු ලෙස සබඳතා තිබු බව එකල ඔහු ප්‍රචලිත කළ මතයයි. දෙවියන් වහන්සේට යාඥා කිරීමක් ලෙස රෝග සුව කිරීමේ විශේෂ බලයක් තමන්ට ඇති බව රස්පුටින් ප්‍රකාශ කළේය. සාර් රජුත් රජ බිසවත් රජ පවුලේ කාන්තාවනුත් රස්පුටින්ගේ මෙම ප්‍රකාශය විශ්වාස කළෝය. කෙසේ වෙතත් රස්පුටින්ගේ විරුද්ධවාදීන් ඔහු හැඳින්වූයේ පිස්සු පූජකයා වශයෙනි. 


රස්පුටින් කළේ රජ කුමරු වෙනුවෙන් දෙවියන් යාඥා කිරීමයි. පුදුමයකට මෙන් එයින් රජ කුමරුට සුවයක් අත් වු බව කියති. ඔහු එය සිදු කළ ආකාරය අදටත් අභිරහසක් වන අතර ඇතැම් විචාරකයන් පවසන්නේ, රස්පුටින් රජ කුමරු මෝහනය කරමින් ඔහුට සුවයක් ලැබුණු බව ප්‍රකාශ කරවා ගත් බවයි. කෙසේ වෙතත් මෙයින් සාර් රජු හා බිසව තුළ මෙන්ම රජ පවුලේ උදවිය අතරත්, රස්පුටින්ගේ දේව බලය පිළිබඳ විශ්වාසයක් වර්ධනය විය. ඉන් පසුව රජ කුමරුගේ රෝගය උත්සන්න වු අවස්ථා වලදී රස්පුටින්ගේ සේවය ලබා ගැනීම නිරත්තරයෙන් සිදු විය. 


මෙලෙස ඇලෙක්සි කුමරුගේ රෝගයට ප්‍රතිකාර කිරීමට රජ ගෙදරට යන රස්පුටින් රාජකීය පවුලේ හිතවතෙකු දක්වා ඔසවා තැබීමට මෙම සම්බන්ධයට හැකි විය. එය කෙතරම්දයත්, සාර් අධිරාජයා විසින් ඔහුව අපේ මිතුරා ශුද්ධ වු මිනිසා යනුවෙන් ඇමතීමට තරම් කුළුපහ විය. 


රාජකීය යුවළ ඔහුව දෙවියෙකු නැත්නම් සෘෂිවරයෙකු ලෙස සැලකීමට පුරුදු වූහ. අධිරාජිණිය දෙවියන් වහන්සේ රස්පුටින් හරහා තමන්ට කතා කරන බව විශ්වාස කිරීමට තරම් මේ විශ්වාසය දැඩි විය. මේ අනුව පසු කාලීනව රජ පවුලට බලපෑම් කළ හැකි බලගතු චරිතයක් බවට මොහු පත් විය. ඇතැම් වාර්තා වල කියැවෙන්නේ රස්පුටින් සල්ලාල ජීවිතයක් ගත කළ අයෙකු බවයි. තවද එකල රුසියානු සමාජයේ රස්පුටින් හඳුන්වනු ලැබුවේ ලිංගිකත්වයේ සංකේතය වශයෙනි. ඔහුගේ දෑස් තුළින් ගලා හැළුණු අනුරාගයෙන් වශී වු සුරූපිණියන් රස්පුටින් සමග යහන් ගත වීමට පොර කෑ බැව් කියැවිණි. ඔහු රජ පවුලේ කාන්තාවන් වසඟයට ගත් බවට ද කට කතා පැතිරී තිබුණි. රජ බිසව කෙරෙහි විශාල බලපෑමක් කිරීමේ හැකියාව රස්පුටින්ට තිබු බව කියති. එමගින් සාර් රජුට ද බලපෑම් කිරීමේ හැකියාවක් රස්පුටින් ගොඩ නගා ගත්තේය. 


