ධනේෂ්වර පක්ෂ කෙරෙහි ආකල්පය පිළිබඳව ලෙනින්ගේ යෝජනාව සම්මේලනයේදී සම්මත කරන ලදි. රුසියාවේ විප්ලවයේ තක්සේරුව පිළිබඳ මෙම ප්‍රශ්නය කෙළින්ම බලපෑවේය. පක්ෂ නිශ්චිත පංතිවල උවමනාවන් ප්‍රකාශ කළෝය. ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ නියාමක කාර්යභාරය ඉටුකිරීම් වස් කම්කරු පංතියට දේශපාලන පක්ෂවල පංති ස්වරූපය දැන ගත යුතු විය. 


ලෙනින්ගේ යෝජනාව “කළු ශතක” පක්ෂ හා මහා ඉඩම් හිමියන්ගේ සහ ධනේශ්වරයේ පක්ෂවලට එරෙහිව අනවරත අරගලයක් ගෙන යාමද ලිබරල් ධනේෂ්වර පක්ෂයේ ව්‍යවස්ථාදායක ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදීත්වය හෙළිදරව් කිරීමද, එමගින් ඔවුන් විසින් ගොවි ජනතාව රවටා ඔවුන්ගේ සහයෝගය දිනාගැනීම වළක්වාලීමද ලෙනින්ගේ යෝජනාවෙන් ඉල්ලා සිටීනු ලැබීය. ලෙනින් ත්රුදොවික්වරුන් කෙරෙහි (ගොවියන් විසින් තෝරා ගන්නා ලද දූමාවේ නියෝජිතයන්ට දෙන ලද නාමයයි.) වෙනස් මතයක් දැරීය. ඔවුන් ගොවියන්ගේ හා නාගරික සුළු ධනේෂ්වරයේ උවමනාවෙන් ප්‍රකාශ කරන තාක්කල් සාර්වාදයට එරෙහිව අරගලයේදී ඔවුන් සමග එකඟත්වයකට පැමිණීමේ හැකියාව ලෙනින් දුටුවේය. 


පස්වැනි සම්මේලනය විප්ලවය පිළිබඳ බෝල්ෂෙවික් සටන් මඟෙහි නිරවද්‍යතාව තහවුරු කළේය. බෝල්ෂෙවික්වරු මෙම සම්මේලනයේ තවත් ප්‍රශ්න ගණනාවකදීම මෙන්ෂෙවික්වරුන් පැරද වූහ. සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, සමාජවාදී විප්ලවවාදීන් සහ අරාජිකවාදීන් ආදී කොටස්වලින් සමන්විත පුළුල් පකෂයක් ගොඩ නැගීම සඳහා ඊනියා “කම්කරු සම්මේලනයක්” කැඳවීමේ ප්‍රශ්නයේදී මෙන්ෂෙවික්වරු පරාජය වූහ. මෙම මෙන්ෂෙවික් අදහස කම්කරු පංති ව්‍යාපාරයට හානි කර යයිද, එහි ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල නිර්ධන පක්ෂය විනාශ කර දැමීමත් හැඟේ යයිද අදහස් කළ සම්මේලනය විසින් මෙම මෙන්ෂෙවික් අදහස ප්‍රතික්ෂේප කර දමන ලදි. 


සම්මේලනයේදී කම්කරුවන්ගේ නියෝජිතයන් සමග ලෙනින් උණුසුම් හා සුහද ලීලාවෙන් සාකච්ඡා කළේය. ලෙනින් පළමු වතාවට දුටු කම්කරුවන් අතර ඇති වූ පිළිසඳරක්, මැක්සිම් ගෝර්කි ඔහුගේ මතක සටහන්වල සඳහන් කරයි. ඔවුන්ගෙන් එකෙක් මෙසේ කීය.


“ඔහු අපේම කෙනෙක්!” “ප්ලෙහානව් ත් ඒ වගේමය!” තවකෙක් කීය. “ප්ලෙහානම් අපේ ගුරුවරයා, නමුත් ලෙනින් අපේ සහෝදරයා හා නායකයා! යනුවෙන් පිළිතුරු ලැබුණි.”


පස්වැනි සම්මේලනය ලෙනින් රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ මධ්‍යම කාරක සභාවට තෝරා ගත්තේය. 


1904 මුලදී ලෙනින් ලන්ඩනයේ සිට රුසියාවට පෙරළා  පැමිණ පින්ලන්තයේ පදිංචියට ගියේය. ඒ වන විට විප්ලවය අසාර්ථකවී තිබූ බව පැහැදිලි විය. සාර්වාදී ආණ්ඩුව සමූල ඝාතන ප්‍රහාරයක් දියත් කළේය. අඳුරු ප්‍රතිගාමීත්වයේ දීර්ඝ කාල පරිච්ඡේදයක් උදාවිය. 


