කාල් මාක්ස්ගේ පත්තර සටන 

තෙවැනි කොටස

 

 

හංගේරියානු ජනතාව හැප්ස්බර්ග් රාජාණ්ඩුවට විරුද්ධව ගෙනගිය ජාතික විමුක්ති අරගලය මාක්ස් සහ එංගල්ස් විශේෂ අවධානයකින් සහ හැඟීමකින් යුතුව බලා සිටියහ. මෙම යුද්ධය විසින් ප්‍රංශයේ, ජර්මනියේ සහ ඉතාලියේ විප්ලවවල නව ප්‍රබෝධයකට උත්තේජනයක් ඇති කරතියි ඔවුහූ බලාපොරොත්තු වූහ. 1849 ජනවාරි මාසයේදී ස්විට්සර්ලන්තයේ සිටි එංගල්ස් මාක්ස්ගේ ඉල්ලීම පරිදි හංගේරියානු අරගලය ගැන ලිපියක් ලියුවේය. අනතුරුව, නවරයින් පුවත්පත මගින් ඔහුගේ ලිපි සියයක් පමණ පළ කරන ලදි.


හංගේරියානු ජනතාවගේ වීරෝදාර සටන් ගැන අතිමහත් අනුකම්පාවකින් විමර්ශනය කළ නව රයින් පුවත්පත, රුසියාවේ යුද්ධ හමුදා බටහිර දේශසීමාවට ගෙනැවිත් ආක්‍රමණය කිරීම සඳහා උචිත මොහොත එළඹෙන තුරු බලාසිටීම ගැන අනතුරු ඇඟවීය. හංගේරියානු විප්ලවය බේරාගත හැක්කේ යුරෝපයේ ඇතිවන නව විප්ලව රළ වේගයක් මගින් පමණකි. මේ පිළිබඳව විශ්ලේෂණයක යෙදුණු එංගල්ස් විප්ලවවාදි විමුක්ති යුද්ධවල උපාය පහ උපක්‍රම ගැන ඉතා වැදගත් නිගමනයකට එළැඹියේය “ස්වාධීනත්වය ලබා ගැනීමට කැමති ජනතාව, යුද්ධය කිරීමේ සාමාන්‍ය ක්‍රමවලට පමණක් සීමා නොවිය යුත්තාහ. බහුජන නැගිටීම්,  විප්ලවවාදී යුද්ධය හැමතැනම ගරිල්ලා සටන් විශාල ජාතියක් පරදවා කුඩා ජනතාවකට ජයගත හැකි එකම ක්‍රමය මෙයය. මේ සටන් ක්‍රමයේ ආධාර ඇතිව අල්ප ශක්තියක් ඇති යුද්ධ හමුදාවකට විශාල ශක්තියක් ඇති සහ වඩාත් හොඳින් සංවිධානය වුණු යුද්ධ හමුදාවකට විරුද්ධව නැගි සිටිය හැකිය“ යනුවෙන් එංගල්ස් ලිවීය.


රයින් ලන්තයේ ඇති වූ හුදෙකලා කැරලි මැඩලීමෙන් පසුව ප්‍රතිවිප්ලවය විසින් නවරයින් පුවත්පත මර්දනය කිරීමට ද උත්සාහ ගන්නා ලදි. මේ වන විට ප්‍රතිවිප්ලවවාදියෝ බලවත්ව නැගි සිටියහ. ඒ විප්ලව ශක්තියෙන් අන්තයටම පිරිහි ගොස් තිබුණු නිසාය. එබැවින් විජලවයේ එකම පතාකයා වූ මාක්ස්ගේ පුවත්පත මඩින අටියෙන් එහි ජීවය වූ මාක්ස් ජර්මනියෙන් පන්නා දමන උපාය ඔහුනට අවසානයේදී කල්පනා විය. ඒ අනුව මාක්ස් 1945 දී බ්‍රසල්ස් නුවරදී ප්රුසියන් පුරවැසිකම අතහැර සිටීම ඔවුහු වාසියක් කරගත්ය.


