එක් කාලයක තමාගේ කලා හැකියාවලින් ජියැන්ග් මාවෝ ට උදව් කළාය. අපේ ජීවිතයේ දුෂ්කරම යුගයක ඇය අප සියලු දෙනාටම විනෝදය, සතුට සැහැල්ලුව ගෙන දුන්නාය. මහා පාගමනේ යමින් ඉතා දුෂ්කරම කාලයක් ගත කළ ඒ යුගයේ, දවසේ පාගමන නිමවා, කළු සෝයා වලින් සැඳෑ ආහාරය සප්පායම්වීමෙන් අනතුරුව එළැඹෙන සවස් කාලය අපට දවසේ හොඳම කාලය විය.
අපි බිම හෝ බිත්තිවලට සවිකර තිබුණු බංකුවල ගුලි ගැසී වාඩිවී ජියැන්ග් ගායනා කළ ඔපෙරා ගීතවලට සවන් දුන්නෙමු. එසේ නැතිනම් ඇය ඉදිරිපත් කළ ප්‍රෙහේලිකාවලට විසඳුම් සෙව්වෙමු. මම මාවෝ ගේ හිස පීරමින් සම්බාහනය කරණ අතරවාරයේ ජියැන්ග් ෂැංහයි සිට රැගෙන ආ ග්‍රැමෆෝනයෙන් නිතරම පාහේ මාවෝ ට අසන්නට බිජිං ඔපෙරා ගීත වාදනය කළාය. ඇය සතුව තිබුණේ එකම තැටි කිහිපයක් නිසා ඒවා නැවත නැවත වාදනය කරන්නට සිදුවිය. කෙසේවෙතත් මාවෝ ට ඒවායින් ලැබෙන වින්දනයේ අඩුවක් දක්නට නොවුණි. ඒවාට සවන්දුන් හැම වෙලාවකම ඔහු ජියැන්ග් දෙස ආදරයෙන් බලා සිනාසුණේය. එසේ නැතිනම් “ඒවා හරි ලස්සනයි, ආයෙත් දාන්න’යි කිවේය.


මාවෝ බීජිං කරා ගිය පසු මුල් වසර කිහිපයේ ඔහුගේ වැඩ කටයුතු සහ විවේකය සමබර ලෙස පවත්වාගෙන යාමට ජියැන්ග් උත්සාහයක යෙදුණි. මාවෝ බොහෝ වේලාවක් එකදිගට වැඩකරන විට ඔහු ඇවිදීමට පිටතට කැඳවාගෙන යාමට නැතිනම් චීනයේ සම්ප්‍රදායික ක්‍රීඩාවක් වූ “මහ්ජොන්”සෙල්ලමට ඔහු ඈඳා ගන්නට ඇය තම දියණියට උපදෙස් දුන්නාය. එසේ නැතිනම් ඇය ඔහුට චිත්‍රපටයක් බලන්නට කටයුතු සැලැස්වූවාය. චිත්‍රපට නරඹන්න මාවෝ අකමැතිබව දන්නා ඇය ඒ වෙනුවෙන් ආරක්ෂකයින්වන අප ඉදිරිපත් කළාය. “ඔයා ඒ චිත්‍රපටය බලන්න අකමැතිවුණත් ආරක්ෂක සේවයේ ඉන්න ළමයි කවදාවත් ඒ චිත්‍රපටය දැකලා නෑ.” ඇය කිවාය. චිත්‍රපට ප්‍රදර්ශන ශාලාවේදි මාවෝ අපට මෙසේ කීවේය. “ඔයාල හින්දා මිසක් නැතිනම් මං ඒක බලන්න එන්නෙ නෑ.”
මෙලෙස බලනවිට රසාස්වාදි කරුණු කාරණා වලින් ඔවුන් දෙදෙනා මෙසේ ඈත් වීමේ හේතුව කුමක්ද යන්න මට සිහිපත්කළ නොහැකිය. ඇතැම්විට එය අදෘශ්‍යමාන හේතුවක් විය හැකිය. නැතිනම් මාවෝ ගේ වැඩිහිටි දිවිය හේතුකොටගෙන විය හැකිය. තවත් පැත්තකින් කියතොත් ජියැන්ගේ පෞරුෂය හා “ආර්ථව හරණය” නිසා විය හැකිය. කෙසේ හෝ එය සිදුවිය. ඒ සිදුවූ දෙය මා දුටුවේ මෙලෙසිනි.


