“1905 ජනවාරි 9 වැනි දින ශාන්තපීටස්බර්ග් හිදී සාර්ගේ නියමය පරිදි ක්‍රියා කරමින් හමුදා භටයෝ කම්කරුවන්ගේ සාමකාමී පෙළපාළියකට වෙඩි තැබූහ. ඔවුහු සිය බිරියන් සහ දරුවන් ද කැටුව තම අවශ්‍යතාවන් පිළිබඳ පෙත්සමක් සාර් වෙත ඉදිරිපත් කිරීමට යමින් සිටියෝය. මෙම තිරස්චීන ඝාතනය ජාතිය කම්පනයට පත්කළ අතර, ජනතා කෝපය ඇවිස්සීය. සන්ධ්‍යා සමය වන විට අගනුවර කම්කරුවන් පදිංචි දිස්ත්‍රික්කවල ගමනාගමනය වළක්වන බාධක ඉදිකරනු ලබමින් තිබුණි. ශාන්ත පීටර්ස්බර්ග් හි සිදුවීම් මුළු රටම කැළඹීය. ලෙනින් ඒවා විප්ලවයේ අරම්භය වශයෙන් දුටුවේය. “මරණය හෝ නිදහස” නමැති වීරෝදාර ශාන්තපිටර්ස්බර්ග් නිර්ධනීන්ගේ සටන් පාඨය රුසියාව  මුළුල්ලේ රැව් දෙන්නේය” යැයි ඔහු ලිවීය. 

 

ලෙනින්ගේ සියලුම සිතුම් පැතුම් රුසියාව කෙරෙහි යොමු විය. ඔහු කෙළින්ම පක්ෂ කමිටුවලට මඟ පෙන්වීම භාර ගත්තේය. ඒවාට ලිපි යැවීය. නව විප්ලවීය තත්ත්වය යටතේ ක්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සවිස්තරාමත්මක උපදෙස් දුන්නේය. බහුතර කමිටු මණ්ඩලයේ සාමාජිකයෙකු වූ එම්. එන්. ල්යාදොව් එම තත්ත්වය මෙසේ සිය මතකයට නඟයි. මට නිතරම පාහේ නීති විරෝධී ලෙස එතෙර යාමට අවස්ථාව ලැබුණි. මා සතියක් පමණ කාලයක් එතෙර ගත කරන අතර ඉල්යීච්ට සියලුම ප්‍රවෘත්ති දැනුම් දී, ඔහුගේ උපදෙස් හා අවවාද ලබාගෙන, බහුතර කමිටු මණ්ඩලයේ සාමාජිකයන් සොයා යෑමට පුරුදුව සිටියෙමි. ඉල්යීච්, ජිනීවාහි හිඳගෙන කොතරම් නිවැරදි ලෙස තත්ත්වයන් තෝරා බේරා ගැනීමට සමත් වන්නේද යන්න පිළිබඳව, සෑම විටෙකම ඔබ මවිතයට පත්කරනු ඇත. 


විප්ලවය නියත වශයෙන්ම වර්ධනය වන බව ලෙනින් කලින් දුටුවේය. මෙය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය මත විශාල වගකීමක් පැවරීය. ඊට විප්ලවයේදී සිය ක්‍රියා මාර්ගය නිර්චනය කිරීමටත් අරගල ස්වරූප හා ක්‍රම පිළිබඳ එකඟත්වයකට පැමිණීමටත් තිබුණි. එනම් එහි උපක්‍රම කිරීමයි. මෙය නිගමනය කළ හැකිව තිබුණේ පක්ෂ සම්මේලනයට පමණි. පක්ෂ සම්මේලනයක් වහාම කැඳවන ලෙස ඉමහත් උනන්දුවකින් ලෙනින් ඉල්ලා සිටියේ එම නිසාය. ඒ සඳහා ඔහු උද්යෝගිමත් ලෙස සූදානම් කිරීමේ කටයුතු ආරම්භ කළේය. 


රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂය තෙවැනි සමුළුව 1905 අප්‍රියෙල් මස ලන්ඩනයේදී පැවැත්විණ. එය ප්‍රථම බෝල්ෂෙවික් සමුළුව විය. මෙන්ෂෙවික්වරුන්ට ආරාධනා කරනු ලැබ තිබූ නමුදු ඔවුහු ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කොට, ඔවුන්ගේම සමුළුවක් ජිනීවාහිදී පැවැත්වූහ. මෙය විවෘත ලෙසම භේදබින්නකාරී පියවරක් විය. එකල රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ තත්ත්වය ලෙනින් විස්තර කළේ සම්මේලන දෙකක්, පක්ෂ දෙකක් යනුවෙනි. 


වර්ධනය වෙමින් තිබූ විප්ලවයේ සියලුම වැදගත් ප්‍රශ්න සමුළුව විසින් පරීක්ෂාවට භාජනය කෙරිණ. ලෙනින් මුලසුනට තෝරා ගනු ලැබූ අතර සමුළුවේ කටයුතු මෙහෙයවීය. ඔහු වාර්තා කීපයක්ම ඉදිරිපත් කළේය. කථා කීපයක්ම පැවැත්වීය. එසේම සන්නද්ධ නැගිටීම, තාවකාලික විප්ලවීය ආණ්ඩුවක් හා ගොවි ව්‍යාපාරයේ ආකල්පය පිළිබඳව, ප්‍රධාන යෝජනා කෙටුම්පත් කළේය. පක්ෂයේ ප්‍රධාන සහ හදිසි කර්තව්‍යය සන්නද්ධ නැගිටීමක් සංවිධානය කිරීම යයි පිළිගත් සම්මේලනය, සියලුම පක්ෂ සංවිධානවලට නිර්ධන පංතිය සන්නද්ධ කිරීම සඳහා නිශ්චිත පියවර ගන්නා ලෙසත් කෙළින්ම ඔවුන්ගේ නායකත්වය යටතේ සන්නද්ධ නැගිටීමක සැලැස්ම සකස් කරන ලෙසත් උපදෙස් දුනි. 


සම්මේලනයේ නියෝජිතයෙකු වූ එම්. ජී. ට්ස්හාකයා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තාවකාලික විප්ලවීය ආණ්ඩුවකට සහභාගී වීම පිළිබඳ ලෙනින්ගේ කතාව සිහිපත් කරමින් මෙසේ ලිවීය. “මුළුමහත් සම්මේලන සාමාජිකත්වයම නැගිට, දැඩි නිහඬතාවයකින් සවන් දුන්හ. න්‍යායවාදියාගේ, ජන නායකයාගේ හා විප්ලවයේ සංවිධායකයාගේ අයෝමය තර්කය සියලුම නියෝජිතයන් වශී වූවාක් මෙන් බැඳ තැබීය.”


ඉල්යීච්ගේ කතාව අවසන් වූ පසු ඇති වූ අත්පොළසනට හා ප්‍රීතිඝෝෂාවට කෙළවරක් නොවීය. අප ඉදිරියෙන් සිට ගත්තේ ශ්‍රේෂ්ඨ විප්ලවවාදියෙකු, න්‍යායවාදියෙකු හා ජනනායකයෙකි. 


සම්මේලනය පක්ෂ සාමාජිකත්වය පිළිබඳ ලෙනින් විසින් සකස් කරන ලද පරිදි පක්ෂ ව්‍යවස්ථාවේ 1 වැනි වගන්තිය අනුමත කරන ලදී. එවක් පටන් ලෙනින්ගේ ඉතාමත් වැදගත් සංවිධාන මූලධර්මවලින් එකක් පක්ෂ ව්‍යවස්ථාවේ ස්ථිර අංගයක් බවට පත් විය. සම්මේලනය ලෙනින් නායකත්වයෙහි තබමින් මධ්‍යම කාරක සභාවක් තෝරා ගන්නා ලදී. 


