ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂිතම කාරණය වන්නේ ඔහු දේශපාලනඥයකු නොවීමය. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර දේශපාලනය හෝ පරිපාලන තන්ත්‍රය පිළිබඳ ඔහුට කිසිදු අත්දැකීමක් නොතිබීමද මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිවාදීන් මතු කළ කාරණයකි‍. එ‍හෙත් දේශපාලනයේ මෙන්ම පරිපාලන තන්ත්‍රයේද අත්දැකීම් බහුල හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙනුවට අමෙරිකානු ජනතාව තෝරා ගත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.



ඇතැම් දේශපාලන විචාරකයන් පවා පවසන අන්දමට මේ ප්‍රතිඵලය නැතහොත් මේ තෝරාගැනීම විස්මය ජනකය, අනපේක්ෂිතය. එහෙත් මෙම ප්‍රතිඵලය මඟින් අමෙරිකානුවන් තමන් තුළ වසර ගණනාවක් තිස්සේ කැකෑරෙමින් පැවැති පීඩනය සහ කෝපය මුදාහැර ඇති බව පැහැදිලිය.


පොරොන්දු පත්‍රය
අමෙරිකානු ආධිපත්‍යය ක්‍රමයෙන් ගිලිහී යමින් තිබිණි. තමන් ගොඩනඟාගත් ප්‍රෞඪත්වය විනාශ වී යනු දක්නට අමෙරිකානුවෝ නොකැමැති වූහ. උද්ගත වූ ආර්ථික අර්බුදය හමුවේ අග හිඟකම් දරාගැනීමටද ඔවුනට සිදුවිය. ඉනුත් නොනැවතී ඉස්ලාම් අන්තවාදයද ඇතැම්විට ත්‍රස්තවාදී තර්ජන හේතුවෙන් භීතියෙන් හා වික්ෂිප්තව කාලය ගෙවීමට ද ඔවුන්ට සිදුව තිබිණි. ජනාධිපති බැරැක් ඔබාමා බලයට පත් කරගැනීමෙන් ළඟා කරගැනීමට අපේක්ෂා කළ වෙනස යථාර්ථයක් වූයේ නැත.


ට්‍රම්ප් සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ආමන්ත්‍රණය කළේ එවැනි ජනතාවකට ය. ඔහුගේ මූලික පොරොන්දුව නැතහොත් තේමාව අමෙරිකාව නැවතත් පෙර තිබූ බලවත් තත්ත්වයට ගෙන එන බවය. ආර්ථිකය නඟාසිටුවිය යුතු බව සහ අයි. එස්. අයි. එස්. ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් වැනසිය යුතු බව ඔහු නිතර කීවේය. මේ හේතුවෙන් ඔහු මුස්ලිම් විරෝධියෙකු සහ ජාතිවාදියෙකු ලෙසද ලේබල් කෙරිණි. සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ද ඔහුගේ පිළිවෙත ඉතා දැඩි එකක් වනු ඇති බව පෙනෙන්නට තිබිණි. සංක්‍රමණිකයන් අමෙරිකාවෙන් පිට කළ යුතු යැයි ඔහු පළ කළ අදහස් දැඩි ලෙස විවේචනයට ලක්විය. 


වසර ගණනාවකට ඉහතදී කාන්තාවන් ගැන ඔහු කළ ප්‍රකාශ පවා හුවා දක්වමින්ද ඔහු කාන්තා හිංසකයකු බව අඟවමින් ප්‍රතිවාදීහු ප්‍රබල ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන ගියෝය. එහෙත් අ‍මෙරිකානු ජනතාව එවැනි ප්‍රචාර හා අදහස් බැහැර කර ඇත. එක්කෝ ඒවා දෙවන තැනට දමා ට්‍රම්ප්ගෙන් තමන් සපුරාගැනීමට අපේක්ෂා කරන කාරණා ඉහළට ගෙන ඇත.


