මේ ආරවුල් තත්ත්වයත් සමගම වාගේ අත්පත් කරගත් යුද ජයග්‍රහණ කිහිපයක් හේතුකොට ගෙන එම ආරවුල් නිසා මාවෝ තුළ ඇතිවුන සිත් වේදනා අකා මකා වී ගියේය. එක් දිනක් ජියැන්ග්, ලී නේ ට ඉගැන්විම සඳහා මාවෝ ගේ අත් අකුරු රැගෙන එන ලෙස ඇගේ සේවිකාව මාවෝ කරා පිටත්කර හැරියාය. “එයාට අකුරු ලියන්න උගන්වන්න කියලා එයාගේ අම්මට කියන්න. එයාගේ අම්මට තරම් හොඳට මට අකුරු ලියන්න බෑ.”


ජියැන්ග් තුළ පැවති දුක්බර සිතුවිලි ඒ සමග පහවිය. කුණාටුව අවසන් වී ඇති බවක් ඇයට වැටහුණි. මාවෝ ට නිතරම වාගේ ආහාරයට ලැබෙන්නේ කළු සෝයා නිසා කළු සෝයා වෙනුවට එක්වරක් හෝ වෙනත් ආහාරයක් ලබාදීමේ චේතනාවෙන් යුතුව වරක් ජෙනරාල් හේ ලොන්ග් කල් තබා ගැනීමට සැකසු ඌරු මස් ටිකක් පිළියෙලකර මාවෝ ට ලැබෙන්නට සැලැස්වූ අතර ජියැන්ග් ඉන් එක් පිඟානක් ගත්තාය. නමුත් මාවෝ ඒ ගැන සිතුවේ වෙනත් විදිහකටය.


“පෙරමුණේ ඉන්න සහෝදරවරුන්ට දෙන්න ඒවා තියන්න.” ඔහු කීවේය.


“එත් කොහෙද පෙරමුණක් තියෙන්නේ?.”ඉන් අසතුටට පත් ජියැන්ග් ඇසුවාය. “ඉදිරි පෙරමුණ තියෙන්නේ ගඟෙන් නැගෙනහිරද? නැතිනම් බටහිරද? අනිත් සියලු දෙනාටම වඩා සතුරු හමුදාවන් ඉදිරියෙන්ම ඉන්නේ අපි. ඒ නිසා අපිට එකතැනක ඉන්න බෑ. සතුරා මග හරින්න එහාට මෙහාට මාරු වෙන්න වෙනවා.


ඒත් ඔවුන්ට එහෙම තැන තැන යන්න උවමනා නැති හින්දා ඕනැ කෑම ජාතියක් සොයා ගන්න පුළුවනි.”


මේ කතාව මාවෝ ගේ දැඩි විfවිචනයට ලක්විය. ඔහු රවාගෙන මෙසේ කීවේය. “ඔයාගේ තියෙන්නෙ වැරදි ආකල්පයක්. හැමදාම කළු බෝංචි කන්න සිදුවුණත්. එහා මෙහා යන්න සිදුවුණත්, තමන්ගේ සහෝදරවරුන්ට අපහාස කරන්න එපා.”


ජියැන්ග් තුළ පැවති මෙවැනි ආකල්ප ඇගේ විනාශයට හේතුවිය. මෙවන් දේ බොහෝ දෙනෙකුට පොදු වුව ද වැදගත් මිනිස්සු ඒ වැනි දෙයින් වැළකී සිටිය යුතුය. අවාසනාවකට මෙන් ජියැන්ග් ගේ පැත්තෙන් ගතහොත් ඇගේ පැහැදිලි ඊර්ෂ්‍යාව විසින් සියල්ල වර්ධනය කරගෙන තිබුණි. 


