ලෝකයට යුද උණුසුම ගෙනෙන ජෙරුසලම 02

ධෛර්යවන්ත ඊශ්‍රායල් හමුදාව, ඉතා අපහසුවෙන් කාලාන්තරයක් සටන්කොට ලබාගත් තම පොරොන්දු දේශය, හෙවත් “දාවිත් නිරිඳුන්ගේ රාජ්‍යය” ආරක්‍ෂා කරගැනීමට සමත් විය. අරාබි රාජ්‍ය වළල්ල පරාජයට පත්විය. එවක් පටන් මෙම රාජ්‍යයන් ඊශ්‍රායලයට විරුද්ධව කෝපයෙන් දැවෙමින් වෛරසහගතව කල් ගෙවනු දක්නට ලැබුණි. විශේෂයෙන් අරාබි ජාතිකවාදයේ නැගීමත් සමඟ ඊජිප්තුවේ ජනාධිපති ගමාල් අබ්දුල් නසාර්ගේ නායකත්වයෙන් ඊශ්‍රායලයට විරුද්ධව නව මතවාදයක් නැගී ආවේය. අගමැති ඬේවිඞ් බෙන් ගූරියන්ගේ නායකත්වය යටතේ පැවැති ඊශ්‍රායලයට මෝෂේ දයාන්, යිට්ෂාක් රාබීන් ආදී නායකයෝ නසාර්ගේ අභියෝග ගණන් නොගත්හ. “ඊශ්‍රායලය ලෝක සිතියමෙන් මකා දමන්නෙ මැයි” සපථ කළ අබ්දුල් නසාර් යුද්ධයට එළඹුණේය.

ඒ වනවිට ජෙරුසලම නගරය පැවතියේ නැගෙනහිර කොටස ජෝර්දානයටත් බටහිර ඊශ්‍රායලයටත් අයත්වය. සය දිනක් පැවති යුද්ධය අවසාන වූවේ ඊශ්‍රායලයට අතිවිශිෂ්ට ජයක් අත්කර දෙමිනි. ඊජිප්තුවට අයත් ගාසා තීරය සහ සිනායි අර්ධද්වීපයත් සිරියාවට අයත්ව පැවති ගෝලාන් කඳුකරයත්, ජෝර්දානයට අයත්ව පැවති ජෙරුසලමේ නැගෙනහිර කලාපයත් සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නා ලදී. කාලාන්තරයකට පසු ජෙරුසලම නගරය ඊශ්‍රායලය යටතේ එක්සත් විය. සාමයේ නගරය යැයි අරුත් දක්වන ජෙරුසලමට කිසි කලෙකවත් සාමයේ සුවය අත්විඳීමට ඉඩ නොලැබුණු බව කියැවේ. දාවිත් රජුගේ සමයේ පටන් අද දක්වාම ජෙරුසලම යුද පිටියකි.


සය දින යුද්ධයෙන් අරාබි රාජ්‍යයන් ලද මහා පරාජය නිසා නසාර් කම්පාවට පත්වූ අතර ඔහු ඊජිප්තු ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූවේය. ඔහුගේ උප ජනාධිපති සතාරියා මොහිදීන් එම තනතුරට පත්විය. 


එක්සත් ජාතීන්ගේ සංවිධානය වරින් වර නොයෙකුත් යෝජනා සම්මත කරමින් සය දින යුද්ධයෙන් අල්ලා ගත් ප්‍රදේශ අරාබිවරුන්ට ආපසු භාරදෙන ලෙස කලක් තිස්සේ නිර්දේශ කරන ලද නමුදු එය ඉටුවූවේ නැත. මෙම විශාල භූමි ප්‍රදේශය ආපසු ලබාගැනීම අරාබීන්ගේ ඒකායන අපේක්‍ෂාව විය. එයට ආයුධයක් වශයෙන් පලස්තීන විමුක්ති සංවිධානය නම් ආයතනයක් පිහිටුවීමටද අරාබි නායකයෝ ක්‍රියා කළහ. එහි ආරම්භක නායකයා වූවේ මොහොමඞ් ෂුක්රි නම් විය. පසුව යසර් අරපත් එහි නායක ධුරයට පත්විය. නිවහනක් නොමැතිව වෙනත් රටවල අනාථ කඳුවුරුවල දිවි ගෙවන පලස්තීන අනාථයන්ට මව්බිමක් ලබාදීමේ භාරදූර කාර්යය ද ඔහුපිට පැටවුනි.
මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා 1973 ඔක්තෝබරයේදී සිරියාව හා ඊජිප්තුව එකතු වී ඊශ්‍රායලයට විරුද්ධව යුද්ධයක් ආරම්භ කළේය. එවකට ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් දිවුරා ප්‍රකාශ කළේ තම රටවලින් අල්ලා ගත් සම්පූර්ණ භූමි ප්‍රදේශ ආපසු ලබාගන්නාතුරු සටන් නොනවත්වන බවයි. එහෙත් ඇමෙරිකානු රජයේ අනුග්‍රහය ඇතිව සටන් වැදුණු ඊශ්‍රායලය නැවතත් ජය ගත්තේය. සූවස් ඇළ දක්වාම ගමන් කළ ඔවුහු 1967 දී තමන් සතු කරගත් ප්‍රදේශ සියල්ල ද ආරක්‍ෂා කර ගත්හ. මෙය අරාබිකරයට මහත් අවමානයක් වූවා පමණක් නොව අන්වර් සදාත්ට ද පරාජයක් විය. 


