ජූලියා අල්වාරෙස් (Julia Alrarez)නම් ස්පාක්‍ද්ක්‍ද ජාතික ලේඛිකාව විසින් රචනා කරන ලද In the time of butterfies කෘතියේ අනුවාදයකි. 1930 සිට පුරා වසර තිහක් ඩොමිනිකානු ජනරජය පාලනය කරන ලද රෆායෙල් ටෘජිලෝ නම් ඒකාධිපති හමුදා පාලකයාගේ කාලය පසුබිම් කොට මෙම කෘතිය ලියැවී තිබේ.


මෙම කෲර පාලකයාගේ සමයේ එරට ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවටම ඇද වැටී තිබූ අතර එවකට එහි සිදුවූ මරණ රාශියකටම ඔහු වගකිව යුතු බව කියැවේ. එකම ස්ථානයේ සිදුවූ දස දහසක (10,000) ජන සංහාරයක්ද මෙයට අයත්ය. එරටින් පලාගොස් දිවි ගලවාගත් මිරැබල් සොයුරියන් ඇසුරින් In time of Butterfies කතාව දිගහැරේ. ඬේඬේ, මිනර්වා හා පැටි්‍රයා යනු මෙම තෙසොහොයුරියෝය. මොවුන් ළමා වියේ පටන් ටෘජිලෝ පිළිබඳව ඇසූ දුටු කතා ඇසුරින් මෙම කෘතිය ඇරඹේ. 


තිස් දෙවැනි කොටස


සෙබළුන් හයදෙනෙකු විත් මා ජාතික පොලිස් මූලස්ථානය වෙත කැඳවාගෙන යනු ලැබිණ. එහිදී මා පිළිගත් තැනැත්තා තමා හඳුන්වා දුන්නේ ජෙනරාල් ෆෙඞ්රිකෝ ෆියැලෝ නමින්ය. අනතුරුව ඔහු මා පිටුපස සිටි, මා ඇතුළට යනවිට නුදුටු අයෙකු අභිනයෙන් දැක්වීය. මට ඔහු මගහැරුණේ කෙසේදැයි සිතාගත නොහැකි විය. මිනිසෙකු මැඩියෙකුට ළඟාවිය හැකි පෙනුමක් ඔහුට තිබිණ. සුදු කළු මිශ්‍රිත පෙනුමැති තරබාරු අයෙකු වූ ඔහු කැඩපතක් වැනි අඳුරු උපැස් යුගලක් පැලඳ සිටියේ මගේ බියපත් පෙනුම පෙරළා මදෙස බලන අයුරු පෙන්වීමට මෙනි. 


“ඩොන් ඇන්සෙල්මෝ පවුලිකෝ.....” යි ජෙනරාල්වරයා ඔහු හදුන්වා දුන්නේය. මැජික් ඇස් හැමදෙනාම ඔහු ගැන දැන සිටියහ. ඔහුට පිහි සරඹයකින් ඇසක් අහිමිව තිබිණ. නමුත් ඉතිරි තනි ඇස හැමදෙනාටම පාහේ මඟ හැරෙන දේවල් දැක ගත්තේය. පසුගිය වසර කිහිපය තුළ ඔහු ටෘජිලෝ ගේ (පාලකයාගේ) දකුණු අත බවට පත්ව සිටියේ ඔහු අපේක්ෂා කළ ජරා “ආරක්ෂක” කටයුතුවල නියැළෙමිනි.


මගේ හිස් උදරය බියෙන් කැලඹුණි. මෙතැනම පහළ වී පෙරදා මගේ නෙත ගැටුණු පීඩාවට පත් මුහුණු එකක් පාසා සිහියට නංවා ගත් මම සිත දැඩි කර ගතිමි. “ඔබට මගෙන් උවමනා මොනවාද?”


ජෙනරාල්වරයා කාරුණික සිනහවක් පෑවේය. “මා ඔබ සිටුවා තබාගෙන සිඤා්රිතා”යි ඔහු සමාව යැද්දේ මගේ ප්‍රශ්නය මඟ හරිමිණි. ඔහු අසුරුසන් කර තම අමුත්තන් හට අසුන් නොතැබීම පිළිබඳව භටයන්ට දෝෂාරෝපණය කළ අවස්ථාවේ ඔහු තුළ කාරුණික බවක් ඇතැයි නොපෙනුණි. මා සහ මැඩියා වාඩිවූ සැණින් ජෙනරාල්වරයා සිය අසුන කරා ගියේය. “ඔබ මා ඔබේ ආරක්ෂකයා මෙන් දැකීම සුදුසුයි. අපේ රටේ තරුණ කාන්තාවන් මල් වගෙයි”


ඔහු තමා ඉදිරියේ ලිපි ගොනුවක් දිග හැරගත්තේය. හෝටලයේ රෝසපාට රෙජිස්ටර කොළය මට පෙනුණි. අනතුරුව එහි වූ කඩදාසි මගේ පසුම්බියෙහි තිබූ ලියෝගේ ලියුම් බව මට දැකගත හැකිවිය. 