මාවෝ වයසට යාමත් සමග ඔහුගේ වෛද්‍යවරයා ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නැංවීම ගැන සැලකිලිමත්විය. සාමාන්‍යයෙන් ව්‍යායාම වශයෙන් ඔහු කළ පිහිනීමට හා ඇවිදීමට අමතරව සතියකට වරක් හෝ දෙවරක් මාවෝ ට නර්තනයේ යෙදිමට වෛද්‍යවරයා කටයුතු සැලසුවේය. මාවෝට සෞඛ්‍ය සම්පන්නව සිටීමට මේවා ප්‍රමාණවත් විය.


තරුණ පිරිස් ඝෝෂාකාරී ලෙස කරන නැටුම් ගැයුම් වලට සහ පිහිනීම් වලට සහභාගීවීමට මාවෝ කැමතිවිය. එවන් අවස්ථාවලදී ඔහු ඔවුන් සමග සතුට බෙදා හදා ගත්තේ ඔහු තනිවම වැඩකරණ විට, ආහාර ගන්නා විට, නිදාගන්නා විට, අත්විඳින හුදකලාබව අමතක කරමිනි. එවන් අවස්ථාවලදී මාවෝගේ අවශ්‍යතා ගැන අවබෝධයෙන් යුතුව තරුණ අපි සියලු තහංචිවලින් බැහැරව කතාබහ කළේ-සිනාසුණේ- කෑ ගැසුවේ-වයස ගැන හෝ තනතුරු තාන්මාන්න ගැන හෝ නොතකමිනි.


මෙවන් සියලු ප්‍රීතිමත් අවස්ථාවල ජියැන්ග් බැරෑරුම් ස්වරූපයෙන් අප දෙස බැලුවේ දැඩි නොකමැත්තෙනි. 1957 වසර මුල් කාලයේ සිට ඇය ඉක්මනින් කිපෙන, නුරුස්නා තත්ත්වයකට පත්විය. වෛද්‍යවරයා පැවසුවේ එය “ආර්ථව හරණය”හේතුවෙන් ඇතිවන්නක් බවත් එමගින් කාන්තාවක් නොරිස්සන සුලු තත්ත්වයකට හා ඉක්මන් කෝපයට පත්වන බවත්ය.  සුළඟ, ශබ්ද වැනිදේ නිසා පවා එවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් ඔහු පැවසුවේය. ළාබාල තරුණයින් වු අපට “ආර්ථව හරණය” යන්න කුමක්දැයි තේරුම් ගැනීමට තරම් දැනුමක්  ඒ කාලයේ නොතිබුණි. අප සියලු දෙනාම සිතුවේ ජියැන්ග්ගේ දුබල සෞඛ්‍යය ත්ත්වය ඊට හේතුවක් වියහැකිබවයි. ඒ සමගම අපේ පෞද්ගලික ආරක්ෂකයෝ හොර රහසේ කතාබහ වුන දෙයක් වුවේ ඇගේ “තනතුර වෙනස්වීම” මෙයට හේතුවක් බවය. “දැන් එයා උප ඇමති තත්ත්වයේ සිටින විශේෂිත ලේකම් කෙනෙක්. තනතුරු ඉහළ යනකොට ලෙඩත් වැඩිවෙනවා.”


1957 වසරේදී මාවෝ සහ ජියැන්ග් හැන්ග්ෂු හි නිවාඩුවක් ගත කරමින් සිටිද්දි මාවෝට නැටුම් සාදයකට ආරධනාවක් ලැබුණි. පක්ෂයේ ප්‍රාදේශිය කොමිටි නායකයින් විසින්  මෙම සාදය හෝටලයක පිළියෙල කර තිබුණි. ජියැන්ග් නොමැතිව මාවෝ එයට සහභාගි විය. එය සතුට සිනාව උතුරා ගිය සුන්දර හමුවක් විය. අපේ කමිස දහදියෙන් තෙත්වන තුරු අපි එහිදි නැටුවෙමු. ටියැන්ග් යුනූ ගේ පෙම්වතිය හමුවූවේද මෙම සාදයේදීය. ඇය එදා එහි සිටි නැටුම් හා ගායන කණ්ඩායමේ සාමාජිකාවක් වූවාය. අපි එම සන්ධ්‍යාවේ ඉහළම සතුටක් ලැබුවෙමු. මාවෝට දැඩිලෙස උවමනාකර තිබුණු විවේකි සැහැල්ලුබව ලබාදීම ගැන  මාවෝ ගේ පෞද්ගලික වෛද්‍යවරයා එය සංවිධානය කළ පක්ෂ ප්‍රාදේශීය කමිටු නායකයින් පැසසුමට ලක්කර ධෛර්යවත් කළේය. එහි ප්‍රථිඵලයක් ලෙස  ඉන් දින දෙකකට පසු මාවෝට තවත් හෝටලයක නැටුම් සාදයකට ඇරයුම් ලැබුණි.


ආරියනන්ද දොඹගහවත්ත