“ආගන්තුක සැලකිලි පිළිබඳ නීති කඩකළ පිටස්තරයෙකු” වශයෙන් මාක්ස් පැය 24 ක් ඇතුළත ප්‍රසියාවෙන් පිටවෙන ලෙස නියෝගයක් 1849 මැයි 16 දින නිකුත් කරන ලදි. පුවත්පතේ අනෙකුත් සංස්කාරකවරුන්ට විරුද්ධවද මර්දනකාරි ක්‍රියා ආරම්භ කරන ලදි. එංගල්ස්ටත්, වී වොල්ටටත්, විරුද්ධව නඩු පැවරූ අතර ප්රුසියාවේ රටවැසියකු නොවන ඩ්‍රොන්කේට කොලොන් වලින් පියව යන ලෙස දන්වනු ලැබීය.


නව රයින් පුවත්පත නවතා දැමීමට සිදු වී තිබෙන බව මෙහි තේරුම විය. නිර්ධන පංති ධජයේ වර්ණය වන රක්ත වර්ණයෙන් මැයි 19 වැනිදා එම පුවත්පතේ අවසාන කලාපය මුද්‍රණය කරන ලදි. කර්තෘ මණ්ඩලය විසින් කොලොන් කම්කරු පංතියෙන් සමුගැනීමේ ආයාචනය අවසන් වූයේ මෙසේය. 


‘නවරයින් පුවත්පතේ සංස්කාරක මණ්ඩලය ඔබ හැමදෙනාගෙන් සමුගන්නා අතර අපවෙත හිතවත්කම දැක්වීම ගැන ඔබ සැමට කෘතඥතාවය පුද කරයි. හැමදාමත්, හැමතැනමත් ඔවුන්ගේ අවසාන වැකිය වන්නේ ‘කම්කරු පංතියට විමුක්තිය උදා කිරීමය”


“පොලීසිය නවරයින් පුවත්පත විනාශ කිරීම” යන මැයෙන් මාක්ස් ලියු කතුවැකිය මගින් එම පුවත්පත අවසානය වන තෙක්ම නිර්ධන පංතියේ අයිතිවාසිකම් සඳහා ස්ථිර ලෙසත්, අඛණ්ඩ ලෙසත්, සටන් කරන බව පෙන්වා දුන්නේය. නවරයින් පුවත්පත ජර්මන් ජනතාවගේ සැබෑ ජාතික අයිතිවාසිකම් ආරක්ෂා කරන සැබෑ ප්‍රජාතාන්ත්‍රික ප්‍රකාශනය විය “අපේ මව්බිමේ විප්ලවවාදී ගෞරවය අපි ආරක්ෂා කළෙමු.” යි මාක්ස් ලියුවේය.


පත්‍රය නතර වූයේ මුල් අවුරුද්ද සම්පූර්ණ වීමටත් පෙරය. 1848 සැප්තැම්බරය වනවිට නව රයින් පුවත්පත දිනකට නිකුත් වූ පිටපත් ගණන 5000 ක් විය. ඔක්තෝබරයේ දී මර්දනය කිරීමෙන් පසුව 1849 මැයි වන විට සිටි දායකයන්ගේ ගණන 6000 ක් වී තිබිණි. පුවත්පත නතර කරන ලද අවධිය වන විට එහි නඩත්තු වියදම් දැරීම සම්බන්ධයෙන් මාක්ස් සිටියේ හොඳටම ණය වීමෙනි. ඔහු සන්තකයේ මුදල් තිබුණේ නැත. වාර්තාකරුවන්ට වැටුප් ගෙවීමටත්, පුවත්පතේ සංස්කාරකවරුන්ට නීතියේ රැහැනින් බේරී පැන යන්නට මග වියදම් දීමටත් හා මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන්ගේ වැටුප් ගෙවීමටත් වියදම් කරන ලද්දේ මුද්‍රණාලය විකුණා ලබාගත් මුදල් හා මාක්ස් විසින් ණයට ගත් මුදල්ය.


එංගල්ස් එම වකවානුව ගැන මෙසේ පැවසීය. “අපේ බළකොටුව පාවාදීමට අපට බල කෙරිණි. එහෙත් අප පසු බැස්සේ අවි, පතරොම්, සංගීත වාදනය සහ පුවත්පතේ අවසාන කලාපය වන “රතු ධජය” සමගය.

 

 

 

 

 


එම්. තාරික්