ලෝක බලවතා දමනය කළ උතුරු කොරියාවේ දඟකාර පොඞ්ඩා - 02

ජපන් අධිරාජ්‍යවාදයට එරෙහිව කොරියානු දේශප්‍රේමීහු සංවිධානය වූහ. එහි එක් හමුදා ඛණ්ඩයක නායකයා වූ කිම් ඉල් සුං එවකට සාර්ථකව සිදුවෙමින් පැවති චීන සමාජවාදී විප්ලවයේ ආභාසයද ලබමින් මාක්ස්වාදියෙකු බවට පත්ව සිටියේය. 


එම යුගයේ අග්නිදිග ආසියාවේ සහ ඈත පෙරදිග රටවල තමන් පාගාගෙන සූරාකෑමට ලක් කොටගෙන සිටින ප්‍රංශ, බි්‍රතාන්‍ය හා ජපන් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව ජාතික විමුක්තිය පතා ගරිල්ලා සටන් ව්‍යාපාර ඇතිකරගෙන තිබුණි. වියට්නාමයේ වියට්කොං, ලාඕසයේ පතේ - ලාඕ, එවැනි ගරිල්ලා සංවිධාන වූවේය. චීන රාජාණ්ඩුවට විරුද්ධව සටන් කළ විමුක්ති හමුදාව වූවද ගරිල්ලා සටනේ නියුතුව සිටියේය.


කලක් මැන්චූරියාවේ පදිංචිව සිටි කොරියානු වැසියෙකු වූ කිම් හ්යොං ජික් සහ ඔහුගේ බිරිඳ වූ කැම් පැන් සොක්ට දාව 1912 අප්‍රේල් 15 වැනිදා කිම් උපත ලැබීය. මැන්චූරියාවේ පදිංචිවීම නිසා ළමා කාලයේදීම චීන විප්ලවයේ ආභාසය ලැබීමත් නිසා මෙම දරුවා වැඩිකල් නොයාම මාක්ස්වාදියෙකු, දේශප්‍රේමියෙකු හා සටන් කරුවෙකු බවට පත් වූ බව කියනු ලැබේ. මොහු වයස අවුරුදු 17 වෙද්දීම රහසිගත විප්ලවකාරී කටයුතු වල යෙදුණු බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නා ලදී. සිරගෙදර ජීවත් වීම යනු විප්ලවවාදීන්ට දේශපාලන විශ්ව විද්‍යාලයක ශිල්ප හැදෑරීමට සමාන බව කියනු ලැබේ. කිම් සොංජු නම් වූ තරුණයා කිම් ඉල් සුං බවට පත්වූවේ මෙම අවධියේදීය. ඔක්තෝම්බර් විප්ලවය මෙහෙය වූ ලෙනින්ගේ සිට ලංකාවේ රෝහණ විජේවීර දක්වා වූ බොහෝ නායකයෝ සටනේදී කටයුතු කිරීමේදී තම සැබෑ නමින් නොව වෙනත් නමකින් කටයුතු කිරීම පුරුද්දක් කර ගෙන සිටියහ. ඒ අයුරින්ම කිම් සොං ජූ, කිම් ඉල් සුං ලෙස නම මාරු කර ගත් බව පැවසේ.


අහිංසකයන් සටනට යවා තමන් මගහැර නොසිටි කිම් ඉල් සුං පෙරමුණේම සටන් කළේය. ඔහු සටන් කළ එක් ක්‍රියාන්විතයකදී බලවත් ජපන් හමුදාව පරදවා කොරියාවේ විශාල ප්‍රදේශයක් නිදහස් කර ගැනීමට දේශප්‍රේමී පිරිස්වලට හැකිවිය. එය ඉතිහාසයට එක් වූ සටනක් විය. මෙම ජයග්‍රහණය ගැන ඉන්දියානු දේශපාලන චින්තකයෙකු වූ ශ්‍රී නේරු මෙසේ ප්‍රකාශ කර ඇත. “මේ වතාවේදී ස්ත්‍රී පුරුෂ මහලු තරුණ ළමා කොයි කව්රුත් එකා මෙන් නැගිට ජපානයට විරුද්ධව සටනට පැමිණියහ. රටේ එක් කොටසක ජාති මාමක කොරියානු පිරිසක් ජපන් ධජය පාගා දමා කොරියානු ධජය ඔසවා ඒ බව ලහිලහියේම දැන්වූහ. විදුලි වේගයෙන් පැමිණි ජපන් භටයෝ දිගට හරහට වෙඩි තැබූහ. එමගින් කොරියානු වීරත්වයේ උත්තරීතර බව ඇස් ඉදිරිපිට ඔප්පු කර දැක්වූහ. ජපනුන් විසින් කොරියාවට කරන ලද හිරිහැර වූ කලී ලෝක ඉතිහාසයේ කටුකතම ජවනිකාවන්ගෙන් එකකි. බොහෝ අවස්ථාවලදී කොරියානු නිදහස් සටනේ පෙරමුණ ගත්තේ පාසැලෙන් අස් වී අවුත් පොත් මිටිය ගෙයි තබා රණපිටියට පැමිණි වීර කෙල්ලන් බව මා සටහන් කළ යුතුය”