මෙම පසුබිම හමුවේ අරාබීන් සහ යුදෙව්වන් සදාකාලික නයි - මුගටි වෛරයකින් පසුවීම ලෝක සාමයටත්, අසල්වැසියන් අතර සංහිඳියාවටත් මහත් තර්ජනයක් බව ලෝක බලවත්තු අවබෝධ කරගත්හ. විශේෂයෙන් එවකට ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ මැදිහත්වීම මත ඊශ්‍රායල් අගමැති යිට්ෂාක් රාබින් සහ පලස්තීන විමුක්ති සංවිධානයේ නායක යසර් අරපත් දෙදෙනා ප්‍රථම වරට මුහුණට මුහුණ සාකච්ඡාවක් ඇමෙරිකාවේදී සිදුවිය. එම එකඟතාව කෑම්ප් ඬේවිඞ් සම්මුතිය නම් වේ. මෙයට සහාය දැක්වීමේ වරදට ඊජිප්තු ජනාධිපති අන්වර් සදාත් අන්තවාදී හමුදා සෙබළෙකු විසින් ඝාතනය කරන ලද බවද අමතක නොකළ යුතුය. මැදපෙරදිග සාමය ඇති කිරීමට සිදුව ඇත්තේ මෙවැනි දුෂ්කරතා රාශියක් මධ්‍යයේය.


වර්ෂ 1993 දී නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝහිදී ඇති කර ගත් එකඟතාවට අනුව ගාසා තීරයේත්, ජෙරිකෝ නගරයේත් පාලනය යසර් අරපත්ගේ නායකත්වයෙන් යුතු පලස්තීන ජාතික අධිකාරියට පවරන ලදි. මේ කුමන ගිවිසුම් ඇතිවුවත් පරිපූර්ණ සාමයක් හෝ විශ්වාසයක් දෙපාර්ශ්වය අතර ගොඩනැගී ඇති බවක් නොපෙනේ. වසර දහස් ගණනක් පුරා ඉතිහාසයකදී පැවති වෛරයක් සාකච්ඡා කීපයකින් හෝ ගිවිසුමකින් නවතීයැයි බලාපොරොත්තු වීමද යුක්තිසහගත නොවේ. 


බයිබල් යුගයේ සිදුවූවායැයි සඳහන් වන මෝසෙස් නම් දිවැසිවරයාගේ සහ ඔහුගේ අනුගාමිකයන්ගේ මහා නික්මයාමේ සිට කීප  වතාවකදීම යුදෙව්වෝ ඊශ්‍රායල් භූමියෙන් පිටව ගියහ. එමෙන්ම වරින් වර ආපසු සංක්‍රමණය වූහ. එමෙන්ම ලක්‍ෂ ගණනක් ඝාතනය වූහ. අරාබි කාන්තාරය සහ ක්‍ෂේම භූමි තෙත්වන තරම් රුධිරය වැගිරූහ. යුදෙව් ජනතාව විනාශ කිරීම සඳහා ජර්මන් ආඥාදායක හිට්ලර් සිදුකළ ඝාතන සහ වධදීම් නිසා ගෑස් කාමරවල දිවි පිදුවන් ගණන නිමක් නැත. මේ සා දුක් ගැහැට මගින් යුදෙව්වෝ පීඩා වින්දහ. මදක් හෝ සාමය පැවතියේ වසර කීපයක් පමණි. තමනට පොරොන්දු වූ දේශයක් ඇති බවත් එහි අගනුවර ශුද්ධවූ ජෙරුසලම බවත් ඔවුහු විශ්වාස කරති. මෙම සංකල්පයට පොහොර දමමින් නොබෝදා ඇමෙරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගැනීමට කටයුතු කිරීම මැදපෙරදිග යුද උණුසුම තීව්‍ර වීමට හේතුවී ඇත. බලය සඳහා පොරබදන ලෝක නායකයන්ට පොදු ජනතාවගේ දුක් ගැහැට ගැන කම්පාවක් නැත. ජපානයට පරමාණු බෝම්බ දෙකක් හෙළා දශලක්‍ෂ සංඛ්‍යාත ජීවිත හානියකට නියෝග දුන් ඇමරිකානු ජනාධිපති හැරී ටෘමන් ප්‍රකාශ කළේ එම නියෝගය දීම ගැන තමා පසුතැවිලි නොවන බවය. ට්‍රම්ප් වුවද එයට වෙනස් නැත.

 

 

 

සෝමසිරි වික්‍රමසිංහ