1953 වසර ආරම්භයේ පක්ෂ මධ්‍යමකාරක සභා නායකයෝ බොදාහේ මුහුදු වෙරළේ සංචාරයක් ඇරඹූහ. ජියැන්ග් ට එතරම් පිහිනන්නට නොහැකි වුව ද ඇය වෙරළේ රැස්ව සිටි පිහිනන්නට හැකි, නොහැකි අනිකුත් කාන්තාවන්ට එය ප්‍රදර්ශනය කිරිමට ලජ්ජා නොවිය. නමුත් ලියෝ ෂාඕගේ බිරිය වැන්ග් ගුයැන්ග් එහි අනිත් පැත්තය. ඇයට ළය ආර, පැති ආර, පසු ආර, මේ හැම ඉරියව්වකින්ම පිහිනිය හැකි අතර ජියැන්ග් දෙස බලා ඇය කට කොනකට අවඥා සහගත සිනාවක් නගා ගත්තාය.


අපේ පැත්තට වාසි සහගත තත්ත්වයක් ඇතිවීම ආරම්භ වන විට මෙන්ම අවසන් ජයග්‍රහණය සැබෑවක් වන්නට ඔන්න මෙන්න කියා තිබෙන අවස්ථාවේදී ජියැන්ග් ගේ හැසිරීමේ පැහැදිලි වෙනසක් ඇතිවිය. ඇය අධික සුඛවිහරණයට යොමුවිය. විදුලි බොත්තම හඬවා පෞද්ගලික ආරක්ෂකයින් කැඳවීමට කැමැත්තක් දැක්වූ ඇය තමන්ට කරගත හැකි පොඩි පොඩි වැඩ පවා කිරීමට ඔවුනට අණ කළාය. ඇගේ අණට අවනතවී වැඩ කරනවා දකින්ට මෙන්ම, ඒ හරහා ඇගේ තත්ත්වය පිටස්තර අයට පෙන්වීමට ඇය කැමැත්තක් දැක්වු බවක් පෙනුණි.


වරක් ඇය විදුලි සීනුව හඬවා සැන්ග් ටියැන්යී නමැති පෞද්ගලික ආරක්ෂකයා ඇගේ කාමරයට කැඳවීය. ඔහු වහාම කාමරයට පැමිණි විට “මට මගේ අත් උණුසුම් කරණය අරන් දෙන්න”යි පැවසීය. ඇත්තෙන්ම ඒ උපකරණය තිබුණේ ඇගේම ඇඳ උඩය. මදක් ඉදිරියට නැමුණා නම් ඇයට ලෙහෙසියෙන්ම එය ගත හැකිව තිබුණි. එලෙස එය ගන්නවා වෙනුවට ඇගේ කාමරයට ඈතින් සිටි පෞද්ගලික ආරක්ෂකයා කාමරයට කැඳවීය. එමගින් සැන්ග් ඉමහත් කනගාටුවට පත්වූවේ ඊට පෙර සිදුවු සිදුවීම් සිහිපත් කරමිනි. 
ඇය ඒ කාලයේ කිසි දිනක මෙලෙස කටයුතු නොකළාය. අපි ඇයට යම් උදව්වක් කරන්න හැදුවොත් ඇය එය ප්‍රතික්ෂේප කරමින් “නෑ. බොහොම ස්තුතියි. මට ඒක කරන්න පු`එවනි”යි කීවාය.


තවද ඇය ඇගේ ආහාර වඩාත් උවමනාවෙන් තෝරා බේරා පාවිච්චිකරන තත්ත්වයකට ද පත්විය. උතුරු ෂැන්සි හි දුෂ්කර කාලයක් ගතකළ අවධියේ ඇය සෙව්වේ ආහාර වල රස පමණකි. එසේ නොමැතිව තෝර තෝරා ආහාර සොයන්නට නොගියාය. අනතුරුව අපට ඌරුමස්, කකුල් මස් ඇතු`එ හැම දෙයක්ම තියෙන විට, විශේෂයෙන්ම ෂිබායිපෝ ප්‍රදේශයේදී කිසිදු සීමාවකින් තොරව ඌරුමස් ලැබුණ විට එවායේ රස පමණක් නොව මස්වල තෙල් ගැනද, ඒවායේ පෝෂ්‍ය ගුණය පවා සොයන්නට ඇය වෙහෙසුණාය.

ආරියනන්ද දොඹගහවත්ත