මෙවැනි තවත් සටනකදී ජපන් සෙබළු කිම් ඉල් සුං අල්ලා ගැනීම සඳහා ලුහුබැඳ ගියහ. එවිට රුසියානු දේශ සීමාව වූ අමූර් නදියට පැන ගත් මෙම නායකයා සෝවියට් දේශයට පලා ගියේය. එහිදී සෝවියට් රතු හමුදාවට බැදී සේවය කළේය. නිසැකවම ජාත්‍යන්තරවාදියෙකු විය යුතු බව කියවෙන මාක්ස්වාදී ඉගැන්වීම අකුරටම ක්‍රියාත්මක වූ කිම් ඉල් සුං සටන ඇත්තේ කොහිද? ඔහු එහිදී මානව විමුක්තිය උදෙසා දිවි පරදුවට තබා සටන් කළේය.


මෙම සියලු සටන්වල ප්‍රතිඵලයක් වශයෙන් ජපානයට කොරියාව අතහැර දැමීමට සිදුව තිබුණි. එය එසේම සිදුවිය. එහෙත් ලෝකයේ ඕනෑම තැනක විමුක්තිකාමී සටනකට තමන්ට මැදිහත් වීමට අයිතියක් ඇතැයි එම යුගයේ විශ්වාස කළ ඇමරිකා එක්සත් ජනපදය යුදමය මැදිහත්වීමක් සිදු කර තම හමුදා එවා කොරියානු අර්ධද්වීපය තුළ මහා මිනිස් සංහාරයක් ඇති කළේය. මෙම මහා සිවිල් යුද්ධයේදී ඇමරිකානු හමුදා ගුවන් මගින් බරපතළ ලෙස බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර කොරියානු ගම්මාන සම්පූර්ණයෙන් විනාශ වූ බව පුවත්පත්වල පළ විය. වසර ගණනාවක් ඇදී ගිය මෙම ගැටුමේදී ඇමරිකාව විසින් මරා දමන ලද කොරියානු ජාතිකයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ තිස් පහක් පමණ වන බව මාධ්‍ය වාර්තා කළේය. අසල්වැසි චීනය සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කර තිබුණු මෙම යුගයේ එරටින් කොරියාවට හමුදා ගලා ඒම නැවැත්වීමට ඇමරිකාවට හැකිවූයේ නැත. චීනයෙන් මිනිස් සම්පතද සෝවියට් රුසියාවෙන් ආයුධ සහ ගුවන් යානාද ලැබුණු නිසා කිම් ඉල් සුං විනාශ කිරීමට ඇමරිකාවට නොහැකි විය. ඇමෙරිකාව ආරම්භ කළ මෙම යුද්ධය එක්සත් ජාතීන්ගේ යුද්ධයක් බවට පත් කර ගත් ඇමරිකාව කොරියානු රාජ්‍යය දෙකට බෙදා උතුරු සහ දකුණු කොරියාව වශයෙන් රාජ්‍ය දෙකක් නිර්මාණය කරන ලදී. උතුරු කොරියාවේ නායකත්වය කිම් ඉල් සුං අතට පත්ව ඔහු එහි නායකයා වශයෙන් ක්‍රියා කළ අතර දකුණු කොරියාව ඇමරිකාවේ රූකඩ පාලකයන් අතට පත් විය.


තම රටේ ජනතාවගේ ලක්‍ෂ තිහක පිරිසක් මරා දමා කොරියානු අර්ධ මහාද්වීපය රුධිර ගංගාවක් බවට පත් කළ ඇමරිකාවට කිසිදු මොහොතක අනුකම්පාවක් හෝ සුහදතාවක් නොදැක්වූ කිම් ඉල් සුං තම රට දෙකට බෙදා කළ සාපාරාධි ක්‍රියාව නිවැරදි කිරීම පිණිස සදා කැපවී කටයුතු කළේය. ඇමරිකානු අධිරාජ්‍යවාදීන් මේ අයුරින්ම බෙදා වෙන් කරන ලද වියට්නාමය යළි එක්සත් කිරීමට එහි නායක හෝචි මිං අනුගමනය කළ ක්‍රමය කිම් ඉල් සුං ආදර්ශයට ගත්තේය. 