“මා මෙහිදී ඔබෙන් ප්‍රශ්න කරන්නට යන්නේ ඔබ සමඟ දැනහැඳුනුම්කමක් ඇතැයි විශ්වාස කළ හැකි තරුණයෙකු ගැනයි” ඔහු මා දෙස නිර්භීත අන්දමට බැලුවේය. “වර්ජිලියෝ මොරාලෙස්”


මින් පෙර නොවූ අන්දමට අනතුරුදායක සත්‍යයට මා සූදානම් බව හැඟුණි. “ඔව්, මම වර්ජිලියෝ මොරාලෙස් දන්නවා”


පුටුවේ කොනක වාඩිවී සිටි මැජික් ඇස ඔහුගේ ගෙලෙහි නහර දැක්වීය. 


“ඔබ එල් ජෙෆේට (නායකයාට) බොරු කිවුවා. ඔබ ඔහු දන්නේ නැතිබව කිවුවා නේද?” සන්සුන් වෙන්න ඩොන් ඇන්සෙල්මෝ” වියපත් ජෙනරාල්වරයා මෘදු ස්වරයෙන් කීය. “අපට උවමනා නැහැ මේ තරුණ ගෑනු ළමයා බියපත් කරන්න. එහෙම නේද?”


නමුත් මැජික් ඇසට එවැනි විනීත බවක් හුරුපුරුදු නොවීය. “මං අහපු දේට උත්තර දෙනවාද”යි ඔහු අණ කළේය. ඔහු සුරුට්ටුවක් දල්වාගෙන තිබිණ. ඔහුගේ නාස්පුඩුවලින් දුම් පිටවූයේ අඳුරුපාටට ලේ ගලන අයුරිනි. 
“ඔව්, මා ඔහු දන්නා බව වසන් කළා. මට බියක් ඇතිවූ නිසා” මා යළි වචන තෝරා ගත්තේ ප්‍රවේශමිනි. “නායකයා අසතුටට පත්වෙයි කියලා එය මා ලබාදිය යුතු සමාව ඉල්ලීමකි.”


ජෙනරාල් ෆියලෝ හා පවුලිනෝ එකිනෙකා දෙස බැලූහ. මෙම පැරණි කිරිපාට ඇස් හා අඳුරු උපැස් අතර අදහස් හුවමාරුවක් වන්නේ කෙලෙසදැයි මම කල්පනා කළෙමි. 


ජෙනරාල්වරයා ෆෝල්ඩරයෙන් ලියුමක් රැගෙන එය කියවා බැලීය. “ඔබත් වර්ජිලියෝ මොරාලෙස් අතරත් තිබුණෙ මොනවගේ සම්බන්ධයක්ද සිංඤෝරිතා මිනර්වා?


“අපි මිතුරන්”


“කියන්න, කියන්න....” ඔහු මා පොලඹවන අයුරින් පැවසුවේ මා හිතුවක්කාර දරුවෙකු වූ අයුරිනි. “මේවා පෙම්පත්....” ඔහු කඩදාසි ඔසවා පෙන්වීය. දෙවියනි, මේ රටේ මා හැර අන් හැමදෙනාම මගේ ලියුම් කියවා තිබුණිද? “නමුත් ඔබ මා විශ්වාස කළ යුතුයි. අපි හුදෙක් මිතුරන් පමණයි. මා ඔහු සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබුණා නම් ඔහුට උවමනා වූ අන්දමට මේ රටෙන් යනවා”


“ඇත්ත...” ජෙනරාල්වරයා එකඟ විය. “ඔහු මැජික් ඇස වෙත නෙත් යොමු කළේය. ඔහු සුරුට්ටු කොටය සපත්තු අඩියේ අනිමින් පසුවිය.


“මේ වර්ජිලියා මොරාලෙස් රජයේ සතුරෙකු බව ඔබ දැනගෙන හිටියෙ නැද්ද. සිංඤෝරිතා මිනර්වා?”යි මැජික් ඇස මැදට පැන්නේය. ඔහු නිවා දැමූ සුරුට්ටුව යළි මුවෙහි රුවා සිටියේය. 


“මම කිසිම රාජද්‍රෝහී ක්‍රියාවකට සම්බන්ධ වුණේ නැහැ, ඔබට දැනගන්න උවමනා එය නම්, ඔහු මගෙ මිතුරෙක් පමණයි.”


“ඔබ ඔහු එක්ක දැනට අදහස් හුවමාරු කරගන්නේ නැද්ද?” මැජික් ඇස නැවතත් ප්‍රශ්න ඇසීම තමා අතට ගත්තේය. ජෙනරාල්වරයා දෙබැම එසැවිය. සියල්ලම හැර බලනවිට එය ඔහුගේ කාර්යාලයයි. ඔහුගේ සුළං වදින උඩුමහලයි. 