සම්මේලන තීරණ මූර්ත සටන් සැලැස්මකින් පක්ෂය සන්නද්ධ කළේය. විප්ලවය තවදුරටත් සංවර්ධනය කරන මාර්ග නිශ්චය කළේය. එසේම ඒකාධිපත්‍යයට විරුද්ධව තීරණාත්මක ලෙස සටන් කිරීමේ අරමුණ කම්කරු පංතිය ඉදිරියේ තැබීය. මධ්‍යම කාරක සභාවේ ප්‍රථම පූර්ණ රැස්වීම් වාරයේදී ලෙනින් ප්‍රොලිතාරි (නිර්ධනයා) නමැති පක්ෂය මධ්‍යම පුවත්පතෙහි සංස්කාරක වශයෙන් පත් කරනු ලැබිණ. 


සමුළුවෙන් පසු ලෙනින් ජිනීවා බලා ආපසු පැමිණියේය. සම්මේලනයේ හා එහි තීරණවල වැදගත්කම ලෙනින් ප්‍රජාතාන්ත්‍රික විපලවයේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක් නමැති කෘතියෙන් පැහැදිලි කළේය. මෙය 1905 ජුලි මස පළ කෙරිනි. මෙම අද්විතීය කෘතියෙන් ලෙනින් ඒ වන විටත් ආරම්භ වී තිබූ විප්ලවයේ සියලුම ප්‍රශ්න පැහැදිලි කොට, පක්ෂයේ කර්තව්‍යයන් විග්‍රහ කළේය. බොල්ෂෙවික්වරු සහ මෙන්ෂෙවික්වරු විප්ලවය පිළිබඳවත් එහි ගාමක බලවේග පිළිබඳවත්, එසේම කම්කරු පංතියේ හා පක්ෂයේ කාර්යභාරය පිළිබඳවත් විවිධ මත දරන බව හා වෙනස් වූ උපක්‍රම සකස් කරන බව ඔහු එයින් පෙන්වා දුන්නේය. 


ලෙනින් සහ බොල්ෂෙවික්වරු රුසියාවේ ආරම්භ වී තිබූ විප්ලවය ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් යැයි සැලකූහ. එහි අරමුණු ප්‍රවේණිදාස ක්‍රමයේ නෂ්ඨාවශේෂ අවසන් කර දැමීම සාර්වාදය පෙරළා දැමීම හා ප්‍රජාතාන්ත්‍රික නිදහස දිනා ගැනීමයි. මාක්ස්වාදයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලෙනින්, අධිරාජ්‍යවාදී යුගයේ ධනේෂ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ සුවිශේෂ ලක්ෂණ, එහි ගාමක බලවේග හා බලාපොරොත්තු පිළිබඳ ප්‍රශ්නය විස්තාරණය කළේය. ධනේෂ්වර විප්ලවයේ පූර්ණ ජයග්‍රහණය නිර්ධන පංතියේ සමාජවාදය සඳහා අරගලය වේගවත් කරන හා පහසු කරන හෙයින් එය නිර්ධන පංතියට අදාළ වූ බව ඔහු සැලකීය. තවද, විප්ලවයේ ප්‍රධාන ගාමක බලවේගයට හා නියමුවා විය යුතු වූයේ නිර්ධන පංතියයි. ඉඩම් හිමියන්ගේ සන්තකයෙන් ඉඩම් ඉවතට ගැනීම හා සාර්වාදය පෙරළා දැමීමට අපේකෂාවෙන් සිටින ගොවි ජනතාව නිර්ධන පංතියේ සගයා විය යුතුය. එහෙයින් විප්ලවයේ ඉඩකඩ එහි ප්‍රධාන ගාමක බලවේය නිර්ධන පංතිය හා ගොවි ජනතාව මත රඳා පැවතුණි. රුසියන් ධනේෂ්වරය සම්බන්ධයෙන් බලන විට එය, සාර්වාදය පවත්වාගෙන යාමට, පක්ෂපාත විය. ඊට හේතුව තමන්ගේම දේශපාලන ඉල්ලීම් සහිතව පෙරට ආ නිර්ධන පංතියට ධනේෂ්වරය අන් සියල්ලන්ටම වඩා බිය වීමයි. ධනේෂ්වරය පස්සට තල්ලු කර බහු ජනතාවගෙන් හුදකලා කොට එහි ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදීනත්වය හෙළිදරව් කළ යුතු යැයි බොල්ෂෙවික්වරු නිගමනය කළේ එහෙයිනි. 