අසනීප තත්ත්වයන් නිසා කිම් ඉල් සුං රාජ්‍ය පාලන කටයුතුවලින් ඉවත්ව එම බලතල තම පුත්‍රයෙකු වූ කිම් ජොන් ඉල් වෙත පවරා දෙන ලදී. ඔහුද තම පියා මෙන්ම උග්‍ර ඇමරිකානු විරෝධියෙකු වූවා සේම මාක්ස්වාදී විප්ලවවාදී අදහස් අනුව උතුරු කොරියානු රාජ්‍යය පාලනය කිරීමට වග බලා ගත්තේය. ඇමරිකාවේ නොයෙකුත් තර්ජන ගර්ජන මෙන්ම සම්බාධකද නොතකා හරිමින් පියාගේ ප්‍රතිපත්ති මත ස්ථිරසාර ලෙස කටයුතු කළ කිම් ජොං ඉල් පියාගේ න්‍යෂ්ටික බලය අත්කර ගැනීමේ සිහිනය ජය ගැනීමට උපරිම වශයෙන් කැපවූවේය. දහහත් වසරක දීර්ඝ පාලන කාලයකින් පසු 2011 දෙසැම්බර් 17 වැනිදා කිම් ජොං ඉල් ජීවිතයෙන් සමු ගන්නා විට කොරියාවේ න්‍යෂ්ටික අවි තැනීමේ වැඩ පිළිවෙළ සාර්ථකත්වයට පත්ව තිබුණි. ඉන් පසු බලයට පත්වූයේ කිම් ජොං ඉල්ගේ පුත් කිම් ජොන් උන්ය. ඉතා ළාබාල ගැටවරයෙකු වශයෙන් රාජ්‍ය බලය අතට ගනිද්දී ඔහු කුමන ආකාරයකින් තම රාජ්‍යය මෙහෙයවනු ඇතිද යන සැකය බොහෝ දෙනා පළ කළහ. විශේෂයෙන්ම න්‍යෂ්ටික බලය අත්පත් කරගෙන ඇති රටක් වශයෙන් ඔහුගේ දඟකාර හැසිරීම න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්ව ලෝකය අළු ගොඩක් බවට පත්වීමේ අනතුර බොහෝ දෙනා දූටහ. ඇමරිකාවේ බලවත් තර්ජන ගර්ජන හා ආයාචනා කිසිවකට කන් නොදුන් මෙම තරුණ ජනාධිපතිවරයා න්‍යෂ්ටික අවි කීපයක්ම අත්හදා බැලුවේය.


විශේෂයෙන් උතුරු කොරියාවට අදාළව සැලකීමේදී ඇමරිකාව මෙවර ඉතිහාසයේ ප්‍රථම වරට දැඩි නම්‍යශීලිත්වයක් දැක්වූ බව ඉතා පැහැදිලි කරුණකි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් යන නායකයන් දෙදෙනා සිංගප්පූරුවේ ‘විනෝද නගරය’ ලෙස සැලකෙන සෙන්සෝනා දූපතේදී හමුවන්නේ මෙවැනි දේශපාලන පසුබිමක් තිබියදීය. මුහුණට මුහුණ හමු වී සාකච්ඡා කිරීමට තබා සිටින පැත්තක් දෙසට හැරී බත් කෑමටවත් එදා සිටි කොරියානු නායකයන් වූ කිම් ඉල් සුං සහ කිම් ජෝං ඉල් යන අය කැමැති නොවූවේ තම රටට සහ ජනතාවට ඇමරිකාව විසින් කරනු ලැබූ දැඩි විනාශය මතක තිබුණු නිසාය. මිනිස් ජීවිත තිස්පන් ලක්‍ෂයක් යනු සුළුපටු විනාශයක් නොවේ. මාතෘ භූමිය දෙකට බෙදා රාජ්‍යයන් දෙකක් බවට පත් කර මුළු මහත් ඈත පෙර දිගටම ‘වනයක්’ නිර්මාණය කළේ ඇමරිකාවයි.


අධිරාජ්‍යවාදය කඩදාසි කොටියකු යයිද ඔවුන් සමඟ ගනුදෙනු කළ යුත්තේ තුවක්කු බටය හරහා යැයිද කියවෙන මාඕ සේතුං සභාපති තුමාගේ කියමන අපි නැවත සිහිපත් කරවමු. මහත් උජාරුවෙන් උතුරු කොරියාවට එරෙහිව පාරම් බෑ ඩොනල්ඞ් ට්‍රම්ප් මෙතරම් පහසුවෙන් දමනය වූවේ ඇයි? යන්න ගැන සමහර විචාරකයන් පවසන්නේ දඟකාර කොලු ගැටයා සතුව තිබෙන න්‍යෂ්ටික අවි අහම්බෙන්වත් තමන්ගේ පැත්තට යොමු වේවිදෝ යන බිය නිසා බවය. එනිසා මෙම ප්‍රයත්නයේ අවංක බව තහවුරු වන තුරු සතුටු වීමට හෝ අත්පොළසන් දීමට ඉක්මන් වියයුතු නැත. මක්නිසාද යත් අධිරාජ්‍යවාදය යනු විවිධ මුහුණුවරින් එන කඩදාසි කොටියෙකු වන නිසාය.

 

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