1914 වසරේදී පළමු වැනි ලෝක යුද්ධයට රුසියාව සම්බන්ධ වීමත් සමග රස්පුටින්ගේ බලය තව තවත් වර්ධනය විය. රස්පුටින් කීවේ, යුද්ධය දිනන්නට නම් සාර් රජුට සටනට අණදීම බාර ගත යුතු බවයි. මේ අනුව සාර් අධිරාජයා පළමු ලෝක සංග්‍රාමයේ යෙදී සිටි බළ මුළු මෙහෙය වීම සඳහා වැඩි කාලයක් යොමු කළේය. මේ හේතුවෙන් අභ්‍යන්තර දේශපාලනික කටයුතු අධිරාජිනිය විසින් මෙහෙය වන්නට යෙදුණාය. 


මෙම කාලයේ රාජ්‍ය පාලනයේ කටයුතු සිදු කළේ ද, දේශපාලන තීරණ ගනු ලැබුයේද, රස්පුටින්ගේ උපදෙස් අනුව බවට චෝදනා නැගෙන්නට විය. රස්පුටින් කෙරෙහි අනෙකුත්  රාජකීයයන්ගේ විරෝධය එල්ල වු තවත් හේතුවක් වුයේ ජර්මනිය සමග යුද්ධයෙන් රුසියාව ඉවත් විය යුතු බව රස්පුටින් කියා සිටීමය. එය රජ පවුලේ ඥාතින්ගේ බලවත් විරෝධයට හේතු විය.


දෙවැන නිකොළොස් සාර් රජු ජර්මනිය හා සටන්වැද සිටියද රජ බිසව පිය පාර්ශ්වයෙන් ජර්මානු සම්භවයක් ඇති තැනැත්තියක වීම නිසා රජ බිසවට ද ස්වාභාවික විරෝධයක් රජ පවුල තුළම ගොඩ නැගී තිබුණි. මේ අතර රජ බිසව සහ රස්පුටින් අතර රහසිගත සබඳතාවක් ඇතැයි ද රාවයක් පැතිර ගියේය. තවද රජ බිසව ජර්මනියට ඔත්තු සපයන බවට පවා කට කතා පැතිර තිබුණි. ජර්මනිය සමග යුදධයෙන් ඉවත් විය යුතු බව රස්පුටින් කියන විට ඔහු වෙත ද එල්ල වුයේ, ඒ ආකාරයෙන්ම විරෝධයකි. ලෝක යුද්ධයේදී සිදුවු විනාශයන් වැඩි වන විට මෙම විරෝධය ද දිනෙන් දින ඉහළ ගියේය. 


මෙලෙස විවාදාත්මක චරිතයක් බවට පත්ව සිටි රස්පුටින්ව පළමු වන වර ඝාතනය කිරීමට දැරූ උත්සාහය අසාර්ථක විය. කියෝනිසා ගැසේවා නම් කාන්තාව රස්පුටින්ට පිහියෙන් ඇන මරා දැමීමට තැත් කළද, එයින් ඔහු දිවි ගලවා ගත්තේය. පසුව රස්පුටින්ගෙන් රාජ්‍ය පාලනයට එල්ල වන බලපෑම ඉවත් කිරීමේ අරමුණින් රජ පවුලේ වංශාධිපතිවරු පිරිසක් රස්පුටින්ව ඝාතනය කිරීමට තීරණය කළහ. ඒ අනුව ෆීලික්ස් යුසපොව් දිමිත්‍රි පවුලොවිච් ඇතුළු රාජකීයයන් පිරිසක් එයට පෙරමුණ ගත්හ. ඝාතනය සඳහා තෝරා ගන්නා ලද්දේ යුසිපොව් කුමරුගේ මොධිකා පැලස් මාළිගයයි. 1916 දෙසැම්බර් 16 වැනිදා (නව දින දර්ශනයට අනුව දෙසැම්බර් 29 වැනිදා) රස්පුටින්ව මොධිකා පැලස් වෙත පැමිණෙන ලෙස ආරාධනය කරනු ලබයි.