සත්‍යය වූයේ මෙම ලිපි සොයාගත් පසුව මා ලියෝට ලිපියක් ලියූ බවයි. නමුත් මාරියෝට තම මිතුරා ආ ගිය තැනක් සොයාගත නොහැකිවූ බැවින් ලියුම යැවීමටද මඟක් නොවීය. 


“නැහැ, මම කිසිම අන්දමකට වර්ජිලියෝ මොරාලෙස් එක්ක අදහස් හුවමාරු කරගන්නේ නැහැ. පැනය යොමු වී තිබුණේ මැජික් ඇසගෙන් වුවත් මා එය පැවසුවේ ජෙනරාල්වරයාහටය. එය මා ඇසීමට කැමති දෙයක්” ජෙනරාල්වරයා මැජික් ඇස වෙත හැරුණි. “අපට තවත් පොඩි දෙයක් ගැන කතා කරන්න තියෙනවා ඩොන් ඇන්සෙලිමෝ. එය ආරක්ෂාවට අදාළ දෙයක් නෙවෙයි.” 


ඔහු විනීත ලෙස සිනාසුණේ මැජික් ඇස පිටුදකිමිනි. සිය අඳුරු උපැස් දිස්නය ජෙනරාල්වරයා වෙත මොහොතක් එල්ල කළ ඔහු නැගිට දොර දෙසට ගමන් කළේය. ඔහු කිසිවිට අප වෙත පසුපස නොහැරවූ බව නම් මට විශ්වාසය.


ජෙනරාල්වරයා අනතුරුව කතා කරන්නට වූයේ ඔහු අලි සිබාවෝවේ ගතකළ දවස් පිළිබඳවය. කලාපයේ සුන්දර බව හා චතුරස්‍රයේ දේවස්ථානය ගැන ඔහු සිහිපත් කළේය. මේ සියල්ල යන්නේ කොහිදැයි මා සිතමින් සිටියදී අප පළමුව පැමිණි දොර විවර විය. ඉන් ඇතුළු වූයේ නායකයා ළඟින්ම සිටි තැනැත්තෙකු වූ මැනුවල් ඩි මෝයාය.


“සුබ උදෑසනක්, සුබ උදෑසනක්” ඔහු බොහෝ ප්‍රීතිමත් අන්දමින් පැවසුවේ අප හැමදෙනාම සෆාරි චාරිකාවක ගොස් සිටි අයුරිනි. “කොහොමද වැඩ කටයුතු?” ඔහු දෑත් එකිනෙක මත තබා පිරිමැද්දේය. “ඩොන් ෆෙඞ්රිකෝ, ඔබට කොහොමද?” ඔවුන් එකිනෙකා හා සතුට බෙදාගෙන අනතුරුව ඩොන් මැනුවෙල් මදෙස බැලුවේ සෑහීමට පත්වූවෙකු මෙනි. “පවුලිනෝ පිටත්ව යන අතරෙදි මා එක්ක වචනයක් කතා කළා. පෙනෙන අන්දමට සිංඤෝරිතා මිනර්වා තරමක් සහයෝගීව කටයුතු කරලා. මට හුඟාක් සතුටුයි. මම හරිම කැමතියි. මොන වර්ගයේ කාන්තාවන් වුණත් සිත් පීඩාවෙන් තොරව ඉන්නවා දකින්නට...” “එය ඔබට අසීරු වෙන්න ඇති” මා එකඟ විය. මගෙ ස්වරයෙහි වූ නිර්දය බව ඔහුට නොහැඟුණි.


“එහෙමනම් ඔබ හිතුවා ඔබ වර්ජියෝ මොරාලෙස් සමඟ හිතවත්කමක් තියෙන බවට එකඟ වීමෙන් නායකයාගේ අප්‍රසාදයට ලක්වෙයි කියලා?” මම හිස සැලුවෙමි. “ඔබ ඔහුගේ සතුට අපේක්‍ෂා කරන බව දැනගත්තම එයින් අපේ නායක උතුමාණන්ට විශාල සහනදායී බවක් දැනේවි”


මම නිහඬව බලා සිටියෙමි. මොවුන් එල්ලී සිටි අන්දර අනුව තවත් බොහෝ දේ සිදුවනු ඇතැයි මට අවබෝධ විය. මොවුහූ සිය නායකයාට කඬේ යති. ඔහුට උවමනා දෑ සපුරා දීමට කවර උගුලක් හෝ අටවති. ඒ අතරම සියල්ල බොහෝ සුන්දර බව මවා පෙන්වීමට වෑයම් කරති. ඉදින් මගේ ඉරණම වනුඇත්තේ නායකයා පිනවීමද?

 

 

 


පරිවර්තනය : මානෙල් ජයන්ති ගුණසේකර