ශාන්ත පීටර්ස්බර්ග් ගුබේර්නියා පොලිස් හමුදාවේ විශේෂ දෙපාර්තමේන්තුවේ, ශාන්තපීටරස්බර්ග් රහස් පොලිස් නායකයාගෙන් ලෙනින් පිළිබඳ වාර්තා කැඳවා “ඔහු පින්ලන්තයෙන් ආපසු ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් යොදන ලෙස” දැන්වීය. සාර්වාදී රහස් ඔත්තුකාරයෝ ලෙනින් පසුපස ලුහු බැඳීමට වූ හෙයින් ලෙනින්ට තව තවත් පින්ලන්තයේ අභ්‍යන්තරයට යාමට සිදුවිය. නමුත් එහිද ඔහුට අන්තරාදායක වූ අතර ඔහු රටින් පිටවී යා යුතු යයි බෝල්ෂෙවික් මධ්‍යස්ථානය තීරණය කළේය. 


කෙසේ වුවද පින්ලන්තයෙන් ඉවතට පැනගැනීම පහසු කාර්යයක් නොවීය. රහස් ඔත්තු කාරයින්ගෙන් බේරීම හා සිරබාරයට ගැනීම මඟහැරවීමට ඔහුට වරායට නොව දූපතකට ගොස් යාත්‍රාවක නැගීමට සිදුවිය. එහි ළඟාවීම් වස් ඔහුට, ඒ වන විටත් ඝන බවට පත් නොවූ අයිස් තට්ටු මත පින්ලන්ත බොක්ක හරහා රාත්‍රියේ පයින් යාමට සිදුවිය. අයිස් තට්ටුව දෙදරා ගොස් ලෙනින් ගිලා බැසීමට වූ විට බේරුණේ අනූ නවයෙනි. මෙම අත්දැකීම සිහියට නඟමින් පසු කලෙක ලෙනින්ගේ මනසට ඒ මොහොතේ නැඟුන හැඟීම මෙසේ විස්තර කළේය. “කොච්චර මෝඩ විධියට මැරෙන්න ඉඩ තිබුණද!” මෙසේ සිය ජීවිතයට මහත් සේ අවදානමකට පත් වුවද, ඔහුට අන්තිමේදී විදේශ ගතවීමට හැකි විය. මෙවර ඔහුට පුරා වසර දහයක් ස්වේච්ඡාවෙන්ම පිටුවහල් ජීවතයක් ගත කිරීමට සිදු විය. 


වසර දෙක හමාරකට ආසන්න කාලයක් මුළුල්ලේම පැවති පළමු වන රුසියන් විප්ලවය අසාර්ථක විය. එහෙත් ඉන් විප්ලවීය ඒකාධිපති පාලනය අඩපණ විය. විප්ලවය අධිරාජ්‍යවාදී යුගයේ විප්ලවීය අරගල කාල පරිච්ඡේදයක පෙරටුව ගමන් ගත්තේය. එසේම ලොව මුළුල්ලේ විමුක්ති ව්‍යාපාරයේ සංවර්ධනය කෙරෙහි දැවැන්ත බලපෑමක් ඇති කළේය. ජගත් විප්ලවීය ව්‍යාපාරයේ මධ්‍යස්ථානය රුසියාවට මාරුවී ඇති බවත්, රුසියානු නිර්ධන පංතිය ජාත්‍යන්තර නිර්ධන පංතියේ පෙරටු බලඇණිය බවට පත්වී ඇති බවත්  එය පෙන්නුම් කළේය. “මොස්කව් කැරැල්ලේ පාඩම්”, “විප්ලවයේ පාඩම්”, “1905 විප්ලවය පිළිබඳ දේශනයක්” සහ තවත් ලිපි මගින් ලෙනින් 1905 - 1907 විප්ලවය පිළිබඳ සමාලෝචනයක් කළේය. 


විප්ලවය සම්පූර්ණයෙන් ලෙනින්ගේ බෝල්ෂෙවික් උපක්‍රමයෙහි නිවැරදි බව ඔප්පු කළේය. විප්ලවයේ නිර්ධන පංති නියාමක කාර්ය භාරය පිළිබඳ ලෙනින්ගේ වැදගත් නිබන්ධනය සම්පූර්ණයෙන්ම ව්‍යවහාරයේදී සනාථ විය. 


නායකයෙකු වශයෙන්ද, ශ්‍රේෂ්ඨ න්‍යායවාදියෙකු වශයෙන්ද, වැඩ කරන බහු ජනතාවගේ අද්විතීය සංවිධායකයෙකු වශයෙන්ද ලෙනින් සතු කුසලතා ඉතාමත් විචිත්‍රාකාරයෙන් ප්‍රදර්ශනය වූයේ විප්ලවයේ මෙම වසර කීපය තුළදීය.


එම්. තාරික්