 

මාළිගාවට කැඳවාගෙන ඒමේ වගකිම කුමරුගේ බිරිය වු අයිරිනා කුමරියට පැවරූහ මාළිගාවට පැමිණි රස්පුටින් සමග සුහදව කතා බහ කළ වංශාධිපතිවරු ඔහුට කේක් සහ සයනයිඞ් මිශ්‍රිත රතු වයින් පානය කිරීමට ලබා දුන්හ. නමුත් එය රස්පුටින්ගේ ජීවිතයට කිසිදු අයුරක බලපෑමක් එල්ල කිරීමට සමත් වුයේ නැත. 


මෙයින් කෝපයට පත් යුසිපොව් කුමරු සිය රිවෝල්වරයෙන් රස්පුටින්ට වෙඩි තැබුවෙය. වෙඩි පහර වැදුණු රස්පුටින් බිම ඇද වැටුණු වහාම වංශාධිපති පිරිස මාළිගාව හැරදමා යාම සඳහා යළි මාළිගය තුළට පැමිණීමට සිදු විය. මාළිගය තුළට පැමිණි යුසිපොව් කුමරු රස්පුටින්ගේ සිරුර පරීක්ෂා කර බැලීමට සිතා ඒ අසලට පැමිණියේය. එකෙනෙහිම දෑස් විවර කොට කුමරු දෙස රවා බැලු රස්පුටින් වහා පැන කුමරුගේ ගෙල මිරිකීමට උත්සාහ දැරීය. 


කුමරුගේ පමාව නිසා මාළිගාව තුළට පිවිසි සෙසු පිරිස සිය සගයා ග්‍රහණයට හසු කර ගෙන සිටින රස්පුටින් දැක භීතියට පත් වෙමින් තෙවරක්ම වෙඩි තැබුහ. බිම වැටුණු ඔහුගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා නේවා නදිය වෙත රැගෙන අවුත් නදියට වීසි කළහ. 


හිම මිදී තිබුණු නේවා ගඟෙහි තිබුණු රස්පුටින්ගේ සිරුර සොයා ගන්නා ලද්දේ දින තුනකට පසුවය. මරණ පරීක්ෂණයේදී හෙළි දරව් වු කරුණක් නම් රස්පුටින්ට වතුර පෙවි තිබුණු බවයි. එයින් එන නිගමනයක් නම් ගඟට දමන විටත් රස්පුටින් පණ පිටින් සිටිය බවයි. 


රස්පුටින්ගේ මරණය පිළිබඳව පසුව හෙළිදරවු තොරතුරු අනුව ඔහුගේ මරණය සිදු වීමට හේතු වුයේ හිසට තැබු වෙඩි පහරය. එය අනෙක් වෙඩි පහර තුනට වඩා වෙනස්ය. එම වෙඩි පහර තබා තිබුණේ වෙබ්ලි 455 රිවොල්වරයකිනි. ඒ වන විට එම මර්ගයේ රිවෝල්වරයක් තිබුණේ රුසියාවේ සිටි එක් තැනැත්තෙකුටය. ඔහු ලුතිනන් ඔස්වල්ඞ් රේනර්ය. බි්‍රතාන්‍ය රහස් ඔත්තු සේවා නිලධාරියෙකු ලෙස ඔහු පීටර්ස්බර්ග් නුවර සේවය කළේය. 


රස්පුටින්ගේ සිරුර භූමදානය කරන ලද්දේ රජ පවුලේ සුසාන භූමියකය. පෙබරවාරි විප්ලවයෙන් සාර් රජු බලයෙන් පහ කිරීමෙන් පසුව රස්පුටින්ගේ සිරුර ගොඩ ගෙන ආදාහනය කරන ලදි. කෙසේ වුවද රස්පුටින් මරා දැමීමෙන් රුසියානු පාලනය යහපත් වේ යැයි ඔහුගේ ඝාතකයින් බලාපොරොත්තු වු නමුත් එය එසේ සිදු වුයේ නැත. මාස තුනක් ඉක්ම යාමට පෙර රුසියානු රාජාණ්ඩුව බිඳ වැටුණු අතර 1918 දී රජ පවුල ඝාතනයට ලක් වුණි.

 

 

 

එම්. තාරික්