ජනාධිපති වශයෙන් තේරීපත් වීමට නම් අපේක්ෂකයකු ඡන්ද පීඨ නියෝජිතයන් 270 දෙනකු අවම වශයෙන් දිනාගත යුතුය. ට්‍රම්ප්ට නියෝජිතයන් 300කට ආසන්න සංඛ්‍යාවකගේ සහාය හිමිවීම විශේෂය. එහිදී හිලරි සිටින්නේ බොහෝ පසු පසිනි. මේ ප්‍රතිඵලය කියවා ගැනීමේදී මතු කළ හැකි කාරණා ගණනාවකි. සුදු අමෙරිකානුවන් බහුතරය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ ට්‍රම්ප්ටය. 


ඔබාමා පාලනය යටතේ කළු ජාතිකයන්ට එරෙහි හිංසනයක් දියත්ව තිබියදී පවා කළු අමෙරිකානුවන් සහ ආසියානුවන් බහුතරයකගේ ඡන්ද ලැබී ඇත්තේ හිලරිටය. ඊට බලපා ඇත්තේ ට්‍රම්ප් අනුගමනය කළ වාර්ගික පිළිවෙත බව ඉන් පැහැදිලි වේ. වයස අවුරුදු 20 - 40 අතර තරුණ ඡන්ද වැඩි වශයෙන් ලැබී ඇත්තේ ට්‍රම්ප්ටය. අමෙරිකාවේ පළමු ජනාධිපතිවරිය බිහිකර ගැනීමේ අපේක්ෂාවෙන් සහ ඇතැම්විට ට්‍රම්ප් කාන්තා හිංසකයකු බවට ගෙනගිය ප්‍රචාරවල බලවත් බව හේතුකොටගෙන කාන්තා ඡන්ද වැඩි වශයෙන් ආකාර්ෂණය කරගෙන ඇත්තේ හිලරිය. හිලරිගේ මැතිවරණ ව්‍යාපාරයේ තරම් අත්දැකීම් බහුල ප්‍රබලයන් ට්‍රම්ප් සමඟ සිටි බව නොපෙනුණද, ජයග්‍රහණයෙන් පසු ට්‍රම්ප් ප්‍රකාශ කළ පරිදි ජෙනරාල්වරු හා අද්මිරාල්වරු 200ක් පමණ ඔහුට සහාය දැක්වූවන් අතර වූහ.


ට්‍රම්ප්ගේ ජයග්‍රහණය තහවුරු වූ විගස හිලරි සිය ආධාරකරුවන් හමුවේ පෙනී සිටියේ නැත. ඒ වෙනුවට ඔවුන් ඇමතූ ඇයගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධානී ජෝන් රපාඩෙස්ට් වේදනාබරිතව සිටි ඩිමොක්‍රටික් ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටියේ සාමකාමීව නිවෙස් බලා යන ලෙසය. කිවයුතු දේ පසුදින ප්‍රකාශ කරන බව ඔහු පැවසීය. හිලරි ක්ලින්ටන් සිය ආධාරකරුවන් ඇමතුවේ පසුවය. නව ජනාධිපතිවරයාට සහාය දැක්විය යුතු බව ඇයගේ කතාවෙන් පළවිය. මෙය වේදනාකාරී පරාජයක් බව ඇය කීවේ හැඟු‍ම්බරවය. ඇතැම්විට අයහපත් සෞඛ්‍ය තත්ත්ව යටතේ පවා අතිශය වෙහෙසකර මැතිවරණ ව්‍යාපාරයක යෙදීමට ඇයට සිදුව තිබිණි. සිය සැමියා වූ බිල් ක්ලින්ටන් සහ මැතිවරණ කමිටුවෙන් ද පක්ෂයෙන් ද ඇයට විශාල සහයෝගයක් ලැබිණි.


ට්‍රම්ප් ගේ ලෝකයෙන් තවත් කොටසක් ලබන සතියට....

තිළිණි ද සිල්වා