ප්‍රථම රුසියන් විප්ලවයේ ගාමක බලවේග සම්බන්ධයෙන් බලන විට එය ජනතා විප්ලවයක් වූ අතර එහිදී උපයෝගී කර ගත් අරගල ක්‍රම සම්බන්ධයෙන් බලා ලෙනින් එය නිර්ධන පංති විප්ලවයකැයි විස්තර කළේය. එය දේශපාලන වැඩ වර්ජන හා සන්නද්ධ නැගිටීම වැනි බහුජන අරගල ස්වරූප උපයෝගී කර ගත්තේය. 


සාර්වාදී ඒකාධිපත්‍යය පෙරළා දැමීමේ තීරණාත්මක මාධ්‍යය සන්නද්ධ  නැගිටීමකැයි ලෙනින් පැහැදිලි කර දුන්නේය. ජයග්‍රාහී කැරැල්ලක්, අතීතයේ විප්ලවවලදී සිදු වූවාක් මෙන්, ධනේශ්වරයේ බලය ස්ථාපිත කිරීම නොව නිර්ධන පංතියේ හා ගොවි ජනතාවගේ බලය, එනම් විප්ලවීය ප්‍රජාතාන්ත්‍රික ආඥාදායකත්වයක් ගොඩ නැගීම කළ යුතුය. එහි විධායක මණ්ඩලය තාවකාලික විප්ලවීය ආණ්ඩුවක් වනු ඇත.


ලෙනින් විසින් සකස් කරන ලද බෝල්ෂෙවික් උපක්‍රම ජයග්‍රාහී විප්ලවයක් කරා ඉලක්ක වූ අතර ඒවා ඇත්ත වශයෙන්ම සැබෑ විප්ලවීය උපක්‍රම විය. 


නමුත් මෙන්ෂෙවික්වරුන්ගේ උපක්‍රම කුමක් වීද? විප්ලවය ධනේශ්වර විප්ලවයක් හෙයින්, ධනේෂ්වර එහි නායකයා විය යුතු යයි ද කම්කරු පංතියේ කර්තව්‍යය ඊට සහයෝගය දැක්වීම විය යුතු යයිද කම්කරු පංතියේ කර්තව්‍යය ඊට සහයෝගය දැක්වීම පමණකැයි ද ඔවුහු තරයේ කියා සිටියෝය. මෙන්ෂවික්වරු ගොවි ජනතාව විප්ලවීය බලවේගයක් වශයෙන් නොසැලකූ හෙයින් ඔවුහු කම්කරු පංතියේ හා ගොවි ජනතාවගේ සන්ධානයකට විරුද්ධ වූහ. ඔවුහු සන්නද්ධ කැරැල්ලකට තරයේ විරුද්ධ වූහ. මෙන්ෂෙවික්වරුන්ගේ පිළිවෙන විප්ලවය පාවාදීමකැයිද, නිර්ධන පංතිය ධනේශ්වරයේ නායකත්වය යටතේ තැබීමට දරන ප්‍රයන්නයකැයිද, එය ජනතාව විසින් ජයග්‍රහණය අත්පත් කර ගැනීමට හැකි වේය යන්න පිළිබඳ බිය පළ කළ පිළිවෙතකැයි ද ලෙනින් පෙන්වා දුන්නේය. විප්ලවීය අරගලය පිළිබඳ මෙන්ෂෙවික්වරුන්ගේ මෙම බිය සහ රැවටිලිකාරී වාග් මාලාවක විප්ලවය ගිල්වීමට ඔවුන් තුළ ඇති සූදානම හේතු කොට ගෙන ලෙනින්ට ඔවුන් “මෆ්ලරයෙන් මුහුණ සඟවාගත් මිනිස්සු.” යනුවෙන් හැඳින්වීමට සිදු විය.

මතු සම්බන්ධයි...


එම්. තාරික්